"මගේ සොහොන් කොත මත මී වදයක් තබන්න.." (823)

"මගේ සොහොන් කොත මත මී වදයක් තබන්න.." (823)

පුංචි මිලී කියන්නේ යන්තම් වයස අවුරුදු හතර පිරෙනකොට තමන්ගේ අම්මා අහිමි කරගත්ත අවාසනාවන්ත ගැහැණු ළමයෙක්. ඇත්තටම මිලීගේ අම්මා අහිමි වෙන්නේ එයාගෙම වරදින් නිසා සිද්ධ වුන වෙඩිතැබීම් අනතුරකින් කියලා මිලී අපිට එක මොහොතකදි කියනවා. එතැන් පටන් අවුරුදු 14ක් විතර වයසැති දඟකාර හැඩකාර මිලී හැදී වැඩෙන්නේ තමන්ගේ පියාගේ සෙවණ යටතේ. මිලීගේ තාත්තා නම් මිලීට නිදහසක් දෙන්නේ නෑ. හැමදාම මිලීගේ දඟකාරකම් හමුවේ ඇයට අත්විඳින්න සිද්ධ වෙන්නේ දඬුවම්වලින් සහ බැණවැදීම්වලින් පමණයි. මිලීට ගෙදර ආදරය කරන එකම මනුස්ස පරාණය වෙන්නේ ගෙදර මෙහෙකාරකම් කරන නිග්‍රෝ කළු ජාතික රොසලින් කියන කාන්තාව. 

හරියටම මිලීගේ උපන්දිනය දවසේ නොහිතපු සිදුවීමක් සිද්ධ වෙනවා. මේ 1975 වසරේ ඇමරිකාවේ කළු - සුදු භේදය උග්‍රව පැවති කාල වකවානුවක් නිසා දවසක් රොසලින්ට සුදු ජාතික පිරිමින් පිරිසක් විසින් බොහෝම දරුණු විදියට පහර දෙනවා. මිලීට ⁣සෑහෙන්න කේන්ති යනවා, තමන්ගේ අම්මා වගේ වුනු රොසලින්ට පහර දීපු නිසා. මිලීගේ නපුරු පියා කරන්නේ රොසලින්ව සේවයෙන් පහ කරලා මිලීට බැණ වදින එක. 

මිලී⁣ට තාත්තාගේ මුරණ්ඩුකම් ඉවසන්න බැරිම තැන රොසලින් සොයා රෝහල වෙත යනවා. ඇත්තටම මිලී මේ කරන්නේ තමන්ගේ ගෙදරින් පළා යන එක. කාගෙවත් පිහිටක් නැති අසරණ රොසලින් සහ මිලී දෙන්නම තමන්ගේ ජීවිතය සොයාගෙන නගරයෙන් ඈතට යනවා. ඔහොම විදී දිගේ ඇවිදින මිලී සහ රොසලින්ට අහම්බයකින් හම්බවෙනවා අපුරු චරිතයක්. ඒ තමයි "ඔගස්ට් බෝටිරයිටි" කියන මී මැසි වගාවක් පවත්වාගෙන යන සාර්ථක ව්‍යාපාරික කාන්තාව. ඔගස්ට්ට තව ඉන්නවා සහෝදරියන් තුන්දෙනෙක්. හරිම අපුරු කාරණාව තමයි මේ සහෝදරියන් තුන්දෙනාගෙම නම් තුන යෙදිලා තියෙන්නේ "June", "May", "August" කියන කැලැන්ඩරේ මාසවල නම්වලින් වීමයි. මිලීගේ සහ රොසලින්ගේ ජීවිතවලට මේ අහඹු හමුවීම නිසා සුවිශේෂී පරිවර්තන රාශියක් සිද්ධ වෙනවා.

2008 වසරේ තිරගත වුනු "The Secret Life Of bees" චිත්‍රපටයේ මිලීගේ කතා සාරාංශය තමයි ඒ. "The Secret Life Of bees" චිත්‍රපටය සඳහා පාදක කරගන්නේ "Sue Monk Kidd" විසින් රචනා කරන ලද මේ නමින්ම යුතු නවකතාවයි. ජාතිය, ආගම,  ප්‍රෙමය, සහෝදරත්වය ආදී තේමාවන් පිළිබඳ ඉතා සියුම් විදියට සාකච්ජාවට ලක් කරන මෙම අපුරු චිත්‍රපටය ස්ත්‍රීවාදය(Feminism) ප්‍රමුඛ කරගෙන ඇති අතර වඩාත් බලපෑම් සහගත ලෙස ඇමරිකාව තුළ මේ මොහොතවනවිටත් ක්‍රියාත්මක වන කළු - සුදු වර්ණභේදවාදය පිළිබඳ අදහස සාකච්ජාවට ලක් කරයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ කාන්තා අධ්‍යක්ෂවරියක් නිසාම ස්ත්‍රීවාදීව සුදු - කළු වර්ණභේදවාදය හමුවේ කාන්තා පාර්ශවයේ නොසැළෙන ශක්තිමත්භාවය පිළිබඳ කදිමට නිරූපණය කරයි. 

සිනමාපටය පුරාවටම සිනමාත්මක සංකේත රාශියකින් පිරී තිබෙයි. මිලීගේ මවගේ ආශාව සංකේතවත් කරන "කැරපොත්තා" සහ මිලීගේ මව රැඳී සිටී ස්ථානය සිතියමකින් සළකුණු කළ පුංචි සිදුර කදිම සංකේතයෝ ය. ජීවිතය ආදරය හා බැඳීම ගැන වුවමනාවෙන් හිතන්න, ඒ හැඟීම්බර මොහොත කඳුළක් එක්කම හදවතට බලකරන්න "The Secret Life Of bees" චිත්‍රපටය සමත් වෙනවා. සවිමත් මිත්‍රත්වය, තදබල ආලකම, ඇවිස්සුණු තාරුණ්‍යය, දුකින්,ලෙයින් හා ආලයෙන් පිරී, නොනවතින කතාන්තරයක් සේ දිවෙන මී පැණි තරමට රසවත් The Secret Life Of bees" චිත්‍රපටය තුළින් සමෙහි පැහැය හෝ ජාතිය පිළිබඳ හෝ ඇති පක්ෂපාතීබව ඉවත දමා මනුෂ්‍යත්වය කෙරෙහි අති සංවේදීබව ඇති කරන්නට පොළඹවන මෙම අපුරු නිර්මාණය ඔබ නැරඹිය යුතුම ය. 

Top