ප්‍රේමය වෙනුවෙන් වෙනසක් අපේක්ෂා කිරීම සහ චුංකිං එක්ස්ප්‍රස් (591)

ප්‍රේමය වෙනුවෙන් වෙනසක් අපේක්ෂා කිරීම සහ චුංකිං එක්ස්ප්‍රස් (591)

ඇය සහ ඔහු අතර ක්ෂණිකවම එකිනෙකා හා ආදරයෙන් බැඳෙන්නට සෙන්ටිමීටරයක පවා පරතරයකුදු තිබුනේ නැහැ. නමින් ඈ 'ෆේ'(Faye) ය. ඈ "මිඩ්නයිටි එක්ස්ප්‍රස්" නම් හිසින් යුතු ක්ෂණික ආහාර සපයන වෙළඳ සැලක සේවය කරන්නී ය. ෆේ කොණ්ඩය කොටට කැපු සිහින් සිරුරකින් සමන්විත රූමත් යුවතියකි. ඔහු තරුණ පොලිස් නිළධාරියෙකි. පිළිවෙලකට හිස පීරූ ප්‍රසන්න පෙනුමක් සහිත ඔහු පොලිස් නිළ ඇඳුමට පෙනුමෙන් කඩවසම් ය. ඔහු තමාගේ රාජකාරිය සිදු කරන්නේ මේ කෙටි ආහාර සපයන වෙළඳ සැල ඉදිරිපිට ය. 

"මට චෙෆ් සලාදයක් දෙන්න?" තරුණ පොලිස් නිළධාරියා, ෆේගෙන් අසයි. වෙළඳසැලේ තිබෙන කැසට්පට් යන්ත්‍රයෙන් California Dreaming ගීතය මහත් ඝෝෂාවෙන් යුතුව වාදනය වෙයි. ගීතයේ රිද්මයට ඈ නටන්නී ය. මේ දෙපළ එකිනෙකා මුණගස්වන ඒ මොහොත බවට කාලය විසින් සාක්ෂ්‍යයට පත්කොට හමාර ය.

ආදරයෙන් කිසිවිටකත් පළා යා නොහැකි ය. ඔහු කෙරෙහි හෝ ඇය කෙරෙහි හටගන්නා අප්‍රකාශිත පෙම දිශානතිගත වන්නේ කොයිබටද? එවිට අප කරන්නේ කුමක්? එවිට අප හැසිරෙන්නේ කුමන ආකාරයෙන් ද? මෙම පැනයන් ප්‍රේක්ෂකයා කෙරෙහි පිළිතුරු බවට "Chunking Express" බවට පත්වෙයි.

චිත්‍රපටය ප්‍රධාන කථා දෙකකට බෙදා වෙන්කළ හැකිය. නමුත් කථා දෙක වෙන්වෙන්ව පවතී. මෙකී කථා ද්විත්වය, එකම චිත්‍රපටයක් තුළ ඇතුළත් කිරීමෙන් අධ්‍යක්ෂ වොන් කා - වායි අපේක්ෂා කරන්නට ඇත්තේ කවරක්ද?

චිත්‍රපටයේ එන කථා නායකයන් දෙදෙනාම පොලිස් නිළධාරීන් බැවින් ඔවුන් එකිනෙකා හමවනු ඇතැයි අප අපේක්ෂා කළ ද එවැන්නක් සිදු නොවේ. පළමුවැන්නා නිල ඇඳුමක් රහිත රහස් පොලිස් නිළධාරියෙකි. දෙවැන්නා දිනපතා මුර සංචාරයේ යෙදෙන නන්නත්තාර ජීවිතයක් ගෙවන ජීවිතයෙන් හුදෙකලාමය තත්ත්වයට පත් සාමාන්‍ය පොලිස් නිළධාරියෙකි. පළමුවන කථාංගයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන කාන්තාව පොලිස් නිළධාරියාගේ කටයුතුවලට බලපෑමක් නොකරයි. පොලිස් නිළධාරියා ද ඇගේ කටයුතු ගැන පරික්ෂණයක් කරන්නේ ද නැත. එවැන්නක් හරහා ඇතැම්විට කථාව වෙනත් දිශාවකට ගලාගෙන යාමට ඉඩ තිබිණි. නමුත් මේ පොලිස් නිළධාරින් දෙදෙනාම "මිඩිනයිටි එක්ස්ප්‍රස්" නම් මේ කෙටි ආහාර වෙළඳ සැලේ ගැවසෙයි. සිනමාපටයේ කතාංග වෙන් වෙන් වශයෙන් ද්විත්වයකින් සමන්විත වුව ද, කතාංග ද්විත්වයටම කේන්ද්‍රය වන්නේ මේ කෙටි ආහාර වෙළඳ සැලයි. මේ අනුව බැලූ බැල්මට පෙනෙන වෙන් වෙන් වශයෙන් කථාංග ද්විත්වයක් එකම චිත්‍රපටයක ඇතුළත් කිරීම හරහා අධ්‍යක්ෂවරයා ඇතැම්විට අපේක්ෂා කරන්නට ඇත්තේ ඒ දෙකෙහි සබඳතාව පිළිබඳ වටහා ගැනීමට ප්‍රේක්ෂකයා වෙත අවස්තාවක් ලබා දීමක් විය හැකිය.

ආසියාව වෙළා ගත් හොර මත්ද්‍රව්‍ය වෙළඳාමත් පාකිස්තාන සහ ඉන්දීය ජාතිකයන් ශ්‍රමය වෙනුවෙන් හොංකොං රාජ්‍යයට පැමිණිම හරහා දේශපාලනික සහ සාමාජීය ලෙස කලවං සංස්කෘතියට හසු වීම චිත්‍රපටයේ යටි පෙළින් ප්‍රේක්ෂකයාට ස්පර්ශ කරවයි. හොංකොං සංස්කෘතිය ඇමරිකානුකරණයට හසුවීම පිළිබඳ ප්‍රබල රූපකයක් ලෙස චිත්‍රපටයේ නිතරම පෙන්වන කොකා කෝලා ලාංජනය සහ එම පානය කිරීම සංස්කෘතිය තුළට කිඳා බැස ඇති ආකාරය සුවිශේෂි වෙයි. ඇමරිකානු දේශය වෙත ගමන් කරන්නට යත්න දරන අවන්හලේ සිටින යුවතියගේ මනෝමය හැසිරීමත්, සෙල්ලම් ගුවන් යානය සමඟ ක්‍රීඩා හැසිරීමත් ප්‍රබල අර්ථ නිරූපණයකි. ටින් කළ අන්නාසි කැබලි කෑමට රුචි නන්නත්තාර පොලිස් නිළධාරියාගේ චරිතය සුවිශේෂි වෙයි. ඔහු කෑමට ගන්නෙ කල් ඉකුත් වූ ටින් කළ අන්නාසි පමණයි. ගූඪ සිතුවිලි පිරි සංකීර්ණ චරිතයකි. 

තේමා දෙකක් සහිත තැන් දෙකක සිදුවන මෙහි ආඛ්‍යානමය(Narrative) වශයෙන් සැලකූ විට කතාංග දෙක එකිනෙකට විරුද්ධ බවක් පෙනී යයි. පළමු කතාංගය හොංකොං හි 'Chunking Mansions' නම් ලාබදායී නවාතැන්පලවල් සහිත ඉන්දියානු ආපනශාලා, කඩවල් පිරී අපිලිවෙල පරිසරයක් සහිත පෙදෙසකි. දෙවන කතාංගය සිදුවන්නේ, පලවෙනි කතාංගය තුළ දක්නට ලැබුණු අපරාධමය සම්බන්ධ සිදුවීම් පෙළට වඩා හාත්පසින්ම වෙනස් සාමකාමී ලෝකයක් තුළයි. දෙවන කතාංගයට පාදක වන්නේ "Midnight Express" නම් ක්ෂණික ආහාරපාන සපයන වෙළඳ සැලයි. චිත්‍රපටයේ ⁣තේමා පාඨය සකස් වී ඇත්තේ "Chunking Mansions' හා "Midnight Express" යන්න ඒකාබද්ධ වු "Chunking Express" නම් වු තේමා පාඨය පෙරදැරිවයි.

"චුංකිං එක්ස්ප්‍රස්" අපරාධමය කතාවක්ද? නැතිනම් මෙය රොමැන්තික කතාවක්ද? යන මංමුලා වු ප්‍රශ්නයට ප්‍රේක්ෂකයා හසුකරන්නට වොන්ග් කා වායි සමත් වී තිබෙනවා. මන්ද චිත්‍රපටයේ පළමු කතාංගයේ සිටින කාන්තාව පැළඳ සිටින ඇඳුම්, පාවහන්, අඳුරු අව්කණ්ණාඩිය වැනි දේවල් ද, වෙඩිතබා ගැනීම් දර්ශන නිසා එකවරම තේමාව සොයා ගැනීම තුළ අප මංමුල වෙමු.

මෙම අපුරු සිනමාලංකාරය අධ්‍යක්ෂණය කරනු ලබන හොංකොං මහා සිනමා කරු වොංන්ග් කා වායි (Wong kar - Wai) රූපය නමැති සාධකය පෙරටු කරගනිම්න්, රූප රාමුවෙන්(frame), රූප රාමුවට, රූප ඛණ්ඩයෙන්(shot), රූප ඛණ්ඩයට සංස්කරණය වීමෙන් නරඹන්නා යථාර්ථයෙන් පලා යාමට ඉඩ නොතබයි. හස්තගත කැමරා භාවිතාව මඟින් කැමරාව ගැස්සීම සහ සෙලවීමෙ කැමරා චලන මඟින් චිත්‍රපටයේ එන මනෝභාවයන් තීව්‍ර කිරීමට ප්‍රබල දායකත්වයක් ලබා දී ඇති බව පෙනේ. සිනමාපටයේ ඇතැම් සිදුවීමවලදී දර්පණතල යොදාගැනීම මඟින් චරිතයේ ඇති අභ්‍යන්තර මනෝභාවයන් විදහා පාන්නට උත්සාහ දරයි. California Dreaming වැනි ගීතය යොදාගැනීමත්, භාවාත්මක පසුබිම් සංගීත(Moody Music) භාවිතයත් චිත්‍රපටය පොහොසත් කරයි.

ආදරයෙන් ඇද වැටෙන්නට නිශ්චිත වු මොහොතක් නැත. එය ක්ෂණික බැල්මකින් වුව ද අනෙකා කෙරෙහි ප්‍රේමයක් උපදී. නොසන්සිඳෙන ජීවන පිපාසාව තාවකාලිකව සන්සිඳවීම කියන දේ ආදරයේ ප්‍රමුඛ කාර්යයයි. ප්‍රේමය වෙනුවෙන් වෙනසක් අපේක්ෂා කිරීම තුළ වෙනස් වීම ම ආදරයේ ඇති ලක්ෂණයකි. ප්‍රේමයේදී තමන් මෙතෙක් අකැමැති දේවල් අනෙකාගේ මැදිහත් වීමෙන් කැමති දේවල් බවට නිරායාසයෙන්ම පත් වෙයි. ඔබ පිට්සා කෑමට අකැමැති නම් ප්‍රේමයේදී තම ප්‍රේමවන්තිය හෝ ප්‍රේමවන්තයාගේ පිට්සා කෑමට ඇති ප්‍රියතාවය මත මෙතෙක් වෙලා සිටි අකැමැතිබව, කැමතිබවට නිරායාසයෙන්ම පෙරලෙනු ඇත. එය ඇඳුමක්, ආහාරයක්, වර්ණයක්, වාහනයක්, පුරුද්දක් මේ ඔනෑම දෙයක් විය හැකි ය. ප්‍රේමයේදි වෙනසක් අපේක්ෂා කරනවා යනු මෙහි එක් තත්ත්වයකි. එය අපේක්ෂාවට වඩා පරිවර්තනයකි. "චුංකිං එක්ස්ප්‍රස්" යනු ආදරය සොයා යන මිනිසුන්ගේ කතාවකි. සිනමාව යනු ජීවිතය දෙස එබී බලන කවුළුවකි. එම කවුළුවෙන් එබී බලන්නට වොන්ග් කා වායි අපට බල කරයි.

එකතු වෙන්න අපේ wachana.lk Whatsapp සමුහය වෙත

Top