චව්දරී මානසික රෝගියෙක්. ඔහුගේ රෝගය කොයිතරම් බලසම්පන්න ද කියනව නම් චව්දරීගෙ අවසාන නැවතුම වෙන්නෙ රටේ අගමැති පුටුව. රඟපෑමේ දක්ෂතාවය ප්‍රයෝජනයට අරගෙන උපක්‍රමශීලී ලෙස රෝහලෙන් පැන යන මොහු බොහෝ පිරිසක් අන්දවනව. පිළිවෙළින් සඳහන් කළොත් රෝහලේ වෛද්‍යවරයා, කුඩ හදන්නා, පොලිසියේ රාළහාමි, එස්.අයි. නාරායන්, පහුගිය ආණ්ඩුවේ ඇමති, අවසානයේ අගමැතිවරයාත් මේ ගොන්නට ඇතුළත්. නාට්‍යය අවසන් වෙන්නේ චව්දරී අගමැති ලෙස පත් වී හිටපු අගමැතිගේ බිරිඳත් ආර්යාව කරගෙන සෙල්ෆි ඡායාරූපයක් ගන්න දසුනෙන්.
චව්දරී දේශපාලන ප්‍රහසනයක්. තරංග බණ්ඩාරගේ රචනය සහ අධ්‍යක්ෂණයත්, ප්‍රවීණ රංගන ශිල්පීන්ගේ රංගනයත් ප්‍රෙක්ෂකයාව දෙගුණයෙන් බැඳ තබා ගන්නවා. මේ කතාව භාරතීය සමාජ පසුබිම නිරූපණය කරමින් දිගහැරෙන්නක් වන අතර සියලු චරිත ඉන්දියානු නම් ගම්වලින් හැඳින්වෙනවා.
යට කී ලෙසින් චව්දරී දේශපාලන ප්‍රහසනයක් වුවත් එහි විලාසය ප්‍රෙක්ෂාගාර සොයා යන ග්‍රාම්‍ය රැල්ලේ ම රැඳී තිබීම විවේචනයට බඳුන් විය යුතුයි. සම්මාන උළෙලවල දී සම්මාන ලබන වේදිකා නාට්‍ය කොළඹින් පිට රංගගත නොවන පසුබිමක තරංග බණ්ඩාරගේ චව්දරීට ගම් නියම්ගම් පුරා සැරිසැරීමේ විභවයක් පවතිනවා. හේතුව එය දුවන කොමඩි රැල්ලට එකට තබා බැඳිය හැකි දේශපාලන කථීකාව මතුපිටින් ස්පර්ෂ කරන ප්‍රහසනයක් වීම අනෙක් වැදගත් ම කාරණය ජනප්‍රිය සහ දක්ෂ නළු-නිළි පිරිසක් මෙහි රංගනයේ යෙදීම. මේ දෙවැනි කාරණය නාට්‍යයේ ආකර්ෂණීය බව දෙගුණයකින් වර්ධනය කරනවා. ප්‍රසන්නජිත් අබේසූරිය, වසන්ත විට්ටච්චි, කුසුම් රේණු, චාමර ගමඇතිගේ, සමන්ත කුමාර ගමගේ, තරංග බණ්ඩාර, මාධව චතුරංග චව්දරී හි රංගනයෙන් දායක වෙනවා.
මෙහි කතා ප්‍රවෘත්තිය සිත් ඇද බැඳ ගන්නා එකක්. චව්දරී නමැති මානසික රෝගියා වෛද්‍යවරයාගෙන් අහිංසක ඉල්ලීමක් ඉල්ලනවා. මානසික රෝගියාගේ මානසික තත්වය ගැන සිතන දොස්තර වාඩියා ඉල්ලීමට කන් දෙනව. ඔහු තමන්ගෙ නිල ඇඳුම මොහොතකට පිස්සට අන්දනවා. ඉක්මනින් ක්‍රියාත්මක වෙන චව්දරී රෝහලෙන් පැන ගිහින් නවතින්නෙ කුඩ හදන්නෙක් ළඟ. ඔහුවත් අන්දලා මේ මානසික රෝගියා තුන්වනුවට යන්නේ පොලිස් නිලධාරියෙක්ව අන්දන්න. පොලිස් නිලධාරියෙක් ලෙස රට රකින්න තමං කොයි තරම් ආසද කියන එක චව්දරී සිත් ගන්නාසුලූ රංගනයකින් ඒත්තු ගන්වල කුඩ මහන්නාගේ ඇඳුම නිලධාරියාට දී තමා පොලිස් නිල ඇඳුම ඇඳ ගන්නවා. මේ සෑම අවස්ථාවක ම චව්දරී, තමා සතු ජංගම දුරකථනයෙන් සෙල්ෆි ඡායාරූපයක් ගහන්න අමතක කරන් නෑ. මේක ඔහුගේ පිස්සුවේ තවත් ලක්ෂණයක්. පොලිස් නිලධාරියාගෙන් පසුව එස්.අයි. නාරායන්වත්, ඊටත් පස්සෙ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්වත් අන්දන චව්දරී ඉහළම අත්තටත් විදින්න මාන බලනව. කොහොමින් හෝ ඔහු අගමැතිවරයාගේ තැනටත් පත්ව, අගමැතිගේ බිරිඳත් සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් ප්‍රේක්ෂාගාරයෙන් සමුගන්නව.
චව්දරී ලෙස විවිධ වෙස් ගනිමින් රංගනයේ යෙදෙන්නෙ ප්‍රසන්නජිත් අබේසූරිය. ඔහු දක්ෂ රංගන ශිල්පියෙක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. සාම්ප්‍රදායික මානසික රෝගියෙක් නොවන, ඉතා සංකීර්ණ චරිතයතක් චව්දරීගෙන් නිරූපණය වන නිසා ම මොහු මානසික රෝගියෙක් ද නැති නම් කූඨ උපක්‍රමශීලී හොරදෙටුවෙක් ද කියලත් හිතෙනව. ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගෙ සයිකො සිනමාපටයෙ ප්‍රධාන චරිතය වන නෝමන් ඛෙට්ස් මෙහිදී මතක් කළ යුතුයි. නෝමන් ඛෙට්ස් තමා සතු තානායම බලා කියා ගනිමින් ඉන්න ගමන්ම තානායමේ නවාතැන් ගන්නන්ව රහසේ මරා දමනවා. ඇත්තෙන්ම ඔහු අහිංසක, හුදෙකලා තරුණයෙක්. මේ සියලූ මිනීමැරුම් කරන්නේ ඛෙට්ස් නොව, ඔහුගේ මවයි. තත්ත්වය ඒක වුණත් මව මිය ගිහින් බොහෝ කාලයක් වෙනව. ඛෙට්ස් සිය අතීත වේදනාව හා සිරකිරීම් තුළින් මවගේ චරිතයට ක්ෂණිකව ආරෝපණය වෙලා කරන ඝාතන කොහොමද නෝමන් ඛෙට්ස්මයි කළේ කියන්නෙ? ඒත් ඔහු නොකළා කියන්නෙ කොහොමද? මීට සාපේක්ෂව මේ වෙස්වළාගැනීම් කරන්නෙ චව්දරීමයි කියන්න පුළුවන් කාටද? එසේ නොවේ කියන්න පුළුවන් කාටද? මේක සමකාලීන දේශපාලනයට එල්ල වෙන තියුණු උපහාසයක් වෙන්නත් පුළුවන්. අගමැති චව්දරී හොරෙක්ද පිස්සෙක් ද කියල අවසානයේදි ප්‍රශ්නයක් මතුවෙද්දි නාටකය අවසානයි. සැබෑ ලෝකයේ නාටකයත් මීට දෙවැනි නෑ. හොරකමක්ද හොරකමක් නොවේද කියලා හොයා ගන්න, නිර්වචනය කරගන්න බැරි හොරකම් අස්සෙ ලංකා දේශපාලනය කැරකෙද්දි චව්දරී වේදිකාවට පැමිණීම අහඹුවක් නෙවේ.
නාසිස්මය හෙවත් ස්වරූපරාගය මේ මානසික රෝගියාගෙ ප්‍රබල ලක්ෂණයක්. තමාගේ ස්වරූපයට, එහෙමත් නැත් නම් තමාට දක්වන අසීමිත ආදරය නාසිස්මය නමින් හදුන්වනවා. මෙකී තත්වය උඩ චව්දරී යනු, ආත්මගත රෝගයකින් පෙළෙන, ආත්මීය හුදෙකලාව තුළ සිය සිහිනමය ස්වරූපය සොයා එය නඩත්තු කරන්න ඕනෙම ජඩ වැඩක් කරන්නෙක්. මෙය සංකේතාත්මක අර්ථකථනයකට ලක් කළොත් ලංකා දේශපාලනය තුළ රංගනයේ යෙදෙන අති බහුතරය දේශපාලකයන්ගේ ආත්මගත රෝග ලක්ෂණය තමයි චව්දරී. මිනිස් සාරය අහිමි වී ධනවාදය විසින් මනුෂ්‍යත්වය උරා බී තිඛෙන මොහොතක සමාජයේ සෙල්ෆි සෙල්ලම ඕනවටත් වඩා මතු වීම භයානක තත්වයක්. නාට්‍යයෙන් එළියෙ සැබෑ සමාජය ආත්මය අහිමි වූවන්ගේ රෝහලක්ව තිබීම සුලබව දකින්න පුළුවන්. ජාතිය, ආගම වැනි කෘතිම සංස්ථා තුළ හෝ එය ඇතැයි සිතෙන තරමට මේ අර්බුදය උච්ඡ වෙලා. නාට්‍යය හුදු හාස්‍යයෙන් සහමුලින් ඉවත්ව, පිටපත තව දුරටත් කාව්‍යාත්මක වුණා නම් මෙයට සම්භාව්‍ය පෝස්ටරයක් ඇලවිය හැකියි. (උදා- නාට්‍යයේ පසුබිම භාරතීය වුණාට ප්‍රේක්ෂාගාරය පිනවීමට කරන රංගනය නිසා අගමැති ආර්යාවගෙ (කුසුම් රේණු) කටින් කියවෙනව —කොටි නෙවේ උඹලට බල්ලොත් ගහයි˜ කියලා. මේ වගේ පිටයාම් නාට්‍යයේ ඒකත්වයට බාධාවක්.)
කෙසේ වුවත් අගමැතිවරයාගේ නාසිස්ම රෝගය, පිස්සා, ඇන්දෙන මිනිස්සු, අන්දන මිනිස්සු, බලන් ඉන්න මිනිස්සු මේ හැමෝම චව්දරී නරඹනවනම් මතක තියා ගන්න, මේ රෝගය ජාතිවාදය ලෙසින් වුණත් එන්න පුළුවන්.