ගෑණු හදන්න පිරිමින්ට බෑ (837)

ගෑණු හදන්න පිරිමින්ට බෑ (837)

අතීතයේ ගැහැණියගේ කාරණාව වුනේ රහට කෑම උයලා දරුවන් සහ සැමියා පෝෂණය කරන එක. හැබැයි ඒ ක්‍රමය දැන් සෑහෙන්න වෙනස් වෙලා කියලා හිතන්න පුළුවන් නිදර්ශන ඕනතරම් තියෙනවා. කාන්තාව දැන් ඉස්සරට වඩා ආත්මාභිමානයෙන් ජීවත් වෙන්න පටන් අරන්. කාන්තාව කියන්නේ තවදුරටත් පිරිමියාගේ හෙවණේ වහලියක් බවට පත් වෙන්න අවශ්‍ය නෑ කියන පණිවුඩය ලෝකය පුරා ස්ත්‍රීවාද ව්‍යාපාර, ප්‍රවණතා විසින් මතු කරලා තියෙනවා. මේ කියන්න යන්නේ කාන්තාවගේ විමුක්තිය ගැන නෙමෙයි. අපි සාමාන්‍යයෙන් දකින්නේ ගැහැණු සහ පිරිමි අතර ගැටුම් ගැන. අඩදබර ගැන. පිරිමින්ගේ අධිපතිවාදී ලෝකයේ ගැහැණු දුක් විඳින හැටි ගැන. හැබැයි මේ කියන්න යන කතාව නම් කාන්තාවන්ගේ ලෝකයේ කාන්තාවන් අතර සිද්ධ වුන එක්තරා කතන්දරයක් ගැන. ඒ යෝගොස් ලැන්තිමෝස්ගේ 'ද ෆේවරිටි' කියන ස්ත්‍රිවාදී චිත්‍රපටය ගැන. යෝගොස් ලැන්තිමෝස් 2018 වසරේ අධ්‍යක්ෂණය කළ "The Favourite" නරඹලා අවසානයට හිතුනේ "මේක නම් පුදුම කතන්දරයක්"කියලයි. ඉතිහාසය තුළ සැඟවී ගිය එංගලන්තයේ ඈන් රැජින පිළිබඳ නොදත් තොරතුරු රාශියක් සහ ඈ සමඟ ක්‍රීඩා කළ බවලතුන් දෙදෙනකුගේ ගැටුමක් විදියට තමයි "The Favourite" හොලිවුඩ් චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ. එංගලන්තයට අග්‍රප්‍රාප්ත වු ඈන් කුමරිය රාජ්‍ය පාලනය කරන්නෙ අසිහියෙන්. මන්ද මානසිකත්වයෙන්. රැජින මානසිකව තෝන්තු වු තැනැත්තියකි. ඈව මෙහෙයවන්නෙ අතවැසියා වු තීක්ෂණ බුද්ධියක් හිමි සාරා නම් කාන්තාව විසිනි. ඈන් රැජිණ අල්ලේ නටවන රූකඩයක් කර ඇත්තේ ආදිපාදවරිය සාරාය. රාජ්‍ය පිළිබඳ සිදු කරන සියළු තීන්දු තීරණ ගන්නෙ සාරාට ඕනෑ හැටියට ය. එංගලන්ත භුමියට අධිපතිවරිය වූ ඈන් රැජිණ සිටින්නේ සාරාගේ සෙවණැල්ල මතය. රැජිණ ඈන් සහ සාරා මැද්දට සම්ප්‍රාප්ත වන ඇබිගේල් නම් කට්ට කෛරාටික රූ සපුවෙන් අගතැන්පත් යුවතිය මුළු මාළිගය ම අණසක ගැනීමට පිඹුරුපත් සකස් කරති. ඒ ඉඩමි හිමි රදළයකු වු හාර්ල සමඟින්. ගසට පොත්තක් මෙන් බැඳි සිටින ඈන්රැජිණ සහ සාරාගේ සබඳතාවය කඩා ඉහිරවාලන්නට ඇබිගේල්ගේ සමත්කම ප්‍රේක්ෂකයා චිත්‍රපටය වෙනත් මානයකට ගෙන යනවා. චිත්‍රපටයේ එක දර්ශනයක ඈන් රැජිණ පය තුවාලව ඇවිද ගත නොහැකිව රෝද පුටුවකට වී සාරා බාල් නැටුමක් නටන අවස්ථාවක ඈ තුළ ඊර්ෂ්‍යාවක් හට ගන්නවා. ඈන් රැජිණ ඊට පස්සේ එතනින් පළා යනවා. ස්ත්‍රියකගේ සිත තුළ ඇතිවන මේ ඊර්ෂ්‍යාගත කැළඹිලි ස්වභාවය ඉතා සියුම්ව ප්‍රේක්ෂකයා වෙත දනවනවා. ඈන් රැජින සමලිංගිකයි. ඈ සාරා හා ලිංගිකව එක්වනවා. මෙය අතිශයින්ම රහසිගත සම්බන්ධයකි. රහස ලෝකයට හෙළිකරන්නේ යෝගොස් ලැන්තිමෝස් ය. ඇබිගේල්, ඈන් රැජීණ , සාරා, මේ බවලත් ත්‍රිකෝණමය වෘතාන්තය පිළිබඳව සැබෑවටම විශ්මයාකාරී විදියට ප්‍රේක්ෂකයා නාටකීය රිද්මයෙන් කුල්මත් කරනවා. චිත්‍රපටය තුළ ගැටුම යන සාධකය හැර දමා ප්‍රේක්ෂකයා වෙනත් ඉසව්වක් කරා රැගෙන යනවා. කාන්තාවක් තමන්ට අවශ්‍ය දේ ලබා ගැනීමට සටන් කිරීම කොතෙක් දුරට තම සීමාකම් අතික්‍රමණය කරනවාද? ඇබිගේල් චරිතය අතිශයින්ම දරුණුයි. ඈ විසින් මාළිගයේ තම ස්ථානය වෙන් කරවා ගන්න යොදන කූට උපායන් රාජ්‍යයේ තීන්දු තීරණවලට පවා බලපෑම් කරනවා. ඈන් රැජිණගේ ප්‍රියතමය අතර ඉඩ වෙන් කරගන්නට සාරා සහ ඇබිගේල් ස්ත්‍රිය තුළ ඇති ඊර්ෂ්‍යාව, බල ලෝභය, කෑදරකම, හීනමානය, තීක්ෂණ බුද්ධිය පිළිබඳ පින්තාරු කරන කැන්වසයක් වැනිය. දක්ෂ නිළියක වන 'එමා ස්ටෝන්ගේ' නොසිතු විරූ රංගනයක් ඇබිගේල් චරිතය හරහා දැකබලා ගත හැකියි. චිත්‍රපටය තුළ සෑම රූප රාමුවක්ම තුළම අන්තර්ගත ඒ ඒ යුගයේ ගෘහ නිර්මාණයන්, ගෘහ භාණ්ඩ, ඇඳුම් පැළඳුම්, සිරිත් විරිත් ඉතාමත් විශිෂ්ට ආකාරයෙන් දක්වලා තිබෙනවා. Period dramatic Black Comedyක් විදියට "The Favourite" යනු හැමෝටම නිර්දේශ කරන්නට බොහෝ සෙයින් පැකිළෙමි. නාට්‍යමය ශානරයට වැඩි රුචිකත්වයක් දක්වන්නන්ට "The Favourite " යනු රසවිඳිය හැකි විශිෂ්ටවූත්, අපුර්වජනක සිනමා සලරුවකි.

එකතු වෙන්න අපේ wachana.lk Whatsapp සමුහය වෙත

Top