"අපේ දරුවො අපේ හීන හැබෑ කරද්දි මොනතරම් සතුටු ද?" - Amaram akilam prema සිනමා නිර්මාණය ගැන

"අපේ දරුවො අපේ හීන හැබෑ කරද්දි මොනතරම් සතුටු ද?" - Amaram akilam prema සිනමා නිර්මාණය ගැන

මේ කතාව සමහර විට ඔබත් කොහේ හෝ තැනකදි අහලා ඇති. ඒත් නැත්තම් ඔබත් මේ අදහසේ කොටස්කාරයෙක් විය හැකියි. ඒත්... මේ අදහසේ ඔබ නොහිතනා දෙයක් තියෙනවා. ඒ තමයි. ඒ දරුවො ඒ හැබෑ කරල තියෙන්නෙ ඒ අයගෙ හීන නෙවෙයි නේද කියන එක. ඒ හැබෑ කරල තියෙන්නෙ දෙමාපියන්ගෙ හීන නේද? ඇත්තටම දරුවො එතකොට හැබෑ කළ යුතු වෙන්නෙ දෙමාපියන්ගෙ හීන ද? ඇයි එතකොට ඒ දරුවන්ට ම කියලා තමන්ගෙ ම හීනයක් තියෙන්න විදියක් නැත් ද? ඒ තමන්ගෙ ම හීන කැපකරලා දෙමාපියොන්ගෙ හීන හැබෑ කරන්න ගිහින් ඒ වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ කැප කරන්න ඕන ද? ඒක සාධාරණ ද? ඇත්තටම ආදරේ කියන්නෙ ඒ විදියට දරුවො දෙමාපියන්ට පරාරෝපණය වීම ද? ඉතින් කවදාවත් ඔබ මේ ගැන එහෙම ගැඹුරින් හිතල තියෙනවද?

 

අකිලා කියන්නෙ පුංචි කාලෙ ඉඳන්ම තමන්ගෙ තාත්තට පණ වගේ ආදරය කරන කෙල්ලෙක්. එයාට පොඩි ඉඳන් ම තාත්තගෙන් තොර ලෝකයක් තිබුන් නැහැ. එයාගෙ තාත්තා ගුරුවරයෙක්. එයාටත් අකිලාගෙන් තොර ලෝකයක් තිබුන් නැහැ. එයා අකිලාට මොන තරම් නම් ආදරේ කළා ද කියනවා නම් එයා හිතුවෙත් කියුවෙත් දුවගෙන් ඈත්වෙලා මොහොතක් හෝ හිටියොත් එයාට හෘදයාබාධයක් හැදේවි කියලා. හරියටම කීවොත් ඒ ආදරේ මොනතරම් ලෝභ ආදරයක් ද කියනවා නම් අකිලා වෙන කාටවත් ආදරේ කරනවට ළං වෙනවටවත් මේ තාත්තා කැමති උනේ නැහැ. අකිලට ස්කෝලෙ යන කාලෙ කැම්පස් යන කාලෙ ආව හැම ප්රේමාරාධනාවක් ම එයා තාත්තට ඇවිත් කියුවා. තාත්තා ඒ හැම යෝජනාවක් ම ප්රතික්ෂේප කෙරෙව්වා. එයා එහෙම කරේ ඒ අයගෙ ගැලපීම් නොගැලපීම් ගැන හිතල බලලාවත් නෙවෙයි. එයාගෙ හිතේ තිබුණ බය නිසයි. එයාට තිබුණ ලොකුම ප්රශ්නය වුනේ අකිලා වෙන කෙනෙක් එක්ක ආදරේ කරලා තමන්ට දක්වන ආදරේ අඩුකරයි කියන එක. තමන් දාල යයි කියන එක. එයා උන්නෙම ඒ බයෙන්.

 

හැබැයි දෙමාපියන්ගෙ ආදරේදි උනත් ඕනවට වැඩිය එහෙම දරුවන්ට ලෝභකම් කරන එක ඒ තරම් ම හොඳ දෙයක් නම් නෙවෙයි. ඒත් අකිලාගෙ තාත්තා එහෙමයි. අනික තමයි අකිලා ආසා කරේ ඉංජිනේරුවරියක් වෙන්න. ඒත් ... එයාගෙ තාත්තට ඕන උනේ එයා පරිපාලන නිලධාරිනියක් කරන්න. 

කතාව ඔහොම යද්දි අකිලා කැම්පස් එකේ දි එයාට ආව ආදර යෝජනාවකට කැමති වෙනවා. ඒත් එයාගෙ තාත්තා අර කලින් හේතු නිසා එකවරම මේකට අකමැති වෙනවා. ඒත්... අකිලට එයාගෙ පෙම්වතා පැහැදිලි කරලා දෙනවා තාත්තගෙ මේ හැසිරීමෙ සැබෑ ස්වරූපය. ඒ අතරෙ අකිලාගෙ තාත්තා අකිලව පවුලෙම ඥාති පුත්රයෙක්ට බන්දල දෙන්න සැලසුම් කරද්දි මේකෙන් ගැලවෙන්න අකිලා එයාගෙ පෙම්වතා එක්ක පැනල යනවා. එහෙම යන පළවෙනි දවසෙම එයාට තාත්තව මතක් වෙනවා. තාත්තාගෙ ආදරේ... පුංචි කාලෙ ඉඳන් තාත්තා එයාට කියා දුන්නු ඒවා මතක් වෙනවා. එයා ආපහු එයාගෙ පෙම්වතාට කියනව ගෙදර යන්න ඕන බව. ඒකෙ අවසන් ප්රතිඵලය වෙන්නෙ දෙන්න රණ්ඩු වෙලා පෙම්වතා අකිලාව අතෑරල දාන එක. අකිලා ගෙදර එනවා. ඒත් එයාගෙ තාත්තා එයා කරපු වරදට දඬුවම හැටියට අකිලා තව දුරටත් තමන්ගෙ දුවක් නෙවෙයි කියලා අකිලව අතෑරල දානවා. අකිලට පෙම්වතාගෙ ආදරෙත් තාත්තගෙ ආදරෙත් අහිමි වෙනවා. මේ කටුක ඉරණම එක්ක එයා තීරණය කරනවා කොහොම හරි තාත්තගෙ ආදරේ ආය දිනාගන්න. 

 

එයා තමන්ගෙ ආසාව කැප කරලා තාත්තගෙ ආසාව උන පරිපාලන විභාගය කරන්න සූදානම් වෙනවා. ඒ තාත්තගෙ හීනෙ හැබෑ කරාම තාත්තා ආයෙම එයාව දුව විදියට බාර අරන් පරණ පුරුදු විදියට ආදරේ කරයි කියන බලාපොරොත්තුවෙන්. ඒ අතරෙදි අමර් කියලා තරුණයෙක් අකිලට මුණ ගැහෙනවා. එයත් අකිලට ආදරේ කරනවා. අකිලාගෙ තාත්තා වගේ ම අමර් අකිලට ගොඩක් ආදරේ කරනවා. ඒත් ... ඒ ආදරේ අකිලගෙ තාත්තාගෙ ආදරේට වඩා වෙනස් වෙන විශේෂ කාරණයක් තියෙනවා. ඒ තමයි අමර් අකිලට ලෝභ කම් නොකිරීම. මොකද? එක වෙලාවක අකිලයි එයාගෙ තාත්තයි අතර තියෙන මේ ගැටලුව අමර් දැන ගන්නවා. එයා ඒ වෙලාවෙ තීරණය කරනවා තමන්ගෙ ආදරේ නිසා අකිලාත් එයාගෙ තාත්තාත් අතරට ගිහින් මේ ප්රශ්නෙ තවත් උග්ර තත්වයකට ගේන්නෑ කියලා. ඉතින් එයා අකිලාගෙන් ඈත් වෙලා පැත්තක ඉඳන් නිහඬවම අකිලට ආදරේ කරනවා. කොහොම උනත් අන්තිමට අකිලා විභාගය පාස් වෙනවා. ඒ වෙද්දිත් අමර් පැත්තකට වෙලා අකිලට ආදරේ කරනවා. විභාගෙ පාස් උනත් අකිලා ව තමන්ගෙ දුව හැටියට බාරගන්න අකිලාගෙ තාත්තා සූදානම් නෑ.

 

ඉතින් මොකක් වෙයිද?

 

මේ සිදුවීම ඇත්ත එකක් වගේ පෙනුනත් මේක තියෙන්නෙ jonathan vesapogu අධ්යක්ෂණය කළ Amaram akilam prema කියන තෙළිඟු සිනමා පටයේ. 2020 සැප්තැම්බර් මාසෙ 18 වෙනිදා ජනතා ප්රදර්ශනය ඇරඹුව drama - romance කැටගරියට අයත් මේ සිනමා සිත්තම ඇත්තටම නූතන සමාජයෙ ආදරය බැඳීම් ආදිය පිළිබඳ යථාර්ථ නිරූපණයක් හැටියට හඳුනා ගන්න පුලුවන්. අනික් අතට මේ කතාව ඇතුළෙ මාර ම ලස්සනට දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධය කොහොමද ඇත්තටම කාලයත් සමග ගැලිය යුතු වෙන්නෙ කියන එක පෙන්වනවා. දරුවො ලොකු වෙද්දි එයාලට එයාලගෙ ම ජීවිත තියේ කියන එක අමතක වෙන ගොඩක් දෙමව්පියො තමන්ගෙ හීන දරුවන්ගෙ පූර්ණය කරගන්න ගන්න උත්සහය වගේ ම ලොකු දරුවො දිහා හැමදාම පොඩි දරුවො කියලා බැලීම මත දෙමාපියන්ගෙ හැසිරීමෙන් දරුවො මොනතරම් අසරණ වෙනවද කියන එකත් නිරූපණය වෙනවා. 

 

ඉතින් මේ සටහන කියවන ඔබ දෙමාපියෙක් නම් විශේෂයෙන් මේ සිනමා පටය ඔබ නැරඹිය යුතුයැයි මම යෝජනා කරන්නෙ ඔබටත් සමහර විට මේ නිර්මාණයේ කොතැනක හෝ ඔබව හමුවිය හැකි නිසා වගේ ම ඔබ අතින් සමහර විට සිදුවන වරදක් පිළිබඳ හෝ ඔබේ හැසිරීමේ දිශානතිය පිළිබඳ ඉඟියක් මේ සමස්ථ නිර්මාණයෙන් ම ලබාගත හැකි නිසයි.

Top