හැම ගැහැනියක් ම කවියක් තමයි එක්ව (නො)යන රේල් පීලි - පළමු ගමන

post-title

"නවත්තන්න, නවත්තන්න ....බ්‍රාස්.....බ්...රා...ස්...දඩ...දඩ......දඩාං" වාහනේ එක්වර නතර උනා. ඒගොල්ලො බයවෙලා පුදුමයෙන් වගේ මගේ දිහා බැලුවා.

 "පලයල්ලා ... උඹලා මකබෑවිලා පලයල්ලා...."

 "සර්...මේ..සර්...ඇයි සර්..."

 "යකුනේ, තොපිට ආයේ කියන්නෑ මෙතැනින් පලයල්ලා දෑහට නොපෙනී . පින්සිද්ධ වෙයි..."

 ඔව් මා වියරුවෙන් කෑගැහුවා.  ඔළුව කැරකෙන්න ගත්ත. ඇග හීතල උනා. ඔව් එය භයානකයි .. තැතිගත්තා මාව. දෑස් නැටවුණා. යාර දහයක්වත් නෑ . ඒත් යන්න පණ නැති උනා. වැටි වැටි පෙරළෙමින් දිව්වා.

 "අනේ අනේ...ඒක තමයි මේ...අයියෝ...මගේ මගේ..."

 "මගේ රස...රසාං..."

 වෙවුලන දකුණත හෙමින් ඒක අල්ලාගත්තා...

 "සූරී සූරී ඇයි මහත්තයෝ...මොකද ඔයාට උනේ..."

 නිර්මලී වතුර වීදුරුවක් අල්ලාගෙන වික්ෂිප්ත ව මා දෙස බලා ඉන්නවා. මට නිච්චියක් නෑ. වටේ ම ගනදුරෙන් වැහිලා වගේ. හදවත හිරවෙලා වගේ කියලා මට දැනුණා .

 "ඔයාට කිව්වට අහන්නෑ. අනේ දැන්වත් විවේකෙන් ඉන්නකෝ. ඔය විකාර වැඩ නිසා තමයි අවුල් වෙලා ඉන්නේ"

 ටිලීං ටිලීං ටිලීං ටිලීං...නොනවත්වා ඔරලෝසුවේ බට්ටා කෑගහනවා.

 "ඕක නවත්තන්න ඕක නවත්තන්න ... කන් දෙක පැලෙන්න ආවා."

 "ඇයි සූරී මොකද ඔයාට මේ...?"

 "අනේ මට ඒක අහන්න බෑ .. දැන් වෙලාව කීයද ...අද කවද්ද ..."

 "පාන්දර හතරයි.... ඉතින් අනේ ඕක වෙනදත් වදිනවනේ. අද පෙබරවාරි 15. මොකද මහත්තයා හදිසියේ ම දවසක් අහන්නේ?

 "මොනවා හරියට ම හතරයි ද එහෙනම් දැන් තමයි ..."

 "මොනවද දැන් ?" ඇයට කිසිම දෙයක් තේරුණේ නෑ කියලා මට හිතුණා .

 "දන්නෑ ...ඒත් මොනවා හරි ...ඒ කතා කළේ මම ද නැත්නම් ..."

 "ඔයා ඊයේ රෑට පුළුටු මොනවා හරි කාලා ආව ද ?පෙරේත දෝසයක් වැහිලා වගේ. මේ මම උදේ ම ඩිංගි ගුරුන්නාන්සෙට ඩිංගක් එන්න කියන්නම්. ඇදුරුකමක් කරා ම ඕක හරියයි. කෝ ඉතින් කිව්වට අහන එකක් යැ. මෙයාලා බකපණ්ඩිතයිනේ."

පාන්දර හතරයි බට්ටා වදිනවා. පහළොස්  වෙනිදා... මට යමක් දැනුණා. ඒත් ඒ කුමක් දැයි හරියට ම කියන්න බෑ. තේරෙන්නෑ . යටිහිත උඩුහිත අතර රික්තකයේ ගෑවී නොගෑවී යන ඒ භයංකර සිතුවිල්ල කුමක් ද . දෘෂ්ටි මායාවක් ද ? 

පහුගිය ටිකේ ම රට පුරා ඇවිදිමින් පර්යේෂණවලට  කොතරම් කරුණු සොයාගත්තා ද? ඒ  පෙනෙන යථාර්ථය යටින් මහා අමුතු යමක් සිදුවන බව නම් දැන්  විශ්වාසයි.

"හ්ම්ම්  ඔයා ඔහොම ටිකක් නිදාගන්න. ආයේ නින්ද ගියා ම ඔක්කොම අමතක වේවී..."

නිර්මලී බොහෝ වෙලාවක් මගේ දිහා බලාගෙන හිටියා කියලා මට දැනුණා. වම් ඇලයට හැරිලා කල්පනාවේ හිටියා මිස මොනවත් කතා කරන්න පුළුවන්කමක් තිබුණේ නෑ. ඊට පස්සෙ මටත් නින්දක් අහලටවත් ආවේ නෑ. ඇය මොනවාහරි කියන්න උත්සාහ කරනව කියලා මට තේරුණා.

"ඒක නෙවෙයි සූරී. අර ළමයා අද මෙහේ එනවා කීවා . කෝ ඉතින් කියන්න වෙලාවක් උනායැ. අද පුළුවන් නම් ඉන්නකෝ ගෙදර. හරි නෑනේ නැත්නම් ..."

තමාගෙ වැඩ දන්නේ තමා ය. කිසිම ගෑනියෙක්ට පිරිමියෙක් තේරුම් ගන්න බෑ. එයාලා හිතන තරම් සැහැල්ලුවෙන් හිතන්න පුළුවන් නම් ...

බර හුස්මක් නහය කඩාගෙන ආවා. ගෙදර සීමාවෙන් එහා ලෝකය කොච්චර ලොකු ද. ඒත් කොහොමද ඒක එයාට කියාදෙන්නේ.

නිර්මලීගේ මූණ යාන්තං ඡායවක් සේ පෙනුණා. ඒ මුහුණේ දුකක් කවදාවත් දැක නැත. නෑ ඇත්තටම මම බැලුවේ නෑ . මම වැරදි ද . ඒත් දැන් මොකටද ඕවා හිතලා .

මට මතකයි ඒ දවස්. මධුසමය ඇරුණ ම කිසිම දවසක උවමනාවෙන් ඈ හා යහන් ගත වෙලා නෑ. ඈත් එහෙමයි.. මම හිතුවෙ එයා රාගයෙන් හීන කෙනෙක් කියලා. ඒක එහෙමද කියලා මම දන්නෑ . සම්මත සදාචාරය නිසා ඔහේ ඒවා උනා . ඈට අවශ්‍ය සියලු දේ දුන්නා . මම එහෙම හිතනවා. ඒත් මම ඇහුවේ නෑ මොනවද ඕන කියලා . කැමති දෙයක් ගන්න සල්ලි දුන්නා මිස වරදකාරි බවකින් මගේ හිත දැවෙන්න ගත්තා . ඒත් මට නිර්මලී ගැන දැනෙන්නේ නිකන් සෙනෙහසක් විතරයි. ඈ මගේ බිරිඳ.

කපුගේ 'බිරිද මගේ ඔබ ' කියන්න වගේ අයිතියක් පමණක් ම නේද මා ලබා ඇත්තේ...

"නිර්මලී කීයටද ඔය දරුවා එන්නේ?" අවසානයේ ඉබේ ම මගේ මුවින් පිට උනා.

"මයෙ හිතේ, උදෙන් ම එයි. එහෙම ම ගමේ යන්නලු එන්නේ.?  ඇගේ හඬේ යම් ප්‍රාණවත් බවක් ඒ වෙලාවේ තිබුණා කියලා මට හිතෙනවා .

"හා එහෙනම් මම ඉන්නම්කෝ... මම  අද ෆීල්ඩ් නෙවෙයි . වෙන වැඩක් කරගන්න තියෙනවා. දවල්වෙලා යන්න පුළුවන් "

"මම නම් එහෙම ළමයෙක් දැකලා නෑ කවදාවත්. වාසනාවන්ත අවාසනාවන්තයෙක්"

"අවාසනාවන්ත වාසනව. අනේ ඔයත් කවියෙක් වෙලා "  මම එහෙම කිව්වේ ටිකක් උපහාසයෙන් .

"හැම ගැහැනියක් ම කවියක් තමයි. ගෑනු විඳින දුක දන්නවා නම් ඔයාට තේරේවි. හැම පැත්තෙන් ම හිරවෙලා ඉන්නේ අපි. ඒ හැඟීම් ලියවිලා නෑ තාම."

"මෙයා දාර්ශනික වෙලා. කාගෙහරි හොද පොතක් අහුවෙලා වගේ."

"නෑ පරණ පොතක් දැන් බලන්න හිතුණා."

ඇය බොහොම කලාතුරකින් තමයි කතා කළේ. ඒත් මේ වගේ දේවල් නම් කිව්ව කියලා මතක ම නෑ. ඇය කතා නොකිරීම හොඳ යැයි කියලා මම හිතුවෙ. නැත්නම් සමහර දේවලට මගේ ළඟ උත්තර නෑ කියලාමයි හිත කීවේ. මම හිටියේ ම වෙන ම ලෝකෙක. ගෙදර ආවත් ඒවයින් මිදෙන්න මට බැරි උනා.

...........................................................................

පත්තරේ එක්වර ම බිම වැටුණා. ඇස්දෙක  කාලය හරහා ආපසු ඇදෙනවා වගේ වෙන්න පටන්ගත්ත.. පුරුදු නුපුරුදු ඒ ඇස්... වරින්වර මට මැවී පෙනෙන ඇස් නොවේ ද ඒ. මේ මොන පුදුමයක් ද? මගේ ඇග පණ නැති වෙලා යනව වගේ දැනුණා. 

"හානේ රසංජන. ඇත්ත නේන්නම් පුතා කියලා තියෙන්නේ. ෂා ඔව් ලස්සනයි. ගෑනු ළමයෙක් වගේනෙ."

 "ඔන්න අම්මා මගේ යාළුවා නෝන්ඩි කරනවා. ඔට්ටු නෑ ඕවා."

"සූරී කොහෙද අනේ මේ යන්න හදන්නේ හදිසියෙන් ම අර ළමයා එක්ක කතාවත් නොකර ."

 ම්...මේ...බෑ නිර්...මලී හදිසියක් මට යන්න ම වෙනවා."

 මම එහෙම කිව්වේ ඇගේ දිහා නොබලා නැත්නම් මම කියන්නේ බොරු කියලා ඈට දැනෙනව .

 මගෙ ඉස්සරහට ඔහු ආවත් මට නොබලා ම යන්න උනා. ඇයි මට මොකක්ද උනේ. මම කොච්චර නරකයි ද ?

...........................................................................

 ආයේ එන්න අපි යමු හොයාගෙන යමක්...

 

ලබන සතියට

 

Top