මායා තවදුරටත් මිතුරු ආවුරෝරා වැසියාගේ හැඟීම් සාවධානව අසා සිටියාය.
" මට පුලුවන් දෙයක් නම් මං අනිවාර්යයෙන්ම කරනවා. මොකක්ද වෙන්න ඕන කියල කියන්න. හැබැයි මෙතන මාත් හිරකාරියක්ට සමාන කෙනෙක්. මගේ ජීවිතය අනතුරේ වැටෙන දෙයක් නම් මට තව හිතන්න වේවි සමහර විට .."
ජීවියා මායා දෙස බැලුවේ අනුකම්පාව අයදින බැල්මෙනි.
" නෑ... ඔයත් සුරක්ෂිතව, මගේ ලෝකයත් බේරගන්න ක්‍රමයක් තියෙනවා මං හිතන්නෙ. මට දෙයක් පෙන්වන්න තියෙනවා මායා. මාත් එක්ක එන්න පුලුවන් ද පොඩි වෙලාවකට මගේ කුටියට.."
" අනිවාර්යයෙන් ම... යමු..." මායා එකඟ විය. ආවුරෝරා වැසියා
ඇය මින් පෙර නොගිය පටු කොරිඩෝ රාශියක් ඔස්සේ ඉතා වේගයෙන් ඇය කැටුව ගමන් කළාය.
මඳ දුරක් යනවිට ඇයට ඇසුණේ ඔවුන් දෙසට කවුරුන් හෝ ඇවිද එන හඬකි. බියෙන් තැතිගත් ඈ සැඟවෙන්නට තැනක් සොයන්නට නෙත ඉක්මන් කරන විටද ප්‍රමාද වැඩි වූවාය. රාත්‍රී සංචාරක මුර සෙබළුන් තිදෙනෙකුගේ ඇස් සයක්ම ඒ වනවිට ඇය දෙසට යොමු වී හමාර බව ඇයට සක්සුදක් සේ පැහැදිලි විය. මායා බැලුවේ ආවුරෝරා වැසියා දෙසය... පුදුමයකි... ඔහු පෙනෙන්නට නොවීය.
මායාට දැනුණේ මහත් බියක් මෙන්ම තමාගේම මෝඩකම පිළිබඳව පසුතැවීමකි. දැන් ඉතින් ගැලවීමක් නැත. ඇය නෙත් පියා ගත්තේ කරන්නට කිසිවක් ඉතිරිව නොමැති නිසාය.
විදුලි පන්දම් එළිය ඇගේ මුහුණට එක එල්ලේ වදිනු ඇයට දැණිනි.
" No any one here sir"
"Are you sure ?"
" yes sir..."
සෙබළුන් තිදෙනා නික්ම යන හඬ ඇසෙත්ම මායා දෙනෙත් විවර කළේ පුදුමයෙනි. මෙතරම් සමීපව සිටත් ඔවුන් ඇය දැක නැත. එසේ වූයේ කෙසේද..
"කැඩපත් මායාව.. පාරම්පරික ආවුරෝරා මායාවක්.." ඇගේ සිතට පිළිතුර පිවිසිණි... ඇය පසුපස හැරී බැලුවේ නිතැතිනි. අවුරෝරා වැසියා ඇගේ පසෙකින් සිනහසෙමින් උන් අයුරු දුටු ඇයටද සිනා නොවී සිටීමට බැරි විය. ඔහුගේ මුහුණේ දත් නොවූ මුව දෙපස පේශි සතුටෙන් නළියමින් තිබුණේ ඉතාමත් විසුළු ස්වභාවයක් මවමිනි.
මොහොතකින් ඔවුන් සිටියේ ඔහුගේ කුටියේය.
දැඩි ආරක්ෂක විධි විධාන වූ නමුත් එහි බියවීමට කිසිවක් නොමැති බව මායාට තහවුරු වූයේ ඔහු නිදහසේ හැසිරෙන විලාශය දුටු විටය. තාප සංවේදී අධි ආරක්ෂක කැමරා පද්ධති කිසිවක් හෝ ආවුරෝරා වැසියාට ප්‍රශ්නයක් නොවූ හැඩක් දිස් විය. පුදුමය වූයේ මායාටද ප්‍රශ්නයක් ඇති නොවන සේ කටයුතු සිදු වීමයි. අනවසර ඇතුළුවීම් පිටවීම් රැසක් සිදු වුවත් මේ වනතෙක් ආරක්ෂක එලාමයක් හෝ නාද නොවීමට තරම්?
" ආවුරෝරාවරු හැරෙන්නට මෙසේ ආරක්ෂක පද්ධතීන්ට අභියෝග කළ හැකි වෙනත් බිහිසුණු ජීවීන් මෙහි සිටියහොත් එය සමස්ත පෘථිවියටම තර්ජනයක් විය නොහැකිද..? මෙහි බලධාරීන් මේ සම්බන්ධයෙන් වගකිවයුතු නොවේද..? මායා ඒ පැනය ඇසුවේ තමාගෙන්මය.
ආවුරෝරා වැසියා යමක් සොයමින් සිටියේය. වේගයෙන් ඒ මේ අත යමින් නොසන්සුන් ලෙස සියල්ල ඇද දමමින් හැසිරුණු ඔහු අන්තිමේ යමක් සොයාගත්තේ ඔහුගේ ඇඳ යටිනි. පැත්තක දිග සෙන්ටි මීටර් පහක් පමණ වූ ත්‍රිකෝණාකාර පැතලි වස්තුවක් වූ එය ඝනකමින් සෙන්ටිමීටරයකට වඩා මදක් අඩු බව මායා නිරීක්ෂණය කළාය. බැලූ බැල්මට එය පෙණුනේ පාට කළ ත්‍රිකෝණාකාර ගල් කැබැල්ලක් මෙනි. සිය මටසිලිටු දෑතින් එය පිරිමැද හොඳින් පිරිසිදු කළ ඔහු මායා අසලට පැමිණ එය ඇගේ නෙත් ඉදිරියට පෑවේය.
"මේ තියෙන්නෙ ආලෝකයේ විස්ම යන්ත්‍රය... යහපත් විදියට ජීවත් වෙන ආවුරෝරා පරම්පරාවකට අඳුරු ශක්තිය පරාජය කරලා ආලෝකය එක්ක ජීවත් වෙන්න ශක්තිය දෙන බලගතු වස්තුවක්. මේක මගේ පරම්පරාවෙන් ආව උරුමයක්. මේක හදල තියෙන්නෙ ආධ්‍යාත්මික දියුණුව අතින් ඉහළටම ගිය ආදි කාලීන අපේ මුතුන් මිත්තෙක්. හැම ආවූරෝරා පරම්පරාවකම මේ වගේ ආශිර්වාදලත් වස්තුවක් තියෙනවා. ඒත් මේක විශේෂයි... හේතුව මේක තමයි දැනට විශ්වයේ තියෙන සැඟවුණු ලෝක අතර ගමන් කරන නිවැරදිම දත්ත ඇතුළත් එකම යන්ත්‍රය. ත්‍රිමාණ විතරක් නෙමෙයි කාලය වගේ සිවුවැනි මානයක් හරහා වුණත් ගමන් කරන්න පුලුවන්... හැබැයි මේක ආවුරෝරා වැසියෙක්ට භාවිත කරන්න පුලුවන් තමන්ගෙ වර්ගයාට අනතුරක් වෙන වෙලාවක විතරයි. ඒ වගේම එක් කෙනෙක්ට එයාගෙ ජීවිත කාලෙට ලැබෙන්නෙ අවස්ථා තුනයි... මං මගේ කුඩා කාලෙදිම නොසලකිලිමත් විදියට පුංචි පුංචි දේවල් වෙනුවෙන් මේ පාෂාණය භාවිත කරා තුන් පාරක්ම.. ඉතින් මායා , මට නැවත මේකෙන් උදව්වක් ගන්න බෑ.. ඒත් වාසනාවකට වගේ, ඔයාට පුලුවන් මේක පාවිච්චි කරන්න.. "
ඔහු කීවේ මායාගේ දෑසට අවිහිංසක ලෙස එබෙමිනි.මායාට තවමත් තමා කළයුතු කාර්‍යය පැහැදිලි නැත... ඔහු පවසන්නේ කුමක් කරන්න කියාද..?
"මායා, මේක වැඩ කරන්නෙ ආවුරෝරා වරයෙක්ගෙ යහපත් සිතුවිල්ලක් එක්ක...ඕන දේ හිතන්න මේක පිරිමදිමින්..එතකොට ඒ දේ සිද්ධ වෙනවා.. "
" පොඩ්ඩක් ඉන්න...ඔයා කිව්වෙ ආවුරෝරා වැසියෙක්ගෙ සිතුවිලි කියල නේද ?..ඉතින් මන් පෘථිවි ජීවියෙක්නෙ..මන් කොහොමද ඕකෙ ශක්තිය භාවිතා කරන්නෙ."
මායා නැවතත් හරස් කැපුවාය.
ඒක ලොකු ඉතිහාස කතාවක් මායා.. ඒ ගැන කතා කරන්න මේක වෙලාව නෙමෙයි.
" බෑ..මට දැනගන්න ඕන..මොකක් ද ඒ කතාව..ඒක කියල ඉන්න....ඊටපස්සෙ වැඩේ ගැන බලමු..." මායාගේ කටහඬෙහි පවා ගැබ්ව ඇත්තේ විස්මයය.. ඇය ඇගේ ජීවිතයේ පෙර කිසි දිනක නුවූ විරූ ලෙස එකක් පසුපස එකක් ලෙස පැමිණෙන නො ඇදහිය හැකි සිද්ධීන් දාමයකට මුහුණ දෙමින් උන්නාය.. වික්ෂිප්ත වීම පුදුමයක් නොවන්නේ එහෙයිනි...එය කෙතෙක් දැයි කිවහොත් ආවුරෝරා ජීවියා සමඟ කතා කළ යුත්තේ සිතුවිලි වලින් බව පවා අමතක විය.. ඇගේ පාලනයෙන් තොරව පිටවූ වචන
කිසිවෙකුට ඇසුණාදෝයි බියක් ඇගේ සිතේ හටගත්තේ ක්ෂණිකවය...
" බය වෙන්න එපා මායා..කාටවත් ඇහෙන්න විදියක් නෑ දැන්.. කැටපත් මායාවෙන් පාලනය කරන්නේ ආලෝකය විතරක් නෙමෙයි ශබ්දයත්...අපිට ඒ දෙකම ශක්තීන් විතරයි ..ඉතින් ඔයාව කාටවත් පේන්නෙ නෑ වගේම ඇහෙන්නෙත් නෑ.."
ඇගේ සිතට සහනයක් දැණිනි..
" ඉතින් කියන්න, මන් කොහොමද ආවුරෝරා කෙනෙක් වෙන්නෙ..මන් පෘථිවියේ ...මගේ අම්ම තාත්තා පෘථිවියේ ...මගේ යාලුවො නෑදෑයො සේරම පෘථිවි වාසීන්...කොහොමද මං පිටසක්වළයෙක් වෙන්නෙ..නෑ..ඒකනම් කොහොමටවත් වෙන්න බෑ...මේක ඔයාට වුණ වැරදීමක් මං හිතන්නෙ.." මායා තදින් සිතුවාය...ඇගේ නෙත් පවා තදින් පියැවිණි...
ඇත්තටම මායා ආවුරෝරා වැසියෙක් ද?
ලබන සතියේ ඒ ගැන කියවමු