"පවුලක අගය කියාදෙන Coco" (387)

"පවුලක අගය කියාදෙන Coco" (387)

ජීවිතේ කවදහරි පවුලක සාමාජිකයෙක් වීම ගැන සතුටු හිතිල තියෙනව ද? එහෙම නැත්තම් පවුලක් නැති එක ගැන දුක් වෙලා තියෙනව ද...?

මං මේ මුලපුරන්නේ 2017 දී Disneyලා Pixarල එකට එකතු වෙලා එළිදක්වපු ලස්සනම ලස්සන චිත්‍රපටයක් පිළිබද පොඩි විමසුමකට... 

ඊට කලිං පුංචි දෙයක් කියල ඉන්න ඕනේ, කවදාවත් "Disney Movie" එකක් මිස් කරගන්න එපා. කාටුන් නේ, Animation නේ, පොඩි ළමයින්ගේ ඒවනේ, එහෙම කියල නොබල හිටියොත් ඇත්තටම ඒක සෑහෙන්න ලොකු පාඩුවක්. මොකද "Disney Movie" එකක් කියන්නෙම වෙනම ලෙවල් එකක්. ජීවිතේ සියුම් දේවල් රැසක් ස්පර්ශ කරමින් පාඩම් ගොඩක් අරං එන තක්සලාවක්.

කතාව මං සැකෙවින් කිව්වොත්, අපේ කතා නායකයා වෙන්නේ 'මිගෙල් රිවේරා' කියන වයස අවුරුදු 12ක වගේ පිරිමි ළමයෙක්. එයා උපදින්නේ සපත්තු හදන එක තම ජීවන කර්මාන්තය කරගත්තු පවුලක. මිගෙල් ගේ එකම හීනේ ආශාව වෙන්නේ සංගීතඥයෙක් වෙන එක.  ඒත් අවාසනාවකට වගේ පවුලේ තහනම් වචනේ වෙන්නෙත් 'සංගීතය'. ඒකට හේතුව වෙන්නේ මිගෙල්ගේ මී අම්මා. ඒ කිව්වේ මිගෙල් ගේ ආච්චි අම්මගේ අම්මගේ අම්මා. මමා - ඉමෙල්ඩා ගේ මහත්තයා සංගීතඥයෙක්. එයා එයාගේ හීන හොයං ගියපු ගමනේ පවුල අමතක කරල. ඒ හේතුව නිසා මිගෙල් ගේ මී මුත්තා වගේම සංගීතය කියන්නෙත් රිවේරා පවුලට සාපයක් වගේ. ඒත් මිගෙල් රහසිගතව නිතරම තමන්ගේ හීනේ ජීවත් වෙනවා. එයාගේ ඒ හීනෙට පණ පොවන්නේ ජීවය දෙන්නේ මෙක්සිකෝවේ එකල ඉදපු ලෙජන්ඩ් කෙනෙක් එහෙම නැත්තම් පුරාවෘත්තයක් වෙච්ච 'අර්නස්ටෝ ඩි ලා කෲස්' . එයා තමයි ඒ කාලේ ඉදපු හොදම සංගීතඥයා. මිගෙල් එයාට පිස්සුවෙන් වගේ ආදරය කරනවා විතරක් නෙමේ එයා වගේ වෙන්නත් බලනවා.

කොහොමහරි සංගීතය පස්සේ යන හැම අවස්ථාවකම මිගෙල් ට වැටකඩුළු වැටෙනව ගෙදරින්. දවසක් ඒ සීමාව ඉක්මවා ගිහිල්ල මිගෙල් ගෙදරින් පැනල යනවා. සෑහෙන්න වේදනාවකුත් හිතේ දරං. ඒ යන්නෙත් හරිම විශේෂ දවසක. ඒ දවස ගැනත් යමක් කියන්න ඕනේ. 

'Day of the Dead' එහෙම නැත්තම් 'මළවුන්ගේ දවස' සැමරීම කියන්නේ මෙක්සිකෝවේ සම්ප්‍රදානුකූල චාරිත්‍රයක්. එදාට මෙක්සිකෝවේ පවුල්. එයාලගේ නැසීගිය පවුලේ ඥාති හිතවතුන් සිහිපත් කිරීමක් කෙරෙනවා. විශේෂයෙන් ඔවුන්ගේ ජායාරූපයක්. ඔවුන්ගේ මතක සිහිවටන හා ඔවුන් මෙලොව සිටියදී ප්‍රිය කළ දෑ සමග ඉටිපන්දමක් දැල්වීම් වගේ දේවල් ඔවුන්ගේ සොහොන් කොත් අසල සිදු කෙරෙනවා.

කොහොමහරි එදා මිගෙල් නිවසින් පලා යන්නේ එහෙම දවසක. සංගීත තරගෙකට යෑමට නොදීම හින්දා උරණ වෙලා ඒ යන මිගෙල් අතින් වන අත්වැරදීමක් හේතුකොටගෙන එයාව යැවෙනවා මළවුන්ගේ දේශයට. එහිදී එයාගේ පවුලේ මිය පරලොව ගිය ඥාතීන් හම්බවෙනවා සහ එයාගේ ආසම. එයාගේ role modle එක වෙච්ච එහෙම නැත්නම් පරමාදර්ශී චරිතේ වෙච්ච අර්නස්ටෝත් මුණ ගැහෙන්න හම්බෙනවා. ඒත් මිගෙල් ආයි ඉර පායන්න කලිං නාවොත් එයාට සදහටම එහෙ ඉන්න වෙනවා. 

මොකක්ද ඇත්තටම එහෙ දි වෙන්නේ? මිගෙල් ට ආයේ වෙලාවට එන්න පුලුවන් වෙනවද?  මිගෙල් ට එයාගේ හීනේ හීනයක්ම විතරක් වෙයි ද...?

මං කියන්නේ නෑ. ආරාධනා කරනවා 'Coco' නරඹන්නට බලපු නැති හැමෝටම.

උඩින් කිව්වේ කතාවේ පොඩ්ඩම පොඩ්ඩයි. ලස්සනම දේවල් ටික වෙන්නේ මිගෙල් මළවුන්ගේ දේශයට ගියෑයින් පස්සේ.

Disney කියන්නෙම සුරංගනා ලෝකයක්. එයාලගේ හැම ෆිල්ම් එකක් ම හරිම වර්ණවත්. පරිකල්පන වුණත් එයාලා ඒක හැබෑ මායාවක් කරනවා. විශේෂයෙන් ම මේ මළවුන්ගේ දේශය හිතාගන්න බැරි තරම් සුන්දර තැනක් විදිහට සිනමාවට නගන්න Disney ල සමත් වෙනවා වගේම ඒක හරිම වර්ණවත්.

මං ඊළඟට එන්නේ මේ චිත්‍රපටය අපිට අරං එන පණිවිඩ දිහාවට. මේකේ හැම පුංචි සීන් එකක් අස්සෙම, හැම දෙබසක් ඇතුළෙම, මොකක් හරි කතාවක්, හිතන්න දෙයක්, උප්දේශනයක් තියෙන බව ඇත්ත. ඒ අතරින් මං තෝරගත්තා සමස්තයක් ලෙස මේ සිනමාපටය ඉදිරිපත් කරන ප්‍රධාන පාඩම් 3ක්. 

අපි ඒවා වෙන වෙනම බලමු.

01 පවුල තරම් වටින හා වැදගත් තවත් දෙයක් නෑ | Nothing is more important than your Family 

මේක තමයි මේ චිත්‍රපටයේ ප්‍රධානතම තේමාව. සම්පූර්ණ සිනමා පටයම රැදිල තියෙන්නේ ඔය පාඩම උඩ. ඕක තහවුරු කරන්න. අපිට ඒ දේ ඒත්තු ගන්වන්න ආරම්භයේ ඉදන් අවසානය වෙනකම් නිදර්ශන අනන්ත අප්‍රමාණ තියෙනව.

මිගෙල් ගේ මී මුත්තා එයාගේ හීනේ පස්සේ ගියාට පස්සේ එයාගේ අතින් පවුල අතඇරුණම එයාගේ බිරිඳ ඒ කිව්වේ මිගෙල්ගේ මී මිත්තණිය. මමා ඉමෙල්ඩා දුක් වෙවී හඬා වැලපී ගෙන ඉන්නේ නැතුව පවුලේ සම්පුර්ණ බර එයා කරට ගන්නවා. එතනින් පටන් අරං ලොකු පවුලක් බිහිවෙන්නේ එයා දාපු අඩිතාලම උඩ.

මිගෙල් ගේ ඕනෙම දේකට එයාගේ පවුල ඉන්නව කියල කීප තැනක අපිට පෙන්නුම් කරනවා.  එකම දේ වෙන්නේ එයාලා මිගෙල් ගේ ආසාව එයාගේ හීනේ තේරුම් ගත්තෙ නැති එක විතරයි. ඒකත් මිගෙල් ගේ යහපත උදෙසාම කියන යහ චේතනාවෙන් තමයි එහෙම කරන්නෙත්. හැම තැනකම පවුල කියන දේ සහ පවුලක කොටසක් වීම කියන්නේ මොකක්ද කියන එක අවධාරණය කරනවා. එකිනෙකාව තේරුම් ගැනීම. පවුලට අදාළ වගකීම් යුතුකම් ඉෂ්ට කිරීම. සමාව දීම. අන්‍යොන්‍ය සහයෝගය ඔය වගේ සෑහෙන්න කරුණු ඉස්මතු කරවනවා. අවසානයේදි මිගෙල් ට ම එයාගේ හීන ආසාවන් ඒ සියල්ලටම උඩින් පවුල තමයි වටින්නේ කියන දේ වැටහෙනවා. ඒ වගේම දැන් දැන් සමාජෙන් තුරන් වෙලා යන විස්කෘත පවුලක තියෙන ලස්සන. ඒ වටිනාකම අපිට ආයි ආයිත් පසක් කරවනවා.

02 ඔයාගේ අවස්ථාව අල්ලගන්න | Seize Your Moment 

ඔයාගේ අවස්ථාව අල්ලගන්න. ඔයාගේ හීන හඹායන්න. ඒ තුළ ජීවත් වෙන්න. මෙන්න මේ කාරණා ටික තමයි ඊළඟ වැදගත්ම කොටස මේකෙන් අපිට කියල දෙන.

මේකේ ඒ පාඩම් ටික මිගෙල් ට, වක්‍රාකාරව අපිට කියල දෙන්න ගුරුවරු කීපදෙනෙක් ම එනවා. ඒකේ දි මුලින්ම එන්නේ කඩපිළේ දි හම්බෙන මරියාචේ. එයා තමයි මිගෙල් ට එයාගේ බය නැති කරගන්න පළවෙනි හයිය දෙන්නේ. එතනින් පස්සේ එන්නේ මිගෙල් ගේ වීරයා වෙච්ච අර්නස්ටෝ. අර්නස්ටෝ ලව්වා සෑහෙන්න පණිවිඩ ගොඩක් අපිට දෙන්න Disneyලට පුලුවන් වෙනවා. ඒක මාරයි. මිගෙල් ගේ රහස් කුටියේ සම්පුර්ණයෙන්ම තියෙන්නේ එයාගේ හීනේ. ඇත්තටම හීනෙක ජීවත් වෙනව කියන්නේ ජීවත් වෙන්න හේතුවක් තියෙනව කියන එක. බලාපොරොත්තුවක් තියෙන කල් අපේ ජීවිතේ හැම දවසක් ම නැවුම්. අපිට කවදාවත් ජීවිතෙන් පලා යන්න හිතෙන්නේ නෑ ඒ හීනේ හැබෑ කරගන්නකම්.

එක තැනක ලස්සන දෙබස් ඛණ්ඩයක් තියෙනව. රූපවාහිනි නිවේදකයෙක් අහනවා අර්නස්ටෝ ගෙන්, 

ඩී කෲස් මහත්තයා, ඔයා ඔයාගේ අවස්ථාව අල්ලගන්න මොනවද කරේ කියල.

අර්නස්ටෝ ඒකට උත්තර දෙනවා මෙහෙම,

"මං විශ්වාසය තියාගත්තා මගේ හීන ගැන. කවුරුත් ඒ හීන මට අතට ගෙනත් දෙන්නෙ නෑ. ඒවා හැබෑ කරගන්න එක මගේ වැඩක්. ඔයාගේ හීන ඔයා තද කරල අල්ලගන්න. ඒක යථාර්ථයක් කරන්න"

මිගෙල්ට හීන වලට දර වෙන්නේ, ඉන්ධන වෙන්නේ ඔය වචන. ඇත්තටම මිගෙල් හරිම අවංක බුද්ධිමත් කොල්ලෙක්. ගොඩක් වෙලාවට බහුතර අපිට නැති තමන්ට තමං ගැනම තියෙන්න ඕනේ හරිහමං අවබෝධය මිගෙල්ට තියෙනව. එක තැනකදී එයාට ඕන වෙනවා එයාටම ඔප්පු කරගන්න එයා සංගීතඥයෙක් කියල. 

තව මේකේ ලස්සනම දේ, සංගීතයේ තියෙන අපූර්වත්වය විදහා දැක්වීම. සංගීතය වේවා! මොනයම් කලාවක් හෝ වේවා! කලාවක් කියන්නෙම විශ්ව භාෂාවක්. හදවතට පමණක් ඇහෙන, පෙනෙන, දැනෙන දෙයක්. ඒ නිසා කලාකරුවෝ කිව්වම එයාලා පවුලකට රටකට සමාජෙකට විතරක් අයිති අය නෙමේ. මුළු ලෝකෙටම අයිති අය එහෙම කියල අර්නස්ටෝ ඒ ගැන පුංචි මිගෙල් ට කියල දෙනවා.

03 කැළලක් නැතුව, සළකුණක් තියල යන්න | Leave a Mark, Not a Scar 

මේ ලෝකෙන් සමුගනිද්දී දවසක, සළකුණක් තියල යන්න. කැළලක් නැතුව. මේක කෙලින්ම නොකිව්වත්, ව්‍යංග්‍යර්ථ පණිවිඩයක් විදිහට ගැබ් වෙලා තියෙනව තැන් ගොඩක. ඒකට මේකේ හරිම අපුරු සංකල්පයක් යොදාගන්නව. ඒ තමයි 'Final Death' එක. එහෙම නැත්තම් අවසාන මිය යෑම. ඒ කිව්වේ මේකේ මිනිස්සු මැරුණට පස්සේ එයාලා නැතිවෙන්නෙ නෑ. එයාලා යනවා මළවුන්ගේ දේශයට. එහෙ එයාලා ජීවත් වෙනවා. හැබෑ ලෝකේ එයාලගේ ආදරණීයයන් කොයිතරම් කාලයක් එයාලව හදේ රදවං ඉන්නවද ඒ තරම් කාලයක් එයාලට ආයුෂ තියෙනව මළවුන්ගේ දේශයේ ඉන්න. කවදද හැබෑ ලෝකෙන් එයාලගේ ආදරණීයයන්ට එයාලව අමතක වෙන්නේ. අන්න එදාට තමයි එයාලගේ අවසාන පරම මියැදීම සිදුවෙන්නේ.

මුළු චිත්‍රපටය ම සෑහෙන්න සංවේදි එකක් උනත්, ගොඩක්ම සංවේදි වෙච්චි තැන් දෙකක් තියෙනව. එයින් එකක් තමයි චිචරෝන් ගේ අවසාන මියැදීම. ඒක ඇත්තටම හරිම දුක හිතෙන දර්ශනයක්. තවදුරටත් මේ ලෝකේ එයාව මතකේ තියාගන්න කවුරුත් නැති උනාම එයා සදහටම සමුගන්නවා. ඉතින් අපිටත් මේ දේ පොදුයි. අපි මියැදුණාම, මේ ලෝකෙන් සමුගත්තම අපේ කතාවන් ඉවරයි කියල අපි හිතනවා. ඒත් අපි මේ ලෝකේ ඉන්දැද්දී කරපු කියපු දේවල් ඒවා අත් නොහැර යන හෙවණැල්ල වගේ එහෙම නැත්තම් ගොනා පසුපස එන කරත්තේ රෝදෙ වගේ අපි එක්කම එනවා. ඒ නිසා මේ ලොකේ අපි කොහොමද ජීවත් වෙන්නේ කියන එක හරිම වැදගත්. 

ඒකට හොදම ක්‍රමේ, "නොරිදවා නොරිදවී ජීවත් වීම... "

මතක හිටින, මතක තියාගන්න වටින කෙනෙක් විදිහට මේ ලෝකෙන් සමුගන්න, එහෙම අයට අපි කියනවා අමරණීය චරිත කියල...

අවසාන වශයෙන්, 2017 දී මිලියන 175-200 ක වියදමක් දරල හදපු මේ චිත්‍රපටය මිලියන 800ක විතර ආදායමක් උපයනවා. IMDb මීටරේ 7ක අගයකුයි, Rotten Tomatoes දර්ශකයේ 97% ක අගයකුයි අරගන්න සමත් වෙනව වගේම සම්මාන කීපයකටත් උරුමකම් කියනවා.

මේකේ තියෙන සිංදු ටිකත් හරිම ලස්සනයි. ඒකෙනුත් "Remember Me | මතකයේ තබාගන්න මාව" ගීතය අදටත් බොහොමයක් දෙනාගේ හදේ රැදී ගීතයක් ලෙස මතක වල තියෙනවා.්‍

"මාව මතකේ තියාගන්න

මට සමුගන්න සිදුවුණත් මාව මතකේ තියාගන්න

ඒ වෙනුවෙන් හඬන්න නම් එපා

මා කොතනක හිටියත් මා ද ඔබව හදේ රදවගන්නම්

මම ඔබට රහසින් කියනා ගීතය, හැම රෑක ම, අපි වෙන් වුණත්

මාව මතකේ තියාගන්න... "

Top