අන්තර්පුද්ගල සබඳතාවල ගිලිහීයාම පෙන්වාදෙන "home" සිනමාපටය (698)

අන්තර්පුද්ගල සබඳතාවල ගිලිහීයාම පෙන්වාදෙන "home" සිනමාපටය  (698)

2021 අගෝස්තු 19 නිකුත් කරන ලද රොජිත් තෝමස්ගේ අධ්‍යක්ෂණයෙන් හා තිර රචනයෙන් සමන්විත වූ අපූර්ව මලයාලම් සිනමා පටයක් ලෙස "Home" පෙන්වා දිය හැකිය. IMDB දර්ශකයේ ඉහළම අගයක් වන 9/10 ප්‍රමාණයට මේ වන විට එම සිනමා නිර්මාණය පත්ව තිබේ. රටවල් ගණනාවක ප්‍රේක්ෂක ආකර්ශනය දිනාගත් මලයාලම් සිනමාපටයක් ලෙස එම නිර්මාණය පෙන්වා දිය හැකිය. 

මේ සිනමාපටය මේ තරම් ප්‍රේක්ෂකයා අතරට යන්නට තරම් මෙහි තිබෙන අන්තර්ගතය මොන ආකාරයේද කියා කෙනෙක්ට සිතෙන්නට පුලුවන් ය. ඇත්තෙන්ම එය සංකීර්ණ තේමාවකින් ඔබ්බට ගොස් අපගේ එදිනෙදා ජීවිතය කියවීමක් ලෙස නිර්වචනය කල හැකි අතර ම සිනමාපටය නරඹා අවසානයේ ප්‍රේක්ෂකයාගේ සිත තුළ මම කොතනද සිටින්නේ යන ප්‍රශ්නාර්ථය රෝපණය කිරීමට තරම් සමත් සිනමාපටයක් ලෙස ද පෙන්වා දිය හැකිය.

මෙම සිනමාපටය තුළ කියවීමට බොහෝ කාරණා ඇතත් ඉතා සියුම් හැඟීම් පවා තදින් ම ස්පර්ශ කිරීමට තරම් සමත් සාමාන්‍ය දෙබස් හා චරිත වල ස්වභාවයන්, පුද්ගල චින්තනය අභ්‍යන්තරය තුළට ම තැන්පත් වන සිද්ධි දාමයන් වටා ගෙතුන අපූර්ව නිර්මාණයක් ලෙස ප්‍රේක්ෂකයා අතරට එයි. 

මධ්‍යම ප්‍රාන්තික පවුලක් වටා ගෙතුන පවුලේ ක්‍රියාකාරකම් හා පුද්ගල අන්තර් සබඳතාවන්වලට නවීන තාක්ෂණය බලපාන්නා වූ ආකාරය මොනාකාරයේ ස්වරූපයක් ගන්නවාද යන්න සහ තවත් සමාජය කාරණා කීපයක් වටා සිනමාපටයේ සන්දර්භය නිර්මාණය කිරීමට අධ්‍යක්ෂවරයා උත්සුක වී ඇත. 

සිනමා පටය මුල සිට අගට ම සමාජයේ සාමාන්‍ය පවුලක හැසිරීම් රටාවන් එකිනෙක ප්‍රේක්ෂකයා තුළ රෝපණය කිරීම එහි ගලායාම තුළ දක්නට ලැබේ. කතා සන්දර්භය තුළ තාක්ෂණය හේතුවෙන් අන්තර් පුද්ගල සබඳතා දුරස් වන ආකාරය ඉතා ප්‍රබල සිද්ධි හරහා සියුම්ව ප්‍රේක්ෂකයා අතරට ගෙන යාමට උත්සාහ දරයි. මෙහි කතා නායකයා වන oliver twist කැසට් පට තාක්ෂණය තිබූ යුගයට අයත් අයෙකු වන අතර වර්තමාන සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් කුතුහලයෙන් යුත් පුද්ගලයෙකි. ඔහුගේ පුතුන් දෙදෙනා සමාජ මාධ්‍ය හරහා ගනුදෙනු කරන ඒ තුළ තම ක්‍රියාකාරකම් මුදාහරින තාක්ෂණික ලෝකයක සැරිසරන චරිත ද්විත්වයක් ලෙස ප්‍රේක්ෂකයා අතරට එයි. 

ඔලිවර් ට්විස්ට්ගේ වැඩිමහල් පුතු ඇන්තනී සමග කොතෙක් කතා බහ කිරීමට උත්සාහ දැරුව ද එයට ඉඩ ඇහිරී යන්නේ අන්තනී නිරන්තරයෙන් ලැප්ටොප් එක එසේත් නැතොත්ජංගම දුරකතනය මෘදුකාංග හරහා තම ක්‍රියාකාරකම් වල සිරවී සිටීම නිසාය. මේ හේතුවෙන් oliver ද තාක්ෂණයට අනුගත වීම සිදු වන්නේ ස්මාර්ට් දුරකථනයක් මිලදී ගැනීමට උත්සාහ කිරීමෙනි. සංවේදී රූප රාමු කිහිපයකට ප්‍රේක්ෂක හදවත විවර කරනුයේ මේ අවස්ථාව තුළදීය. විටෙක oliver එක ම ගෙදර සිටින පුතාලා දෙදෙනාට ම කෑම කන්නට ආරාධනා කරන්නේ දුරකථනය හරහා කෙටි පණිවිඩයක් යැවීමෙනි. ළඟට ගොස් කතා කරනවට වඩා ඔවුන් නිතර ම ඒ තුළ සිටින නිසා එය පහසුයි කියා ඔහුට සිතෙන්නට ඇත. ඇත්තෙන්ම මේ දර්ශනය තුළ සිතන්නට බොහෝ දෑ ප්‍රේක්ෂකයාට විවර කරයි. එකම ගෙදර සිටින සාමාජිකයන් තුළ අන්තර් සබඳතාව දුරස්ව ගොස් සජීවී අන්තර් පුද්ගල සන්නිවේදනය පවා තාක්ෂණය ට භාර දීම කොතරම් දුරට සාධාරණ ද යන්න ප්‍රේක්ෂකයන් වන අප සිතිය යුතුය.

තවත් විටෙක ඇන්තනී (ලොකු පුතා) තමන්ට එවන කෙටි පණිවිඩයක emoji එකකින් ඒ හැඟීම් බෙදා ගන්නා ආකාරය පෙන්වන්නේ සමාජය බරපතල පුද්ගල සබඳතා වලින් කෙතරම් දුරස්ව ඇද්ද යන්න අඟවමිනි. covid 19 වෛරසයේ ව්‍යාප්තියත් සමග තාක්ෂණය වර්තමාන සමාජයේ ද ලෝකය පුරා ද ප්‍රබල ලෙස වර්ධනය වූ අවදියක අත්‍යවශ්‍ය යන ආකල්පය මත ඉවත දැමිය නොහැකිය. මන්ද අප මේ වන විට රාජකාරි කටයුතු වගේම අධ්‍යාපන කටයුතු පවා සිදු කරන්නේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ය. එහෙත් එමගින් පවුල් සබදතා හා අන්තර්පුද්ගල සබඳතා වලට සිදුව ඇති හානිය මෙතරම්ය කියන්නට බැරිතරම් ඛේදනීය තත්ත්වයකට ගොස් ඇත. Home සිනමා පටය හරහා තාක්ෂණය වැරදි ලෙස අර්ථකථනය නොකරන නමුත් අන්තර් පුද්ගල සබඳතාවල ගිලිහී යාම, තාක්ෂණික සාක්ෂරතාවය තමා සතු කොට ගෙන එය ඇබ්බැහියකට නොයා එතනින් එහාට මානව සබඳතා ගොඩනගා ගත යුතුය යන්න සිතන්නට මානයක් ප්‍රේක්ෂකයාට ලබා දෙයි. 

තාක්ෂණයේ නොදැනුවත් භාවය හේතුවෙන් ඔලිවර් අතින් තම ලොකු පුතාගේ (ඇන්තනීගේ) වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වෙත පළ වීම යන සිද්ධියේදී තාක්ෂණික සාක්ෂරතාවය නොදැනුවත්ක ම තුළ වෙන අහිතකර ප්‍රතිඵලයන්ද මෙහි අනාවරණය කරයි. ඒ වගේම පුද්ගල සබඳතාවයන් තුළ සන්නිවේදනය අති ප්‍රබල මාධ්‍යයක් වුවද ඒ කාර්යය තාක්ෂණයට භාර දීම හරහා අපගේ බොහෝ සිතිවිලි, හැඟීම්, දර්ශනයන්, අත්දැකීම්, මඟහැරී යනු ඇත. ඔලිවර් තමන්ගේ අත්දැකීම් පුතා සමග බෙදා ගැනීමට අවශ්‍ය වූවද ඔහුගේ කාර්යබහුල බව හා ව්‍යාකූල මනසකින් ඔහු සිටි නිසා එයට ඉඩක් නොලැබෙයි. 

තම පෙම්වතියගේ පියා ඔහුගේ ජීවිත කතාව පොතක් ලෙස එළිදැක්වීමට යාමේදී ඇන්තනී ඒ ගැන වර්ණනා කරයි. යම් අවස්ථාවක ඒ සම්බන්ධ කතිකාවතක දී anthony oliverට පවසන්නේ

"පපා ඔයා ගැන පොත් ලියන්න ඔයා මොනවද ජීවිතය ලබාගෙන තියෙන්නෙ" යනුවෙනි. එහෙත් ඔලිවර් ලබාගත් අත්දැකීම ඇන්තනි සමග පැවසුවද ඔහුට එය සත්‍ය කතාවකින් ඔබ්බට මවාගත් කතාවක් ලෙස පෙනුණේ ඔවුන්ගේ අන්තර් සබඳතාවය පවුල තුළ සන්නිවේදනය එතරම්ම සුබදායක ආකාරයකට නොපැවතීමයි. තාක්ෂණයට හුරු වූ මනසකට ඔලිවර්ගේ අත්දැකීම තවත් එක් කථාවක් ම විතරක් වන්නට ඇත. 

සිනමාපටයේ රූප රාමු එකින් එක පෙළ ගැසීමේ දී සාමාන්‍ය පවුලක ජීවන චර්යාව ඒ තුළ අන්තර්ගත ද එයට තාක්ෂණය හා මානව සබඳතා යන කාරණා ද්විත්ව තුළ මානුෂීය හැඟීම් හා මානුෂීය සබඳතා වල වැදගත්කම වගේම තාක්ෂණයේ සාක්ෂරතාවය හා පුද්ගල සබඳතා පලුදු නොවී තාක්ෂණය සමග ගනුදෙනු කළ කළ යුතුය යන මානසිකත්වය ප්‍රේක්ෂකයා තුළ රෝපණය කිරීමට උත්සාහ දරයි. 

තවද සමාජයේ ජීවත්වන සෑම පුද්ගලයකුගේම ජීවිතයේ ඔවුන් අත්විඳි අද්විතීය අත්දැකීම් සමූහයක් තිබෙන බවද එම අත්දැකීම් හා අදහස් බෙදා ගැනීමට තවත් පුද්ගලයකුට ඇහුම්කම් දීමේ මානව කුසලතා වර්ධනය කළ යුතු වගේම සෑම පුද්ගලයකුටම තමන්ගේ ජීවිත ජවනිකාව තුළ අත්දැකීමෙන් සන්නද්ධ අද්විතීය කතාවක් ඇති බවට ඔලිවර්ගේ කතාවේ අවසන් ජවනිකාව හරහා ප්‍රේක්ෂකයාට බලාපොරොත්තු නොවූ වෙනත් මානයකට මනස මෙහෙයවයි. 

ඔලිවර් තමන්ගේ කතාව පුතා හා කියා සිටියද ඔහුට එය අද්විතීය බව නොහැගුනේ ඔහු තාක්ෂණයට ඇබ්බැහි වූ ආකල්ප වල සජීවී ලෝකයේ සිදුවීම් ග්‍රහණය කර ගැනීමට දක්වන මැලියාව හේතුවෙනි. මේ හේතුවෙන් මානුෂීය හැඟීම්, අන්තර් පුද්ගල සබඳතා වල වැදගත්කම ඉතා ප්‍රබල ලෙස සමාජය වෙත ගෙන යාමට මේ සිනමාපටය දායක වී ඇත.

සිනමාපටය අවසන් වූවද විනාඩි කිහිපයකට ඒ තුළ ජීවත් කිරීමට සමත් වෙමින් අපේ ම කතාවක් අපිට ම නැරඹුවා වැනි හැඟීමක් ඇති කරන්නේ අවසන් වන්නේ විවිධ පැතිකඩයන් අනාවරණය කරමින්ය. ඒ අතර ප්‍රදාන වශයෙන් තාක්ෂණයෙන් ඔබ්බට ගොස් අන්තර් පුද්ගල සබඳතා වල වැදගත්කම කොතෙක්ද, අනිකාට ඇහුම්කම් නොදීම තුළ කෙතරම් දේවල් මග හැරෙනවා ද යන්න සහ නිවස තරම් අපට නිදහස තිබෙන තැනක් නොමැති ය යන්න අනාවරණය කරයි. 

Top