සයිකෝ ඇන්ටිට ගොඳුරු වුණු සුරූපී තරුණිය GRETA (746)

සයිකෝ ඇන්ටිට ගොඳුරු වුණු සුරූපී තරුණිය GRETA  (746)

අද මම ඔබට කියන්න යන්නේ 2018 වසරේ දි තිරගත වුණු චිත්‍රපටයක් ගැනයි. ග්‍රේටා නම් මෙම හොලිවුඩ් චිත්‍රපටය පවුලේ හැමෝම එක්ක එකට එකතු වෙලා නරඹන්න පුළුවන් චිත්‍රපටයක්. මෙය අයිති වෙන්නේ ත්‍රිලර්, හොරර් ශානරයට. කුතුහලය පිරුණු චිත්‍රපටයක් විදියට නම් කරන්න පුළුවන් මේ සිනමා නිර්මාණය ඊළඟට මොකද්ද වෙන්නේ කියන කුතුහලයට ඔබව අරගෙන යනවා විතරක් නෙවෙයි මේ වගේ අවස්ථාවකට ඔබ හසුවුණොත් මොනවද කරන්නේ කියන අවිනිශ්චිත හැඟීමත් ඔබ වෙත අරගෙන එනවා. 

අවහන්හලක වේටර්වරියක් විදියට වැඩකරන ෆ්‍රැන්සස් තමයි මෙහි ප්‍රධාන චරිතය වෙන්නේ. ක්ලොයි ග්‍රේස් මෝටර්ස් නම් ප්‍රංශ සම්භවයක් සහිත ඇමරිකානු නිළිය තමයි ෆ්‍රැන්සස් ගේ චරිතයෙන් ඔබ හමුවට එන්නේ. ඉතින් ඇය තමන්ගේ සේවා මුරය ඉවර වෙලා කෝච්චියට නගිනවා තමන්ගේ නවාතැනට යන්න. ඒ කාලවේලාවෙදි ඇය පුරුද්දක් විදියට කරන්නේ පොත් කියවන එක. තමන් බහින තැනට කෝචිචි පෙට්ටිය දිගේ ඉස්සරහට යන ඇයට අමතක වුණු අත් බෑගයක් හමුවෙනවා. මේ අත්බෑගය ඇතුලේ අදාල කාන්තාවගේ ජාතික හැඳුනුම්පතත් තිබෙනවා. කාගේ හරි වටින දෙයක් හමුවුණාම කෙනාව හොයාගන්න පහසු නම් අතටම ගිහින් බාර දෙන එක හොඳ පුරුද්දක් නිසා ෆ්‍රැන්සස් මේ අත් බෑගයත් අරන් යන්නේ අදාල කාන්තාවගේ නිවසට. හැබැයි යන්න කලින් ඇය හිතනවා මේ බෑග් එක ස්ටේෂන් එකේ ඔෆිස් එකට දුන්නා නම් හොඳයි කියලා. හැබැයි ඒ වෙද්දි එතන වහලා. ඒ නිසා මුලින්ම ෆ්‍රැන්ස්ස් බෑග් එකත් අරගෙන ගෙදර යනවා. 

එරිකා කියන්නේ ෆ්‍රැන්සස්ගේ හොඳම මිතුරිය. ඉස්කෝලේ යන කාලේ ඉදලම එකටම හිටපු මේ දෙන්නා දැන් ඉන්නෙත් එකම එපාර්ට්මන්ට් එකේ. එරිකා දකිනවා ෆ්‍රැන්සස් ගෙනාපු මේ බෑග් එක. එයා ඒක ඇතුලේ තියෙන දේවල් මේසේ උඩට හැලුවාම සල්ලි ටිකක් තියෙන පසුම්බියක්, හැඳුනුම්පතක්, බෙහෙත් වර්ග කිහිපයක් හා තවත් දේවල් බෑග් එකේ තියෙනවා. එරිකා නම් කියන්නේ බෑග් එකේ තියෙන සල්ලි අරන් බෑග් එක විසි කරල දාමු කියලා. හැබැයි ෆ්‍රෑන්සස් බොහොම හොඳ ගැහැණු ළමයෙක්. එයා තීරණය කරනවා මේ බෑග් එක අදාල අයිතිකාරියටම ලබා දෙන්න. ඉතින් ඇය ඒ අදාල කාන්තාවගේ නිවස හොයාගෙන යනවා.

මුල් වතාවට ඇයට ග්‍රේටා මුණගැහෙන්නේ ඒ නිවසෙදි. ඇය තමයි මේ කාන්තා අත් බෑගය අයිති කාන්තාව. මැදිවියත් පසු කරමින් ඉන්න මේ කරුණාවන්ත මහත්මියගේ සත්කාර නිසා ෆ්‍රැන්සස් ඇයට බොහොම සමීප වෙනවා. චිත්‍රපටය පටන්ගන්නේ එහෙමයි. හුඟක් කරුණාවන්ත සිනහවන් පිටිපස්සේ සැඟවුණු භයානක ආත්මයන් තියෙන්න පුළුවන් කියලා ෆ්‍රෑන්සස් වගේම නරඹන ඔබත් දැනගන්නේ චිත්‍රපටයේ මැද හරියට ගියාමයි. මේ කාන්තාව ෆේස් බුක් හා ට්විටර් වැනි සමාජ ජාලාවලට ගිහින් යම් යම් තරුණියන් තෝරාගන්නවා. ළඟදි අම්මා මියගිය, මව්පිය සෙනෙහස අහිමිවුණ, තනියම ඉන්න ගැහැණු ළමයි තමයි එයාගේ ඉලක්කය වෙන්නේ. ඒ අයගේ දුරකථන අංක හොයාගෙන එයාල පස්සෙන් ගිහින් ඊට පස්සේ හිතාමතාම බෑග් එක අමතක කරලා එන එක ආච්චි කරන්නේ සැලසුම් සහගතවමයි. ඒ සඳහා එයා ගාව එක සමාන බෑග් ගොඩක් තියෙනවා. 

ඉතින් තවදුරටත් මේ ගැන කියනවාට වඩා ඔබම මේ චිත්‍රපටය නරඹන එක වඩා හොඳයි කියලා මම හිතනවා. මිනිස්සුන්ට උවමනාවට වඩා සමීප වෙන්න කලින් හුඟක් දේවල් හිතන්න ඕන කියන එක තමයි ග්‍රේටා බැලුවාම අවබෝධ කරගන්න පුලුවන් වෙන්නේ. විශේෂයෙන්ම තමන්ගේ පුද්ගලික ප්‍රශ්න, දුක, අහිමිවීම් ගැන සමාජ මාධ්‍යවල හෑලි ලියන බොහෝ දෙනෙක් මෙවැනි සයිකෝ ආන්ටිලා ගේ ගොඳුරක් වෙන්න පුළුවන් බවත් චිත්‍රපටය අපිට අවබෝධ කරලා දෙනවා.

Top