බැඳීම් අස්සේ මිනිස්සු බැඳෙන්න ඕනි ආත්ම එක්ක (388)

බැඳීම් අස්සේ මිනිස්සු බැඳෙන්න ඕනි ආත්ම එක්ක  (388)

October 

සමහර මිනිස්සු මල් වගේ. හිනාවීගෙන පිපෙනවා. උඩ අත්තක ඉදන් පහළට වැටෙනවා. හැමෝටම සුවඳ දීලා එයාලා බොහොම ඉක්මනටම යන්න යනවා...

ශිවුලි !! 

ඩෑන්ගේ සේපාලිකා මල !!

බොහොම ඉක්මනටම පරවෙලා ගිය සුවඳ පිරුණු පුංචි සේපාලිකා මල.

සමහර බැඳීම් තියෙනවා.. ඒ බැඳීම් වලට නමක් නැති. එහෙමත් නැත්නම් නමක් තියා ගන්න තේරෙන් නැති. ඩෑන් - ශිවුලි ඒ වගේ කතාවක අයිතිකාරයෝ දෙන්නෙක්. එහෙමත් නැත්නම් කලින්ම තියන්න තිබ්බ නම තියාගන්න ටිකක් පරක්කු වුණු දෙන්නෙක්.

තමන් පුහුණුව ලබන හෝටලයේම තමන් සමඟම පුහුණුව ලබන දඩබ්බර, ලේසියකට යටත් නොවන ආවේගශීලි තරුණයෙක් ඩෑන්. යන යන තැන රණ්ඩු ඇති කර ගන්න කොටින්ම ශිවුලිට පවා දරදඬු විදිහට සලකපු චරිතයක් ඩෑන්. නමුත් රාත්‍රී සාදයකදි වෙන හදිසි අනතුරකින් ශිවුලි හෝටලයේ ඉහළ මහලකින් පහළට ඇද වැටෙනවා. සිදුවන අනතුරෙන් ඇය සදාකාලික ආබාධිත තත්වයට පත් වෙනවා. 

" කෝ ඩෑන් "

ඒ ශිවුලි අනතුරට පත් වෙන්න මොහොතකට කලින් පවසපු වචන ටික. ඩෑන් ලුහුබඳින්නේ ඒ වචන ටික.ඩෑන්ට ශිවුලි කෙරේ බැඳීමක් ඇති කරන වචන දෙක. ඩෑන්ගේ මුළු ජීවිතේම එහෙම් පිටින්ම වෙනස් කරන වචන ටික.

බැඳීම් අස්සේ මිනිස්සු බැදෙන්න ඕනි ආත්මය එක්ක. එතකොටයි හැඟීම් වුණත් හැමදාටම පරිස්සම් වෙන්නේ.

ඩෑන් හැමදාම හොයන් එන්නේ, බලන් ඉන්නේ අර රෝහලට වෙලා විකෘති වුණ ශිවුලිව. තමන් සමඟ එකට පුහුණුව ලබපු හැඩකාරිව නම් නෙවේ.

" ඔයා ශිවුලිගේ කවුද

- නෑ.එහෙම කවුරුත් නෙවේ.. "

සමහර ප්‍රශ්න තියෙනවා..ඒවාට උත්තර නෑ.උත්තර නැති වෙන තරමටම ඒවා තව තවත් සුන්දර වෙනවා.

ජීවිතේ කවදාවත් පරිපුර්ණ මිනිස්සු නැහැ.හැබැයි ඒ අසම්පූර්ණත්වය පරිපූර්ණත්වයට ගෙන යන්න පුළුවන් බැඳීම් අපිට ඉදහිටක හමුවෙනවා..හරියටම ඩෑන්ට ශිවුලි හම්බුනා වගේ. ඒ බැඳීමේ භාෂාව හරි අපූරුයි.වචනයක්වත් කතා කරන්න බැරි කෙනෙක් ඩෑන්ගේ මුරණ්ඩුකම පිරුණු ජීවිතේ වෙනස් කරන විදිහ.පියවරෙන් පියවර ඒ ජීවිතේ ලස්සන කරන විදිහ.

මේ චිත්‍රපටය තුළ මතු කරපු ආත්මීය සංකල්පය හරහා ප්‍රේමය තුළ එකිනෙකාව හරි උසස් මට්ටමක ගෙනිහින් නවත්තනවා. 

" මට දුක ශිවුලිගේ සේපාලිකා ගහ මෙහේ තනියම දාලා යන්න වෙන එක...

- බය වෙන්න එපා මං ඒක අරන් යන්නම්..."

ප්‍රේමය කියන්නේ එකිනෙකා තුළ ජීවත් වීමක් විනා, නැවතීමක් නොවන බව ශිවුලි අපිට කියා දෙනවා. සමහර මිනිස්සු අපේ ජීවිත වලට ඇවිත් හරි අපූරු සුවඳක් ඒ ජීවිත වල ඉතුරු කරනවා... ඒ සුවඳ නොදැනුවත්වම අපේ ජීවිත වල ඉතිරි වෙනවා. ශිවුලි ඩෑන්ගේ ජීවිතේ ඉතිරි කරපු ඒ සුවඳට අවසානයේදී මං ප්‍රේමය කියන නම තබනවා.

ඉතින් ප්‍රේමය කියන්නෙම එකිනෙකාගේ ආත්මය ස්පර්ශ කිරීමක්..ආත්මීය සුවඳ බෙදා හදා ගැනීමක්.ඉතින් පෙම්වතුන් ආබාධිත වූවත් ඒ ප්‍රේමය කිසිදු දාක ආබාධිත වෙන් නැහැ..

ප්‍රේමය ,

ඒ ආත්ම තුළටම වෙලා හැමදාටම හුස්ම ගන්නවා.

එකතු වෙන්න අපේ wachana.lk Whatsapp සමුහය වෙත

Top