සත්‍ය තිබෙන්නේ කොහෙද? ඔබ ම විනිශ්චයකරුවා වන්න; රෂෝමොන්

සත්‍ය තිබෙන්නේ කොහෙද? ඔබ ම විනිශ්චයකරුවා වන්න;  රෂෝමොන්

සත්‍යය කියන්නෙ කුමක් ද? ඔබට සත්‍ය වන දෙය තවත් කෙනෙකුට බොරුවක් වෙන්න බැරිද? එකයි එකයි එකතු කළ විට පිළිතුර දෙක වන බව සත්‍ය වන්නේ මොන ක්‍රමය යටතේ ද? පොල් ගෙඩියක් සහ පොල් ගෙඩියක් පොල් ගෙඩි දෙකක් වුණාට, වැලි ගොඩක් සහ වැලි ගොඩක් වැලි ගොඩවල් දෙකක් වෙන්න බැහැ. වැලි ගොඩවල් දෙකක එකතුව වැලි ගොඩක් පමණයි. ඒ වගේ ම දොර පිළිබඳ උදාහරණයත් සලකා බලන්න වටිනවා. දොරක් සම්පූර්ණයෙන් විවෘත කරලා තියෙද්දි අපි කියනවා දොර ඇරලා කියලා. ඒකෙ අනිත් පැත්ත දොර වහලා. එතන කිසි ම ගැටලුවක් නැති වුණත් දොරක් අර්ධ වශයෙන් ඇරලා තියෙද්දි පිළිතුර මොකක්ද? දොර ඇරල වෙන්නත් පුළුවන්, වහල වෙන්නත් පුළුවන්, මේ දෙක ම නොවී ගණිත නීතිවලට අනුව ධන සෘණ කැපිලා දොරක් නෑ කියන්නත් පුළුවන්.

අවුල් සහගත පූර්විකාව ඔබට ආරාධනා කරනවා තවත් සිනමාපටයක් නරඹන්න. ඔබට සිදු වෙනව පැය එකහමාරක් පුරාවට මිනී මැරුම් නඩුවක විනිශ්චයකාර ධූරය දරන්න. එහෙනම් එන්න. වාඩි වෙන්න විනිසුරු අසුන මත. ඇස් දල්වාගෙන බලා ඉන්න සාක්ෂ්‍ය ඉදිරිපත් වන ආකාරය දිහා.

රෂෝමොන්.....! අකිර කුරසොවගේ රෂෝමොන්, මිනීමැරුමකට නිශ්චිත අවසානයක් නොදී සිනමාපටය තුළ වන විනිශ්චයත් ඉක්මවා, ප්‍රේක්ෂක ඔබවත් අන්දමන්ද කරවනවා. මතක තබා ගන්න ඔබ මේ මොහොතේ හිඳ සිටින්නේ විනිශ්චයක් සඳහායි.  

කතා පුවත සාරාංශ කළොත් මෙහෙමයි. මහා වර්ෂාවක් අතරතුරේදි වැස්සෙන් බේරීම සඳහා ගරාවැටුණු නගර දොරටුවට පැමිණෙන පුද්ගලයන් තිදෙනෙක් වැස්ස තුරල් කරනකල් විවිධ දේ කරනවා. එක් අයෙක් ගස් කපන්නෙක්. දෙවැන්නා භික්ෂුවක්. තවත් පුද්ගලයෙක් ඉන්නවා. ගස් කපන්නා කියන කුතූහලය දනවන කතාවට ඔවුන් සවන් දෙනවා. ඔහු පොරව අරන් කැලය මැදින් යද්දි දුටු දෙයක්. කුලවත් කාන්තාවකගේ හිස්වැසුමක්, පසුම්බියක්, ඒ වගේ ම ඇගේ සැමියාගේ යැයි අනුමාන කළ හැකි මළසිරුරක්. රෂෝමොන් සිනමාපටය දිවෙන්නෙ මේ තිදෙනාගෙ  කතා බහ ඔස්සේයි. 

තජෝමරු කියන්නෙ දරුණු හොරෙක්. මිනීමැරුමෙ චූදිතයා වෙන්නෙ තජෝමරු. ඒත් ප්‍රශ්නය වෙන්නෙ ඔහු මරණය සිදු කළේ කොහොම ද? ඔහු ම ද මිනීමැරුම කළේ කියන කාරණායි. මේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂ්‍ය සපයන කිහිප දෙනා ලබා දෙන සාක්ෂ්‍යයන් හාත්පසින් ම එකිනෙකට වෙස් ඒවායි. 

සමුරායිවරයා සහ ඔහුගේ රූමත් බිරිඳ වනගත මාර්ගයක් දිගේ ඉදිරියට යනවා. සුන්දර කාන්තාව අසුපිට හිඳ සෙමෙන් යද්දි සමුරායිවරයා සෑදලය අසලින් ඊට සමාන්තරව ගමන් කරනවා. ගසක් යට නිදා සිටින තජෝමරු මේ දසුන දකිනවා. ඔහු එක් වර ම කලබල වෙන්නෙ වනය පිස හමා ආ සුළං රොදක් නිසයි. සිහිල් සුළං රොද සුන්දර කාන්තාවගේ මුහුණ ආවරණය කර තිබුණු දුහුල් සළුපට පැත්තකට කර ඇගේ සොඳුරු මුහුණ තජෝමරුට පෙනෙන්නට සලස්වනවා. මේ දසුනින් කලබල වන ඔහු යම් අරමුණක් සිත තබා ගෙන වනය මැද කෙටි මාවතකින් ඔවුන් වෙත ළඟා වෙනවා. සමුරායිවරයා පළමුව සැක සිතී තජෝමරුට එරෙහිව කඩුව ඇද ගත්තත්, තජෝමරුගේ කූඨ උපායට මුළා වෙනවා. තජෝමරු දෙදෙනාව ම මහ වනය මැදට අරගෙන යනවා.

සියල්ල කණපිට ගැහෙන්නෙ වන මැදදි. තජෝමරුගේ උපායෙන් මුලා වන සමුරායිවරයා බිරිඳ මග හිඳවා වන මැදට ගියාට නැවත පැමිණීමට නොහැකි වෙන්නෙ සොරා ඔහුව මෙල්ල කොට බැඳ දමන නිසයි. තජෝමරු, දෙවනු කූඨ උපායෙන් මග හිඳින සුන්දර කාන්තාවත් වන මැද බැඳ දමා සිටින සමුරායි වෙත ගෙන යනවා. මින් පසු සිදුවීම ප්‍රේක්ෂකයාට දකින්න වෙන්නෙ මානයන් කිහිපයකින්. නඩුකාරයා ඉදිරියේ සාක්ෂ්‍ය දෙන්නන් තම තමන්ගේ මානයන් ඔස්සේ කරන පැහැදිලි කිරීම් එකිනෙකට වෙනස්. මේ ලිපියේ පාඨකයා විනිශ්චයකරුවෙක් වන නිසා විසඳුමත් ඔබට ම බාර දෙන්න වෙනවා. විසඳුමට යන්න මේ ලිපියෙන් පමණක් හැකි වෙන්නේ නැහැ.

අන්තර්ජාලය ඔස්සේ උපසිරැසි සමග ඉතා පහසුවෙන් රෂෝමොන් සිනමාපටය සොයා ගත හැකියි. කළු-සුදු නිර්මාණයක් වුණත් සත්‍යයේ පවතින විවිධ මානයන්හි විනිශ්චයකරුවන් අතරමං වෙන ආකාරය ගැන හිතා බලන්න තවත් මෙවැනි සිනමාපටයක් නැති තරම්. රෂෝමොන් නිම වෙන්නෙ නිශ්චිත නිගමනයකට එළඹීමට නොහැකි ලෙස සත්‍යයේ නියමයන් අවුල් කරමින්. වැස්ස තුරල් වෙනකල් පැරණි නගර දොරටුවේ සෙවණට රොක්වුණු තිදෙනා ළදරුවෙකුගේ කෑ ගැසීමෙන් අවධානය ඒ වෙත යොමු කරනවා. කවුරුන් හෝ දමා ගිය අතදරුවෙක්. තුන්වැන්නා දරුවා ඔතා තිබූ රෙදිපිළි සොරකම් කර පොදි ගහගන්නවා. දරකපන්නා ඊට එරෙහිව නැගී සිටිද්දි භික්ෂුව ළදරුවා තමා වෙත ගෙන උණුසුම් කරනවා. මේ මොහොතේ දරකපන්නාට පසු බසින්න වෙන්නෙ අනෙක් පුද්ගලයා කරන චෝදනාවක් නිසා. ඔහු වන මැද තමා දුටු මිනීමැරුමෙදි හෙළි නොකළ දෙයක් ගැන ප්‍රශ්න කෙරෙනවා. තෙවැන්නා වැස්ස මැද පිටවී යන අතර ගස් කපන්නා දරුවා තමා වෙත ලබා දෙන ලෙස භික්ෂුවගෙන් ඉල්ලා සිටිනවා. ඔහුගේ අවංක ඉල්ලීම නිසා භික්ෂුව අතින් ළදරුවා ගස් කපන්නාට ලැබෙනවා.

මෙහි අවසාන රූපරාමුව තමයි ප්‍රබල. ඔහු දරුවා ද රැගෙන වැස්ස තුරල් වූ පෙරබිමට යනවා. පෙර බිම ඒ කියන්නෙ ගස් කපන්නා යන දිශාව ආලෝකමත්. දීප්තිමත්. සාමාන්‍ය නිර්වචනයට අනුව නම් කියන්න පුළුවන් “ඔවුන් අඳුරේ සිට ආලෝකය කරා ගමන් කරනවා. ඔවුන් ඉදිරියේ දිස්වන ආලෝකය හඬනගා කියන්නෙ ඒ පුවතයි” වගේ දේවල්. එහෙත් ඔබ දකීවි ගස් කපන්නා ඉදිරියට ඇදෙන විට පසුබිමේ සිටින භික්ෂුවට පිටුපසින් ඇති එවැනි ම ආලෝකය. පැරණි නිර්වචනය අකුල ගන්න වෙන්නෙ මේ නිසා. පිටුපසත් ආලෝකය - ඉදිරියෙත් ආලෝකය. විනිශ්චය ඔබට දී ලිපිය මෙතනින් හමාර වෙනවා.

 

Top