"අත්ගුණේ තියෙනවා නම් වවන්න බැරියැ ඕන බෝගයක්" - එක්ව (නො)යන රේල්පීලී සයවන ගමන...(172 වන ලිපිය)

post-title

"යසවතියෙ ඔහොං පොඩ්ඩක් හිටුං"

"ඇයි මොකෝ අක්කේ"

"නෑ... ආං මැස්සෙ දඹල තියෙනව. දැන් නම් ගානට මෝරලා ඇත්තෙ. කඩාගෙන ම යමු.. මෙහෙං වරෙං ලිස්සලා යයි බලාගෙන වැලිපසනෙ.

"මම හරිම ආසයි අක්කේ මේවට. මැස්ස පුරා ම කරල් හැදිලා තියෙනකොට කියන්න බෑ සතුට."

 

"මගේ ජීවිතෙන් භාගයක් ගෙවුනේ මේවා එක්ක ඔට්ටුවෙලා තමයි. දැන් නම් ඉතින් ඕන කට්ට පොළොවක් කීකරු කරලා ගන්න මං දන්නවා ."

"තෙල් පෝර නැතුව අත්ගුණේ තියෙනවා නම් වවන්න බැරියැ ඕන බෝගයක්. පූරුවේ පින් මහිමෙ බං. හිටිංකෝ අද හදලා දෙන්නන් යස කෑමක්"

"ඒ මොනා ද ?"

"ඉරිඟු බත්වලට බූමැ ඇට හොද්දයි අගුණ කොළ මැල්ලුමයි. ඒකට ම දඹල ටික තෙල් දාලා ගත්තා ම ඉතින් දිව්‍ය භෝජනය පරාදයි "

"අනේ මන්දා අක්කේ, අපි නිසා අක්කලට ලොකු කරදරයක් උනේ. හිතේ මොන ගින්දරක් තිබුණත් බඩේ ගින්න නම් අගේට නිවුණා. එහෙදි පාන් ලෙල්ල ලෙවකනවා වගේයැ තුන් වේලට ම බඩ පිරෙන්න බත් එක්ක එළෝළු තුන හතරක් කනව කියන්නේ "

"ඒවා ගැන නම් අහිතක් හිතන්නෙපා යසවතියො. ඕං ඔය බේසම ඩිංගිත්තක් ගනිං කොරහයි මේ ටික දාන්න "

"කොච්චර හොඳයි කීවත් අපෙ හිතට නම් මදි. අප්පොච්චා ඉදිද්දී ගෙදරට එන ඕන ආගන්තුකයෙක් ආයේ යවන්නෑ බඩ කට පුරෝලා මිසක"

"හ්ම්ම් මට මතක් උනේ රොබොට් නොක්ස් ලියපු එදා හෙළ දිව. හෙළයො ඉතින් එහෙමනේ..."

"ඒත් බං දැන් කෝ ඒවා අපේ උන් ගාව. ගෙදරට මනුස්සයෙක් ආවට හිනාවෙලා කතා කොරන්නවත් දන්නවා ද අනේ"

"ඒක නම් ඇත්ත. ආ... මම අහන්නමයි හිටියේ තා පොඩ්ඩෙන් අමතක වෙනවා. බූමැ ඇට කියන්නේ මොනවද. මම ඇහුවෙත් අදමයි ."

"ආ බූම ඇට ද. අනේ ඒක පුදුම රහ මාලුවක්නේ. බූ මැ කියන්නේ කරල් ජාතියක්. හේන් ඔල තමයි හැදෙන්නේ එක කරලක ඇට හතරක් තියෙනවා. මම පෙන්නන්නම්කෝ නගාට. මෙහේ ඕන තරම් තියෙනවා. අපිට නම් ඉතින් හොඳට පුරුදු කෑමක්. අපෙ අප්පොච්චට නම් ඉතින් ඒවා තියෙනවා නම් ආයේ වෙන මොකුත් ඕන්නෑ."

"හ්ම්ම්ම් අක්කේ මේ..." යසවතී යමක් කීමට උත්සාහ කළා ය...

"ඔව් ...ඇයි මොකද?"

"නෑ මං මේ....කාරණාවක් කියන්න කියලා මයි උන්නේ ....හ්ම්...අනේ මන්ද ඒත් මේ කොහොමින් හරි අමතක වෙලා යනවා ."

ළා දඹල කරලක් මාපටැඟිල්ලේ නියපොත්තෙන් කොනිහමින් යසවතී එසේ කීවේ ඇගේ මුහුණ දෙස එක එල්ලේ නොබලමිනි.

"ඒ පාර මොකෝ..."

"අක්කා සිංහල වෙදකම ගැන මොකද හිතන්නේ. ඔය පිළිකා හොඳ කරනවා වගේ දේවල්. ඇත්තට ම එහෙම පුළුවන් ද? "

"යසවතී... යසවතී... උඹ ඔය මගෙන් ද බං අහන්නේ"

ඈ අවසාන දත් කිහිපය හොදින් පෙනෙන සේ හයියෙන් සිනාසුණා ය. තමා කීවේ නොකිවයුතු දෙයක් ද යන්න පිළිබඳ යසවතීගේ හිතට බියක් දැනෙන්නට විය. කොච්චර එකට ඇසුරු කළත් මිනිසුන් ගැන තේරුම් ගත නොහැකි බව ඇය දැන උන්නා ය.

"ඇයි අක්කේ ඔලොක්කුවට වගේ හිනාවෙන්නේ. මයේ අතින් නොකිවයුතු දෙයක් කියවුණා වත් ද?"

"අනේ නෑ නංගීයේ. එහෙම දේකට නෙවෙයි. බණ්ඩාරේගොඩ වෙද පරම්පරාව කීව ම හරි ප්‍රසිද්ධ බොලං ඉතින්. ඒ අපේ අප්පොච්චලාගේ පරම්පරාව. එයාගෙන් පස්සෙ ඒ සාස්තරය ගෙනියන්න කෙනෙක් නොහිටියේ අපෙත් මිනිස්සුන්ගෙත් කරුමෙට. එහෙම තමයි බං. ගොඩක් හොඳ දේවල් සමහර වෙලාවට නිකන් ම විනාශ වෙලා යනවා."

"ආ ඒක මිසක්..."

දිග සුසුමක් හෙළමින් ළය සැහැල්ලු කර ගනිමින් යසවතී කීවා ය.

"අපේ පුතණ්ඩියගෙ යාළුවෙක් ඉන්නවා ලු නුවර දිහාවේ. යස වෙද මහත්තයෙක් ඉන්නවාලු. වැඩි ප්‍රසිද්ධිය අකමැතිලු. හැබැයි එසේ මෙසේ කෙනෙක් නෙවෙයි ලු."

"හ්ම්ම් නුවර ද මමත් අහලා තියෙනවා කීපදෙනෙක් ගැන ඒත් නිච්චියක් නෑ. අපි වැඩිය වෙදකම පැත්තට බරවුණේ නෑනේ."

"දැන් නම් වයසලු. ඒත් බේත් ඔල ගුණේ නම් අඩුවක් නෑලු. යන්ත්‍ර මන්ත්‍රත් පුළුවන් ලු. පුතාගේ යාළුවාට ගෙනිච්ච බුලත් කොළ ටික බලල ගෑනු ළමයා ගැන තක්කෙට ම කීවාලු."

"ඔහොම වෙද්දූ ඉන්නේ හරිම කලාතුරකින්. සතපහක් නැතුව සේවය කරනවා. පෙරුම් පුරන බෝසත්වරු වෙන්ට ඕන ."

** ** ** **

දොර අරිනවා ද? නැද්ද?. කාගේත් සිත් නොසන්සුන්‍ ය. ඇත්තට ම කවුරුන් හෝ මේ පිළිබඳ ව දැනගෙන ඇද්ද? එහෙම වුණොත් නම් විනාශයි. තමාගේ උත්සාහය ගඟට කැපූ ඉනි මෙන් නිෂ්ඵල වනු ඇත. ඝන රැවුළ සිය දකුණතින් ඉහළ සිට පහළට අතගාමින් වෙද මහතා ගැඹුරු කල්පනාවේ ය.

"මහත්තයා මහත්තයා මොකද කරන්නේ ලෙඩෙක් ද දන්නෑ."

කිරි අම්මා ඔහුගේ කන් දෙකට හුයක දුරක් තරම් ළං වී කෙඳිරුවා ය.

"පිස්සු ද මොන ලෙඩ්ඩු ද? ලෙඩෙක් නම් කතා කරනවා. ඔය අරුන්. තව ඩිංගක් බලල දොර අරිනවා. "

බරසාර බවක් මවා ගනිමින් වෙද මහතා එසේ කියද්දී කිරි අම්මා නිහඬ විය. ඒ ඔහු යමක් කීවොත් එය එසේ ම වන නිසා ය.

දොර හා ගෙබිම අතර කඩදාසියක් එහා මෙහා යාමේ කුඩා ඉඩක් පවතී. ඉන් යමක් ඇතුළට පැමිණි බව නිහඬ බව හේතුවෙන් දැනිණි. ඒ වන විට චිමිණියේ දැල්ල ඇති නැති ගානට අඩු කර තිබුණි. කළුවරේ ම බර නොවූ පා තබා පෙරට ගිය වෙද මහතා එය අහුලා ගත්තේ ය.

"අටෙන් පස්සේ ලයිට් දාන්න තහනම් . දොර අරින්න බෑ. අපිට විරුද්ධ උනොත් ඒ මාරයා වේවි..."

යාංතං වැඩි වූ ලාම්පු දැල්ල ද කරබා ගත්තේ ය. මෙය තමා සම්බන්ධ නොවූ පොදු කාරණයක් වූ නිසා වෙද මහතාට නම් පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්නට විය.

තමා රෝගියෙක් බේරගන්න නොකරන දෙයක් නැත. ඒත් අමු අමුවේ මිනිස් ජීවිත කෙසේ නම් කපා කොටා විනාශ කරනුයේ ද?

 අරගලය විය යුත්තකි. තරුණයා ප්‍රකෝපකාරි ය. එය ගින්දර හා සමාන නොවේද? ළිපගිනි මොලවා රසවත් බතක් පිස ව්‍යංජන සාදා කෑ හැකි ය. ඒ ගිනි හුළක් පොල් අතු සෙවිලි කළ පැළකට වැටුණොත් ... තරුණයා ද එබඳු යැයි ඔහු කල්පනා කළේ ය.

චේ ගුවේරාට, ලෙනින්ට තමා කෙතරම් ප්‍රිය කළා ද, එහෙත් අරගලය අප නියම විදියට හඳුනා ගත්තා ද ? විසම පා යොදා මේසයක් තැනීමක් නොවෙද මේ සිදුවන්නේ. අරගලය යනු කුමක් දැයි මේ ගමේ ගොඩේ බයියං අසාවත් ඇද්ද ? සිය සිරුරේ ලේ ධාතුව වේගයෙන් එහා මෙහා යන සැටි ඔහුට මනාව දැනිණි.

ඔරලෝසුවේ තත්පර කටුවට පමණක් මේ කිසිම වගක් නැත. එය තමාගෙ සුපුරුදු රාජකාරියේ ය. පාසල් සිසුන් ඉගෙනගන්න විට ඇරුණු විට තමා සිටින බව දැනෙන්නේ මෙවන් ගොලු වී තැතිගත් මොහොත පමණක් යැයි සිතෙනවා ඇත.

"සුගුණපාල සුගුණපාල උඹ ඉන්නවා ද අහලක."

"ඔව් වෙද මහත්තයෝ. ඇයි? "

"පොඩ්ඩක් එහාට මෙහාට වෙලා බලහං උන් ගිහින් ද කියලා. මට පොඩි කෙමක් තියෙනවා. එළියට බහින්න විදියක් නෑ නොවැ."

** ** **

නුවර නගරයට කිලෝ මීටර විසිපහක දුරින් පිහිටා ඇති මෙය තවමත් තොරතුරු සොයා නොගත් අභිරහස් ලෙනකි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා හා සබැඳි අපූරු පුරාවෘත්තයක් ගැබ් වන බවද ගැමියන්ගේ විශ්වාසය වේ. නොයෙක් රාත්‍රී කාලවල ස්ත්‍රියක ඉකිගසා හඬන ශබ්දය ඇසෙන බවද එය මහා බෑගිරියක් දක්වා වේගවත් ව ඇසෙන බවද ගැමියන්ගේ අදහස වේ. අපි ගියා එහි සුලමුල සොයා එන්න අදත් හෙළබිම අසිරිමත් අක්මුල් සොයා පියවර මනින්නට... මේ 'භ්‍රාන්තියේ හෝරාව' ඇස් වසා බලන නූතන ටෙලිවිෂන් මායා බිඳහැරුම...

රශ්මික වහා ම චැනලය මාරු කළේ ය.

"ඒක දාන්න ඔය මොනවද කරන්නේ ..."

පුදුමයකි. රසංජන ද සූරී ද එක් වර එක ලෙස එක ම වදන් පැවසූහ. එකිනෙකා මුහුණට මුහුණ බලා ගෙන මොහොතක් බොහෝ දේ කතා කළහ...

..............................................................................

ඒ හෝරාව ළඟඳිම...ඉන්න ඔහොම ම...



ලබන සතියට

Top