පන්තිමය සමාජයේ මානව විරෝධී බව කියන The Kid

පන්තිමය සමාජයේ මානව විරෝධී බව කියන The Kid

චාලි චැප්ලින්ගේ ළමා කල අත්දැකීම් ඉතා ප්‍රබල ලෙස නිරූපිත චිත්‍රපටයකි The Kid. ලන්ඩනයේ අඳුරෙන් අඳුරට  යොමු වුණු කෙනිංටන් පාරේ කුඩා කාමර නිවෙස්වල දිවි ගෙවූ අසරණ චැප්ලින්, මව හා සහෝදර සිඞ්නි සමඟ නොයෙක් විදියේ දුක් අනුභව කළහ. මේ බහුතරයක් ලක්ෂණ කිඞ් චිත්‍රපටයේ පාදඩයා සහ කුඩා දරුවාගේ චරිතවලින් මැවීමට ඔහු සමත්ව ඇත. 

තරුණ මවක් පියා නොමැතියෙන් තමාට ලැබෙන දරුවා මඟ දමා යයි. මෙහි උරුමය කරගසන්නට වෙන්නේ මාර්ග සංචාරයේ යෙදෙන පාදඩයාට ය. දරුවා අතට ගන්නා පාදඩයා නැවත වරක් දරුවා බිම තබා ගැලවී යන්නට උත්සහයන් ගණනාවක ගනියි. ඒ සියලු උත්සහයන් ව්‍යාර්ථ වන අතර අවසානයේ ඔහුට සිය දරුවා හදා වඩා ගන්නට සිදුවේ. දරුවා තරමක් වයසින් වැඩුණු පසු දෙදෙනා ම එක්ව කූට ව්‍යාපාරයන්හි යෙදේ. පාදඩයා නිවෙස්වල පළුදු වූ වීදුරු අලුත්වැඩියා කර දෙන්නෙකි. කුඩා කිඞ් කලින් ගොස් මග අයිනේ වන ගෙවල්වල වීදුරුවලට ගල් ගසා බිඳියි. මේ කිසිවක් නොදන්නා ලෙසින් මග යන වීදුරු අලුත්වැඩියා කරන්නා මුදල් ගෙන බිඳුණු වීදුරු පිළිසකර කර දෙයි. එක්තරා මොහොතක දරුවාගේ නීත්‍යානුකූලබව පාදඩයාට නොමැතියෙන් දරුවා බලහත්කාරයෙන් රැගෙන යනු ලබයි. එහෙත් නොනවත්වා සටන් කොට, පාදඩයා දරුවා ගලවා ගන්නට උත්සහා කරයි. අවසානයේ දරුවාගේ සැබෑ මව විසින් කිඞ්ව සිය පොහොසත් ජීවිතයට කැඳවා ගනියි. පාදඩයාට ද එහි දොර හැරෙන අතර ප්‍රේක්ෂකයා ඇතුළු වීමට මත්තෙන් දොර වැසේ.

පංති සමාජ සමාජය සතු මානව විරෝධී බව චැප්ලින් The Kid ඔස්සේ ප්‍රේක්ෂකයා වෙත ගෙන එයි. අනාථ දරුවන් බිහිවීම යනු පුද්ගල මටටමේ අවුලක් නොවන අතර සමස්ත පංති සමාජයේ ම අවුලකි. දරුවා ලැබී රෝහලෙන්  ඉවතට පැමිණෙන මවට දරුවා මග දමා යන්නට වීම වනාහී මානව ප්‍රේමයටත් වඩා පංති සමාජය පිළිබඳ ප්‍රශ්නයකි. එක්වරක් ඔහු දරුවා වෙනත් දරුවෙකු සිටින ළදරු කරත්තයකට දමා යයි.  තවත් විටෙක ගත් තැනින් ම තබන අතර පොලිස් නිලධාරියෙකුගේ බැල්ම නිසා නැවතත් අතට ගන්නට සිදු වේ. තවත් මොහොතක මහල්ලෙකුට දී පැන යයි. මහ මගෙහි වන කානුවක දමා යන්නට උත්සහා කරයි. මේ සියල්ල අවසන දරුවා ආදරයෙන් ඇති දැඩි කර ගන්නට තීරණය කරයි. 

දරුවාව ඇති දැඩි කරගන්නා පාදඩයා ඔහුත් සමඟ ජීවිකාව සොයා ගැනීමේ නොයෙක් රැකියාවන්හි යෙදෙයි. පාදඩයා නිවෙස්වල පළුදු වූ වීදුරු අලුත්වැඩියා කර දෙන්නෙකි. එක් අවස්ථාවක දී පොලිසියට හසුවන දෙදෙනා බේරෙනුයේ අනූ නවයෙනි. 

සුන්දර ධනපති නගරයන්හි සැරිසරන අසුන්දරත්වයන් චැප්ලින් ඔහුගේ චිත්‍රපට ගණනාවකින් ම පෙන්වයි. නගරයේ පවත්නා අශ්ශීලත්වය, හොරමැරකම් වළක්වාලීම සඳහා ඊනියා සාධූත්වයේ හා ධනපති රාජ්‍යයේ පරම සංකේතය වන පොලිසිය වීදියක් වීදියක් පුරා සැරිසරයි. පිටතින් පෙනුමැති නගරවල සැරිසරන්නන්ට රාජ්‍ය විසින් පොලිස් සංකේතය ඔස්සේ පෙන්වා දෙන්නේ ඔබ වෙනුවෙන් අපි බලා සිටිනවා යන්නයි. 

චිත්‍රපටයේ එක් අවස්තාවක ෆැන්ටසික දර්ශනයක් අඩංගුය. බලධාරීන් විසින් දරුවා පැහැරගෙන ගිය කල්හි චැප්ලින් විත් නිවසේ දොර අයිනේ වැටී නිදයි. එකල්හි ඔහු සිහිනයක් දකින අතර එය චිත්‍රපටයේ මායාත්මක දර්ශනයක් ලෙස අන්තර්ගත කෙරෙයි. එක්තරා අතකින් එය මේ සමාජ ක්‍රමය තුළ සාක්ෂාත් කරගත නොහැකි දේ මායාවක් ලෙස ඉදිරිපත් කෙරෙයි. 

අවසානයේ බලධාරීන් විසින් දරුවාව සැබෑ මව වෙත භාර දීම සිදු කරයි. එහි දී දරුවාව ආදරයෙන් සහ පරිශ්‍රමයෙන් රැකබලාගත් පාදඩයාට ද එහි ආරාධනා කෙරෙයි. විශේෂත ම දේ නම් ප්‍රේක්ෂකයා නිවසට පිවිසීමට පෙර ද්වාරය වැසීමයි.

මෙය ප්‍රේක්ෂකයාට තහනම් වූ ඇතුළතකි. මෙතෙක් සියලු අවස්ථාවන් ප්‍රේක්ෂකයාට විවෘත වුව ද දැන් දොර වැසෙයි. මෙය එක් අතකින් පංති සමාජය තුළ වන අති සීමිත නිදහස පිළිබඳ කියවීමකි. එහෙයින් හැමෝට ම එවැනි අවස්ථා නැත. එක් පාදඩයෙකු ඇතුළු වූ පසු තවත් පාදඩයන්ට එහි ඉඩ නොමැත.

 

Top