පිය සෙනෙහස වෙනුවෙන් රණශූරියක වු දියණිය ..

පිය සෙනෙහස වෙනුවෙන් රණශූරියක වු දියණිය ..

මේ ෆිල්ම් එක බලද්දි, පරණ හිතේ තිබුණ ගැහැණියත් පිරිමියත් මැද තියෙන මොකක්දෝ ගතිය ආයෙත් ඉස්මතු වෙන්න පටන් ගත් බවක් හැඟුණා. ජීවිතේ දිහා වපර ඇහින් බලන්නේ නැතුව හරි කෙලින් බලන්න වෙන අවස්ථා ගොඩක් තියෙනවා. සමහර තීරණ අවිනිශ්චිතව ගත්තත් ඒවා ටක්කෙටම හරියන වෙලාවල් අඩුයි.  හැබැයි නිශ්චිතවම ගන්න තීරණ හරියටම හරියනවා. එහෙමත් එකක් තමයි හුළඟේ යන්නේ. 

තමන්ගේ අය වෙනුවෙන් එහෙම තීරණ ගන්න පුළුවන් කී දෙනාට ද? දරු සෙනෙහස වෙනුවෙන් පියවරු කොතෙක් දේවල් කරලා තියෙනවා ද? පිය සෙනෙහසට ගැයුණු ගී මදියි කියා කියනවා නේද? හැබැයි මේ කතාව සිය තාත්තා වෙනුවෙන් දියණියක් තම ජීවිතේ පරදුවට තැබූ කතාවක් ගැන. 

චීනය රව්රාන් ආක්‍රමණියන්ගේ ගොදුරක් බවට පත් වෙන කාලයක චීන අධිරාජ්‍යයා තමන්ගේ රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් රටේ එක් පවුලකින් එක් අයෙකු බැගින් හමුදාව වෙත කැඳවනවා. “හුවා” පවුලෙන් යුධ පුහුණුවට යන්න ඉදිරිපත් වෙන්නේ වරක් හමුදා සේවයෙන් විශ්‍රාම ගිය වියපත් “හුවා හු” තමයි. ඒ හුවා හු හට ඉන්නේ දියණියන් දෙදෙනෙක් පමණක් නිසා. ඔහු දැන් මහලු වියේ පසුවුණත් තම අධිරාජ්‍යයා වෙනුවෙන් කැපවීමට දරණ උත්සහය ඔහු යුධ පුහුණුවට වාර්තා කිරීමට නියමිත දිනට පෙර දින රාත්‍රියේ ඔහුගේ දියණියක් වූ තරුණ “මුලාන්”  සියැසින් දකිනවා. 

තීරණාත්මක රාත්‍රියක් අහවර වෙද්දි හු ආ ජුන් ලෙසින් වෙස් වළාගත් තරුණයෙකු “හුවා” පවුලෙන් යුධ පුහුණුවට එක් වනවා. 

ඈ තමයි  “හුවා මුලාන්”. කුඩා කාලයේ පටන්ම සටන් කලාවට දැඩිව පෙම් කළ මුලාන්ගේ කතාව තමන්ගේ අධිරාජ්‍යයා වෙනුවෙන් අවසන් සටනට මුහුණ දුන් අභීත සෙබලියකගේ ජයග්‍රහණයක් විදිහට ජන සාහිත්‍යයට එකතු ‌ෙවනවා. ඇයට චීන අධිරාජ්‍යයාගේ ආරක්ෂක නිලධාරී තනතුර හිමි කර ගැනීමට චීන අධිරාජ්‍යයා ආරාධනා කළත් පවුලේ භක්තිය වෙනුවෙන් ඇය අවසානයේ නිවෙස් බලා එනවා. 

සාම්ප්‍රදායික චීන කාන්තාවට මෙපිටින් ගමනක් යන්නියක්, පවුලේ ගෞරවයට අවමන් කරන්නියක් ලෙසින් තමයි මුලින් මුලාන්ව හඳුන්වන්නේ. ඈ ශරීර ස්වභාවය අතින් මෘදු බවක් පෙන්වනවා. නමුත් කාය ශක්තිය අතින් ඈට ඇත්තේ සෙබළෙකුගේ ශක්තියක් බව යුධ පුහුණුවේදී පෙන්වනවා. පස්වන බලඇණියටම මඟ පෙන්වන්නිය ඇය බවට පත් වනවා. මුළු මහත් රටවැසියන්ගේ ම ආරක්ෂකයා ඇය බවට පත් වනවා. 

1998  කාටූන් එකක් විදිහට ආපු මුලාන්ගේ කතාව 2020 දී ඩිස්නි චිත්‍රපටයක් විදිහට බලද්දි ඊට එකතු වෙලා තියෙන ෆ්‍රේම්ස් හරි ලස්සන බව දැනෙනවා. සාම්ප්‍රදායික චීන කාන්තාවක් මෘදු, ළාමක විදිහට අඳින පළදින විදිහ චිත්‍රපටයේ එක තැනක මාර ලස්සනට පෙන්නනවා. ඒ වර්ණ අපූරුවට සුසංයෝග කරනවා. 

මුලාන් (Mulan) – 2020 නවසීන්ත ජාතික Niki Caro ගේ චිත්‍රපටයක්. The Whale Rider – 2002 ත් ඇයගේ. මුලාන් සහ වේල් රයිඩර් කියක දෙකේම ප්‍රධාන චරිතය කාන්තාවන්. තේමාත්මකව ගත් විටත් මේ කතා දෙකම සමානයි. කාන්තාව හා නායකත්වය යන්න මේ චිත්‍රපට දෙකෙහිම මුල් තැන ගන්නවා. සම්ප්‍රදායට අනුව යමින් නොසිට ඉන් මඳක් විතැන් වී සම්ප්‍රදාය, සමාජය වෙනස් කිරීමට, නායකත්වය ගැනීමට ගන්නා උත්සහය නිර්භයව මෙයින් නිරූපණය කරනවා. චීන ඇමරිකානු සම්භවයක් හිමි Liu Yifei තමයි මෙහි මුලාන් ලෙස රංගනයට එක් වන්නේ. ඇය වෘත්තියෙන් නිරූපණ ශිල්පිනියක්. චීනයේ දක්ෂතම නිළිය ලෙස සැලකෙන Gong Li මෙහි සතුරු මන්තරකාරියකගේ චරිතය නිරූපණය කරනවා. විනාඩි 115 ක් පුරා දිග හැරෙන මේ චිත්‍රපටයේ පිරිවැය ඇමරිකානු ඩොලර් 200 ක්.

ජනශ්‍රැති නිර්මාණයන්ට පාදක කර ගැනීමේ දී එහි රසය මුල් ස්වරූපයෙන් ම තබා ගැනීම තරමක් අසීරු කටයුත්තක්. කාලාන්තරයක් තිස්සේ ජනයා අතර පැවතගෙන ආ කතාවක් ඒ අයුරින් ම ඔවුනට දැනවීමේ අභියෝගය නික් කාරෝ ජය ගත් බව මුලාන් තුළින් පැහැදිලියි. 

 

එකතු වෙන්න අපේ wachana.lk Whatsapp සමුහය වෙත

Top