අනෙකාගේ දෘෂ්ටිකෝණයෙන් අනෙකා දෙස බැලීමට මග කියන Sara's සිනමාපටය (663)

අනෙකාගේ දෘෂ්ටිකෝණයෙන් අනෙකා දෙස බැලීමට මග කියන Sara's සිනමාපටය (663)

මෙම වසරේ (2021) මෑතකදී තිර ගත වූ සිනමා පටයක් ලෙස Sara’s මලයාලම් සිනමාපටය කා අතරත් ඉතා කෙටි කාලයක් තුළ අවධානයට ලක් වන්නේ "ජූඩ් ඇන්තනී ජෝසප්" අධ්‍යක්ෂවරයාගේ විසින් නිමවන ලද මෙම සිනමා නිර්මාණයේ අන්තර්ගතයේ පවත්නා වූ කතා සන්ධර්භය හරහාය. එසේ ම මෙහි ප්‍රධාන චරිතයන්ට පන පොවන "ඇනා බෙන්" හා "සනී වෙන්" ඉතා සිත් ගන්නා ලෙස චරිතයේ භූමිකාවන් ගේ ස්වරූපය ප්‍රේක්ෂකයා අතරට ගෙන යාමට ප්‍රබල ලෙස දායක වී ඇත. සාරා යනු ආදරය ලබන හා සාමාන්‍ය ගැහැනු ළමයෙක් ලෙස සතුටින් විවාහ ජීවිතයට ඇතුළත් වූ බවක් පෙන්වන තැනැත්තියකගේ කතාවක් නොවේ. එය සැහැල්ලු ලෙස ජීවමාන කිරීමට අධ්‍යක්ෂවරයා දැඩි උත්සාහයක් ගෙන තිබේ.

සාරා කුඩා කාලයේ එතරම් වගකීම් සහගත ලෙස හැසිරීමේ ස්වභාවයක් නොපෙන්වයි. ටිකෙන් ටික සමාජ කාරණා හරහා ගැටීමේදී ඇය ඇති කරගන්නා වූ සම්බන්ධතා හා එම සබඳතා ගිලිහී යාම හරහා ඇය සැබවින්ම ආදරය කරන වටපිටාව හඳුනාගන්නේ චිත්‍රපට නිෂ්පාදනය කිරීමට ඇය තුළ ඇති නොනිමි ආශාව නිසාය. චිත්‍රපට කිහිපයකට සහය ලබාදීම සිදුවන අතර එසේම ඇය විසින්ම කෙටි චිත්‍රපටයක්ද නිෂ්පාදනය කරයි. ඒ අතරතුර ඇයගේ ම චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමේ නොනිමි ආශාව මත තිරපිටපතක් සම්පාදනය කරමින් ඒ වැඩ සමග කාර්ය කාර්යබහුලව ජීවිතය ගලා යන අතරතුර ඇයගේ ම සිතුම් පැතුම් වලට ගැලපෙන පුද්ගලයා හමුවෙයි. එම හමුවීම ඉතා ආකර්ෂණීය ලෙස නිර්මාණකරුවා ප්‍රේක්ෂකයා අතරට ගෙන එන්නේ ඉතා සියුම් සිද්ධි දාමයන් හරහා වීම විශේෂත්වයකි.

සමාජයේදී දී මෙන්ම සාරාට ඇගේ ජීවිතයේ ද ප්‍රමුඛතා ඇත. ඇය ආදරයෙන් බැඳීමට විවෘතව සිටියද ඇය පවුලක් ආරම්භ කිරීම සහ දරුවන් ලැබීම අපේක්ෂා නොකරයි. ජීවිතයේ සැලසුම් සහගත ලෙස ක්‍රියාත්මක කළ ද නොසිතූ දේවල් සිදුවීම ජීවිතයේ ස්වභාවයයි. එය සාරාගේ ජීවිතයටද එලෙසටම අදාළ වෙයි.

සාරා යනු ගතානුගතික පිරිසගෙන් එළියට ඒමට උත්සාහ දරන චරිතයකි. ඇය තම වෘත්තීය ජීවිතය තුළ යම්කිසි ස්ථාවරයක් සකස් කර ගැනීමට නිරන්තර උත්සාහයක යෙදෙයි. වර්තමානයේ මේ තත්ත්වය යම්තාක් දුරකට නිරාකරණය වී තිබුණ ද අතීත සමාජයේ කාන්තාවන්ට ඉගෙන ගැනීමට , සංචාරය කිරීමට හා  තීරණ ගැනීමට අයිතිය නොතිබුණි. සාරාගේ ස්ථිර තීරණ ගැනීම තුළ අධ්‍යක්ෂකවරයා ප්‍රේක්ෂකයාට මේ කාරණා සම්බන්ධයෙන් සිතන්නට ඉඩ සලස්වයි.

සාරාගේ සිනමාපටය කුඩා පරාසයක් ලෙස පෙනෙන නමුත් ඇතැම් සිද්ධි දාමයන් විශාල මාතෘකා හා සිතුවිලි රාශියක් ඒකරාශී කරමින් එය තත්ත්පර කිහිපයක් හෝ මිනිත්තු කිහිපයකින් ගෙන එයි. එය රෝහලක ස්වාමි පුරුෂයෙක් විය හැකිය, එය පිරිමි නාරිවේද වෛද්‍යවරුන්ගේ කාර්‍යක්ෂමතා පිළිබඳ අදහසක් දක්වන කෙනෙකු විය හැකිය, නොසිතූ වෙලාවක කුඩා දරුවකු බලා ගැනීමට සිදුවන කෙනෙකු විය හැකිය, දිගින් දිගටම දරුවන් බිහි කළ කාන්තාවක් විය හැකිය, සිනමා ශාලාව තුළ සිටින පවුලක් විය හැකිය, සිනමා ශාලාව තුළ තුළ දී තම දරුවා ඇඩීම නිසා මව දරුවා සන්සුන් කිරීමට එලියට යන විට බලාපොරොත්තු සුන්වූ ස්වාමිපුරුෂයාට චිත්‍රපටය තනිව නැරඹීමට ඉඩ නොදී ඇය ඔහුද පිටතට රැගෙන යාම යනාදී සිද්ධි දාමයන් මතුපිටින් ඉතා සියුම් ලෙස පෙනුනද සංකීර්ණ සිතුවිලි වල එකතුවකි.

සිද්ධි දාමයන් මෙන් ම සිනමාපටය පුරා ම දිවෙන දෙබස් ද ප්‍රේක්ෂකයා අතරට අදහස් ගෙන යාමට වඩාත් සූක්ෂම ලෙසින් දායක වේ. සාරා සහ ජීවන් දරුවන් නොහදා සිටීමට තීරණය කර ඇති අවස්ථාවේ සාරාගේ නැන්දම්මා ජීවන් සමග පවසන්නේ 

 "බිහි කරලා බලාගෙන හදාගන්නෙ එයා, උඹට මොකක්ද වගකීමක්? " ලෙස කරන ප්‍රකාශය කෙතරම් සහකම්පනයෙන් තොර ප්‍රකාශයක් බවට පත්වේද ? තවත් අවස්ථාවක සාරාට දරුවකු ලැබීමට සිටියදී ජීවන් පවසන්නේ

 "බලන්න හැමෝම සතුටින් ඉන්නේ ඔයා නිසා"

" කවුද මගේ සතුට ගැන හිතන්නේ" සාරාගේ ප්‍රති උත්තරය තුළ ප්‍රබල ලෙස මිනිත්තු කිහිපයක දෙබසකින් ඉතා සංකීර්ණ කාරණාවක් වෙත ප්‍රේක්ෂක චින්තනය රැගෙන යාමට උත්සුක වෙයි. 

සාරාගේ අරමුණ වැඩිපුර වැඩ කිරීමට නැඹුරු ව මිනිසුන් විසින් ඇයව සිහිපත් කරනු ලබන අමතක නො වන කල්පවත්නා ඇගේ ම චිත්‍රපටයක් එළි දැක්වීමටය. ජීවන් ගේ මව හෙවත් සරාගේ නැන්දම්මා තම ආශාවන් ඉක්මවා ළමයින් හැදීමට සිතීම තුළ ඇය ගත් තීරණය ගැන සාරා ජීවන්ගේ මවට මතක් කළ විට තම දරුවන් තමන්ට අවශ්‍ය වෙලාවට තමන් ළඟ සිටිනවාද යන ප්‍රශ්නාර්ථය ජීවන්ගේ මවට කල්පනා කිරීමට සිදු වූයේ සාරාගෙ ප්‍රශ්න කිරීම මතය. මන්ද ජීවන්ගේ මවද හොඳින් අධ්‍යාපනය හදාරා විවාහය හා දරුවන් යන කාරණා හමුවේ තම ආශාවන් යටපත් කර ගත් කාන්තාවකි. සිනමාපටය පුරාවටම දෙබස්, සිදුවීම් හරහා අවධානයට ලක් කළ යුතු දිශාව වෙත පැහැදිලි මානයක් ලබාදීමට මෙම සිදුවීම හරහා අධ්‍යක්ෂකවරයා යුහුසුලු වෙයි.

මෙය දරුවන් ලැබීමේ අදහසට එරෙහි චිත්‍රපටයක් නොවේ. එහෙත් යමෙකු සූදානම් නැති විට ඒවා ලබා ගැනීමේ අදහසට විරුද්ධය. දරුවෙකු ගැබ්ගත් පසු සාරා පරික්ෂා කරන වෛද්‍යවරයා සාරාට පවසන්නේ

"ඔයාගේ ශරීරය, ඔයා තීරණය කරන්න" කියාය. එය කොතරම් සහකම්පනයෙන් යුතු ප්‍රකාශයක් ද යන්න වැටහේ.

මෙම සියලු සත්‍යයන් තුළ මතුපිටින් පෙනෙන මේ සියලුම කාරණා වලට අමතරව සමාජ, දේශපාලන, ආර්ථික කාරණාවන් ගැන අවධානයක් ද සිනමාපටය කියැවීමේදී අවබෝධ වෙයි. දෙමාපියන් වෙන්න කැමැත්තක් දක්වන පුද්ගලයන් වුවද යම් යම් සමාජ ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වීම තුළ තම ආශාවන් අත් හැර දමයි. මිනිස්සුන්ට තමන්ගේ ජීවිතයේ අවශ්‍ය මොනවාද? අවශ්‍ය නොවන්නේ මොනවාද දැනගෙන ජීවත් වෙන්න උත්සාහ කිරීම තුළ ජීවිතය බොහෝ පහසු කරවයි. ඒ වගේම සරාගේ කතාව තුළ සහකම්පනය නැමැති මානුෂීය ගුණය පිළිබඳ සිතීමට ප්‍රේක්ෂකයාට අභිපේරණය ඇති කරනු ලබයි.

ගැහැනියකට පමණක් නොව පොදුවේ සමස්ත සමාජයට අවශ්‍ය වන්නේ එයයි "අනෙකාගේ දෘෂ්ටිකෝණයෙන් අනෙකා දෙස බැලීමයි". සහකම්පනය නැමැති මනුෂ්‍ය හැඟීම පොදුවේ සියලු මිනිසුන් තුළ වර්ධනය කළ හැකි නම් තවදුරටත් ස්ත්‍රීවාදය නමැති සංකල්පය ලෝකයට අවශ්‍ය නොවනු ඇත. Sara's සිනමාපටය ප්‍රේක්ෂකයාට සමීප වන්නේ මෙම සියලු කරුණු කාරණා හරහාය.

Top