‘‘සියලු ම මිලේච්ඡ සහ වනචාරී සමාජවල මැද හා පහත් අවදිවල දී පමණක් නො ව උසස් අවදියේ දී අඩ වශයෙන් ද ස්ත්‍රිය ස්වාධින පමණක් නො ව අතිශයින් ම ගෞරවනීය ස්ථානයක් ද දැරුවා ය“
- පෙඩ්ර්ක් එංගල්ස්-
එංගලස් විසින් රචිත පවුල, පෞද්ගලික දේපල, රජය ඇති වූ සැටි කෘතියේ උක්ත උපුටනය දෙස මදක් විමංසනාක්ෂිය යොමු කර බැලීමේ දී අපට පැහැදිලි වන්නේ අතීත යුගවල ස්ත්‍රියගේ භූමිකාව බොහෝ සේ උසස් පිළිගැනීමක් යටතේ පැවත ඇති බව ය. නමුත් එම කෘතියේ දීම එංගලස් දක්වන්නේ පසුව මවු අයිතිය පෙරලා දැමූ බවත් එය ස්ත්‍රී වර්ගයා ලද ජගත් පරාජයක් බවත් ය.
එසේ ම එමගින් ගෘහ පාලනය ද පුරුෂයා අල්ලා ගනු ලැබ ඇති අතර ස්ත්‍රිය අවමානයට ද ව්‍යවසනයට ද ලක්ව ඇත. එතැන් පටන් ඇය පුරුෂයාගේ කාම තෘෂ්ණාවට යට වූ වහලියක් ව ඇත. ඇය දරුවන් වැදීමේ යන්ත්‍රයක් ව ඇති අතර එය ග්‍රීක යුගයේ සිට ආචීර්ණ කල්පිත යුගය දක්වා වඩාත් උග්‍ර වෙමින් පැමිණ ඇති බව තවදුරටත් එංගල්ස් පවසයි.
මෙම කියමන යම් පමණකින් සත්‍ය යැයි තීරණය කළ හැක්කේ අද නූතනයේ වු ව ද අප රටේ ස්ත්‍රියට සමාජය තුළ සහ කුටුම්භය තුළ අත්වන යම් යම් කණගාටුදායක තත්ත්වයන් දෙස විමසා බැලීමේ දී ය. එනම් අද වුව ද බොහෝ ස්ත්‍රීන්ගේ විවාහ නොවීම්, මාතෘත්වය නොලැබීම් ආදී අතිශය පෞද්ගලික කරුණු දෙස අනවශ්‍ය ලෙස ප්‍රශ්න කරමින් ඔවුන් ව පීඩාවට පත් කරන සමාජයක් අප දැක ඇත. නාගරිකකරණය වූ තැන්වල හැරෙන්නට බොහෝ ග්‍රාමීය පරිසර වල අද ද තවමත් වැඩවසම් මතිමතාන්තර ක්‍රියාවට නැගෙන අතර ගැහැනියගේ ස්වාධිනත්වය පවා එමගින් ඛණ්ඩනය ව ඇත. ඇයට ඇය අවශ්‍ය දෙයක් කරන්නට ද ඇය අවශ්‍ය ඇඳුමක් අදින්නට ද ඇය කැමති අයෙක් හා මානව බැදීම් පැවැත්වීමට ද ඇයට අවැසි අයෙක් හා අවැසි කාලයක විවාහ වීමට ද කැමති රැකියාවක් කිරීමට ද දරුවන් හැදීම හෝ නොහැදීම පිළිබඳ තීරණ ගැනීමට ද ආදි වශයෙන් වන බොහෝ කරුණු සම්බන්ධයෙන් ස්වාධින ලෙස තීරණ ගෙන ඒවා ක්‍රියාවට නගන්නට බැරි ය. එහෙත් බොහෝ ගැහැනු මේ අයිතිය උදෙසා සමාජය සමග ද කුටුම්භය සමග ද හැප්පෙයි. සටන් කරයි.
මිතාලි සහ නූරී යනු එවැනි කෙල්ලන් දෙදෙනෙකි. මිතාලිගේත් නූරීගේත් ආශාව ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමය. නමුත් ක්‍රිකට් යනු කොල්ලන් කරන ක්‍රීඩාවක් වන අතර කෙල්ලන් සිදු කළ යුත්තේ නිසි කල විවාහව දරුවන් වදා ඔවුන් රැක බලා ගනිමින් හිඳීම යැයි සමාජ සම්මතය. එබැවින් ඔවුන්ගේ පවුල්වල අයට අවශ්‍ය වන්නේ ඔවුන් ක්‍රිකට් වලින් ඈත් කර සාමාන්‍ය කෙල්ලන් දෙදෙනෙක් කරන්නට ය. එහෙත් මිතාලිට සහ නූරිට හමුවන සම්පත් නම් ක්‍රිකට් පුහුනුකරුවාගේ මැදිහත් වීමෙන් මිතාලියේ පියා ඇයව ක්‍රීඩාවට යොමු කරයි. එහෙත් මිතාලිගේ මිත්තණිය සහ සොහොයුරාවන මිථුන් මෙයට දිගින් දිගට අවලාද නගයි. කෙනෙහෙලිකම් කරයි. එහෙත් පියාගේ හා මවගේ ආශිර්වාදය නිසා මිතාලි ක්‍රිකට් පුහුණුවට යයි. මිතාලිට මෙය මෙසේ වුවද නූරිට එය එසේ නොවෙයි. ඇය ක්‍රිකට් පුහුණුවට එන්නේ නිවසට විවිධ බොරු කියමින්ය. වසර ගණනාවක් තිස්සේ මෙසේ බොරු කියමින් පුහුනුවූ නූරිට නිවසින් බලපෑම් කිරීමත් සමඟ විවාහ වන්නට සිදුවෙයි. ඇගේ සිහිනය බිඳ වැටෙයි. ඇය ජාතික කණ්ඩායමට තෝරා ගැනීමට පවත්වන තේරීම් තරඟය දිනයේ සම්ප්‍රදායික ගැහැනියක් ලෙස විවාහව යන්නට යයි
නමුත් මිතාලිගේ ගමන ඉන් නොනැවතෙයි. ඇය ක්‍රමයෙන් සිය රට වෙනුවෙන් ක්‍රීඩා කරමින් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පවා පත්වෙයි. එහෙත් පුරුෂවාදි සමාජයේ ස්ත්‍රියකගේ පැවැත්ම ද එක් එක් ස්ත්‍රීන් බලලෝභිත්වය හේතුවෙන් හැසිරෙන මුග්ධ ස්වභාවයන් ද හමුවේ මිතාලිට ජීවිතයේ බොහෝ අභියෝගයන්ට මුහුන දෙන්නට සිදුවෙයි.
මිතාලි රාජ් ගේ මේ කතාව අපට හමුවන්නේ Srijit Mukherji විසින් අධ්‍යක්ෂණය කරන ලද Shabaash Mithu සිනමා නිර්මාණයේ දී ය. එහෙත් මෙය හුදු සිනමා නිර්මාණයක් පමණක් ම නොවන්නේ මෙය සත්‍ය කතාවක් වීම නිසා ය. එනම් මෙය ඉන්දීය කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් සහ එක්දින නායිකා මිතාලි රාජ්ගේ ජීවිතය පාදක කරගනිමින් නිර්මාණය කරන ලද සිනමා නිර්මාණයකි. සැබෑ මිතාලිට ජීවිතයේ මුහුන පාන්නට ලැබුණු බොහෝ අභියෝගවලට මූලික හේතුව ඇය කාන්තාවක් වීමය. මුලින් ම පවුලෙන්ද, පසුව සම වයස් හා වැඩිමල් පිරිමි මිතුරු කන්ඩායම් මගින් ද ඊටත් පසුව වෘත්තිය තුළ හමුවන පිරිමින්ගෙන් ද පමණක් නොව ඉංදිය ක්‍රිකට් සංගමය පවා ඇයට කාන්තාවන් දෙස හෙලන නිග්‍රහශීලී දෘෂ්ටිය හෙලා පහත් කර දමයි. නමුත් ඇය ඒ සියල්ල සමග ගැටී රට වෙනුවෙන් ක්‍රීඩා කරයි.
දෙදහස් විසි දෙක වර්ෂයේ තිරගත වීම අරඹන ලද පැය දෙකකුත් මිනිත්තු තිස් හයක් පුරාවට දිවෙන මෙම සිනමා නිර්මාණයට IMDb දර්ශකයේ 5.7/10 රේටින්ස් හිමිව ඇත. චරිතාපදාන, නාට්‍යය සහ ක්‍රීඩා යන ප්‍රවර්ගයන්ට අයත් වන මෙම සිනමා පටයේ සමස්ථ කතාව ම ගෙනහැර විමසා බැලීමේ දී අපට, ගැහැනිය යනු තවකෙකුගේ පාලනයක් නොවිය යුතු බවත් ඇයට ඇය වීමට දීමෙන් ඇය සිය හඩ කොතරම් නම් සාර්ථක ලෙස මේ විශ්වයට මුදා හරින්නට හැකි වේද යන්න අවබෝධ කර ගත හැකි බවත් පැහැදිලි වෙයි. එබැවින් මිථාලි රාජ් ගේ කතාව සෑම ගැහැනියක් ම පමණක් නො ව පිරිමින් ද නැරඹිය ම යුත්තකි.