" මම රසංගනී... හ්ම්ම්... රසී කියලා තමයි කියන්නේ යාළුවො "
"හ්ම්ම් රසංගනී .." ඔහු මිමිණුවේ මහත් සොම්නසිනි...
"ඇයි දහම්, සර් මට එන්න කීවේ. මාව දන්නෙවත් නෑ නේ සර්."
"නෑ මේ. නෑ ඇත්තට ම ... මේකයි..."
ඔහු ගොත ගසන්නට විය."
"සර් එන්න කිව්වේ නෑ. ඔයා බේරගන්න තමයි මම එහෙම කීවේ ."
"මම බේරගන්න. ඇයි ඒ? මට තේරුන්නෑ." ඇය විමතියෙන් පැවසුවේ ඔහු දෙස ද හොඳින් බලමිනි.
"හා මේ, දහම් ළමයනේ. කොහොමද පුතේ, අප්පේ දැන් ගොඩක් වෙනස් වෙලා නේ. ඉතින් කලා නේද තෝරගෙන තියෙන්නේ ? "
"ඔව් ටීචර්. ලේසිනේ ඉතින් ඒක ."
"ඇත්තට ම හරිම සතුටුයි ඔයාලා ආයේ දකින්න ලැබීම. හොදට ඉගෙනගන්න ඕන. කලා තෝරගත්ත එක හොඳයි. ඒත් මම හිතුව අමාරු එකක් කරලා වරද්ද ගනී දෝ කියලා. එකපාරෙන් ම කැම්පස් යන්න ඕන "
"බලමු ටීචර් ."
"ආ එතකොට මේ ළමයා...?"
"අලුතින් ... අලුතින් ටීචර්. එයා දන්නෑ මේ පැත්තෙන් යන්න. මම පොඩ්ඩක් ..අ..පොඩ්ඩක් පාර පෙන්නුව."
"හරි පුතේ, මම මියුසික් රූම් එකට යන ගමන්"
ඈ රසංගනී දෙස හොඳහැටි බලා ආයේත් දහම් දෙස බැලුවේ විස්මයෙන් මෙනි.
කුමාරි ටීචර් දහම්ට දැක්වූයේ අනල්ප සෙනෙහසකි. ඔහුගේ හඬට ගායනයට ඈ ඉතා කැමති වූවා ය.
************
බුලට් කඩුල්ල පනින විට ම පැමිණ ඔහුගේ දෙපා ලෙවකන්නට විය. ඌ ඔවුන්ගේ ජීවිතෙන් කොටසකි. වෙනසකට ඇත්තේ කතා කරන්න බැරි එක පමණී.
"හ්ම්ම් මොකෝ මේ. දැකලා නෑ වගේ. අම්මා කන්න දුන්නේ නැද්ද පැටියෝ ."
දහම් සහෝදරයා ලෙස සැලකූයේ බුලට් ය. ඒ ස්නේහය එතරම් අපූරුය. මිනිසුන් ළඟ නොමැති ඇතැම් සුවිශේෂී ගුණ මේ තිරිසන් සතුන් ළඟ ඇති බව ද හැරදා නොයන බව නිසා ද වඩ වඩාත් ඌ කෙරෙහි බැඳෙන්නට විය. සංසාර ගමන ඉතා දීර්ඝ ය. පෙර භවයන්වල අපි කවුරුන් වී උපත ලද්දේ දැයි කෙසේ නම් දැනගන්න ද ? සමහර විට බුලට් ද ළඟින් ම ඉන්නට ඇත. කුමක් හෝ කර්මයක් නිසා මෙසේ ළං වී දුරස් ව ඉන්නට සිදු වී ඇතැයි ඔහුට සිතිණි .
"හා.. හා.. ඇති ඇති. මම දන්නවා අම්මා කෑම දීලා නෑ. මයෙ පැට්ටට. අනේ ඔයාගේ අයියා අද නේ ස්කෝලේ ගියේ. අම්මා ගියේ ඒ නිසා නේ මාත්තෙක්ක ."
ඌ හති අරිමින් බලා සිටියේ ඉතා දොම්නසිනි. එහි ඇත්තේ බඩගින්න නොව ශෝකයක් බැව් තේරුම් ගැනීමට ඔහුට වැඩිවේලාවක් ගත වූයේ නැත.
"බුලට් කෝ අම්මා. ඔයා මොනවා හරි කියන්න නේද හදන්නේ."
ඔහු හනික ගේ තුළට දිව ගියේ ය.
"අම්මා...අම්මා...කෝ ඔයා ..."
ඔහු දොර රෙද්ද මෑත් කර කාමරේට එබී බැලුවේය. ඒ හිත ක්ෂණික ව ම මහා දුකකට පත්විය.
"අම්මා මේ මොකද කියන්න අම්මා මොකද උනේ..."
"ආ පුතා ඔයා ආවද ? හ්ම්ම් අන්න වට්ටියෙන් වහලා ඇති පංගුව. කාලා හිටිං."
"කන්න ඕන්නෑ. ඔයාට මොකද මේ උනේ?"
"ඕකනේ ඉතින්. තාම බබා වගෙ. ඩිංගක් ඇත්නම් කලබල වෙනවා. බයවෙන්නෙපා. මේ පොඩ්ඩක් කකුල පෙරළුණා."
"අනේ කොහොමද උනේ. ඇවිදින්න බෑ නේද ?"
"ස්කෝලේ පල්ලම බහිනකොට එකපාරට වාරු නැතිව ගියා. මේ සාරිය පැටළුණා .එහෙම ම වැටුණා. හොද වෙලාවට අර ළමයගෙ අම්මයි තාත්තා යි හිටියේ. රත්තරං මනුස්සයෝ."
"මොන ළමයගෙ."
"අර රස... හ්ම්ම්... ඕ රසංගනී. අලුතින් අද ආපු ළමයගෙ."
"රසංගනීගේ."
"ආ මතක ද ."
"ඔව් ඔව් අම්ම. අපේ පන්තියෙනේ ඉන්නෙ."
"ඒ දෙන්න ඉක්මනට මාව ත්‍රීවිල් එකකින් ඉස්පිරිතාලෙ එක්කං ගියා. පව් අනේ. මේ බැන්ඩේජ් එකක් දැම්මා ."
"අම්මේ ඔයාට ගොඩක් අමාරුයි ද ? "
"නෑ පුතේ, "
"බොරු නේද . මම පොඩි අප්පූ වෙද මාමා එක්කන් එන්නඩ්? ඉන්න චුට්ටක් ."
"ඔය ඉතින් අනේ මන්දා මේ ළමයා නම්. මම නැති කාලෙක මොනවා කරගනී ද කියලා. ඔය ආදරේ තමයි මට දරාගන්න බැරි. මැරෙන්න හිතෙන්නෑ මට .ඔහොම මේක තිබිච්චාවේ අඩු නොවුණොත් එන්න කියමුකෝ."
"අනේ ඔය මැරෙන කතා නම් කියන්නෙපා ආයේ."
"හ්ම්ම්... අපි කැමති එහෙම. ඒත් ඒ ඇත්තට මූණ දෙන්න වෙනවා කවදාහරි. හදිසියෙම එහෙම දෙයක් උනොත්. ඔයාට දරාගන්න වෙනවා."
"ඔන්න ආයෙත් කියනවා. ඒක එතකොට බලමු. මට හිතන්නවත් බෑ එහෙම ".
"හරි හරි. අන්න සුමනසිරි මාමගෙ කඩේ පැත්තේ එන්න කියන්න කියලා පණිවිඩයක් එවලා තිබුණා. කාලා පොඩ්ඩක් ගිහින් වරෙන්. උවමනාවකට වෙන්න ඇති මයෙ හිතේ. යමින් ගමන් ඔය පාපිසි ටිකත් අරන් යන්න."
"ඩිංගිරි මැණිකෝ, ඩිංගිරි මැණිකෝ.කෝ ගෙදර කවුරුත් නැද්දෝ ."
"හා හා බුලට් පැත්තකට වෙන්න. නෑ නෑ නැන්දේ සෙල්ලමට. විකන්නේ නෑ."
"ඈ ළමයෝ මොකෝ බොල අම්මට උනේ එකපාරට ම ."
"ඒ හැටි දෙයක් නෑ නැන්දේ, කකුල පොඩ්ඩක් ඇමැට්ටී වෙලා."
"පේනවා පේනවා. බලහංකෝ මිදුල දැක්ක ම කියන්න පුළුවන් මට, මැණිකෙට කොහොමද කියලා ."
බගලවතී එසේ මෙසේ කෝච්චියක් නොවන බව දහම් හොදට දනී. ගමේ ඕන ම දුක සතුට සමග ඈ ඇත. ඈ ඕපාදූප කාරියක් ද ? ඒ ඇගේ හැටි ද ?
මෙසේ අනුන්ගේ විත්ති සෙවීමෙන් උවමනා වට වඩා ඇගෑලුම් පෑමෙන් ඈ ලබන්නේ අතිශය ප්‍රීති ප්‍රමෝදයක් නොවේද ? ඈ ජීවිතේ විඳින්නේ එලෙස ය. කුඩා ළමයින් ඈට හරි කැමති ය. ඈ රස කතා බිණීමේ හපනියකි.
"හ්ම්ම් නැන්දට පේන කියන්න පුළුවන් වගේ."
"ඔන්න ඉතින් චූටි මහත්තයත් මට කොලොප්පම් කරනවා. හරි නරකයි හහ්."
"අනේ නෑ , ඇත්තටම කීවේ..."
****************
බගලවතී මේ ඔබේ කුඩා කල හමුවූ ඈ ද ? එන්න දිගටම ...
ලබන සතියට