"ද ගෝඩ්ෆාදර්" චිත්‍රපටයේ සංස්කරණය සහ ආලෝකකරණ ශිල්ප භාවිතයේ හැසිරීම විමසුම

"ද ගෝඩ්ෆාදර්" චිත්‍රපටයේ සංස්කරණය සහ ආලෝකකරණ ශිල්ප භාවිතයේ හැසිරීම විමසුම

"ද ගෝඩ්ෆාදර්" හදන්න මුලින්ම යෝජනා වෙලා තිබුනේ "ෆ්‍රැන්සිස් ෆෝඩි කපෝලාට" නෙමෙයි. කපෝලට කලින් සර්ජ්යෝ ලියොන්, පීටර් යේට්ස් වගේ ගොඩක් අධ්‍යක්ෂවරුන්ට පැරවුමන්ට් පික්චර්ස් සමාගමෙන් "ද ගෝඩ්ෆාදර්" හදන්න ආරාධනා කරලා තිබුනා. හැබැයි අන්තිමට පැරමවුන්ට් සමාගම කපෝලා තෝරගන්නේ ඉතාලි පරමිපරාවෙ අධ්‍යක්ෂවරයෙක් හින්දයි. කපෝලා පැරමවුන්ට් ස්ටුඩියෝ එක ⁣ප්‍රමෝදයට පත් කරන්න ඕන කමින්ම වගේ වැඩියෙන් ප්‍රචන්ඩ දර්ශන එකතු කළා කියලත්, ප්‍රකාශ කරලා තිබුනා. හැබැයි කපෝලා ඉපදුනේ ඇමරිකාවෙ වුනාට " ද ගෝඩ්ෆාදර්" ඇතුලේ කපෝලාගේ පරම්පරාවෙ මුල් භූමිය වෙච්ච ඉතාලියේ නම තියන්නත් අමතක කරලා නැහැ. චිත්‍රපට  කතන්දරය භාගයක් විතර  මිශ්‍ර කරන්නෙ ඉතාලියේ පරිසරයත් එක්ක. ඉතාලිය - ඇමරිකාව Combined කරන කපෝලා "ද ගෝඩ්ෆාදර්" ඇතුලේ සංස්කෘතික ගතියකුත්   චිත්‍රපටය ඇතුළට ගේනවා.

"මාලන් බ්රැන්ඩො" "ද ගෝඩ්ෆාදර්" චිත්‍රපටයට තෝරාගත් ආකාරය මම කියවලා තියෙන විදිහට "සැමීගේ කතාව" චිත්‍රපටය හදපු  ප්‍රියංකර එක සම්මුඛ සාකච්ඡාවකදි මෙහෙම කියලා තිබුනා, මාලන් "ද ගෝඩ්ෆාදර්" සඳහා තෝරාගැනීමේ තිර පරීක්‍ෂණය සඳහා අධ්‍යක්‍ෂ සහ නිෂ්පාදක වරයා සිටි තැනින් එම චරිතය ආකාරයෙන් වෙස්වළාගෙන එතැනින් එහාටත් මෙහාටත් කිහිප පාරක් ගිහින් තිබෙනවා. එවිට නිෂ්පාදක හා අධ්‍යක්‍ෂ පවසා තිබෙනවා 'අර ඉන්නෙ ගෝඩ්ෆාදර් වගේ කෙනෙක් කියලා'. අන්න එහෙමයිලු බ්‍රැන්ඩෝට ගෝඩ්ෆාදර් එකේ  ප්‍රධාන චරිතය ලැබෙන්නේ.

චිත්‍රපටය වඩාත් සුවිශේෂී වෙන්නෙ තනිකරම සිනමා වැඩබිමක් හින්දයි. ප්‍රධානම එක සංස්කරණය (Editing), ⁣දෙක ආලෝකකරණය (Lighting).

පළමුවෙන්ම "ද ගෝඩ්ෆාදර්" චිත්‍රපටයේ සංස්කරණය(Editing) පැත්ත ගත්තොත් 95% ක්ම වගේ යොදාගෙන තියෙන්නෙ මුසු කිරීම(Mixing) කියන සංස්කරණ ක්‍රමවේදය. චිත්‍රපටයේ මුසු කිරීම හෙවත් රූපයක ක්‍රියාව අවසානයේ දී ඒ රූපය ඊළඟට පැමිණෙන රූපය සමඟ මුසු වී වියැකි යනවා. දෙවන රූපය කෙමෙන් කෙමෙන් පෙර රූපය හා මුසුව වඩාත් ප්‍රබල ලෙස ඉස්මතු වී අවසානයේ දී ඒ රූපය පමණක් ඉතිරි වෙනවා. මෙහිදි රූප දෙක එකිනෙක මත පතිතවීමක් සිදු වෙනවා. " ද ගෝඩ්ෆාදර්" චිත්‍රපටයේ මෙම ශිල්ප ක්‍රමය යොදාගෙන ඇත්තේ කාලය සහ අවකාශය(Time And Space) ගත වු බව පෙන්වීමට. සැමවිටම "ද ගෝඩිෆාදර්" චිත්‍රපටයේ කාලය සහ අවකාශය වෙනස්වන සුළු බවක් පෙනෙනවා.

අනෙක් අතට චිත්‍රපටයේ අවසාන භාගයේ පෙන්වන මයිකල් කොරෝලියානෝ පල්ලියේ සිදුවන භෞතිස්මය සහභාගීවීමත්, එම සිදුවීමට සමාන්තරව ඔහුගේ පාතාලයේ එදිරිවාදීන් සමුල ඝාතනය යන සිදුවීම ද්ව්ත්වය හරස් ජේදනය(Cross Cutting) ඔස්සේ සිදුකර තියෙනවා . මීට සමෝධානය(Montage) හෙවත් සංකල්පමය සංස්කරණය (concept edit) යන්නද හඳුන්වා දීමට හැකිය. එහිදි එක් රූපයක් තව රූපයකට ජේදනය කර යම් අර්ථයක් නිෂ්පාදනය කිරීම වෙනුවට එකිනෙකට නෑකම් නොකියන රූප දෙකක් ජේදනය කිරීම මඟින් තුන්වන අරුතක් ජනිත කිරීම සංස්කරණ ශිල්පියාගේ අභිලාෂයයි. මෙම සංස්කරණ අවස්ථාව තුළ  ප්‍රේක්ෂකයාට හැඟී යන්නෙ මයිකල් කොරලියෝන් පල්ලියේ භෞතිස්ම වන අවස්ථාව සහභාගීත්වය සමඟ "සාතන්"හෙවත් "යක්ෂයා" බවට භෞතිස්ම වෙන බවයි. චිත්‍රපටය තුළ දක්නට ලැබෙන විශිෂ්ටතම සංස්කරණ දර්ශනය මෙයයි.

"ද ගෝඩිෆාදර්" චිත්‍රපටය ඇතුලේ හැසිරුණ ආකාරය පිළිබඳ ගත්තොත්, චිත්‍රපටයේ බොහෝ අවස්ථාවල දී ප්‍රබල ප්‍රධාන චරිතය නිරූපණය කළ මාලන් බ්‍රැන්ඩෝගේ ඇස් දෙක ආලෝකමත් නොකිරීමට චිත්‍රපටයේ කැමරා ශිල්පියා වු ගෝඩන් විලිස් වගබලා ගත්තා. ඔහුගේ ඇස් දෙක අඳුරුයි බොහෝ අවස්ථාවල. හේතුව විදියට ඔහු සඳහන් කරන්නෙ, බ්‍රැන්ඩෝ නිරූපණය කරන්නෙ දොන් විටෝ කොරලියෝන් කියන පාතාල කල්ලි නායකයාගේ චරිතය. ඔහු සිටින නිවස, කාර්යාල සැමවිටම අඳුරු තැනක්. යම්තම් ජනේලවලින් එන මඳ ආලෝකයෙන් සිවිලිමේ  එල්ලා ඇති ලාම්පුවලින් පමණයි ආලෝකමත් කරලා තියෙන්නෙ. බ්‍රැන්ඩෝගේ මුහුණ ආලෝකමත් කරලා තියෙන්නෙ ඉහළින් එන ලාම්පු එළියෙන්. ඒ හින්දම ඔහුගේ දෙඇස්වලට අඳුර වැටෙනවා. ඉතින් මෙවැනි ආලෝකකරණයක් භාවිතා කලේ කොරලියෝන් නම් පුද්ගලයාගේ ගුප්ත, අපැහැදිලි චිත්ත අභ්‍යන්තරය විදහා පෑමට කියලා ගෝඩන් ව්ල්ස් කියනවා. කොරලියෝන් හිතන්නේ මොකක්ද කියලා අපි දන්නෙ නැහැ. නමුත් ඔහු තේරුම් ගන්න නිරතුරුවම ප්‍රේක්ෂකයා වෑයම් කරනවා මේ හරහා. ඒ තමා විල්ස්ගේ අදහස. චිත්‍රපටය තුළ මන්දාලෝකය( Low Light) භාවිතය තුළින් අවස්ථාවන් තුළ ඇති ගූඨ ස්වරූපය ඉස්මතු කරනවා.

චිත්‍රපටය සම්පුර්ණයෙන්ම පාහේ සංස්කරණය සහ ආලෝකකරණය තුළින් ලබාදෙන ගුණය ඉතාමත්ම බලසම්පන්නයි. මෙයාකාරයෙන් චිත්‍රපටයේ කතාවට වඩා සංස්කරණය සහ ආලෝකකරණය තුළින් ප්‍රේක්ෂකයාට චිත්‍රපටය කියවීමට මහත් රුකුලක් සපයනවා.

Top