"රහසිගතව කරාට මේකට රාජ්‍ය අනුග්‍රහය තියෙනවා" - කාලසරන්නී 06 කොටස

post-title

"මායා, මේක අවුරුදු පහක ප්‍රොජෙක්ට් එකක්. තව අවුරුදු තුනකින් ඉවර වෙන්න තිබුණු මේකේ සම්පූර්ණ එකලස් කිරීම ඉවර කරලා ව්‍යූහාත්මක වැඩ ටික ඉවර කරන්න අපි ඇස්තමේන්තු කරේ අවුරුදු දෙකයි. ඒ සැලසුමට අනුවම අපි ඒ දේ කරලා ඉවරයි. මේ ව්‍යාපෘතිය අපි මේ කෑම්ප් එක ඇතුළෙ රහසිගතව කරාට මේක ඇත්තටම රාජ්‍ය අනුග්‍රහය ඕනාවටත් වඩා ලබන පෞද්ගලික ව්‍යාපෘතියක් කිව්වොත් හරි. නම් ගම් විස්තර දැන ඉඳීම අපිට ප්‍රයෝජනයක් වෙන්නෙ නෑ කොහෙත්ම ..."

"මේක තව අවුරුදු පහකින් ඉවර කරන්න හිටියේ මේකට අත්‍යාවශ්‍ය වන මූලිකම පර්‍යේෂණ කටයුත්තකට සාධාරණ කාලයක් ලබාදෙන්න ඕන නිසා... පෘථිවියේ සිදුවෙමින් පැවතුණ අසීරුම පර්‍යේෂණය කියල හැඳින්වුණේ ඒක අවිවාදෙන්ම.."

"ඒත් තත්වය උඩුයටිකුරු වුණා අහම්බෙන් අහපු ප්‍රවෘත්තියක් නිසා මායා... අපි මෙතන අවුරුදු ගාණක් බලන් ඉන්න තත්වෙට ඇදලා දාපු ඒ සොයාගැනීම හරි පුදුම විදියට එතරම්  නොදියුණු විද්‍යාගාර පහසුකම්වත් හරියට නැති රටක අවුරුදු විසි ගාණක කෙල්ලෙක් හොයාගෙන තිබුණා. ගිය සතියේ අපි දැනගත්තෙ ඒක.."

ගජනායක මායා දෙස නෙත් හෙළමින් පැවසුවේ දැඩි සතුටකිනි..

" ම.. මං..මං...එතකොට...එත..."

"ඔව් මායා..ඔයා තමයි ඒ.."

"ඔයාගෙ සොයාගැනීම මුලු ලෝකෙටම මිල කරන්න බැරි සොයාගැනීමක්. ඒත් මායා ලෝකෙ ඒකෙන් ප්‍රයෝජන ගන්න තව හුඟාක් කල් යයි. ඒත්, ඇත්තටම එහෙම නෙමෙයි. වැඩ ගන්න අය ඉන්නවා.. රහසිගතව... ඔයාට දැන් තේරෙනව ඇති මොකක්ද වෙන්න ඕන කියල .. අනික මායා.. මං මෙතන එක ව්‍යාපෘති අධ්‍යක්ෂක කෙනෙක් විතරයි .. ඔයා සම්බන්ධ වැඩේදි ඔයාව මට බාරදුන්නට මෙතන මාත් රූකඩයක් විතරයි කියල මතක තියාගන්න මායා... ඒක තමයි ඇත්ත ..."

" හරි , ඔයා කියන්නෙ දැන් මං මේ යානය ක්‍රියාත්මක කරන්න ඕන කරන අපේ අමුද්‍රව්‍යය මගේ ක්‍රමේට හදලා මෙයාලට දෙන්න ඕන.. එතකොට මෙයාලට පුලුවන් අවුරුදු තුනකට කලින්ම මේ ප්‍රොජෙක්ට් එක ඉවර කරලා මේක අත් හදා බලන්න ඉක්මනට... "

"එහෙමනෙ ? "

"ඒත් මේක නිකම්ම කාල තරණ සිද්ධාන්ත අත් හදාබැලීමක් වෙන්න විදියක් නම් නෑ ගජනායක .. මේ යානාව වුණත් හරිම වෙනස් අරමුණකින් හදල වගේ පේනවා.. ඒක අමුතු නැද්ද ටිකක්..?"  

ඇගේ සුපරික්ෂාකාරී දෙනෙත් වලින් කිසිවක් වසං කළ නොහැකි විය.

අනික, මේ ඉක්මනට අත් හදා බැලීමකට සුදුසු කාලයක් එන එකක් නෑ.. දැනට තියෙන නීතී රීති යටතේ වුණත් මේක නීති විරෝධී දෙයක් වේවි.. මොකද අන්තරාදායක අභ්‍යවකාශ ව්‍යාපෘති වල නියැළීම හා අත් හදා බැලීම් වලට ලෝකෙ පිලිගත්ත නීති රීති තියෙනව... අනික මේක සංකල්පයක් විතරමයි තාම.. මීට කලින් මේක කරපු කෙනෙක් නෑ...ඉතිම් .."

" ඇති මායා ඔය...මං කලිනුත් කිව්ව වගේ මේ ගැන අනවශ්‍ය කතා අපි දෙන්නටම හානියක් කරන්න තියෙන ඉඩ වැඩියි .. අනික් කාරණේ තමයි , මේක දැනටමත් සාර්ථකත්වය අත් හදා බලපු ව්‍යාපෘතිය ක්..." ගජනායක කීවේ මායාගේ ඇස් උඩ ඉන්දවමිනි..

" මොක..ක්...ද කිව්වේ.. දැනට..මත්...අත් හදා බ.. බලපු..?"

"ප්‍රති පදාර්ථ නැ...නැතුව...? "

මායා...උත්තර දෙන්න බැරි ප්‍රශ්න අහන්න එපා.. මං කිව්වෙ ඇත්ත .. ඒක වුණ විදිය අහන්න එපා..

මොනවා වුණත් අපිට ඔයාගෙන්  ඕන තව ග්‍රෑම් කීපයක් විතරයි ... ඒක නම් මේ පර්‍යේෂණාගාරය ඇතුළතදිම හදන්න ඕන.."

මායා තවත් පැටලෙමින් උන්නාය... "මේ මනුස්සයා කතා කරන්නෙ  නිකම් මං කලිනුත් මුන්ට මගේ හොයාගැනීම විකුණුවා වගේනෙ.."

මොකක්දෝ නුහුරු සැකයක සේයාවක් ඇගේ සිතේ මතුව නැතිව ගියේ ක්ෂණයකිනි..

"මාව ගෙනාව එකේ මුන්ට මගේ සාම්පල් එකත් උස්සන එක නම් ගේමක් නෙමෙයි ...ඒත් නෑ 

නෑ එහෙම වෙන්න විදියක්.නෑ... ඒක මගෙ ලැබ් එකේ ඇති ..." විවිධ සිතුවිලි රැසක් ඇයට වද දෙන්නට විය..

 

                                                                         *  *  * 

මායා මෙහි විත් දෙවෙනි දවසට එළි වෙමින් තිබුණි.. ඈ ඇගේ කාර්‍යය සඳහා සැරසෙමින් උන්නාය.. හමුදා භටයින් කිහිප දෙනෙක්ගේ ද සහය ඇයට හිමිව තිබිණි..

වේලාව මධ්‍යහන දොළහට ආසන්න වෙමින් පැවතිණි.. සාමාජිකයන් කිහිප දෙනෙක්ගෙන් සැදුම්ලත් විද්වත් එකතුවක් විටින් විට කාමරයට ඇවිත් යන්නට වූයේ සියල්ල පරීක්ෂා කිරීමට මෙනි.

මඳකට කාමරයෙන් එලියට යන්නට මායාට සිත් විය.. එහෙත් මින් පිටවීම ද තහනම් ය.

ඇය එහි කෙළවරක වූ පුටුවකට වැටුණේ ඉඳගන්නටය.. ඒ අසුනේම කෙළවරක වූ කාගේ හෝ මුදල් පසුම්බියක් ලිහී එහි තුළ තිබූ මුදල් හා බිල්පත් කිහිපයක් අසුන මතට හැලෙමින් තිබෙන බව ඇය යන්තමට දුටුවාය..

කාගෙ වුණත් පව්නෙ..ඇය ඒ සියල්ල අතට ගත්තේ නැවත දැමීම උදෙසාය..

ලබන සතියට

Top