" මුන් නම් මහා කාලකණ්නි...ශිට්..." - කාල සරන්නිය සත් වෙනි කොටස (154 වන ලිපිය)

post-title

පැරණි ලියකියවිලි රාශියක් ගොඩ ගසා තිබූ ඒ අපිළිවෙල රාක්ක දෙස බලාසිටිමින් මායා ඒවා හොඳින් නිරීක්ෂණය කිරීමට වූවාය. උගුලක් වත්ද ? ඇයට එසේ ද නොසිතුණාම නොවේ. සිතේ තිබූ දැඩි කුතුහලය මෙන්ම වචනයෙන් කියාගත නොහැකි වූ අමුතු හැඟීමක් නිසා නොවන්නට ඈ මේ මහ රෑ මෙවන් ගමනක් කිසිවිටෙකත් නො එනු ඇත. මෙහි ඇති නීති රීති ගැන ඇයට අමුතුවෙන් කියාදිය යුතුව තිබුණේ නැත.

දූවිල්ලෙන් වැසී ඇති රාක්ක පෙළෙහි එක් තැනක ලියකියවිලි වලට ඉදිරියෙන් වූ ලී පසුබිම මත දූවිලි වල අඩුවක් ඇති බව ඇගේ සූක්ෂම දෙනෙතට හසු වූයේ ඉතා ඉක්මනිනි. ක්ෂණිකව ඇතිවූ සිතුවිල්ලක් මත වහා ක්‍රියාත්මක වූ ඇය කඩිනමින් එහි වූ පොත් පත් ඉවත් කරන්නට වූ අතර කිසිවක් බිම නො වැටෙන්නටත් කිසිදු හඬක් නො නැගෙන්නටත් ප්‍රවේශම් සහගත විය.

" දෙයියනේ ..."

" මේ....මේ...මේක කො..කොහෙන්ද මෙහෙට ?... "

ඊළඟ නිමේෂයේදී ඇය අතට ගත්තේ මෙතෙක් වේලා, තම පර්‍යේෂණාගාරයේ සුරක්ෂිතව ඇතැයි සිතූ තම ජීවිතයවන් වටිනාම වස්තුවයි... බෝතලය පිටින්ම එය සීල්කර තිබූ ආකාරයට ම තවමත් එය පැවතිණි...

" මුන් නම් මහා කාලකණ්නි...ශිට්..."

ඈ මේ හිර කඳවුරට පත්වූ දිනයේම ඇගේ දස්කම් මෙන්ම පුංචි ශ්‍රී ලංකාවේ නාමයද අගයනු ඇතැයි බලාපොරොත්තු වූ SAASO සමුළුව නියෝජනය කිරීමට යාම සිහිනයක්ම වූ අතර අඩුම තරමේ ඇගේ නිර්මාණය වත් සමුළුවට ඉදිරිපත් වෙනු ඇති බවට ඈ හීන මැව්වාය. දැන් එයද ඇස් පනාපිටම බොඳවී ගොසිනි.

" ඒත් මේක මෙතන තියෙන බව කවුද මට මෙහෙම දන්වන්නෙ..? කාටද, මොකක්ද? තියෙන වුවමනාව.." 

ඒ සිතුවිල්ලත් සමගම ඇගේ ගතේ හිරිගඩු පිපිණි. හැකි ඉක්මනින් මෙතනින් පිටවී යාම නුවණට හුරු බව වැටහීමට වැඩි වේලාවක් ඇයට ගත වුණේ නැත.

තවත් වතාවක් තම ආදරණීය නිර්මාණය දෙස දුක්මුසු බැල්මක් හෙලූ මායා සැරසුණේ ඉක්මනින් පිටව යාමටයි. මවක් දරුවෙකුගෙන් වෙන් වන විට දැනෙන වේදනාවට සමාන හැගීමක් ඇයට දැනෙමින් පැවතිණි.

* * * 

මායා 13 කාමරයෙන් පිටට ආවාය. එවිට ම ඈ යා යුතු දෙසින් රාත්‍රී මුර සංචාරක සෙබළකුගේ විය හැකි අඩි ශබ්දයක් ළඟ ළඟම ඇසෙන්නට විය. සිත සිතා ඉඳීමට කාලයක් නැත. ගජනායක සමග පළමු දිනයේ පැමිණි පාරවල් ඇයට යන්තමින් මතකයේ තිබිණි. සිත සිතා ඉන්නට කාලයක් නැත. පැලඳ‍ සිටි පාවහන් යුගල ගලවා අතට ගත් මායා පෙර කී දෙසට ගියේ දුවමිනි.

* * *

ආගන්තුක ඇස් දෙකක් මායාගේ ඇස් තම වසඟයට ගනිමින් උන්නේය. අලු පැහැයට හුරු නිල් පැහැය පිරුණු ඇස් වල කාන්තිය පමණක් ඇගේ ඇස්වලට හසුවී තිබිණි. ඇයට කිසිදු කරදරයක් සිදු නොකරන බව නම් ඒ ඇස්වල මැනවින් ලියැවී තිබිණි. එතරම් ඒ ඇස් අහිංසකය. 

" Real Aliens ? " ඇගේ යටි සිත මොරදුන්නේ භීතියෙනි.

"Area 51 ගැන කියන කතා කටකතාම නෙමෙයි එහෙම නම් ?... "

දහඩියෙන් පෙඟුණ ගත හා බිය වූ සිත නො අඟවා ඉන්නට ඇය මහත් උත්සාහයක් ගත් අතර ඇගේ ඇස් ඈටත් නොදැනීම පියවෙමින් තිබිණි. සම්පූර්ණයෙන් ඇස් පියවීමට පෙර තත්පර කිහිපයේ ඈට මතක් වූයේ තමුන් මීට පෙර දුටු ඒ බියජනක සිද්ධිය තවදුරටත් බොරුවක් හීනයක් හෝ නොවන බවයි. එසේ නම්, තමා මීට පෙර ගජනායක සමග යන විට තමා දුටු ඒ බියකරු දසුන සත්‍ය විය යුතු බව පමණක් ඈ සිත තුළ තරයේ සටහන් කර ගත්තාය..

* * * 

මායා අවදි වූයේ අසිහියෙන් මෙනි.. ඇගේ ගත යමකින් තළා පෙළා දැමුවා මෙන් දැනෙන්නට විය..

" දෙයියනේ කෝ ඒ සතා..? "

ඇය වටපිට බැලුවේ කලබලයෙනි..

"ආපහු පාරක් හීනයක්ද එතකොට මං දැක්කෙ..."ඇය සිටියේ අසරණ මනසකිනි..

" බොරු වෙන්න විදියක් නෑ මේ පාරනම් ...ඒත්..මොකක්ද එයා මට කියන්න උත්සාහ කළේ..?"

ඇය තව දුරටත් කල්පනා කළාය. ඇයගේ නෙත් පියවුණු නිමේශයේදී ඈ දුටු දසුන් නැවත ඇස් ඉදිරිපස මවාගනීමට උත්සාහ කළාය...

" යුද්ධය ක්...නැත්තම් ආක්‍රමණයක්..." ඇයට මතක එලෙසය...

තවත් ඇයට මතක දසුනක වූයේ ඇය දුටු වැනිම ජීවීන් දහස් ගණනක් සිටින ජනාවාසයක් ගිනි දැල් මැද අලුවී යන ආකාරයයි... ඔවුන් නැඟූ අමුතු විලාප ,කෑ ගෑම් වල හඬ වල මතක ඇයව තවත් අවුල් සහගත තත්වයකට පත් කළාය...

" මොකක්ද ඒ වුණේ.."

ලබන සතියට 




Top