මේ මොහොතේ ජීවත් වෙන හැටි කියාදෙන 'Soul' (257 වන ලිපිය)

මේ මොහොතේ ජීවත් වෙන හැටි කියාදෙන 'Soul' (257 වන ලිපිය)

ජීවිතේ හැබෑ අරමුණ මොකක් ද ? ජීවත් වෙනවා කියන්නේ මොහකට ද

අපි මේ ලෝකෙට එන්න ඇත්තේ / එවන්න ඇත්තේ මොකක් වෙනුවෙන් ද ?

ඇත්තටම ඒක ටිකක් හිතන්න ඕන පොඩ්ඩක් අමාරු ප්‍රශ්න ටිකක්. සෑහෙන්න කාලෙක ඉදන් හුඟක් අය ඔය ප්‍රශ්නෙට උත්තර හෙව්වා / හොයනවා. මෙලොව ජීවිතේ සැබෑ අරුත මොකක්ද කියන එක ගැන. ඒ සම්බන්ධයෙන් විවිධ මතත් තියෙනව, ඇතැම් ආගම් හා දර්ශන බිහිවෙලා තියෙන්නෙත් මෙලොව ජීවිතේ අර්ථය පැහැදිලි කරන්න.

එහෙමත් නැත්තම් ඒ සෙවීමක ප්‍රතිඵලයක් හැටියට.

පරලොවේ දී සුගතියක් අත්කරගන්න, කර්මය ඔය හා සම්බන්ධ ආගමික දේවල් / හේතු පොඩ්ඩක් පැත්තකින් තියල සරලව මේ ප්‍රශ්නෙට ආවොත්,

ජීවිතේ කියන්නේ හුදෙක් තම අරමුණු හඹායෑමක් ද....?

එහෙම නැත්තම් තම තමන්ගේ හීන හැබෑකරගැනීම ද...? 

මෙතන හීන යි, අරමුණු යි කියල වචන දෙකක් භාවිතා කරේ සමහර අයගේ හීන යි අරමුණු යි එකිනෙකට වෙනස් වන හින්දා. අපි උදේ නැගිට්ට වෙලේ ඉදන්  දුවනවා. ඒකත් සෑහෙන්න කලබලේකින්. පාරේ වාහන ගත්තමත් එහෙමයි. හැමෝටම හදිස්සියි. එහෙම දුවල අපි මොනවද ළඟා කරගත්තේ / ළඟා කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම අපි තේරුමක්, හේතුවක්, අරමුණක් ඇතුව ද දුවන්නේ. එහෙම නැත්තම් හුරුවෙච්ච කාලසටහන හැමදාම ඇදගෙන යනවද...? ඔහොම දින, සති, මාස කියල කාලේ යනවා, ඒ යන අතරතුර අපෙන් ගිලිහිලා ගියපු / යන දේවල් ගැන අපි දැනුවත් ද...? ඔය වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා අපිට පොඩ්ඩක් වෙලාව අරං හිතන්න. ඒත් ඇත්තටම අපිට දැන් හිතන්නවත් වෙලාවක් ඉතුරු කරල නෑ මේ ක්‍රමය යටතේ.

මං මේ ප්‍රවිශ්ටයක් ගත්තේ 2020 දි Pixar ලා නිෂ්පාදනය කරල, Walt Disney ල එළිදක්වපු ලස්සනම ලස්සන අර්ථවත් චිත්‍රපටේකට. නමින් එය 'Soul'. Walt Disneyලගේ හැම Animation චිත්‍රපටයකට ම අපි හැමෝම වගේ ආසයි. ඒවා හරිම ලස්සනයි වගේම ලස්සන පණිවිඩ ගොන්නක් රැගෙන එනවා. පොඩි කාලේ අපි ඒවා නිකං විනෝදෙට බැලුවත් මං නම් හිතන්නේ Disney Movies එහෙම වඩාත්ම ගැලපෙන්නේ වැඩිහිටි අයට කියල. ඒ ඒවගේ කතා කරන මාතෘකා එක්ක.

Soul Movie එක කේන්ද්‍ර වෙන්නේ මුලු ජීවිත කාලෙම එකම එක අරමුණක් / හීනයක් එක්ක ජීවත් වෙච්ච 'ජෝ ගාඩ්නර්' නම් මැදි වියැති පාසල් සංගීත ගුරුවරයෙක් වටේ, පවුලේ සමාජයේ ගොඩනැඟිල තියෙන වැටකඩුළු සීමාමායිම් එක්ක එයාට ඒ හීනේ මිරිඟුවක් වගේ. ඒත් හදිස්සියෙම එයාගේ ආසාවක් හැබෑ වෙන්න ඔන්න මෙන්න තියෙද්දී, එයා එකපාරටම වැටෙනවා ශරීර රහිත ආත්ම විතරක් ඉන්න පරිසරේකට,

තමන්ගේ හීනේ පෙනි පෙනී තියෙද්දී ඒකට යාගන්න බැරිවුණහම අපිට මොනවගේ හැඟීමක් දැනෙයි ද ?

මේ ලෝකේ ගත්තහම විවිධාකාර දක්ෂතා වලින් පිරිපුන් මිනිස්සු ඉන්නවා. සමහරක් ගයන්න දක්ෂයි. සමහරක් නටන්න දක්ෂයි. සමහරක් චිත්‍ර අදින්න. සමහරක් ලියන්න.  සමහරක් අය ක්‍රීඩා වලින් දක්ෂතා පෙන්නනවා.  සමහරක් අය විෂයානුබද්ධ දේවල් වල පර්යේෂණ එහෙම කරනවා. ඔහොම ඔහොම එක එක දේවලට දක්ෂ මිනිස්සු අපිට මේ සමාජයෙන් මුණගැහෙනවා. සමහරක් අය ඒ ඒ අයගේ එදිනෙදා ජීවිකාව පවා කරන්නේ එයාලගේ ඒ දක්ෂතා උඩ පදනම් වෙච්ච යමක නියැලිලා. එතකොට ඔයා, මම, අපි මොනවට ද දක්ෂ ? අපි ඒ දක්ෂ දේ කොහොමද හොයාගන්නේ? අපි මේ වෙනකොට ඒක හොයාගෙන ද ?

අපි හැමෝටම තියෙනවා අපේ ආත්ම එළිය කරන යම්දෙයක්. හරියට ඒක නිකං පුළිගුවක් වගේ. ඔයාගේ ආත්මේ ආලෝකමත් කරන. ඔයාගේ අධ්‍යාත්මය උණුහුම් කරන. මතක් උනාම හිත පිරිලා යන ඔයාගේ ආත්ම පුළිගුව (Spark of The Soul) මොකක්ද?

මේකෙදි අර ජෝ වැටිච්ච පරිසරයේ පෘථිවියට යන්න බලාගෙන ඉන්න අලුත් ආත්ම වලට ඒ යන්නට අවසරේ හම්බෙන්නේ ඒ ඒ අය තම තමන්ගේ 'ආත්ම පුළිගුව' හොයාගත්තයින් පස්සේ. හරියට නිකං ඒක ඒ ආත්මෙට අදාළව මේ ලෝකෙට ඇවිල්ල එයාට කරන්න තියෙන රාජකාරිය වගේ.

ජෝ ගත්තම එයා ආස වගේම එයා දක්ෂ ජෑස් සංගීතයට. එයාගේ ආත්ම පුළිගුව පියානෝව. එයාගේ එකම හීනේ සංගීත කණඩායමකට වාදනය කරන්න. ඒත් එයාගේ අම්මගෙන් ලොකු බලපෑමක් තියෙනව මොකක් හරි රස්සාවක් කරන්න කියල. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි, ජෝගේ තාත්තා සංගීතකාරයෙක් විදිහට දුක් විඳපු හැටි ඒ අම්මා දැකපු නිසා.  ඒ තත්වේ තමන්ගේ පුතාට ත් උරුම වෙනවා දකින්න එයා අකමැති වෙනවා.  ඉතිං ඒ අම්මගේ පැත්තෙන් අම්මා සාධාරණයි. 

කොහොමහරි අන්තිමට ජෝ ට එයාගේ ගේ හීනෙ ඉෂ්ට කරගන්න එයාට අවස්ථාවක් හම්බෙනවා සමාජ ශාලාවක ප්‍රසංගයක ට වාදනය කරල. අන්න එතනදී තමයි චිත්‍රපටයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් වෙන්නේ. ජෝ හැමදාම ආස කරපු දේ, එයා බලන් ඉදපු දේ එයාට හම්බුණා.  ඒත් මොකක් හරි අවුලක් තියෙනව. ඒ හම්බෙච්ච දේ එයා ට එයා බලාපොරොත්තු වෙච්ච තරම් දැනෙන්නේ නෑ / එයා හිතුවා ඒක එයාට වෙනස් විදිහකට දැනේ වී කියල

එතන හරිම අපූරු කතාවක් කියැවෙනවා....

"මුහුදේ හිටපු පොඩි මාළුවෙක් දවසක් ලොකු වියපත් මාළුවෙක් ගාවට ගිහිල්ල කියනව ලු, මට මුහුදට යන්න ඕනේ කියල. ඒක තමා මගේ එකම බලාපොරොත්තුව කියලත් කියනවලු.  එතකොට ලොකු මාළුවා කියනවා මුහුදට ?, ඔයා දැනුත් ඉන්නේ මුහුදෙනේ කියල. එතකොට පොඩි මාළුවා ආයි කියනවා නෑනේ... මං දැන් ඉන්නේ වතුරේ. මට ඕනේ මුහුදට යන්න කියල...

ජෝ ට වගේම අපිටත් හිතන්න යමක් ඉතුරු ක‍රනවා ඒ කතාව...

ඊටපස්සේ ජෝ ටික ටික තේරුම් ගන්නවා ඇත්තටම ජීවත් වෙනවා කියන්නේ මොකක්ද කියල. අපි ආස දේක වේවා... අපි කරන කියන දේක වේවා... ඒක මත්තෙම ඉදල අනිත් හැමදේම අමතක කරොත් මිනිස්සුන්ට මොකක්ද වෙන්නේ කියල මේකෙ හරි ලස්සන ට කියල දෙනවා. එහෙම ජීවිතේ අනිත් හැමදේම අමතක කරල එකම එක දේකට කොටු වෙච්ච අය එයාලගේ ආත්ම අස්සෙම හිරකාරයෝ වෙනවා. අතරමං වෙනවා. 

ඉතින්, මම, ඔයා, අපි හැමෝම බලන්න ඕනේ අපි ආස දේවල් කරන එක හරි. ඒත් හැමදේක ම සීමාව දැනගෙන කරන්න. සමහරක් අය ඉන්නවා රස්සාව කියල ඒ මත්තෙම නැහෙන. දැක්කම පව් කියල හිතෙන මිනිස්සු. අවුරුදු ගානකින් විනෝද චාරිකාවක් ගිහිං නෑ... අඩුම තරමේ තමන්ගේ පවුල අය එක්කවත් වැඩි වෙලාවක් ගත කරල නෑ...

ඉතිං අපි බලන්න ඕනේ හැමදෙයක්ම කළමණාකාරණය කරගන්න වගේම 'මේ මොහොතේ' ජීවත් වෙන්නෙ. මේ ෆිල්ම් එක අපිට උගන්වන වටිනාම දේ ඒක. ඒ "මේ මොහොතේ" වටිනාකම 

අපිට මේ හම්බෙලා තියෙන ජීවිතේ හම්බෙන්නෙ එකම එක පාරයි. කිසිම අඩුපාඩුවක් නැතුව හම්බෙච්ච මේ ජීවිතේ උපරිම ඵල නෙළාගන්න එක අපේ වැඩක්. අතීත අනාගත දෙඅන්තයේ හිර කරුවෙක් වෙන්නෙ නැතුව මේ මොහොතේ ජීවත් වෙනව ගමං ඔයා ආස දේවල් කරන්න, පොතක් කියවන්න, කොහෙ හරි ගිහිල්ල එන්න, තමන්ගේ ආදරණීයන් වෙනුවෙන් කාලයක් වෙන් කරන්න. හැම මොහොතක් ම උපරිමයෙන්ම විදින්න....

මොකද මේ ගෙවන මොහොත ආයි එන්නෙ නැති නිසා...

IMDb දර්ශකයේ 8.1 ක ඉහළ අගයක් ද Rotten Tomatoes වල 96%ක අගයක් ද දැනට වාර්තා කරන මේ චිත්‍රපටය, Pete Docter නම් ප්‍රසිද්ධ අමරිකානු සිනමාකරුවගේ අධ්‍යක්ෂණයක්.  Pete Docter කියන්නේ අපි ගොඩක් ආස කරන Toy Story, Finding Nemo, The Incredibles, Ratatouille, Up, Inside Out වගේ චිත්‍රපට රැසකට තම නිර්මාණ දායකත්වය සැපයු ඔස්කාර් සම්මාන ලාභියෙක්. මේ චිත්‍රපටය දැනටමත් සම්මාන රැසකට හිමිකම් කියා අවසන්. මෙහි හඬකැවීමටත් දක්ෂ ශිල්පීන් කීපදෙනෙක් දායක වෙනවා.  දැනටමත් ගොඩ දෙනෙක් මේක නරඹලා ඇති. නොබලපු හැමෝටම ආරාධනා කරනවා නරඹන්නට කියල. අර කියනවත් වගේ මේක 'බලන්න ම ඕනේ ෆිල්ම් එකක්' 

චිත්‍රපටයේ අවසානයේ ලස්සන දෙබසක් තියෙනව. ඒ දෙබස ඇතුලේ මුලු චිත්‍රපටයේ ම හරය ගැබ් වෙනවා.  ජෝ අර පරිසරයේ ඉදන් ආයි පෘථිවියට යන්න හදද්දී,  උපදේශක ජෙරී A අහනවා ජෝ ගෙන්, 

"ඉතින් ඔයා මොකද හිතන්නේ, ඔයා කොහොමද ඔයාගේ ජීවිතේ ගෙවන්න යන්නේ...? "

ඒකට ජෝ උත්තර දෙනවා මෙහෙම, 

"මං දන්නේ නෑ, ඒත් එක දෙයක් දන්නවා, මම 'හැම මොහොතක ම' 'ජීවත් වෙන්න' යනවා"

මේ වෙලාවේ මතක් වෙනවා ජනප්‍රිය ලේඛකයෙක් වගේම දේශකයෙක් වන 'රොබින් ශර්මා' ගේ ජනප්‍රිය කියමනක්, ඒකත් මේ සටහනට ම අමුණලා ඔබට ජය පතලා අදට සමුගන්නවා

"එක වගේ අවුරුද්දක් හැත්ත පස් වතාවක් ගෙවමින් ඒකට ජීවිතේ කියන්න එපා"

Top