නුඹට දේදුන්නක් අවශ්‍ය නම් වැස්සක් සමඟ ගනුදෙනු කිරීමට පුරුදු වෙන්න - The fault of our stars (449)

නුඹට දේදුන්නක් අවශ්‍ය නම් වැස්සක් සමඟ ගනුදෙනු කිරීමට පුරුදු වෙන්න - The fault of our stars (449)

තමන්ගේ ජීවිතේ පවා තමන්ට අහිමියි කියලා දැන දැනත් මනුස්සයෙක්ට උපරිම සතුටින් ඉන්න පුළුවන් ද ?

ඒක එහෙම කතාවක්. අනික් අයගේ ජීවිත වලටත් සතුට හොයලා දෙන විදිහේ කොල්ලෙක් ගැන කතාවක්.

ජීවිතේ මැරෙන මොහොත දැන දැන ඒ අස්සේ විදවමින් ඉන්න , යන යන තැන හුස්ම වෙනුවෙන් සටන් කරන්න ඔක්සිජන් ටැංකියක් උස්සන් යන පුංචි කෙල්ලෙක් ගැන කතාවක්.

හේසල් , තමන්ගේ වයසේ වෙන අය නිදහසේ ජීවිතේ විදිද්දී , ආදරේ කරද්දි ඒ දිහා බලන් සාමාන්‍යය ජීවිතයක් වෙනුවෙන් බලන් ඉන්න , පිළිකා තත්වයකට ගොදුරු වුනු වයස අවුරුදු 17 ක තරුණියක්. එතකොට කෙල්ලට ජීවිතේ කියලා දෙන ඔගස්ටස් කියන්නේ පිළිකා තත්වයක් නිසාම කකුලක් අහිමි වුණ වයස අවුරුදු 18 ක තරුණයෙක්.

ඉතින් ඒ දෙන්නගේ ආදර අන්දරය කොහොම ලියවේවිද ? ජීවිතේ ගැන මොන විදිහේ පාඩම් කෙල්ල ඉගෙන ගනීවිද ? ඒ ආදරයෙන් පිරුණු ශෝකාන්තයේ අවසානය කොහොම ලියවේවිද ?

සිනමා පටයේ සමහර දෙබස් සෑහෙන්න ප්‍රබලයි. හිතන්න බොහෝ තැන් ඉතුරු කරපු අතිවිශිෂ්ට ගණයේ සිනමා නිර්මාණයක්.  එක තැනක මෙහෙම කියවෙනවා. කොල්ලා කටේ සිගරුට්ටුවක් තියන් ඉන්නවා. නමුත් ඔහු දුම් බොන්නෙක් නෙවේ.

" You put the things that doesn't killing right between your teeth , but you don't give it power to do its killing."

ඉතින් ජීවිතේ ගොඩාක් තැන් ඒ වගේ.. අපෙන් බලයක් යෙදෙනකන් ම ඒ තැන් හානිදායක වෙන් නෑ. ගොඩක් ප්‍රශ්න වලට හේතුව ඒ දේවල් අපි භාර ගන්න විදිහ සහ ඒ මත අපිම ක්‍රියා කරන ආකාරය.

ඒ වගේම චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකේ ඇඳුම් පැලදුම් නිර්මාණය ගැන විශේෂ අවධානයක් නිෂ්පාදක කණ්ඩායම යොමු කරලා තියෙනවා. ඒ අස්සේ නිහඬ පණිවිඩයක් අඩංගු කරලා තියෙනවා. ඇඳුම් ලා වර්ණයන්ගේ ඉදලා තද වර්ණ වෙත ගෙන යෑමක් ඔවුන් විසින් සිදු කරලා තියෙනවා. අපි Hazel ට gus ගේ මරණය වෙන තුරුම කළු ඇන්දුවේ නෑ. නිෂ්පාදක කණ්ඩායම වරක් එලෙස අදහස් දක්වලා තිබෙනවා.

ඉතින් චිත්‍රපටයට පාදක වුණේ John Green නමැති ඇමරිකානු ජාතික කතුවරයාගේ the fault of the stars ග්‍රන්ථය. ග්‍රන්ථයේ අඩංගු වෙන්නෙත් සත්‍යය සිදුවීමක් වීම විශේෂයක්. නමුත් ඇතැම් ලිංගික සිදුවීම්වල අන්තර්ගතයන් සහ භාෂාවේ යම් යම් නොගැලපීම් තිබ්බ නිසාවෙන්ම නවකතාව නම් කාළයකදී තහනමකට ලක් වෙනවා. ඒ වගේම මෑතකදී කතා බහට ලක් වුණු සුෂාන්ත් සිං රංගනයෙන් දායක වුණු Dil Bechara (2020) චිත්‍රපටය මෙම චිත්‍රපටයේ හින්දි එළිදැක්වීමක්. ඒ වගේම නවකතාවේ සිංහල පරිවර්තනයකුත් දැන් නිකුත් වෙලා තියෙනවා.

ඉතින් ජීවිතේ මොන තරම් අහිමි වීම් තිබ්බා වුණත් ඇත්තටම සතුටින් ඉන්න පුළුවන්.ඒකට හේතු ඕනි තරම් නුඹට පෙනේවි. The fault in our stars සිනමා පටය නුඹට එය වටහා දේවි.

ඒ වගේම නුඹට දේදුන්නක් අවශ්‍ය නම් වැස්සක් සමඟ ගනුදෙනු කිරීමට අනිවාර්යයෙන්ම සිදු වේවි.

ඉතින් නුඹ නරඹා තිබිය යුතුම සංවේදී නිර්මාණ කාණ්ඩයට මං මේ චිත්‍රපටය ඇතුළත් කරනවා.

Top