සත්‍යය ආදරේ ජීවිත කාලයටම එක සැරයයි එන්නේ.. (464)

සත්‍යය ආදරේ ජීවිත කාලයටම එක සැරයයි එන්නේ.. (464)

පිරිමි ජීවිත වල විවිධාකරයේ ප්‍රේම කාර්තු ලියවෙනවා. ජීවිත කාලය පුරාවටම හමුවන විවිධාකරයේ ගැහැනු හිත් ළඟ පිරිමි නිවෙනවා. ඇවිලෙනවා. එහෙව් පිරිමි එකම එක ගැහැනු හිතක් ළඟ සදහටම නොදැනිම නවතිනවා. ආදි අපේ කාලේ සාමාන්‍යය ප්‍රේමවන්තයකුගේ චරිතයක්. තමන්ගේ ඒකපාර්ශ්වික පාසල් ප්‍රේමය රෝස්. ප්‍රේමය කියන දේ හරියටම නොදන්නවත් කාලයක හිතේ ඇතිවන කුළුදුල් ප්‍රථම ප්‍රේමය.

සිහින, බලා හිදීම්,මඟ හැරීම් එක්කම ඒ ප්‍රේමයට සමු දෙන්න ආදිට සිද්ද වෙනවා. ඊටත් පස්සේ ආදිගේ දෙවන ප්‍රේම කාර්තුව. ආදි රිදෙන, බිදෙන, වැටෙන වගේම ජීවිතේ බොහෝ දේවල් තේරුම් ගන්න තැන. ආදිගේ ජීවිතේ සම්පූර්ණ වෙනසක් කරා ආදිව ගෙනිහින් නවත්වන තැන.

ජෝ. සල්ලිකාර පවුලක එකම කෙල්ල. ආදරේට මොන තරම් පුහු බාහිර සාධක සමහර මිනිස්සු එකතු කර ගන්නවද. ඒ නිසා ජීවත වල වටිනා කියන හමුවීම් කොතෙක් නම් අහිමි කර ගන්නවද. සමාජ තත්වය පවත්වා ගැනීමට පවා ආදරේ කියන දේ මොන තරම් දුරකට පාවිච්චි වෙනවද ?

තමන්ගේ පෙම්වතියගේ එකම අපේක්ෂාව සැපවත් ජීවිතයක්. ඒ වෙනුවෙන් දිවා රෑ නොබලා කැපවන එක පෙම්වතෙක්.ඒත් මොන තරම් කැපකිරීම් කරත් සමහර ආදර කතා හරිම දරුණු විදිහට කෙනෙක්ව ප්‍රතික්ෂේප කරලා යන්න යනවා.එහෙම යන අය නැවත වතාවක් තමන්ගේ වාසිය වෙනුවෙන් හොයන් එනවා.

 "ඔයා මට ආදරේ කරපු එකට ලැජ්ජා වුනා.. ඔයා මගේ සැලරි එකට ලැජ්ජා වුනා.. ඔයා මං දුන්න තෑගි වලට ලැජ්ජා වුනා.. ඔයා මගේ කාර් එකේ වාඩිවෙන්නවත් කැමති වුන් නෑ. සාමාන්‍යය කඩේකින් ඔයාට කන්න බැරි වුණා." 

ආදරේ කියන්නේ තමන්ව තමන් විදිහටම භාර ගන්න තරම් ප්‍රබල හැඟීමක්. මොන තරම් හොඳම තේරීම් තිබ්බත් එකම තේරීම ඔහු හෝ ඇය පමණක්ම වන තරම් හැඟීමක්. නොගැලපීම් සිය දහස් ගණනක් තිබ්බත් අනෙකාව දරාගෙන ගළපාගෙන ඇවිදන් යා යුතු ගමනක්.

නමුත් ආදිගේ ඒ ප්‍රේමය බිඳවැටෙන්නේ තමන් හා තමන්ගේ පෙම්වතියගේ සමාජ පරතරය පිළිබඳව ඇති වන ගැටලුව නිසා..

ඊටත් පසුව ලියවෙන්නේ ආදිගේ ජීවිතේ ප්‍රේමය කියාදෙන සමය. එහෙමත් නැත්නම් ආදී ජීවිතය සමඟම ආදරයත් ඉගෙන ගන්න සමය. නිධි ආදිගේ රැකියා ස්ථානයේම අහඹු හමුවීම. ආදිගේ ජීවිතේ නිවීම. බහුතරයක් පිරිමි ජීවිත වල වගේ ආදිගේ ජීවිතෙත් ජීවිතේ වෙනස් කරපු සුවිශේෂී ගැහැනු ආත්මය.

"නිධි මගේ ජීවිතේට ආවට පස්සේ හැමදේම වෙනස් වුනා..ඒක හීනයක් වගේ."

නිධි සරල සාමාන්‍යය තරුණියක්. නමුත් ගතිගුණ අතින් ඇය හරි පරාර්ථකාමී හදවතක් සහිත තැනැත්තියක්. තමන්ට විවාහ යෝජනාව ගෙන ආවයින් පසුවත් අවශ්‍ය නම් නැවත පරණ පෙම්වතිය ළඟට යෑමට අවසර දෙන විදිහේ හරි පරාර්ථකාමී සුන්දර හදවතක්. ප්‍රේමය පිලිබඳව හරිම අවබෝධය ඈ සතු වනවා.

" අපි දෙන්නා ඉන්නේ මාසෙක ඉදන්..එයා ඔයා එක්ක අවුරුදු 4 ක් හිටියා.ඔයාට එයාව ඕනි නම් කරුණාකරලා තීරණයක් ගන්න..මං අවුල් වෙයි කියලා නම් ප්‍රශ්නේ ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා..ටික දවසකින් මගේ හිත හදාගන්න පුළුවන්.."

ඒ වගේම අද සමාජේ බහුතරයක් පිළිගන්න මතය තමා ඕනෑම ගැහැනියක් මුදල වෙනුවෙන් ඕනිම දෙයක් කරයි කියන සිතුවිල්ල. ආදරයක් පවා පාවා දෙයි කියන අසාධාරණ මතය. සමාජය තුළ මේ ගැහැනු ආකාර දෙකම වෙසෙනවා. නමුත් පොදුවේ සමස්තයක් ලෙස ලබා දෙන ඇතැම් මතයන් නිසා එක් පිරිසක් අසාධාරණයට ලක් වනවා.

" මට අමතක වුන වැදගත්ම දේ තමා මොන දේටද මං වෙලාව දෙන්න ඕනි කියන දේ

-ඔයා වැඩ කරොත් ඔයාට සල්ලි ලැබෙයි.ඒත් ඔයා මෙතන නෑනේ.සල්ලි එක්ක මං මොනා කරන්නද.මං ඕනි නෑ ඔයා හම්බ කරන සල්ලි.මට ඕනි ඔයා එක්ක ඉන්න.

 

-මම දන් නෑ අපි හෙට ඉදීද කියලා.ඒත් අද ඔයා මාත් එක්ක ඉන්නයි ඕනි..."

නිධි ආදි වෙනුවෙන් හැමවෙලේම කැප වුණු ආදිගේ හිනාව වෙනුවෙන් සතුට වෙනුවෙන් බලන් හිටපු ගැහැනිය. නමුදු දෛවයේ අවාසනාවන්ත ඉරණම නිසා ආදිගේ ජීවිතෙන් වගේම තමන්ගේ ජීවිතෙනුත් සමුගන්න වනවා. සෑම ගැහැනියක් තුළම සැගවුනු මව්වත්කමක් පවතිනවා.එය තමන්ගේ ජීවිතේ වැඩියෙන්ම දැනුණු පිරිමියා වෙනුවෙන් ඔවුන් මුදා හරිනවා. ඒ පිරිමියාගේ දුක, තනිකම,වේදනාව වෙනුවෙන් ගැහැනු හිත් නිරන්තරයෙන්ම වද වෙනවා.

" මට සමාවෙන්න ආධි.මං ළමයි , මුනුබුරු මුනුබිරියෝ ගැන හීන දැක්ක. අපි දෙන්නම එකට වයසට යන හැටි දැක්කා. දැන් මම ඔයාව භාගයක් දුර ගිහින් දාලා යන්න වෙනවා."

ජීවිතේ කියන්නේ මහ පුදුමාකාර තැනක්.මේ මොහොත හැර ඊළඟ මොහොත පවා හරි අවිනිශ්චිත වන තැනක්.ජීවිතයේ සතුට දුක වෙන්නෙත් , දුක සතුට වෙන්නෙත් බොහොම පොඩි කාලයකින්..නමුත් මේ ජීවිත වල සිදුවන කිසිම දෙයක් අපට වළක්වන්නත් බැහැ.ස්වාභාව ධර්මයාගේ සහ කාලයාගේ තීරණ එක්ක ඒ ජීවිත ගලන් යනවා.රිදීම්, බිදීම්,තැලීම්, මෙන්ම ජීවිතයේ සතුටු කලාපත් දරා ගෙනම මිනිස්සුන් ඇවිදන් යනවා.

" මොනවද ඔයා බලන්නේ.. මගේ ඇස් දෙකේ කදුළු නැත්තේ ඇයි කියලද ? එයා තමයි මට කියලා දුන්නේ සත්‍යය ආදරෙයි සතුටයි කියන්නේ මොකක්ද කියලා. මං එයා ඉස්සරහ ඇඩුවොත් එයාට දරා ගන්න බැරි වෙයි..

- ජීවිතේ කියන්නේ දිග චාරිකාවක් වගේ. ඔයාට පුළුවන් ද ආපහු කාට හරි ආදරේ කරන්න..

මං ආදරේ කරන හැමවෙලේම මට දැනෙන්නේ ඒක තමයි සත්‍යය ආදරේ කියලා.ආදරෙන් අසමත් වුන හැමවෙලේම මං අලුත් ආදරයක් හෙව්වා.නිධි දැන් මාත් එක්ක නැති වෙන්න පුළුවන්.ඒත් මට කවදාවත් දැනිල නෑ ඇගේ ආදරය නැතිවෙලාවත් අසමත් වෙලාවත් කියලා..මොකද සත්‍යය ආදරේ ජීවිත කාලෙටම එක සැරයයි එන්නේ..ඒක දැනටමත් මට ඇවිත් තියෙන්නේ.ඒක ඇති මේ ජීවිත කාලය පුරාවටම..."

ඉතින් මුළු ජීවිතයේදීම ඔබට එකම එක ආදරණීය ආත්මයක් හමු වේවි.නුඹේ ජීවිතයේ නුඹ නොසිතන කලාපයක් නුඹටත් නොදැනීම විවෘත කරවන.නමුත් ඒ ආත්මය කවදාවත් මඟ හැරෙන්න දෙන්න එපා.ජීවිතයේ විශාල හිඩැසක් ඉතිරි වේවි.

ඉතින් එහෙව් ප්‍රේමණීය ආත්මයක් මුණ ගැසුනහොත් නොපැකිලවම නුඹේ හදවත ඔහු හෝ ඇය වෙත විවර කරන්න. ප්‍රේමයේ ගැඹුරුම නිදහස් තැනක් කරා ඔවුන් ඔබව ගෙනහොස් නතර කරාවි.

Top