ලැජ්ජා නැද්ද ගොම්මනේ ගෑනු නාන තැන්වල බලා ඉන්න - එක්ව (නො)යන රේල්පීලි (සිවු වන ගමන)

post-title

"ඔව් මට අදහගන්න බැරි උනා. අනේ ! මොහොතකින් එයා අතුරුදන් උනා. මම නැගිටලත් බලාහිටියේ තවත් හීනයක් කියලා ."

"ඔයා හිතන්නෙ රසංජන කියන්නේ එයා කියලා ද ..."

"මට තාම කිසිම දෙයක් හිතාගන්න බෑ. ඊට පස්සෙ මට යමක් දැනුණා. දරුවෙක් ලැබෙන්න ඉන්න ලක්ෂණ. එතකොට අවුරුදු හතලිස් අටක් මට "

"ඔයා හිතන්නේ ඒක අහම්බෙන් උනා කියලා ද ... මේ මේ..."

"නෑ නෑ ඒ වෙනකොට අපි දරුවෙක් බලාපොරොත්තුවෙන් තමයි හිටියේ. සතියකට දවසක් දෙකක් අපි එක් උනා. එහෙම ප්‍රශ්නයක් තිබුන් නෑ. අපි දෙන්න ම හොද ශරීර සෞඛ්‍යයෙන් හිටියා කියලා විශ්වාසයි. ඒත් ඊට එහා ගිය දෙයක් උනා කියලා මට දැනුණා."

"ඒ කියන්නේ එයා ඔයාගේ බඩට ආවා කියලා නේ."

"ඔව්... මම ඒ වගේ දේවල් කියවලා තියෙනවා. අනික ගන්ධබ්බ පැමිණීමක් නැතිව කායික එක්වීමක් වෙච්ච පලියට දරුවෙක් පිළිසිඳගැනීමක් වෙන්නෑලු. කර්ම පල දීම කියන්නේ ඒකලු"

"හ්ම්ම්... හරිම ගුප්ත කතාවක් "

"ඇත්තටම අපිට ඒකෙන් සතුටක් ලැබුන්නෑ ඒ කාලේ.. මේ දරුවා නො ඉපදුණා නම් හිතපු වාර අනන්තයි."

"ඇයි අක්කේ ඒ මොකද ඒ වගේ දේවල් ආයෙත් උනා ද ?"

නිර්මලීගේ කුතුහලය එන්න එන්න ම වැඩි උනා.

"නෑ එහෙම උනා නම් ඉවසන්න තිබුණා"

"මේ දරුවා හරිම වෙනස්. පුතෙක් කියලා හිතුනෙ ම නෑ. ඇග රන්පාටයි. දිලිසෙනවා. අපි දෙන්න ම වගේ නෑ..."

"ඉතින් හරිනේ අර ළමයා වගේ ඇති නේ."

"ඔව් ඇරපු අතක් නෑ. ස්වයංජාත කතාවෙ වගේ දෙයක් තමයි උනේ. මම එදා තමයි ඕවා විශ්වාස කළේ. ඒ ළමය ම තමයි. මට පුදුම ඇයි කොල්ලෙක් උනේ කියලා. ගමේ තැන තැන කයිකතන්දර ගියා. මහත්තයා හිටියේ ගොඩක් දුකින්. මොකද එයා මාව පණ වගේ රැක්කා. මට කතා හැදිච්ච එක එයාට දරාගන්න බැරි උනා"

මේ සංසාරේ හරි පුදුමයක්. අපට තේරෙන්නැති දේවල් කොච්චර තියෙනවා ද? සමහර වෙලාවට කවදාවත් දැකපු නැති කෙනෙක් දැක්ක ම මහා පුදුම තරහක් එනවා. ඇයි කියලා තේරෙන්නෑ. තව සමහර අය ළඟ ම අය වගේ. පුදුම ආදරයක් ඇති වෙනවා.

"අක්කේ ප්‍රශ්නයක් අහන්න ද "

"අහන්න නංගී "

"එතකොට අර ළමයා... හ්ම්ම් රසංගනී..."

"හ්ම්ම්... පුතාට රසංජන කියලා දැම්මෙත් එයා නිසා. අපි ගියා එයා බලන්න .."

ඈ සිය සුරතින් මුව වහගත්තා. ඇස්වලින් කඳුළු හෝ ගාලා ගලාගෙන ගියා

"ඇයි අක්කේ මේ. ඉතින් අඬන්නෙපා ඔයා " නිර්මලී ඇගේ හිස හෙමීට පිරිමැද්දා.

"'දන්නෑ නංගී මොකක්ද අමුතු බැඳීමක් ඒ දරුවා එකක් ඇති වෙලා තිබුණා. ඒ ගෙවල් වහලා දාලා වෙච්ච දෙයක් කවුරුවත් දන්නෑ. මිනිස්සු එක එක කතා කිව්වා. මහ පුදුම දේවල්"

"ඒ කියන්නේ ..... එයා ..?? "

"අනේ මන්ද මට හිතක් නෑ ඒවා මතක් කරන්න. මහත්තයා හොයපු නැති තැනක් නෑ"

"මට පොඩි සැකයක් තියෙනවා "

"මොකක්ද නංගියේ "

"හ්ම්ම්... ඇත්තටම ඒ ළමයා මැරුණා වෙන්න බැරි ද? එයාට හිතෙන්න ඇති ඔයාගෙ කුසේ උපදින්න"

"ඔව් අපිටත් ඕක හිතුණා. ඒත් ඒක තාම අභිරහසක්"

"රසංජනගෙ අමුත්තක් තිබුණෙ නැද්ද ?"

"තිබුණා. ගොඩක් දේවල් .. "

ඈ එහෙම කීවා විතරයි...

"අප්පේ මොකක්ද බොලේ මේ සතරකම් මන්ත්‍රණය මම දැන් ටික වෙලාවක ඉදන් බලා උන්නේ"

"මේ සුමනෙ අයියට ලැජ්ජා නැද්ද ගොම්මනේ ගෑනු නාන තැන්වල බලා ඉන්න"

කව්ද යසවතියෝ නාන්නේ. බොලා මේ ගල උඩට වෙලා ඕපාදූප කියවනවා නේ. මේ දැන් කළුවර වැටේවි. විජහට නාගෙන ගියා නම්"

"නෑ මේ අපි ඒ කාලේ ගැන කතා කොලා. දන්නැද්ද ඉතින් කතාවෙන් කතාව වෙලාව ගැන දැනුණෙ ම නෑ "

"ඒක නම් පෙනුණා. දෙන්න ම මෙලෝ සිහියක් නැතිව ඉන්න හැටි දැක්ක ම... "

**** ***** ****

සූරී හිටියේ ගොඩක් දුර ගිහින්. රශ්මික කතා කරනවා ඔහුට ඇහුණේ නෑ. ඇත්තටම තමා කව්ද යන ගැටලුව දැන් උග්‍රව දැනෙන්න පටන් අරන්. ධර්මසිරි සොයා යා යුතු යැයි ඔහුට හිතුනා. ඔහු නොවන්නට සූරී කෙනෙක් නැත. ඒ බිහිසුණු අතීතය සොයා යෑම කළ යුත්තකි. නිතර නිතර හිත යට කැකෑරෙන ඒ අමුතු දේ සොයා යා යුතු යැයි ඔහු දැඩි ලෙස සිතා ගත්තා.

**** ***** ****

ධර්මසිරි ...ධර්මසිරි ඒකනායක. එයා එතකොට වැඩ කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ. ඒ 88-89 භීෂණ කාලය. හැමෝම ජීවත් උනේ මරණ බයෙන්. කොයි මොහොතක ජීවිතේ නැති වෙයිද කියලා විශ්වාසයක් කාටවත් තිබුණේ නෑ.

එදා උදේ පාන්දර කොළඹ යන්න හුළු අත්තකුත් පත්තු කරන් හීතලේ ම වෙල්‍ යාය දිගේ යනකොට තමයි ඔහු හමු උනේ. ඒ දවස්වල තැන තැන ඕනතරම් මිනී තිබුනා. මහා නරක කාලයක්. සමහරුන්ගේ බෙල්ල කණුවල තියෙද්දි කඳ වෙන තැනක. කළුවරේ ම කකුල යමක වැදිලා මඩ ගොඩේ ම වැටුණා. අතේ මඩ ටික පිහිදාන්න ගියා ම තමයි දැක්කේ ඒ ලේ කියලා. ධර්මසිරිට ඇති උනේ වචනයෙන් කියන්න බැරි විදියේ බයක්.

ගමේ තව කෙනෙක්. කවුරු විය හැකි ද ? හමුදාව දැන් කොයි මොහොතක හෝ කඩා පනිනු ඇත. මොකද ඒ කාලේ හමුදාවනේ පාලනය කළේ.

හුළු අත්ත දෙපාරක් තුන්පාරක් වැනුවා. එළිය වැඩි උනා. පිරිමියෙක් . ඔහු ඉක්මනට පපුවට අත තියලා බැලුවා. දෙයියනේ පණ ගැහෙනවා. මිනිස් ජීවිතයක්. කොළඹ යන ගමන පැත්තක තියලා හනික වාරු කරගෙන මීගහවත්ත පැත්තෙන් ලෙඩාව අරන් ගියා.

"වෙද මාමේ... වෙද මාමේ... ඉක්මනට දොර අරින්න. මම ධර්මසිරි "

ඒ දවස්වල කවුරුවත් මොන හේතුවකටවත් රෑට දොර වැහුවම ආයේ සම්මජ්ජාති අරින්නෑ. ධර්මසිරිට සෑහෙන වෙහෙසක් ගන්න උනා ඒක කරන්න.

"මයෙ අප්පේ මේ මොකෑ? කව්ද ළමයො ඔය?"

"අනේ මන්දා. මීට කලින් දැකලා නම් නෑ. ඒත් කවුරුහරි මනුස්සයෙක් නේ. කොහොමෙයි අහක බලාගෙන යන්නේ. පණ කෙන්ද තාම රැකිලා තියෙනවා"

"කෝ මේන් මෙහාට ගෙනාව නම් , සුගුණපාලයෝ... සුගුණපාලයෝ... වරෙන් ඉක්මන් කොරලා"

ඉස්සරහ පිල උඩ පැදුරෙ උඩුබැලියන් අතට හාන්සි කළා. වෙද මාමා දකුණතේ මාපටැඟිල්ල හා දබරැඟිල්ල ඇහැට තියලා අරවලා බැලුවා

"ගොඩක් ලේ ගිහින්. ඔය ළමයා ලොකු පිනක් කරගත්තා කියලා හිතාගන්නකො. මං දන්න වෙද සාස්තරය හැටියට ගොඩදාන්න පුළුවන්. හැබැයි මේ ගැන කටේ කෙළ බිදක් හොලවනවා එහෙම නෙවෙයි. දන්නවා නේ .. රටේ තත්ත්වය"

"ඔව් මටත් දැන් කොළඹ යන්න බෑ මාමේ. මොනවද වෙන්න ඕන "

"බැද්දට රිංගන්න වෙනවා. ඒක තමයි අමාරු වැඩේ. කැරැලිකාරයො ඔය බැද්දෙ ඉන්නවා කියලා තමයි ආරංචිය "

"හරි මාමේ.. මම යන්නම් සුගුණපාල එක්ක. මොනවද ඕන කියලා කියන්න. දැන් ගෙදර යනවා. උදෙන් ම එන්නම්කෝ"

සිදු උනේ කුමක්දෝ ? හාත්පස තවමත් අඳුරේ ය. මේ අඳුර විතරක් දන්න රහස් කොපමණ ඇද්ද? මිනිස් ජීවිතය අඳුරේ එළිය සොයන්නක් නොවේද ? අඳුර එළිය හරි පුදුමාකාරයි. මොහොතකින් එළිය අඳුර විය හැකිය. මේ අඳුර ම හිරු පායා ආලෝකය නොවන්නේ ද...? ඔහු අඳුරේ ම නිවස වෙත පියමැන්නේ දාහක් සිතිවිලිවලින් හිත පුරෝගෙන.

..............................................................................

එන්න අපි ඒ අඳුරේ ම ගිහින් ආලෝකය සොයමු.

ලබන සතියට

Top