කාල සරන්නිය (අවසන් කොටස) (233 වන ලිපිය)

post-title

අගුළු ලා නොතිබූ විසල් ජනේලයේ පියන ඇර ඇය නිවසට ඇතුළු වූයේ ඉතාමත් ප්‍රවේසමිනි. හ‍ඬක් නොනැගෙන සේ අඩි තබමින් ගිය ඇය මදක් නැවතී බලා උන්නාය. කිසිදු හැල හොල්මනක් නැත. පය ඉක්මන් කළ ඇය දිව ගියේ පර්‍යේෂණාගාරය වෙතය. එහි ලියන මේසය අසල වූ සේප්පුව තුළ බහා තිබූ ප්‍රති පදාර්ථ සාම්පලය දෝතට ගත් මායා එය ගෙන ගොස් අධ්‍යනය සඳහා විවිධ ප්‍රදේශ වලින් එකතු කර තබා තිබූ සිය පස් සාම්පල අතර සැඟවුවාය. ඒ අතරින් පෙනුමෙන් ප්‍රති පදාර්ථ වලට සෑම අතින්ම සමාන වූ උල්කාශ්මයකින් ලබා ගත් අංශු සාම්පලයකින් ස්වල්පයක් ගත් මායා එය ප්‍රති පදාර්ථ තිබූ බඳුනේ තබා කිසිදු වෙනසක් නොවන ලෙස සූක්ෂ්ම ආකාරයෙන් සැඟවුවාය.

ඇය එය තබන්න ට සූදානම් වූවා පමණි. කිසිවෙක් රහසින් ඇවිද එන හ‍ඬක් ඇගේ සියුම් සංවේදනයන්ට පවා ගෝචර සවනට වැටුණේ ක්ෂණිකවය. බල බලා ඉන්නට කාලයක් නැත. තිබුණ තැනින්ම එය තැබූ ඇය කලබලයෙන් තමාගේ ගෙලෙහි රඳවා තිබූ හෝරා යන්ත්‍රය පිරිමැද්දාය.

"කොහෙටද යන්න ඕන... ම්ම්... ආවුරෝරා ..."

පෙර පරිදිම ඇය නැවතත් කාලය තරණය කර අනාගතය වෙත පැමිණ තිබිණි. නමුත් මේ පෘථිවිය නම් නොවේ. මේ ආවුරෝරාවයි. කුඩා සූර්‍යයෙක්ගේ ආලෝකය ලබන මනරම් භූමි දර්ශනයකින් හෙබි පැහැබර ග්‍රහලොවකි. ඇය නිදහසේ දෙනෙත් හැරියාය.

හමන සුළඟේ පවා තිබුණේ මහත් සුවදායී බවකි. පාෂාණ පවා මෘදු බවින් යුක්ත විය. ගස් වැල් කිසිවක් දක්නට නොවුණත් මනරම් චිත්‍ර මෙන් දිස්වූ නෙක පැහැ වළාකුළු වැනි යමකින් නිර්මාණය වූ විවිධ හැඩැති ව්‍යූහ සෑමතැනම විසිරී පැවතිණි. හරියටම කිවහොත් විවිධ හැඩ මවන විවිධ පැහැ වළාකුළු ලෝකයක් පහළට බැස ඇත්තාක් මෙනි. පෘථිවියේ ගස්වැල් අතර ඇවිද යන්නාක් මෙන් මෙහි ඇවිද යා යුතු වූයේ වළාකුළු අතරය.

මායා සෙමින් නැඟිට්ටාය. කිසිදු ජීවියෙක් තියා සලකුණක් වත් පේන මානයක නැත. නමුත් මොකක්දෝ හුරු පුරුදු හැඟීමක් ඇගේ සිතට තදින් දැනෙමින් තිබිණි. විශ්වාසයෙන් යුතුව ඈ ඉදිරියට පිය නැඟුවේ එහෙයිනි. 

* * * *

ආවුරෝරාවරු පිරිවරාගෙන මායා බිම හිඳගෙන සිටියාය. ඇතැම්හු ඇගේ රූපය අංශු මාත්‍රයෙන් මාත්‍රය නෙතින් පිරික්සමින් සිටියාහ. කුඩා දරුවන් යැයි සැලකිය හැකි ජීවීන් ඈ දෙස බලා සිටියේ මහත් පුදුමයෙනි. ඈ ඔවුනට පිටසක්වළයෙකි. මායා ඔවුන් සියලු දෙනා වෙත මුදු බැලුම් හෙළුවාය. ඔවුන් සියල්ලෝ ඇගේ සිත් ගත්තෝය.

ඇගේ අසලින්ම හිඳ සිටියේ ඔවුන්ගේ නායකයා යැයි කිව හැකි ජීවියාය. ඔහු ජීවීන්ගේ ආධ්‍යාත්මික නායකයා යැයි කීම වඩා නිවැරදිය. වෙනස වූයේ ඔහුගේ සිරුරේ සෑමතැනකම පාහේ විවිද වර්ණයෙන් යම් චක්‍ර විශේෂයක් සිතුවම් කර තිබීමයි.

මායා සෑම විස්තරයක්ම ඔහුට කියා අවසන්වූවා පමණි. ඔවුන්ගේ ලෝකය දැනට සුරක්ෂිත බවද, පෘථිවියේ සිරව සිටින ඔවුන්ගේ වැසියන් ගෙන්වාගන්නට ක්‍රමවේදයක් සැකසිය යුතු බවද ඈ දන්වා සිටියාය. ඒ සඳහා නායකතුමාගේ අනුමැතිය වැසියන් වෙත ලැබිණි. 

මේ සියල්ල අවසන් වනවාත් සමඟම අදහාගත නොහැකි තරම් ඈ වෙත ගලා එන්නට පටන් ගත් තුති පිදීම්, සතුටු හැඟුම් , ප්‍රශංසා, මෘදු සිප වැළඳ ගැනීම් වල නිමාවක් නැති විය. සංකේතාර්ථයෙන් කිවහොත් බොහෝ සංවේදී සිතැත්තෝ සතුටු කඳුලු හෙලූහ'යි කිව හැකිය. ඇය ඒ සියල්ල විඳ ගත්තේ මහත් සතුටු සිතිනි. තනි තීරණයකට මෙවන් ගමනක් පැමිණියේ කෙසේද යන්න විටෙක ඇයටම පැනයක් විය.

හදිසියේම ඇයට මතක් වූයේ පෘථිවිය යි. එහි කවර තත්වයක් උදාවී ඇත්දැයි ඈ නොදනී. එහෙත් මේ වනවිටත් සියලු සැලසුම් අවුල් වී ඇතුවාට නිසැකය. ඔවුන් වර්තමානය තුළ අත් හදාබලනු ඇත්තේ ඈ විසින් මාරු කළ පස් සාම්පලය මිස ප්‍රති පදාර්ථ නොවේ.  දැන් ප්‍රශ්නය පටන් ගෙන ඇතුවාට නිසැකය. ඊළඟට ඔවුන් ඇය සොයනු ඇත. ඊට පෙර දැන් ඇය යා යුතුය. ගොස් ඉතිරි පර්‍යේෂණ කටයුතුත් ව්‍යර්ථ කර දැමිය යුතුය. ආවුරෝරා ලොවින් සමුගැනීමට කාලය එළඹ තිබේ. එහෙත් ඇගේ සිත එයට සූදානම් නැත. එතරම්ම මේ ලොව චමත්කාරජනකය. තවත් මෙවන් ග්‍රහලෝක කොපමණ නම් ඇත්ද?? තමා මේ සිහිනයක් නොදකිනවානම් හොඳය. ඇය එක්වරම ඇයවම තදින් කොනිත්තා ගත්තාය. නැත... මෙය සිහිනයක් නොවේ.

" ඔබතුමියට යන්නත් කාලය හරි ඇති නේද..?? ඊට කලින් එන්න මාත් එක්ක මට ඔබට දෙන්න දෙයක් තියෙනවා.."ආවුරෝරා නායකතුමාගෙන් ඉල්ලීමකි. ඇය ඔහු සමඟ ඇවිද ගියාය.

ඔහු නැවතුණේ දේදුන්නක පාට ගත් "වළාකුළු" බිත්ති වලින් වටවූ ස්ථානයකය. එහිද අවකාශයේ පාවෙන ලෙස විවිධ රූප ඇඳ තිබිණි. ඒවායින් බොහොමයක් චක්‍රාකාරය..." පෘථිවියේ හිටියත් ඔබ ආවුරෝරා උරුමයක්. ඔබේ ආරක්ෂාව අපේ වගකීමක්. මෙතැන් සිට ඔබේ ආරක්ෂාව වෙනුවෙන් අපේ සියළු ශක්තීන්ගේ ශක්තියෙන් ඔබව ආශිර්වාද ගන්වනවා. ඕනෑම වෙලාවක විශ්වයේ ඕනෑම තැනක සිද්ධවෙන අසාධාරණයක් , අකටයුත්තක් පිටු දකින්න , එයට විරුද්ධව සටන් කරන්න ඔබට ශක්තිය දීමේ වරදක් මා දකින්නෙ නෑ... මෙන්න මේ යන්ත්‍රය ඔබ සන්තකයේ තබාගන්න. විශ්වයේ අපි සමඟ සබඳතා පවත්වන යහපත් ග්‍රහලෝක 48 කට ඔබට ඕනෑම මොහොතක ඇතුල් වීමට අවසර ලැබෙනවා ඇති .... වැදගත්ම දේ, ඔබේ ග්‍රහලෝකයේ සිරවී සිටින සියලු විශ්වීය ජීවීන් මුදාහරින්න මායා... ඔවුන් සියල්ල අහිංසකයින්... වැරදි කරන අයට දඬුවම් දෙන්න ඔබ... ප්‍රතිපත්ති ගරුක ආවුරෝරා මෙන්ම පෘථිවි ජීවියෙක් විදියට .... ඔබට ඕනෑම මොහොතක මා සිහි කරන්න... මම ඔබේ ශක්තිය වෙන්නම්.. දැන් යන්න මායා. ගිහින් ඔබේ යුතුකම ඉශ්ට කරන්න. ඔබට ඕනෑම වෙලාවක මේ බිමට ගොඩබසින්න අවසරය තියෙනවා..."

ඇය යන්ත්‍රය ගෙන දෑතේ ගුලි කර ගත්තාය. සෙමෙන් සෙමෙන් පියවර මනිමින් දේවස්ථානයෙන් එළියට පැමිණියාය. ආවුරෝරාවට පායන "නිබිරු" ඉර  බැසයමින් තිබිණි.

ඇය මොහොතක් සිය ජීවීතයේ සිදුවන්නට යන වෙනස පිළිබඳව කල්පනා කළාය. සැබවින්ම අදහාගත නොහැකි දේ ජීවිතයේ සමහර කාලවලදී සිදුවීමද විශ්ව ධර්මතාවයකි. පෘථිවියේ පමණක් නොව මුළුමහත් විශ්වයම පිළිබඳව වගකීමක් උර දරා ගත් ඈ, සිය කාර්‍ය නිමා කිරීම උදෙසා පෘථිවිය කරා යෑම ඇරඹීමට ඉටා ගත්තාය.

මොහොතකින්, ආවුරෝරා හි පැහැබර සැඳෑ වලා කුළුණු අතරින් ඇගේ රුව නික්මී තිබිණි.

සමාප්තයි...

පුරා මාස ගණනාවක් වචන. සමග රැදී හිදිමින් මායා සමග විශ්වයේ සැරි සැරූ ආදරණීය පාඨක ඔබ සැමට ස්තුති කරමින් කාලතරණයේ යෙදුණු වීර වරියගේ කතාව වන කාල සරන්නිය විද්‍යා ප්‍රබන්ධය මෙයින් නිමා කරමි

Top