LUCA සිනමා පටය කියැවීම
ආදරේ ජීවිතේ කර ගත්තු ගැහැනියකට තමන්ගේ ප්‍රේමය වෙනුවෙන් කරන්න බැරි දෙයක් තියනව ද ? චිත්‍රපටයේ නම ලූකා වුණාට ,ලූකා කියන්නේ නිහාරිකාගේ කතාව. තමන්ගේ පෙම්වතා වෙනුවෙන් කැපවුණු ගැහැනියකගේ කතාව.
ලූකා කියන්නේ චිත්‍ර ශිල්පියෙක්. හරි ලස්සනට තමන්ට ඕනි විදිහට තමන්ගේ ලෝකේ වර්ණ ගන්වපු කලාකාරයෙක්. නිහා එහෙමත් නැත්නම් නිහාරිකා. ලූකාගේ අහම්බකාරක හමුවකින් හමුවුණු, පෙම්වතිය. ඇය රසායන විද්‍යා උපාධිධාරීනියක්.
ඉතින් මේ චිත්‍රපටයේ මේ තෝරා ගැනීම් තුළින්ම සමාජයේ ගොඩනැගී පවතින සමහර පුහු මානසිකත්ව වලට එල්ල කරපු තදබල පහරට මං හරි කැමතියි.සමාජ තත්ත්ව, රැකියා මත ආදරේ තීරණය කරන සමාජයක, ජීවිතේ ගැන ලොකු බරක් බලාපොරොත්තුවක් නැති චිත්‍ර ඇද ඇද ඉන්න කොල්ලෙක්ට උපාධිදාරිනියක් ළඟා කරලා ගොඩනගපු ඒ ප්‍රේමය හරි ප්‍රබලයි. සමාජයේ ඇතමුන් ගොඩනගන් ඉන්න ඒ සමහර පුහු බෙදීම් කඩලා බිද හෙළලා ඒ හැම හිඩැසක්ම ප්‍රේමයෙන් පුරවපු ආකාරය ඇත්තෙන්ම විශිෂ්ටයි.
ලූකා කියන්නේ පෙනුමෙන්, හැසිරීමෙන් රළු කඩවසම්, කලහකාරී පිරිමියෙක්. ලූකාගේ ආරක්ෂාව ඇතුළේ ජීවත් වන නිහාරිකා කාලෙත් එක්ක ලූකාගේ අස්සේ ජීවත් වන පොදු සංවේදී පිරිමියාව එළියට ගන්නවා. ලූකාගේ ජීවිතේ හැම දුර්වලකමක්ම සංවේදීකමක්ම එළියට එන සුරක්ෂිතම කලාපේ වෙන්නේ නිහාරිකා. දඩබ්බර ආඩම්බරකාරයෙක් වුණ ලූකා, පිරිමියෙක් ලේසියෙන් ගැහැනියක් සමඟ බෙදා නොගන්නා තමන්ගේ ජීවිතේ තමන් විතරක්ම දන්න පරිච්ඡේද පවා නිහාරිකා සමඟ බෙදා ගන්න තරම් ඒ ආදරේ බොහොම ආදරණීය වනවා. ඒ කිසි දුර්වලකමක් ප්‍රයෝජනයට නොගෙන තමන්ගේ පෙම්වතා ආරක්ෂා කරන නිහාරිකාත් ඒ ප්‍රේමයේම එක ශක්තිමත් හස්තයක්.
ඉතින් මරණයට බිය වීමේ ෆෝබියාවකින් පීඩා විදින ලූකාගේ ජීවිතේ කුණාටු සමය ආරම්භ වෙන්නේ තමන් මිය යෑමට නියමිත පිළිකා තත්වයකට ගොදුරු වී ඇති බව දැන ගැනීමත් සමඟයි. ඒ පීඩනයත් සමඟම මරණයට බියෙන් ජීවත් වන ලූකා අවසාන වශයෙන් තමන්ගේ ආදරයත් තමන්ගෙන් පලවා හරිනවා. ඒත් ලූකාගේ ජීවිතේ හැම දුර්වලකමක්ම දරා ගත් ගැහැනිය වූ නිහාරිකා ලූකා වෙනුවෙන් කරන්නේ ආදරයක් වෙනුවෙන් ඈට කරන්න පුළුවන් ඉහළම ගණයේ පරිත්‍යාගයක්.
"ආදරේ කියන්නේ වෙලාවකට මැරෙන්න තරම් දෙයක් තවත් වෙලාවකට මරන්න තරම් දෙයක්..."
රසායන විද්‍යාව සම්බන්ධයෙන් ඉහළ දැනුමක් ලබා තිබූ ඇය ලූකාගේ මරණය තීරණය කරනවා. වේදනාකාරී නොවන මරණයක් වෙනුවෙන් ඈ තමන්ගේ ජීවිතය සම ප්‍රේමය ඔහු වෙනුවෙන් කැප කරනවා. ඔහු වෙනුවෙන් ලියූ ඩයරියක පිටු අතර විෂක් තවරනවා. ඒ ඔස්සේ විෂ ශරීර ගත වීමෙන් ලූකා නොසිතූ වෙලාවක, ඔහුටත් නොදැනීම නිහාරිකාගේ තුරුලේම දිගු නින්දක සිටියදීම මිය යනවා. එහෙමත් නැත්නම් සමාජය පැත්තෙන් බැලුවහොත් නිහාරිකා ලූකා ඝාතනය කරනවා. නමුත් ඒ ප්‍රේමය තුළ මගේ දෘෂ්ටියට අනුව නම් ඇය අපරාධකාරිනියක් වන්නේ නැහැ.
ඉතින් නිහා කියන්නේ රදවා ගැනීමට උත්සාහ නොකර, තවත් ඔහුට වේදනාවක් වීමට ඉඩක් නොදීපු හරි පරාර්ථකාමී ගැහැනියක්.
කතාවේ මැරෙන්නේ ලූකා වුණාට ජීවිතේ වේදනාකාරීම මරණය ලබන්නේ නිහාරිකා. ලූකා වෙනුවෙන් තමන්ගේ හදවතම , මුළු ජීවිතයම මරා දමන්නේ නිහාරිකා. මැරි මැරී ජීවත් විය යුතු වර්තමානය ඇය භාර අරගෙන ලූකාව ඒ තුළින් නිදහස් කරනවා.ඉතින් නිහාරිකා කියන්නේ ප්‍රේමයක් ඇතුළේ උත්තරීතර හරි පරිත්‍යාගශීලි ගැහැනියක්.
ඉතින් මේ චිත්‍රපටය තුළ ඒ ප්‍රේමණීය ගොඩ නැගීම හරි ආකර්ෂණීයයි. නිහාරිකා සහ ලූකාගේ ජීවිත එකිනෙකාට සම්පූර්ණයෙන්ම විවෘත කරන්න තරම් ඇති වන ඒ නිදහස් බැඳීම ඒ ඔස්සේ ප්‍රේමය තුළ තමන්ට තමන්ම වීමේ හැකියාව , තමන් තුළ නැති ප්‍රතිරූපයක් බොහොම අමාරුවෙන් අනෙකා ඉදිරියේ පවත්වා ගැනීමට අවශ්‍ය නොවීම වැනි දේවල් හරහා කියලා දුන්නු ඒ ප්‍රේමයේ පණිවිඩය තුළින් සමාජයේ පෙම්වතුන්ට ගත හැකි පාඩම් බොහොමයි.
ඒ වගේම මේ මලයාලමේ ලූකා ජීවත් වන ඒ වටපිටාව. කලාකාරයෙක් තුළ තියෙන්නා වූ නිදහස. කොටින්ම ලූකා දවස ගෙවන තමන්ගේ කාමරය පවා භෞතිකත්වයෙන් එහා ගිය සජීවී හැඟීමක් බවට පත් කර නරඹන්නන් වෙතට ගෙන ආ ඇති ආකාරය අපූරුයි.
ඉතින් ඒ හැම තැනකම ජීවත් වීමේ ආශාවක් ද ඉතිරි කරමින් ,කතාවේ අවසානයේ දී ප්‍රේක්ෂකයන්ට ලබා දුන් දරුණුම ගණයේ මේ ප්‍රේමණීයම හෘදයාබාධය ඔබ නැරඹිය යුතුම අති සාර්ථක ගණයේ මලයාලම් චිත්‍රපටයක් ලෙස සදහන් කරනවා.
ඉතින් මේ සටහන අයිරිෂ්වරුන්ගේ මෙම කාන්තා දින සැමරුම් පාඨයක් ද සමඟින් මා අවසන් කරනවා.
"ප්‍රේමයෙන් ශක්තිමත් ගැහැනියකට ආදරේ කරන්න ඇය දවසක ඔබේ යුධ හමුදාව වනු ඇත. "
ඉතින් එවන් වූ ප්‍රේමයක් මරණයින් පසුවත් නුඹව හැරදා නොයනු ඇත.