මනුෂ්‍යත්වයෙන් පිරුණු හදවතක් කියන්නේ ප්‍රේමයේ එක හටගැනීමක් - Kedarnath (416)

මනුෂ්‍යත්වයෙන් පිරුණු හදවතක් කියන්නේ ප්‍රේමයේ එක හටගැනීමක්  - Kedarnath  (416)

ආදරේ කියන්නේ හිමි වීමෙන් ලැබෙන අහිමි වීමෙන් නොලැබෙන දෙයක් නෙවේ. සමහර ආදර කතා ආදර කතා විදිහට ලියවෙන්නෙත් ඒ අහිම් වීම් නිසාවෙන්මයි. සමහර වෙලාවට ආදරේ කියන්නේ අල්ලා ගැනීමක් තවත් වෙලාවක පරිත්‍යාගයක්. තවත් වෙලාවක පරාර්ථකාමී නික්ම යෑමක්.

Kedarnath දඟකාර කෙල්ලෙක්ගෙයි අහිංසක කොල්ලෙක්ගෙයි ආදර කතාවක්. එක්තරා විදිහක ආදරණීය ශෝකාන්තයක්.

මීදුමෙන් පිරුණු සීතල නිම්නයක්. ඒ නිම්නයේ කොනක තියන දේවාලයට වන්දනාකරුවන් කැටුව යන දුප්පත්, හැමෝටම පිහිටක් වෙන, මුස්ලිම් කොල්ලා මන්සූර්. දේවාලයේ ප්‍රධාන පූජකතුමාගේ බාල දියණිය මන්දාකිණි. කටකාර දඟකාර වගේම හැඩකාර කොලු භාගයක් වගේ කෙල්ලක්.

හිත හොඳකම මන්සූර්ටම සමානයි. මුලින් අහම්බයෙන් ඇතිවන දැන හැදුනුම්කම අවසානයේ නවතින්නේ මන්සූර් -මන්දාකිණි ප්‍රේම වෘන්තාන්‍තයට ආරම්භයක් ඇති කරලා.

නමුත් ඒ ප්‍රේමය සරල සුන්දර ප්‍රේමයක් නම් වෙන්නේ නැහැ. මන්දාකිනිගේ යෝජිත විවාහය සිදු වන්න යන්නේ, තවමත් ඔහු වෙනුවෙන්ම බලා සිටින තමන්ගේම එකම වැඩිමහල් සොහොයුරියගේ කලින් පෙම්වතා සමඟ.

ඉතින් මොවුන්ගේ මේ ආදර කතාවට ආගම්, සමාජ තත්වය,පන්ති භේද වැනි අනේක බාධක පැමිණෙනවා. ඒ බාධක එක්ක ඉස්සරහට යන එන මන්සූර් - මන්දාකිනි පෙම්වතුන් දෙදනට ඊළඟ ලොකුම බාධකය වෙන්නේ ස්වාභාව ධර්මය. තමන්ගේ ජීවිත බේරාගෙන ජීවත් වීමට ඉඩ කඩක් ලැබුනත් වෙනත් කෙනෙක් වෙනුවෙන් තමන්ට ලැබුනු ජීවිත ආරක්ෂාව පරිත්‍යාග කරලා මන්සූර් මන්දාකිනිගේ ඇස් ඉස්සරහම ජීවිතයට සමු දෙන්න සිදු දෙනවා.

ඒක හුදෙක් පෙම්වතුන් දෙදෙනෙක් අතර ඇති ප්‍රේමයට එහා ගිය මනුෂ්‍යත්වය ගැන කතාවක්. ආත්මාර්ථකාමී සමාජයක අනුන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය පවා කැප කරන තරුණයෙක් ගැන කතාවක්.

චිත්‍රපටය මුල් භාගය පුරාවටම කතා බහට ලක් වෙන්නේ පොදු සමාජයේ සාමාන්‍යයෙන් වෙන සංසිද්ධියක්. ප්‍රේමය තුළ ප්‍රේමයට එහා ගිය ඇතැම් සමාජීයය භෞතික සාධක අදවන විටත් සමාජයේ පවතින්නක්. මිල මුදල්, ජාති, ආගම්,කුල භේද නිසා මිය යන පෙම් පුවත් වර්තමානය තුළත් බහුලයි. බොහෝ විට එවන් පුහු සාධක පවා අභිබවා යෑමට හැකි වන පෙම්වතුන් දුර්ලභයි. තවමත් සමාජයේ හේතු විරහිතව පැන නැගිය යුතු ප්‍රේමය පවා පාලනය කරන , බැඳීම් හුදෙක් ගනුදෙනුවක් පමණක් කරවන එවන් වූ අශිෂ්ඨ සාධක පැවතීම, එවන් වූ මත දරන පිරිසක් අදටත් සිටිම ශෝකයට කරුණක් වනවා.

ඊටත් පසුව චිත්‍රපටයේ අවසාන කොටස්.අනුන් වෙනුවෙන් තමන්ගේ ප්‍රේමය, තමන්ගේ ජීවිතය පවා පුද කරන ඇතැම් මානුෂීය මිනිස්සුන්. තමන්ගේ පියා වෙනුවෙන් ඉඩක් ඉල්ලා හඬන එක පුංචි දරුවෙක්. තවත් පැත්තකින් තමන් වෙනුවෙන් හඬන තමන්ගේ පෙම්වතිය. අසීරුතම තීරණයක අවසානයෙ ඔහු තමන්ව පරිත්‍යාග කරනවා. තමන්ගේ පෙම්වතියගේ ඇස් ඉදිරියේම ගංවතුරට බිලිවෙනවා.

පෙම්වතුන් මිය ගියද ප්‍රේමය සදා ජීවමාන වනවා.. ඇතැම් ප්‍රේමණීය මිනිස්සුන් අපේ ජීවිත වල තබා යන පියසටහන් හැමදාටම ජීවිත අස්සේ ඉතිරි වෙනවා.

මන්සූර් ඒ හැම ජීවිතයකටම උගන්නපු මනුෂ්‍යත්වයේ පාඩම චිත්‍රපටය අවසානයේ ප්‍රේමයට වඩා යමක් ප්‍රේක්ෂකයාට ලබා දෙනවා.

Kedarnath චිත්‍රපටයේ දර්ශන තලද ප්‍රේක්ෂකයාගේ සිත් තවත් ඇඳ බැද ගැනීමට සමත්ව ඇති බව නම් නොඅනුමානයි. කොළ ම කොළ පාට නිම්නයක ගලන් යන සීත ගංඟා දෙකක්. කොයි වෙලාවෙත් මීදුමෙන් බර වුණු අහසක්. නිම්නය පුරා ගමනාගමනය රික්ෂෝ , බූරුවන් , කූඩකරුවන් වැනි ක්‍රම මඟින්. නිම්නයේ සුන්දරත්වය තවත් වැඩි කරන ස්වාභාව ධර්මයාට අනුකූලවම සකස් කරන ලද ලස්සන ගම්මානයක්.

චිත්‍රපටය පාදක වීම වෙන්නෙත් 2013 වසරේ කේදර්නාත් වැසියන්ට මුහුණ දීමට සිදු වුනු හදිසි ගංවතුර තත්වයක්. ඉතින් මෙම හුදෙක් නිර්මාණාත්මක ප්‍රයන්තයක් පමණක් නම් වන්නේ නැහැ.

මේ සටහනේ අවසානයට බොහිමියානුවෝ නාට්‍යයේ වචන කීපයක් උපුටනවා. මන්සූර් මන්දාකිණීට උගන්නපු ජීවිත පාඩමත් එතුළ තිබේවි. මන්සූර්ගෙ හදවත මොහොතකට එතුළින් නුඹට අනිවාර්යයෙන්ම ඇසේවි.

" ඔයා වෙනුවෙන් මං මැරෙන්න උනත් ලැස්ති කියල කියන්න බෑ

අපිට තව වැඩ ගොඩක් තියෙනවා 

පුළුවන් ප්‍රමාණයෙන් හරි මේ මහපොලව මත ජීවත් වුන ණය ගෙවන්න ඕනේ මැරෙන්න කලින් 

මං ආදරේ කරන්නේ ඔයාට විතරමයි කියල කියන්න බෑ නූරි ...

මගේ තාත්තා, පුංච, යාලුවෝ මේ උදේ හාවා හම්බවෙන මිනිස්සු 

මං එයාලා ගැනත් බලන්න ඕනේ.

මගේ පැය විසිහතරම ඔයාට දෙන්න බෑ නූරි.

පොඩි හරි රස්සාවක් කරලා සල්ලි ටිකක් හොයාගන්න ඕනේ

ඔයාව සතුටින් තියන්නම් කියලත් පොරොන්දු වෙන්න බෑ නූරි...

එකඟ නැති තැන්වල රංඩු කරන්න වෙයි, අඩන්නත් වෙයි.

ඔයාට ආදරේ කර කර විතරක් ඉන්න බෑ අපිට තව වැඩ ගොඩක් තියෙනවා..."


ලියන්න අපිට

ඔබට ලිවීම සම්බන්ධව හීනයක් තිබේ ද? ඒ හීනය විකසිත කර ගන්නට ඉඩක් අවශ්‍ය ද? තාක්ෂණය දියුණු ලෝකයක මුද්‍රිත පත්තර පිටුවලට වඩා දැන් ඩිජිටල් මාධ්‍යය වේගයෙන් දියුණුව ඇත. එබැවින් මෙතැන් සිට අපි ඔබට, ඔබේ හරබර සංස්කෘතික - කලා ලියැවිලි උදෙසා ඩිජිටල් අවකාශයේ ඉඩක් තනා දෙන්නට සූදානම් ය. ඉතින්, රහට ලියන ඔබ ට අපේ ඩිජිටල් අවකාශයේ ඒ ලියමන් පළකර ගන්නට අවැසි නම් පහත විද්‍යුත් තැපල් ලිපිනය ඔස්සේ අපට එවන්න. ඔබේ ලියමන් පිළිගන්නට වචන.lk කාර්‍ය මණ්ඩලයත් මේ ඩිජිටල් අවකාශයත් මගබලමින් ය.

Top