ප්‍රේමම් කියා දුන්නු ප්‍රේමයේ පාඩම (215 වන ලිපිය)

ප්‍රේමම් කියා දුන්නු ප්‍රේමයේ පාඩම (215 වන ලිපිය)

ආදරේ කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ආදරේ කියන්නේ තනි නිර්වචනයක් දීලා අවසන් කරන්න බැරි හැඟීමක්. සතුට වේදනාව එක වචනෙක ගැබ් වෙලා තියෙන්නා වූ අපූර්ව හැඟීමක්.

ප්‍රේමම් කියන්නේ මුළු මලයාලම් සිනමාව ම ඇබ්බැහියක් කරපු තැනක්. පල්ලවී මලර් කරෙත්, මලයාලම වශියක් කරෙත් ප්‍රේමම් කීවත් වැරැද්දක් නැති තරම්. ප්‍රේමම් කියන්නේ ෆැන්ටසියක් නොවුණු අපේ ජීවිත වල රියලිටිය. මලයාලි සිනමාවේ සරලකම අස්සෙන්ම හිත් අල්ල ගත්තු වශිය. එතකොට ජෝර්ජ් කියන්නේ අපේ කාලේ තරුණ පෙම්වතුන් අතරම එක පුරුකක්. ජෝර්ජ්ගේ ජීවිතේ ආදර පරිච්ඡේද අතරින් ජීවිතේ ගලන් යන හැටි , ඒ තුළින් නරඹන්නන්ගේ මතක පොත් විවර කරන හැටි මාරයි.

ජෝර්ජ්ගේ හිතට දැනෙන කුළුදුල්ම ප්‍රේමය මේරි. ආදරේ ගැන ලොකූ අත්දැකීමක් නැති කාලෙක ඒ පිරිමි හිතට දැනෙන, ලියුම් ලියවෙන, මඟ බලන , ලුහු බඳින, හීන දකින ජෝර්ජ්ගේ අහිංසක ආදරේ. සමවයස් තරුණයන් පිරිසක්ම එකම තරුණියක වෙනුවෙන් බලන් ඉන්න විටක ඒ ආදරේ වෙනුවෙන් කරන කැපකිරීම්. පුංචි පුංචි ඉඟිබිඟි අස්සෙන් ඒ ආදරේ ප්‍රකාශ වෙන අන්දම. මේ හැමදේම බොහොම ස්වාභාවිකවම නිර්මාණකරුවා ගොඩනංවා තියෙන ආකාරය අපූරුයි. ඉතින් අවසානයේ ආදරේ ප්‍රකාශ වෙන්න යන අන්තිම මොහොතේ මේරි ජෝර්ජ්ගෙන් ඉල්ලන පුංචි උදව්වකින් ජෝර්ජ්ගේ හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම සුන් වෙලා ගියොත්. ඒ කුළුදුල් ප්‍රේමය සම්බන්ධතාවයකට නොගිහින් අප්‍රකාශිත ආදරයක් එහෙමත් නැත්නම් ක්‍රෂ් එක මට්ටමේ නවතින්න වුණොත්. 

ඒත් ජීවිතේ සමහර වේදනාවල් අස්සේ තියෙනවා සදාකාලික උරුමයක් වෙත කෙනෙක් ගෙනිහින් නවත්තන තරම් බලයක්. සමහර වෙලාවට ආදරේ සමහර තැන් අසාධාරණ වුණාට උරුමය කියන්නෙම අපි නොහිතන විදිහේ , දෛවයේ පුදුමාකාර තේරීමක්.

"යමෙක් සිය තාරුණ්‍යය තුළදී හෝ විප්ලවවාදී නොවෙන්නේ නම් එය ජීව විද්‍යාත්මක ගැටලුවකි" කියන සැල්වදෝර් ඇලැන්ඩේගේ කියමන මං මෙතනට අමුණනවා. ජෝර්ජ් අස්සේ ඉන්න යෞවනයා තරුණ වියට පා තබනවා. අර අහිංසක බොළඳ යෞවනය අස්සේ නැති තරුණ ජවය , විප්ලවවාදීත්වය ප්‍රේමම් අධ්‍යක්ෂකවරයා ජෝර්ජ් තුළින් මතු කරලා තියෙනවා. ආදරේ එක මොහොතින් අත් ඇරලා දාපු ජෝර්ජ් වෙනුවට ආදරේ වෙනුවෙන් සටන් කරන ජෝර්ජ් එතැන් පටන් බිහිවෙනවා. 

මලර් ! ජෝර්ජ්ගේ ජීවිතේ සම්බන්ධතාවයකට ගිය ප්‍රේමය. එහෙමත් නැත්නම් ප්‍රේමම් කියන්නේ තවත් විදිහකට මලර්ගේ කතාව.

තරුණ ජවය ඔළුවට වැදුණු කොල්ලෙක් අලුතින්ම තමන්ගේ කැම්පස් එකට එන එක කෙල්ලෙක්ට රැගින් ඇක්ට් එකක් දානවා. තමන්ගේ කනිෂ්ඨ ශිෂ්‍යාවක් කියලා හිතලා ඒ දේ කරා වුණත් ඒ අලුතින්ම පත් වුණු ගුරුවරියක් වුණොත් !!

ඉතින් ඒක ගුරු සිසු ආදරයක්. ඇත්තටම ජීවිතේ සමහර සීමා නිසා ආදරේ දැනෙන හදවතකට තහනමක් පනවන්න හැකිද ? කොහෙත්ම බෑ. ඉතින් ජෝර්ජ්ගේ ජීවිතේ ආදරේ උච්චතම ඝට්ටනයක් සිද්ද කරන කෙනා වෙන්නේ මලර්. ජීවිතේ අස්සේ ආදරේ තියන වේදනාකාරීම පරිච්ඡේදය කියලා දෙන ගුරුවරිය වෙන්නේ මලර්.

අහම්බකාරකව ජෝර්ජ්ගේ ඇස් ඉස්සරහට ආවා මලර් , ජෝර්ජ්ගේ ඇස් දෙකෙන් නොහිතන වෙලාවක මෑත් වෙලා යන්නෙත් කැපකිරීම කියන දේ ජෝර්ජ්ගෙන් අවසානය දක්වාම සඟවලා.

තමන්ගේ ජීවිතේ වැඩිපුරම ආදරේ කරපු මලර්ට, හදිසි අනතුරකින් තමන් ගැන පූර්ණ මතකය අහිමි වෙලා කියන දේ ජෝර්ජ් දැන ගන්නවා. ජෝර්ජ්ගේ ජීවිතේ ඒ ආදර පරිච්ඡේදයේ බිඳ වැටීම එතැනින් ආරම්භ වෙනවා.. මලර් වෙනත් කෙනෙක් හා විවාහ පත් වෙනවා. 

ඒ වේදනාව තුළින් ඊළඟට බිහි වන්නේ අත්දැකීම් බහුල පරිණත ජෝර්ජ් කෙනෙක්. බාහිර පෙනුම, හැසීරීමේ පටන් සියලු දේ සම්බන්ධයෙන් අධ්‍යක්ෂකවරයා දක්ව තිබෙන අවධානය මේ තුළිනුත් පැහැදිලිවම පෙන්නුම් කරනවා. ජීවිතේ උරුමේ දක්වා ගමන් කරනකන් මිනිස්සුන්ගේ ජීවිත වලට යන එන මිනිස්සු , ජීවිතේට හරි වැදගත් පාඩම් ගොඩාක් කියලා දෙනවා. ජීවිතේ ආදරේ වෙනුවෙන් අපිව සූදානම් කරනවා. 

ඉතින් උරුම ආදරේ කියන්නෙම ඇක්සිඩන්ට් එකක්. අහම්බයක්. ජෝර්ජ්ගේ ජීවිතේ උරුමේ වෙන්නේ සෙලීනා. තමන්ගේ කුළුදුල් ආදර බලාපොරොත්තුව වෙච්ච් මේරිගේ ළඟින්ම උන්නු පුංචි කෙල්ල සෙලීනා. ඉතින් ජෝර්ජ්ට සෙලීනාව මඟ හැරෙන හැටිත් ආයෙමත් ජෝර්ජ් ළඟටම සෙලීනා එන හැටිත් තුළින් , දෛවයේ සමහර තීන්දු තීරණ පිළිබඳව හොඳින්ම පැහැදිලි වෙනවා.

සෙලීනාගේ විවාහය මඟ හැරිලා ජෝර්ජ් සමඟ විවාහයකින් ඒ ආදර කතාවේ අවසානය ලියවෙනවා. ඉතින් ජීවිතේ කියන්නෙම පුදුම කිරීම් ගොඩක එකතුවක්. අවසානයේදී මලර් හැමදාටම හංගන් හිටපු රහස , ජෝර්ජ්- සෙලීනා විවාහය තුළදීම මලර් සදාකාලිකවම වළලලා දානවා.

" දැන්වත් ඇත්ත කීව නම් හරිනේ ?

- මොකටද ? එපා. එයා දැන් සතුටින් ඉන්නවා... " 

ඉතින් විනාඩි එකසිය හැට හතරක් දිව්වට මුළු කතාවම රැඳිලා තියන තත්පර කිහිපය තියෙන්නේ මලර්ගේ ඒ වචන ටික අස්සේ. ඉතින් ප්‍රේමම් මලර්ගේ කතාව වෙන්නේ එතැනින්.

ඒ වගේම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ජෝර්ජ්. පරිත්‍යාගය කියන දේ උපරිමයෙන්ම කෙරුව පිරිමියෙක් විදිහට ඔහු හඳුන්වන්න පුළුවන්. මේරිගේ ආදරේ පටන් අත් හැරීම් වලට ඔහු දෙන අවෛරී සමුගැනීම් හදවත් වල වේදනාකාරී නමුත් ගෞරවනීය හැඟීමක් ඔහු කෙරෙහි ඇති කිරීමට සමත් වී තිබෙනවා. 

කතාවේ අවධි තුනක චරිත තුනක් නිරූපණය කිරීම තුළදී හැසිරීම්, බැල්මකින් පවා සාධාරණත්වයක් Nivin pauly විසින් එක් එක් ජීවන අවධි ගත කරන ජෝර්ජ්ට ලබා දී තිබෙනවා.

රූගත කිරීම් සමඟ ගැමි පරිසරය, වැස්ස, වැනි සංකල්ප යොදා ගෙන මලයාලියන්ගේ සුපුරුදු මායාව ප්‍රේමම් තුළත් ඇති කිරීමට නිෂ්පාදනය කණ්ඩායම සමත් වී තිබෙනවා. එසේම ප්‍රේමම් චිත්‍රපටය පුරා යොදා ගෙන ඇති සංගීතය , ගීත චිත්‍රපටයේ සාර්ථකත්වය සම්බන්ධයෙන් නොසලකා හැරිය නොහැකි කරුණක්.

ඉතින් ප්‍රේමම් කියන්නෙම ප්‍රේමයක්. ප්‍රේමයට අවසානයක් ලබා දෙන්න බැරි තරම් බර අවසානයක්. ඉතින් ප්‍රේමම් කියා දෙන ප්‍රේමයේ පාඩම අනිවාර්යයෙන්ම විදගන්න.

ආදරේ කියන්නේ මොකක්ද ? ආදරේ කරන්නේ කවුද කියලා නිර්වචනක් දෙන්න බැරි අවසානයක මං මේ වචන ටික අමුණනවා.

මේරි වගේ විශ්වාසයක්

මලර් වගේ කැපකිරීමක්

සෙලීනා වගේ ඉවසීමක්

ඉතින් ආදරේ කියන්නෙම මේ තුන් දෙනාගෙම එක්වීමක් !!

Top