බොඳවී ගිය දිවිය වර්ණවත් කළ සිත්තරාවිය (307)

බොඳවී ගිය දිවිය වර්ණවත් කළ සිත්තරාවිය (307)

20 වන සියවසේ විශිෂ්ටතම කලා ශිල්පිනියක වූ ෆ්‍රීඩා කාර්ලෝ ගේ කලා නිර්මාණයන් තරමින්ම සුප්‍රසිද්ධ වූ ජීවන වෘත්තාන්තයක් ඇයට තිබේ. ලොවක් වසඟ කල ඇගේ නිර්මාණ සහ ජීවන තතු පිළිබඳ සෙලියුලයිඩ් පටයකින් දැකබලා ගැනීම කෙතරම් නම් අපූර්වජනකද. මෙතෙක් කාලයක් පුරුෂාධිපත්‍යය විසින් වසාගෙන තිබුණු සිතුවම් කලාව එක මිටකට ගන්න ෆ්‍රීඩා කාලෝ ⁣නමි මෙම සොඳුරු රුවැත්තිය සමත් වෙනවා. අවාසනාවන්ත ලෙස ඇගේ දිවියේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස දෛවය විසින් උරුම කරදුන් රිය අනතුර නිසාවෙන් කලා ජීවිතයේ ඇය අනුගමනය කළ සුවිශේෂී විලාසිතා මෙන්ම ඇයට වඩා වසර 21 කින් වැඩිමහල් දියෝගු රිවේරා සමග ගතකළ දිවිය ගැන අදටත් කතාබහට ලක්වෙනවා. ෆ්‍රීඩා කාලෝගේ සිතුවම් තුළින් විදහා පාන්නේ ඇගේ දිවිය තුළ ඈ මුහුණ දුන් දුක්ඛිත වේදනාබර අත්දැකීම් ය. 

ෆ්‍රීඩා ස්ව ආලේඛ්‍ය චිත්‍රවලට දැඩි ඇල්මක් දැක්වූවාය. ෆ්‍රීඩා ඇඳ තිබෙන චිත්‍ර 143 න් 55 ක්ම ස්ව ආලේඛ්‍ය ඒවාය. සිය ජීවිතය තුළ මුහුණදුන් හදිසි රිය අනතුර හේතුවෙන් මරණ මංචකය දක්වාම වේදනාව සමනය කරගන්නට ඇය, ඇයවම චිත්‍රයට නැගූ බව ඇගේ චරිතාපදානයේ පැවසේ. ඇය විඳි ශාරීරික මෙන්ම මානසික වේදනාව ද මේ ස්ව ආලේඛ්‍ය සිතුවම් හරහා මුදාහැර ඇත. තුරුණුවියේදී සිදු වු දරුණු රිය අනතුරින් තමන්ගේ සිරුරට වූ හානිය, පිළිසිඳ ගත් දරුවාගේ අහිමිවීම, රියඅනතුරින් ලත් පසුකාලීන ආබාධ, දියෙගෝගේ ආනාචාරයේ හැසිරීම, විසිවන සියවසේ පැවති දේශපාලනික වාතාවරණ ෆ්‍රීඩාට ගැහැනියකගේ දැරීමේ ශක්තිය පාරමිතාවක් මෙන් පුරුදු පුහුණු කළත්, කලාකාරියක, දේශපාලනික ක්‍රියාකාරිනියක ලෙස පන්නරය ලබමින් තම සිතුවම් සඳහා එම අත්දැකීම් වස්තු විෂය කර ගත්හ. ' ෆ්‍රීඩා' චිත්‍රපටය තුළ ෆ්‍රීඩාගේ චරිතාපදානය හරහා ඉස්මතු කරන්නේ අභ්‍යන්තර චරිත ගැටුම සහ ඇය අනෙකා සමඟ ඇති කරගන්නා බාහිර ගැටුම්වල ස්වරූපයයි. ෆ්‍රීඩාගේ සිතුවම්වලට වැඩි වශයෙන් තේමාව වන්නට ඉඩකඩ සපයන්නේ ඇගේ අභ්‍යන්තර මනෝභාවයන් සහ ශරීරයේ හැම නහරවැල් දිගේ දුවන වේදනාබර රිදුම් ය. සැබැවින්ම ෆ්‍රීඩාට සිතුවම්කරණය සඳහා උත්තේජනය සපයන්නේ ඇගේ පියා ය. ඈව ජීවත් කරවන්නේ ඇගේ පියා ය. රිය අනතුරින් සයනයේ එකතැන්ව සිටින ෆ්‍රීඩාට කැන්වසය දෙඅතට ළං කර තම සිතිවිලි එය මත මුදාහරින්නට සානුබලය සපයන්නේ පියා ය. චිත්‍රපටයේ යටි පෙළින් හඟවන්නේ එයයි. ඇයට ගුරුහරුකම් සපයන්නට කිසිවෙක් සිටියේ නැත. ස්වයං අධ්‍යනයකින් යුතුව තම නිර්මාණකරණයේ යෙදෙන්නට ඇය ශුර විය. 

ඈ තම නිර්මාණවලට වස්තු විෂය කරගත්තේ තමාවම ය. කාලෝගේ චිත්‍ර කලා භාෂාව සඳහා මැක්සිකානු ජන කලාවන් සහ තම සැමියා වු දියෝගෝ ද වේරාගේ කලා නිර්මාණවල ලක්ෂණ ආභාසය කර ගත්හ. කැන්වසය මත තෙල් සායමින් අඳින පිරුණු අවකාශයක් සහිතව සංකේතාත්මක රූපක හා නිරූපණාත්මක කලාවේ ත්‍රිමාණ හා පර්යාවලෝකන ලක්ෂණ භාවිතාව පුළුල්ව දැකිය හැකි ය. උද්දීප්ත තද පැහැ වර්ණ නඟමින් ගැහැනියක තුළ කකියන වේදනය ඇහෙන්නට සලස්වන සිත්තම් ෆ්‍රීඩා අතින් නිමැවිණි. කහ පැහැය, රතු පැහැය, දුඹුරු පැහැය ඈගේ සිතුවම් ඈ වෙනුවට පෙනී සිටියි. 

රිය අනතුරින් එක්තැන් වී මානසික හුදෙකලාවකට හසුවන ෆ්‍රීඩාට තම අතීතකාමය විසින් වෙළාගත් පෙම්වතා ජර්මනිය බලා පිටවීම දැරිය නොහැකි වූ කම්පනයක් ඇති කළ බවට චිත්‍රපටය සං කරයි. චිත්‍රපටයේ එම කොටස ප්‍රේක්ෂකයාගේ හිත පාරවයි. ෆ්‍රීඩා" චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Julie Taymor නම් අධ්‍යක්ෂවරියයි. සිනමාපටය තුළ ෆ්‍රීඩාගේ චරිතයට මනා සාධාරණයක් ඉටු කරන සල්මා හයැක්ගේ විශිෂ්ට රංගනය ප්‍රේක්ෂක හදවත් සොරා ගනියි. මියුරු සප්ත ස්වරයෙන් දෙහෝරාවක් පුරාවටම චිත්‍රපටය තුළ ෆ්‍රීඩා හා අත්වැල් බැඳගන්නට සලස්වයි. ෆ්‍රීඩියානු යුගයක් සහ රැල්ලක් ඇති කරන්නට ඇගේ සිතුවම් බලපෑවේය. ඇගේ මැක්සිකානු ඇඳුම් පැලැඳුම් විලාසිතාව පවා සංකේතාත්මක බලපෑමක් ඇති කරයි. කලාවට, ප්‍රකාශනයේ නිදහසට, මනුෂ්‍යත්වයට ප්‍රේම කරනා ඇතැම් පිරිස් භක්තියකින් ඇතැම් විට උන්මාදයකින් ෆ්‍රීඩා සිහි කරති. විශේෂයෙන් බවලත් පාර්ශවය වැන්ගෝ තරම්ව ෆ්‍රීඩාව අදහයි. 'නිකම යාම සතුටුදායකයි සේම, කිසිදා නැවත නොඑන්නෙමි.' ඒ ජීවිතයේ ඇති හරසුන්බවත්, අසාරබවත් යළි යළිත් අප වෙත සිහිකර දුන් ෆ්‍රීඩාගේ මා හැඟි අවසන් වචන ස්වල්පයි. 



Top