මේක මිහිපිට මිනිසෙක්ට කවදාවත් නොලැබෙන අනගි අවස්ථාවක් 11 වන කොටස (218 වන ලිපිය)

post-title

කාල සරන්නිය



"ඒ පාර මේ මොකක්ද මෙයා කියන්නෙ..?"

මායා ආපසු හැරුණේ එසේ සිතමිනි.

"සාම්පල් එක මාරු කරන්න යන්න හදන්නෙ. එතකොට සේරම හරිනෙ. හෙට පළවෙනි අත් හදාබැලීමත් අසාර්ථක වේවි. ඊටපස්සෙ මං නිකමෙක් කියල තේරුම් ගනීවි. ඒ අතර මට පුලුවන් දැනට හදමින් පවතින Anti-matter ටිකත් විකෘති වෙලා නිපදවෙන විදියට පොඩි සෙල්ලම් ටිකක් දාන්න. කෙටියෙන්ම කිව්වොත් මායාට බෑ ඇන්ටි මැටර් හදන්න. මේක මායාගෙ බොරුවක්. එහෙම හිතන්න සලස්වන්නම්. 

ඔයාගෙ ලෝකෙත් බේරෙයි. මාවත් සමහරවිට පණ පිටින් ආපහු යවයි.." මායා අවසාන ටික කීවේ මදක් සෙමින් අවිනිශ්චිත හැඟීමකිනි..

" මායා, ඒක සාර්ථක සැලසුමක් වෙන්න පුලුවන්. ඒත් දැනටමත් ඒක කළ නොහැකි දෙයක්. පළවෙනි දේ අපි සාම්පල් එක මාරු කරත් ඒ වෙනුවට එතන තියන්න පුලුවන් දෙයක් අපි සතුව නෑ... අනිත් කාරණය, දැන් ඉඳන් මොනයම්ම වෙලාවක හරි නිළධාරීන් සාම්පල් එක ගන්න එතනට එන්න පුලුවන්... ඒක අවධානම්... සමහරවිට මේ වෙනකොටත් ඒක එතන නැතුව ඇති... ඔයාට තේරෙනවද..? " 

" ඉතින් එහෙම නම් කොහොමද සාම්පල් එක මාරු කරන්නෙ අපි..?" 

" මායා, මං කිව්වනෙ. විසඳුම කාලය... ඔයා කලබල වෙන්න එපා මේක අහලා. ඔයා යන්න, කාලය හරහා අතීතෙට. හරියටම ඔයා මෙහෙට එන්න කලින් දවසට යන්න. ගිහින් ඔයාගෙ ලැබ් එකේදිම සාම්පල් එක මාරු කරල එන්න මායා. ඔයාට තේරෙනවා නේද මං කියන දේ... ඔයා ආවුරෝරා වරයෙක්. ඔයාට පුලුවන් මේ විස්ම හෝරා යන්ත්‍රය හරහා ඒක ගොඩක් පහසුවෙන් කරන්න... ඒත්.."

" ඇයි ඒත් කියල නැවැත්තුවෙ? දිගටම කියන්න ... මොකක්ද ප්‍රශ්නෙ.."

"මායා, මේක කරන්න හිතේ වගේම ගතේ ශක්තියත් ඕන. උදාහරණයක් විදියට මේකෙන් පස්සෙ ඔයාට ලොකූ විඩාවක් දැනේවි කාලයක් යනකම්ම. අනිත් වැදගත්ම කාරණය මායා, අපි මේ එරෙහි වෙන්නෙ සොබාදහමට. විශ්වයේ ස්වභාවික පැවැත්මට. විශ්වය එච්චර කැමති නෑ මේ වැඩේට. ඒකයි කාල  යාත්‍රිකයො සීමිත වගේම අතිශය දුර්ලභ... කාල යාත්‍රිකයෙක් අතින් කොතන හරි පුංචි වරදක්වත් වෙන්න බෑ. ඒක විශාල බලපෑමක් වෙන්න පුලුවන් ස්වාභාවික ලෝකයට වගේම ජීවයේ පැවැත්මට... ගොඩාක් කල්පනාවෙන් යන්න ඕන ගමනක් මේක මායා. හිතත් එක්ක කරන ගනුදෙනුවක් මේක. සිතුවිලි ශක්තීන් තමයි ඍජුවම මේ යන්ත්‍රය හසුරවන්නෙ. සිතුවිලි විසිරුණොත් ඔයා කොහේ අතරමං වෙයිද කියල කාටවත් හොයාගන්න බැරිවෙන්නත් පුලුවන්... මම ආයෙත් අහනවා ඔයාගෙන් මායා... ඔයාට හිතනවද පුලුවන් කියල මේක කරන්න..?"

මායා පුදුමයෙනුත් පුදුමයට පත්ව සිටියාය. කාල තරණය කරන්න...?? අතීතෙට..?? ඇත්තටම ...??? මෙය මිහිපිට මිනිසෙක්ට කවදාවත් නොලැබෙන අනගි අවස්ථාවක් බව මායාට ස්ථීරය. ඇගේ සිත කියන්නේ මෙය කළ යුතු බවමය..

" ඔව් මං ලෑස්තියි... මට පුලුවන් වෙයි.."

" ස්ථීරද..?? "

"ස්ථීරයි..."

" හරි එහෙනම් මායා මුලින්ම ඔයා මේක ප්ලෑන් කරන්න. ඔයාගෙ ගෙදරට යන්න ඕන වෙලාව. ගිහින් මොකක්ද කරන්නෙ. හැමදේම... ඊටපස්සෙ මට කියන්න .."

මායා සිතුවාය. දිගින් දිගටම සිතුවාය. අවසානයේ ඇගේ මොළය සමනල් ගැටය වැටෙන තෙක්ම සිතුවාය. කොහෙන් පටන් ගත්තත් ඉවර වන්නේ පිළිතුරු නැති ප්‍රශ්න රැසක් පැන නැඟීමෙනි. අන්තිමට ඈ හෙම්බත්ව සිටියාය. මේ සියල්ල දෙස ආවුරෝරා වැසියා නිහඬවම බලා සිටියේය.

" ඇති මායා... ඔය දුර ගියා ඇති හොඳටම. මං දැක්ක ඔයා හිතපු දේවල්. මේකයි සරලම දේ... ඔයා යන්න රෑ... ගෙදර අය නිදි වෙලාවෙ. ඒ කියන්නෙ ඔයත් නිදි වෙලාවෙ... සාමාන්‍යයෙන් ඔයා නිදාගන්න වෙලාවට ටිකක් කලින් යන්න. මතක තියාගන්න එතන ඉන්න මායා මේ කිසි දෙයක් නොදන්න බව. දැනගන්න ඉඩ තියන්නත් එපා... ගිහින් ඉක්මනට ඔයාගෙ ඇත්ත සාම්පල් එක බොරු එකකට මාරු කරල මොහොතක් ඇතුළත පිට වෙලා එන්න... තේරුණාද ඔයාට .."

" හරි..මං ලෑස්තියි ...ඉක්මන් කරමු.."

ආවුරෝරා වැසියා පෙර කී ත්‍රිකෝණාකාර වස්තුව මායාගේ අතෙහි තැබුවාය..

"මේක තමයි වැදගත්ම... මේක නැති කරගන්න එපා... දැන් හිත එකඟ කරගන්න. හිතන්න.. මනසින් යන්න ඒ මොහොතට. මායා දැන් ඔය යන්ත්‍රය පිරිමදින්න. මතක ඇතුව ඉක්මනට එන්න. වැඩි වෙලා ගන්න එපා.."

මායා ඔහු කී ලෙසම කළාය. ඇගේ හුස්ම ගැනීමේ රටාව වෙනස් වනවා ඇයට දැනිණි. රුධිර ගමනාගමනය ද වේගවත් වන්නා සේ දැනිණි. දෑස් පියවී ගියාය. ගත සැහැල්ලු වී නොදැනී යමින් පැවතිණි.

"මායා ..හිත එක්තැන්....."

මායාට ඒ සිතුවිල්ල ඇසුණේ යන්තමිනි... අවසාන ටික නෑසුණේය.. සෙමෙන් ඇය නෙත් හරින්නට වූයේ ඒ සිතුවිල්ල පැමිණියේ කොහේ සිටදැයි බැලීමට වුවමනාවක් ඇතිවුණ නිසාවෙනි..

පුදුමයකි...

ඈ සිටියේ ඇගේ නිවහන ඉදිරිපිට මිදුලේය. තම නිවසේම මිදුලේ මල් ගසකට මුවාවී මෙසේ සැඟවී සිටින්නේ මන්දැයි ඇයටම පැනයක් විය.

" මායා, හිත එක්තැන්......."

ඇයට එක්වරම සිහිවූයේ බාගෙට ඇසුණ එම පණිවිඩයයි. ඇගේ සිතට ඈ පැමිණි කාරණය මදින් මද මතක් වන්නට විය.

"සාම්පල් එක...මාරු කරන්න...? ඒත් කොහොමද ..."

ඇය නිවස දෙස බලා සිටියාය. තවමත් කාර්‍යාල කාමරයේ විදුලි පහන් දැල්වෙමින් තිබිණි. කිසිවෙකු අවදියෙන් වැඩෙහි යෙදෙනවා විය යුතුය.

පුදුමය වූයේ ඇගේ සාමාන්‍ය මතකය ඈ වෙත තිබුණත් ඒ මොහොතෙහි පෙර සිදුවූ දේ කිසිවක් ඇයගේ මතකයේ නොවීමයි. කොටින්ම කිවහොත් මේ මොහොතේ තම අතීතයේ නිවැරදිවම සිදූවූ දෙය ඈගෙ මතකයේ නොවිණි.

" මටත් පිස්සුනෙ... වෙන කවුරුවත් නෙමෙයි ඒත් මමමනෙ. ඒ කියල ඉතින් යන්නත් බෑනෙ... බලන් ඉමුකො ටිකක්.."

කාලය ගෙවෙමින් පැවතිණි. වැඩි වේලාවක් කා දැමීමටද නොහැකිය. ඊට සුලු වේලාවකට පසු කාර්‍යාල කාමරයේ විදුලි පහන් නිවිණි. තම අතීත මායා නිදන්නට යන්නට ඇත. ඇය අඩිය ඉක්මන් කළාය. 

අගුළු ලා නොතිබූ විසල් ජනේලයේ පියන ඇර ඇය නිවසට ඇතුළු වූයේ ඉතාමත් ප්‍රවේශමිනි. හ‍ඬක් නොනැගෙන සේ අඩි තබමින් ගිය ඇය මදක් නැවතී බලා උන්නාය. කිසිදු හැල හොල්මනක් නැත. පය ඉක්මන් කළ ඇය දිව ගියේ පර්‍යේෂණාගාරය වෙතය. එහි ලියන මේසය අසල වූ සේප්පුව තුළ බහා තිබූ ප්‍රති පදාර්ථ සාම්පලය දෝතට ගත් මායා එය ගෙන ගොස් අධ්‍යනය සඳහා විවිධ ප්‍රදේශ වලින් එකතු කර තබා තිබූ සිය පස් සාම්පල අතර සැඟවුවාය. ඒ අතරින් පෙනුමෙන් ප්‍රති පදාර්ථ වලට සෑම අතින්ම සමාන වූ උල්කාශ්මයකින් ලබා ගත් අංශු සාම්පලයකින් ස්වල්පයක් ගත් මායා එය ප්‍රති පදාර්ථ තිබූ බඳුනේ තබා කිසිදු වෙනසක් නොවන ලෙස සූක්ෂ්ම ආකාරයෙන් සැඟවුවාය.

ඇය එය තබන්න ට සූදානම් වූවා පමණි... කිසිවෙක් රහසින් ඇවිද එන හ‍ඬක් ඇගේ සියුම් සංවේදනයන්ට පවා ගෝචර සවනට වැටුණේ ක්ෂණිකවය...



ලබන සතියට

Top