චිත්‍රපටය වැඩිහිටියන්ට පමණයි වුණාට පොඩිහිටියන්ටත් උරුම වන රියලිටිය - හුස්ම (280 වන ලිපිය)

චිත්‍රපටය වැඩිහිටියන්ට පමණයි වුණාට  පොඩිහිටියන්ටත් උරුම වන රියලිටිය - හුස්ම  (280 වන ලිපිය)

2019 වසරේ තිරගත වූ හුස්ම චිත්‍රපටය ලාංකික රිදී තිරයේ දැඩි කතාබහට ලක් වුණු ඉතාමත් ආන්දෝලාත්මක චිත්‍රපටයක් ලෙස හඳුන්වාදීමට පුළුවන්. ඇතැම් දර්ශන කිහිපයක් නිසා වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට කාණ්ඩයට ඇතුළත් වූවත් සමස්ත සමාජයටම ඉතාමත් වටිනා පුවතක් මේ චිත්‍රපටය මඟින් ලබා දී තිබෙනවා.

හුස්ම චිත්‍රපටය සුදේශ් වසන්ත පීරිස්ගේ අධ්‍යක්ෂණයක් වන අතරම එය The corpse of Anna Fritz (2015- Spanish ) චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් ද වනවා.

තමන් සේවය කරන පෞද්ගලික රෝහලට හදිසියේ මිය ගිය සුරූපී ජනප්‍රිය නිළියකගේ මෘත දේහයක් ගෙන එනවා. එදිනම රාත්‍රියේ හදිස්සියේ තමා හමුවීමට පැමිණෙන තම මිතුරන් දෙදෙනා සමඟ රෝහල් පරිශ්‍රය තුළදී මත් පැන් පානය කරන මෘත ශරීගාරයේ සේවකයා එම නිළියගේ දේහය බැලීමට යෑමේ ආශාවක් සෙසු දෙදෙනා තුළ ඇති කරනවා. එම නිරුවත් සිරුර දැකීම නිසා ඇතිවන කාමය, රාගය, ආශාව නිසා එම ශරීරය සමඟ ලිංගික ක්‍රියාවක නිරතවීමට ඉන් දෙදෙනෙක් පෙළෙඹෙනවා. නමුත් මිය ගොස් ඇතැයි සිතූ නිළියට හිටි ගමන් පණ එනවා. ඉන් අනතුරුව තමන් කළ වැරැද්දේ බරපතලකම තේරුම් යන මොවුන්ගෙන් දෙදෙනෙක් එම නිළියව ඇත්ත වශයෙන්ම ඝාතනය කිරීමට තීරණය කරනවා. එයට විරුද්ධ වන, නිළියට සහය වන එකම සඟයාට අත්වන අවසානතම ඉරණම වන්නේ මරණයයි. ඉතින් ඊටත් පසු කතාව කෙසේ නම් ගලා යනවා ඇතිද ? කතාවේ අවසානයේ නිළියගේ ඉරණම කෙසේ නම් ලියවෙනවා ඇතිද ? කාමාතුරයන් දෙදෙනා අතින් ඇයව නැවත වතාවක් ඝාතනය වේවිද ? නොඑසේනම් ඔවුන් දෙදෙනාට නිසි දඩුවම් ලැබේවිද ?

අවසානය දක්වාම කුතුහලය ඉතාමත් නොඅඩු ලෙස නිර්මාණය කර ඇති මෙම හුස්ම චිත්‍රපටය තරුණ පරම්පරාව අනිවාර්යයෙන්ම නරඹා තිබිය යුතු නිර්මාණයක් ලෙස මා දකිනවා.

මුළු චිත්‍රපටය තුළම ෆෝකස් වෙන්නේ ප්‍රධාන චරිත හතරයි. එකම දර්ශන තලයක, එකම ඇදුමකින් පැය කිහිපයක් තුළ සිදු වෙන මේ කතාවෙන් සමාජයේ අදටත් පවතින තිත්ත ඇත්තක් මතු කරලා සමාජයේ රියලිටියට ගහන ඒ පහර ඇත්තෙන්ම ප්‍රශස්තයි.

Necrophilia එහෙමත් නැත්නම් මල සිරුරු සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්විමට ඇති කැමැත්ත නම් මානසික රෝගයක්. සමහරෙක්ට එය මානසික රෝගයකට එහා ගිය එක්තරා නින්දිත ආශාවක්. සමාජයේ අප්‍රසිද්ධ යැයි සිතා සිටින අඳුරක ප්‍රසිද්ධ රහසක්.

මෙවැනි නින්දිත පහත් ආශාවන් නිසා ගොඩක් වෙලාවට සමාජේ ශිෂ්ඨත්වය , සුන්දරත්වය මෙන්ම සුරක්ෂිතතාව ගැන ඇත්තෙන්ම ඇති වන්නේ සැකයක්. දිගින් දිගටම එවැනි අශිෂ්ඨ ගුණාංග සහිත මිනිස්සු බිහි වුණහොත් අනාගතය කෙතරම් නම් බියකරු වේවිද ? හුස්ම චිත්‍රපටය තුළ ඒ මානුෂිකත්වයේ මිය යාම, තමන්ට අයිති තමන්ගෙම හුස්ම පවා සමාජයේ එවන් කාමාතුරයන්ගෙන් ඇයැදීමට සිදුවීම කතා කරුවා නිර්මාණයට නංවා ඇති ආකාරය ඉතාමත් විශිෂ්ඨයි.

මිය ගිය ලෙස සැලකුනු නිළියට හදිස්සියේ පණ ඒමත් සමඟම කැමරා කාචයෙන් උද්දීපනය කර පෙන්වපු ඇයගේ ඒ හැඟීම් ප්‍රේක්ෂක හිත් තුළ ගැඹුරුම ස්පර්ශයක් ඇති කිරීමට සමත්ව වනවා. මරණයට වඩා වේදනාවක් ඒ නැවත අවදිවීම තුළින් ඇය අත්විදිනවා. කාමාතුරයන් විසින් ඇති කරපු ඒ රුදුරු කැළැල ඇගේ හදවතේ දරුණුවටම කිදා බහිනවා.මරණයට වඩා ජීවිතේ යථාර්ථයයේ පවතින බිය ඇය තුළින් සංකේතවත් වනවා.

ඉතින් සමාජයේ සාමාන්‍යය සිදුවීමක් බවට පත්ව ඇති මෙවැනි තවත් සිදුවීම් කීයක් නම් එම මෘත දේහ සමඟම වැළලී යනවා ඇති ද ? 

ඒ වගේම මේ කතාවේ අවසානය එහෙම වුණ එකට මං හරි කැමැතියි !!

අසාධාරණයට එරෙහිව සිද්දවුණු ඒ නැගීසිටීම , වැරදිකරුවන්ට සුදුසුම දඩුවම හිමිවීම , ඒ අසාධාරණකම් නින්දිතකම් මෘත ශරීරාගාරය තුළම මිය නොයා සමාජයේ සෙසු මිනිස්සු වෙනුවෙන් සටන් කර හුස්ම රැගෙන නැවත පැමිණීමට මං හරි කැමතියි.

වැඩිහිටියන්ට පමණයි කියන වාරණේ අස්සේ තිර ගත වූවාට සමහර පොඩිහිටියන්ටත් උරුම වුණු ඛේදනීය ඉරණමක් හුස්ම !! 

ඉතින් තවමත් නරඹා නැතිනම් හුස්ම චිත්‍රපටය නරඹන්න. සමාජයේ අඳුර වටහාගන්න...

හුස්ම කියා දුන් ඒ ජීවිතේ පාඩමට හුස්මක් දෙන්න !! 

Top