"ආ... චූටි මහත්තය, උඩහ කෑල්ලේ කුරුදු තළන අය හෙට ඒවී. කාමරේ පොඩ්ඩක් සුද්ද කරලා තියන්න. දන්නවානේ ඔයා ඉතින්. " "හෙට...? හ්ම්ම්" "ඔව් දැන් ඒවා කපන්න කාලේ හරි. මෙහේ හැමෝට ම ඇත්තෙත් නෑනේ එහෙමකට කියලා කුරුදු. උඹලගෙ වාසනාවට ලැබිච්ච දේවල් ඕවා. ඕවත් නොතිබුණා නම් අම්මා කොහොමද ඔයාව උස් මහත් කරන්නේ. " "ඉතින් මාමේ, අම්මා අසනීපයෙන්නේ. කොහොමද එයාලට ... " "ඒක ප්‍රශ්නයක් කරගන්නෙපා. ලීලම්ම ඒවී. අම්මට ඇවිදින්න විතරයි නෙ බැරි. ඔයා තාම දන්නෑ ඩිංගිරි ගැන. මම දන්නවා නේ ඉතින්. හ්ම්ම් පලයං කෝ එහෙනම් ඉතින් කිව්ව ම" **** **** **** හිරු රැස් වැටී ඈත කඳු යාය වර්ණගැන්වී ඇත. මීදුම් රැල්ල තවමත් අව් රශ්මිය සමග තියුණු සටනක ය. කොයි මොහොතක හෝ ඔහුට ජය දී යා යුතු ව ඇති බව දැන දැනත් උත්සාහය අත් නොහරින සෙයකි ඒ කඩිසර සිහිල් මීදුම් රොද. "ඒ...මොකෝ මේ උදේ ම සාහිත්‍යය සාගරේ ගිලුණ ද. මහා සාහිත්‍යවේදියාණෙනි," " ඈත සෙමින් සෙමින් කුරගගා එන සීතල හා සටන් වදින අව් රැල්ල බයේ පලා යන මීදුම් ප්‍රවාහය තනි වූ මගේ අහිංසක හිත..." "හඃ හඃ...මොකෝ බං ඈ උඹත් කවියෙක් වෙලා වගේ." "නෑ සිරෝ බලාපං මෙයා උදේ ම මුනිවත රකිනවා." "අනේ කරුණාකරල ටිකක් නිදහසේ ඉන්න දීපං කෝ." "මොකක්...නිදහසේ...මේ මොකෝ මේ .අපොයි !" "උඹලට තේරෙන්නෑ මගේ වේදනාව." "අපිට තේරෙන්නෑ ! හහ් ! උඹේ වේදනාව. මොනවද බං.මේ කියන්නේ. ඉතින් තේරෙන්න කියහංකෝ ." "ඊයේ අම්මා යද්දී වැටිලා කකුල පෙරළිලා. ඇවිදින්න බෑ. කොහොමද බං මම සතුටින් ඉන්නේ." "ඉතින් ගොඩක් අමාරුයි ද. පුපුරලා එහෙමද ඇටේ." "නෑ නෑ වෙලාවට එහෙම මොකුත් නෑ. ඒත් එයා එක තැන ඉන්නවා බලා ඉන්න බෑ ." "එහෙනම් අහක බලා ඉදපං. " කොහේදෝ සිට පැමිණි අචල දයානුකම්පා විරහිතව කිව්වේ ය. "ඒ ඒ අචලයෝ, මෙයා අවුලෙන් උඹ ඒකත් විහිළුවක් කරගත්තා ද ?" "කවුද බං විහිළු කරන්නේ. මේවා විහිළු නෙවෙයි. එහෙනම් අහගනිං." "අචල නිකා ඉන්න. වෙන දෙයක් කතා කරමු." ඔහු දෙතොල් අතර දබරැඟිල්ල තබා සියලු දෙනා සිය අණසකට යටත් කරගත්තේ ය. "අපි අදුරන්නේ පොඩි එකා කලේ ඉදලා. දහම් ගැන මම හොදට දන්නවා. මම කොහොමත් මේක කියන්න හිටියේ. හැංගිහොරා කතා නෑ මගේ. ඔයා අම්මට පණ කියලා ආයේ කියන්න ඕන්නෑ. ඔහොම පොඩි දෙයක් උනා කියලා ජීවිතේ ම නැති වෙච්ච ගානකට කලකිරෙනවා නම් අම්මා තේරුම් අරන් නෑ ඔයා. එයා උත්සාහ කරන්නේ උඹට ශක්තිය දෙන්න, දරාගන්න උගන්වන්න. මෙහෙම තාන්තුවා වෙන බව දැනගත්තොත් එයා මානසික ව ඇද වැටෙනවා." "ඒ උඹ හරි. ඇත්තටම හරි ." "මේ ඉවර නෑ. ඉදින් ඔහොම ." "අචල , ඒත් මට මතක් වෙනකොට වාවගන්න බෑ. යන්න හිතෙනවා. ළඟින් ඉන්න හිතෙනවා ." "ආ ඇත්ත ද. පලයං. මේ හිතන්න. කිසිම දේකට වැඩි සෙනේ හොඳ නෑ. ඒක දරාගන්න බෑ නැති උනා ම. මතක තියාගන්න. මොන ප්‍රශ්න තිබුණත් ඒ ඒ තැනදි ඒ ඒ අවස්ථාවේ ඉන්න ඕන. දැන් ඉන්නෙ ස්කෝලේ. ගෙදර නෙවෙයි. ඒ මොහොතේ ඉන්න. ගේට්ටුවෙන් එනකොට ඕවා තියලා වරෙන් බං." "හා අචල උඹට අද මගේ ගානේ දවල් කෑම. ඇත්තටම ආඩම්බරයිනේ. ඒක වටිනවා ගොඩක්." සකුන්තලා අත්පුඩි ගැසුවා ය. "මේ උඹලත් ආව ද." "ඇයි නරක ද ? නෑ අහගෙන හිටියා බාධා කරන්න හිතුන්නෑ. වැදගත් දෙයක් කාලෙකින් නේ මෙයා ඉතින්." "අනේ මේ..." **** **** **** "මම හිතනවා මේ පාර ආර්ට් එකට ඇවිත් ඉන්නෙ වැඩක් කරන්න පුළුවන් ගැම්ම තියෙන දරුවෝ ටිකක් කියලා. මගේ හිතේ ලොකු අදහසක් තිබුණ කලා උළෙලක් කරන්න. ලබන සතියෙ කලා සංගමය පත් කරනවා. මට ඔයාලගෙ සම්පූර්ණ සහයෝගය ..." ඔහුගේ දෙනෙත් ආකස්මික ව ම ඒ දෙනෙත් හා යා විය. මොහොතකට සිරුරෙන් සිත ඉවත් වූවා සේ දැනිණි. තමාට තමා පාලනය කරගන්න බැරි මේ සිතුවිල්ල ඔහුට තවමත් ප්‍රහේලිකාවක් . ඇත්තට ම ආදරේ කියන්නේ කුමක් ද ? මායාවක් ද ? මිරිඟුවක් ද ? සතුට සේ පෙනි පෙනී සිත තව දුකට පත් කරන්නක් ද ? සිය මවගෙන් එහා මේ සිත දුවා නැත. පෙරදා දෙගොඩහරිය වනතුරු සිත උභතෝකෝටිකයක ය. එක් පසක මව ය. අනෙක් පසින් එක් දිනක් දුටු යුවතියකි. ආදරේ කිරන්න මනින්න බැරි , හසු නොවන යථාර්ථය හා පරිකල්පනය අතර පවතින සුන්දර සිතුවිල්ලක් යැයි ඔහුට දැනිණි . එක්වර ම ඈ ඔහු දෙසට හැරිණි. ඔහු දෑස් ඉවත් කරගැනීමට දැරූ තැත ව්‍යර්ථ විය. ඒ මොහොතක, මොහොත කල්පයකි. තත්පරයකට හමු වූ දෑස් ආත්මගත විය. දින ගණනක් හුදෙකලාව සිතීමට අවැසි දේ ඒ කතා කළ නයන යට සැගවී තිබුණා නොවෙදැයි ඔහු සිතන්නට විය. "මම හිතනවා දහම් මේ වැඩේ දී මූලික වෙලා වැඩ කරයි කියලා. කොහොමත් දහම් කියන්නේ කලාගාරයක් නේ. නේද." ඔහුට කිසිවක් ඇසුණේ නැත. මහිම වම් ඉලේට වේගයෙන් ඇන්න ඇගිලි පහරින් පියවි සිහියට ආ ඔහු දඩස් ගා නැගිට්ටේ එසේ කිරීමෙන් මෙසේ වන නිසා ය. ඒ ඔවුන් පෙර සිට අනුගමනය කළ පිළිවෙතකි. අවධානයක් නැති විට ඇඟිල්ලෙන් ඇන්නොත් නැගිටීම සිරිතකි. "ආ ඔව් සර්..." සියල්ලෝ ම ඔහු දෙස හැරී බැලුවේ ඒ ස්වරයේ වූ තීව්‍රතාව වෙනස් නිසා ය... **** **** ***** දහම්ට මොනවා කියාවි ද සර්.... දන්නෑ නේ... එන්න ලබන සතියටත්...