වෙනදට වඩා හිරු රශ්මියේ ද නැවුම් බවක් ඇතැයි ඔවුන්ට නොහිතුණා නොවෙයි. කාලෙකට පසු යළිත් සුදු ඇඳුම ඇඟ ලා ගත් විට දැනුණේ අමුතු මිහිරක් ය. අති රමණීය කදුගැටයක පිහිටි ඒ විදුපියස දකින විට ද ඒ සිත් ප්‍රීතියෙන් නටන්නට විය. අරලියා මල් සුවඳ එක්ක ම ගල්බැම්ම උඩ ඔවුන්ගේ බොහෝ මතක ඇති බැව් නොරහසකි. ඒ සොඳුරු දිවිය නැවැත පැමිණ ඇත. යළිත් ඒ දඩබ්බර ඒත් අහිංසක ජීවිතේ ඔවුන් ගල්බැම්මට එක් වූයේ බොහෝ කලකට පසුව නිසා කතා කරන්න බොහෝ දෑ විය.
ඒලෙවල් සඳහා පාසලට නවක සිසුන් බාර ගන්නා දිනය එදා ය. වෙනත් පාසල්වලින් උසස් පෙළට අලුත් ළමයි එන බවට සැකයක් නැත. අලුත් මුහුණු බලන්න අකමැති කවුද ? එක්කෙනා දෙන්නා පහළ සිට අරලිය ළන්ද දිගේ මාපිය සෙනෙහස මැදින් චකිතයෙන් එන දිහා බලා සිටීම ඔවුන්ට විනෝදයකි. ඒ ඔවුන්ගේ පාසල ය. එහි අයිතිකාරයෝ ඔවුහු ම ය. කවුරු ආව ද , ඒ ඔවුන්ට අවනත ම ය.
"සුදු පරෙවි රෑන සේ පියාසලා... "
"ඒ මහිමයෝ බලහංකෝ ඇඹරී ඇඹරී එන හැටි නාඹර ටිකිරි නගාලා... "
"අනේ ද කියන්නේ අචලයෝ බලාපංකෝ මාසෙකින් ටිකිරි කැකිරි තමයි . "
"ඔව් බං දැන් නම් මේ ම... " අචල අපූරුවට එය රඟපා පෙන්වීය. කාටත් ඔහුගේ කතාබහ මෙන් ම හැසිරීම ද මහත් විනෝදයක් විය.
"හ්ම්ම් හ්ම්ම් වසන්තයා ඇවිල්ල...පරණ කෙල්ලො දැන් දැකලා ම එපාවෙලා බං..."
"ඔව් බං හය වසරේ ඉදලා ම දැක්ක නේ. උන්ට දැන් ජෙලස් වෙයි. අපි මක් කරන්නද ඉතින් . ඒලෙවල් ඉතින් වෙන ලෙවල් වගේයැ."
"හරි බොලේ යාංතං මේ මාස ටිකේ කනක් ඇහිලා උන්නා. දැන් ඉතින් අචලගේ කන්කරච්චලේ ඉවසපං කෝ" ඔහු අතින් එකක් ඇන ඉවතට දිව්වා ය.
"අනේ පලයං මගේ තමයි ඉතින් කන්කරච්චලේ ..."
අල්ලාප සල්ලාප අතර ම සුළඟින් ගසාගෙන ආ සුවඳින් පිරි අරලියා මලක් දහම්ගේ පාමුල නතර විය. ඔහු ඉතා ආසාවෙන් එය අතට ගත්තේ ය. අරලිය ළන්දට... ඔහුට සිහියට ආවේය. අරලියා මල්වලට ඔහු ඉතා ප්‍රිය කළේ ය. හැමදාම උදෑසන පාසලට ඇතුළු වනවිට ම දැනෙන ඒ ඉමිහිරි සුවඳ මුළු දවසම ප්‍රබෝධවත් කරන්නේ යැයි ඔහුට සිතිණි.
සිහින් සුළං රැල්ලක් ගතසිත පිනවමින් හමා ගියේ ය. ආ දෑස් ඇසිපිය හෙළීම අඩපණ කළේ ය. තැත් කළ ද සමත් නම් නොවී ය. ඒ සිත නතර විය ඒ ඇස් අසපුවේ. නිදි නොලබා අනවරත ව තමා රසයෙන් කුල්මත් ව කියවූ නවකතාවල හමු වූ ඒ රුව. ඔව් එය මයි. ඔහුගේ සිත පුරා සක්මන් කළ ඇයගෙ අඩිපාරවල් මැකී නැත. පළමු වරට විදුලිය ඒ හරහා ගමන් කරන සැටි ඔහුට දැනිණි. ඔහු දෑස් පියා එය විඳින්ට රිසි විය. බැටරියකට වයර් සම්බන්ධ කරනවිට ම බල්බය ආලෝක වන්නා සේ අඳුරු හිත නව ආලෝකයෙන් පිබිදී ගියේ ය.
ආදරය සොදුරු අනතුරක්. කොයි මොහොතක කොහොම වේදැයි කාට කිව හැකි ද? නොහැක්කේ ම ය. මෙය අරුමයක් ද ? මායාවක් ද ? කුස රජුට පබාවතිය, දුෂ්‍යන්තට සකුන්තලා, සාලියට අශෝකමාලා මෙය ම නොවේද වූයේ. අල්පයක් කල්පයක් විය ඔහුට. ඔහු බැඳී අවසන් ද ? ඒ මොහොත ජීවිතය ම නොවේද ? හිමි වුව ද නැතිවුව ද ? එය ද ප්‍රේමය .
"සිතුවිලි කෙතරම් වේගවත් ද? සුවදායක ද ? "
"දැන් එතකොට දහම්ගෙ අදහස මොකක්ද ? "
"දහම්...දහම්...ඒයි උඹ අහගෙන ද ? මොකෝ බං මේ..."
"ඇත්තටම යකෙක් ගහල ද ? ආ...ඈ...දැන් මෙතැනින් ගිය පංච කල්‍යාණිය උඹට විද්ද ද බං...මාරයි ඈ...."
"විකාර ද...එක සැරෙන් එයාට පුළුවන් ද මේ ගල්හිත බිඳින්න..." ඔවුහු මහ හඬින් සිනාසුණෝ ය.
"ෂුවර් එකට ම ඊයෙ කියවපු පොතේ කොහේ හරි හිරවෙලා ඇති එන්න බැරුව. බලාපංකො මූනේ හැටි."
"ආදරේ නම් කොහෙත්ම වෙන්න බෑ ඇයි මූට ඒ නහරේ නෑනේ. කැපුව නේ. දහම්ජිත් චන්ද්‍රභානු එම් හේරත්. දැහැමි, පිවිතුරු සදාදරණීය ස්නේහවන්ත පුත්‍ර රත්නය..." ඒ අචලය.
ඔහු තිගැස්සී අවදි විය. අවට වූයේ කුමක් ද යන්න ගැන නිනව්වක් නැත. තමා කෙතරම් වේලාවක් මෙසේ සිටින්නට ඇද්ද ? සිහින් ලැජ්ජා සහගත හැඟීමක් සියොලග සිසාරා පැතිරෙන බවක් ඔහුට දැනුණා. කෙසේ හෝ එය සඟවා ගත යුතු යැයි සිතිණි.
"මොකක්ද බං දැන්වත් ඇහැක් දාලා බලපං. කෙල්ලෝ උඹට අරෙහේ නැහෙන්න හදනවා. අපි වේලෙනවා. සික් මේ අනංගයා. මූට බෑ අපේ දුක දිහා බලන්න ."
"අනේ ඕවා මට ඕන්නෑ. මෙහෙම හොඳයි. අනික මම ස්කෝලේ ළමයෙක්. ළමයි කියන්නේ උතුම් අය. පාසලේ ගෞරවය. ඒවා වැදගත් "
"මේ ඉතින් මෙයාගේ පඬි ටෝක්. ඕකනේ ඉතින් පණ්ඩිතයට ඒ දණ්ඩෙන් යන්න බෑ කියන්නේ."
"හ්ම්ම් උඹලා පලයල්ලකෝ. මම පීනල එන්නම්." ඔහු මඳ සිනාවක් ද සහිතව කීවේ ය.
"මේ උඹ ඒලෙවල් කොල්ලෙක් දැන්. තාම බබා කතා. ඕකත් ජීවිතේ කොටහක් බං"
"අනේ නිකා හිටිං. මට අරමුණක් තියෙනවා. ඉස්සෙල්ලා ඒක. ආදරේ ඕන්නෑ. එතකොට මතකය අඩු වෙනවලු. අමතක වෙයි ඔක්කොම. මම ශිෂ්‍යයෙක්."
"හිහ්හිහ්..... බලාපල්ලකෝ ඉතින්. එහෙනම් ඉතින් ඔහොම ඉදපංකො. ඕක පට්ටපල් බොරුවක්. මම හිතන්නේ. නැවුම් , ලස්සන , සුන්දර ප්‍රේමය මේක. ආදරය කරන එක වැරැද්දක් නෙවෙයි දහම්. සාහිත්‍යය කියවලා බලාපංකො අවුරුදු 16 තමයි ලස්සන ම. සිදුහත් කුමාරයා සරණ ගියෙත් ඒ කාලේ. ආයි මොනවද "
"මේ ඒවා මෙතැනට ඇදල ගන්නෙපා. ඒ ඉස්සර කාලේ. අනික ඉන්දියානු සමාජේ."
"උඹ දන්නවා ද පාසල් ප්‍රේමය ගැන. පාසල් ප්‍රේමයක් නැති කෙනෙක් හොයාගන්න බෑ . ප්‍රකාශිත ව හෝ නැති ව ආදරේ කරනවා. එහෙම නැත්නම් පිස්සෙක් ලෙඩෙක් තමයි ."
"වැරැද්ද ආදරේ කරන එක නෙවෙයි කරන විදිය. ගොඩක් අය ඕක වරදාගෙන. ඒක අතිශය සුන්දර හැඟීමක්. පාසල් ප්‍රේමය කියන්නේ බඳිනවා කියන එක නෙවෙයි. විඳිනවා කියන එක. ඒක අව්‍යාජ හැඟීමක්."
ආදරය , ප්‍රේමය සිහිනයකි. දුකකි. ඒවා නවකතාවල සුන්දරයි . ඒත් සැබෑ ලොවේ ඒ සුන්දර බව තිබේ ද ? ළං නොවන තාක් ආදරේ ඇත. හිමි කර ගැනීම ආදරේ හතුරා ද ? ඔහූ සිහි කළේ ය. සුන්දර පෙම්වතෙක් වන්නට ඇත්නම් . ඒත් අම්මා... පියා නැති ව සිහින කන්දරාවක් හිතේ තියාගෙන තමා උස් මහත් කළ සැටි. ඒ හිතට දුක් දෙන්නේ කොහොමද ? මේ හැඟීම් යටපත් කළ යුතුයි . ඔහු එසේ සිතන්න විය.
"අද නම් , මුගලන් හාමුදුරුවෝ අනන්තය හොයන්න ගියා වගේ මෙය ගොඩක් දුර ගිහින් ."
"ඒ නැගිටහං. මොකෝ මනෝ ගහන්නේ."
"නෑ...මේ... ඊයේ ලස්සන කතාවක් කියෙව්වා . අමතක වෙන්නෑ. මම තාම ඒකේ."
"ආ ඇත්ත ද ? හා ඒකෙ ම ඉදහංකෝ. මේ යාලුවො ටිකකුත් හොයාගන්න ."
"පිස්සු නෙවෙයි බං. ඇත්තටම කීවේ .
"මමත් කීවේ ඇත්තටම ."
මේ යාළුවො කෙතරම් සුන්දර ද ? කාලය ගිය ද ඒවා එහෙම ම ය. හයේ සිට එකට ආ හැටි . කරපු දේවල්. හොඳ නරක සියල්ල ම. අචල . මහිම, කුසුම් සිරා...ගීතානි, සකුන්තලා, රේඛානි, තමා ඒ හත් කට්ටුව ය. එකිනෙකාගේ හැකියා විවිධ ය. කවදාවත් ඔවුහු ඇත්තට අමනාප වී නැත. රණ්ඩු දබරවල නිමාවක් ද නැත.
*******************************
හ්ම්ම් දහම් .... එතකොට අර ආවේ කවුද දන්නෑ. එන්න මා එක්ක...
ලබන සතියට