Chhapaak සිනමා නිර්මාණය කියවීම
ඉන්දියාව ඇසිඩ් ප්‍රහාර සම්බන්ධයෙන් නිරන්තර පුවත් මවන රටක්. 2014-2018 කාලය අතරතුර පමණක් , පුද්ගලයන් එක්දහස් පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් ඇසිඩ් ප්‍රහාර වලට ලක් වී තිබෙනවා. නමුත් ඒ පුද්ගලයන්ගෙනුත් ඉතාමත් සීමිත ප්‍රමාණයක් පමණක් චෝදනා පත්‍ර ගොනු කිරීමක් කරන්නේ. මොකද ඊට සාධාරණ පිළිතුරක් නීතියෙන් බොහොමයක් දෙනාට හිමි වෙලා නැති නිසා.
ඉතින් මේ ගැන විවෘතව හෙළි කරන සිනමා පටයක් 2020 වසරේදි බොලිවුඩ් රිදී තිරය ආක්‍රමණය කරනවා.
ඒ Meghna Gulzar ගේ , Chhapaak චිත්‍රපටය. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වගේම එහි නිෂ්පාදිකාව වෙන්නෙත් දීපිකා පාදුකෝන්.
ඉතින් මේ Chhapaak හරහා දිගහැරෙන්නේ 2005 වසරේදී ඇසිඩ් ප්‍රහාරයකට ලක්වුණු Laxmi Agarwal ගේ චරිතප්‍රදානය.
ලක්ෂ්මි එවකට මධ්‍යම පාන්තික පවුලක, පහලොස් වියැති සුරූපී තරුණියක්.ඇයගේ හීනය වෙලා තිබ්බේ රටම හඳුනන ගායිකාවක් වෙන්න..ඒ හීනයටම යන එන දවසක දිල්ලියේ ඛාන් මාර්කට් එකේදි අර පුංචි කෙල්ල ඇසිඩ් ප්‍රහාරයකට ලක් වෙනවා. හේතුව වෙන්නේ තමන්ගේ පවුලේ හිතවතෙක් වුණු තිස් දෙහැවිරිදි Naeem Khan ගේ විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම.
" මගේ හීනේ වුනේ ගායිකාවක් වෙන්න.තාමත් මං ඒ වෙනුවෙන් වෙහෙසෙනවා. මට අවුරුදු පහළවේදී අවුරුදු තිස් දෙකක කෙනෙක් මට ආදරේ කීව්වා..මං හොඳටම දැනන් හිටපු කෙනෙක්.ඔහු මට ආදරේ ප්‍රකාශ කරාම මං ඒක ප්‍රතික්ෂේප කරා.දිගින් දිගටම ඔහු දුරකථන ඇමතුම් දිදී මට වදයක් වෙන්න පටන් ගත්තා.හරියටම ඇසික් ඇටෑක් එකට මාස දහයකට කලින් ඒ දේවල් සිද්දවුණේ.ඉතින් දැන් ඔයාලා මගෙන් අහයි ඇයි ඒ ගැන දෙමාපියන්ට කීවේ නැත්තේ කියලා. ඉන්දියාවේ ගැහැනු දරුවන්ට තියෙන තත්වේ ගොඩක් වෙනස්.පුතෙක්ට වගේ නෙවේ.ගැහැනු දරුවෙක් ඉපදුණු වෙලේ ඉදන් ඒ දෙමාපියෝ වද වෙනවා දෑවැද්ද වෙනුවෙන්.ඉතින් මං ඒ දේ කීවා නම් මාව ඉගෙන ගන්නවත් නොයවා ගෙදර තියා ගනි..ඒ කරලා කාටමහරි බන්දලා දේවි." ලක්ෂ්මි වරක් ඒ ලෙස අදහස් දක්වලා තියෙනවා.
ජීවිතේ වෙනස් වුණ ඒ දවස ගැන ලක්ෂ්මි පවසා තිබුණේ මෙවැනි දෙයක්..
" මං හිතුවා හැම දේම හරි කියලා. ඊළග දවසේ උදේ දහයයි හතලිස් පහට වගේ ඒ මනුස්සයා ,තමන්ගේ බාල සහෝදරයගේ පෙම්වතියත් එක්ක අපේ ගෙදර ළඟ හිටියා. එයාලගේ අතේ බියර් බෝතලයක් සහ වීදුරුවක් තිබ්බා. ඇසිඩ් ප්‍රහාරයෙන් පස්සෙයි මට තේරුණේ ඒ බෝතලේ තිබුනේ මොනවද කියලා..මම බස් නැවතුම් පලට ආසන්නයේ හිටියේ. ඒ ගැහැනු කෙනා මාව බිමට තල්ලු කරා..ඊට පස්සේ මගේ ඇගට ඇසිඩ් විසික්කරා.මං මුලින්ම හිතුවේ මේක හීනයක්ද කියලා..ඒත් ටික වෙලාවකින් තේරුණා මේ ඇත්තක් කියලා. ඒ වෙලාවේ මගේ මූණ පිච්චෙන්න ගත්තා.මං කරේ බිම දිහාවෙලා කෑගහපු එක.කවුරුත් මට උදව්වට ආවේ නෑ.ඒ වෙලාවේ කරුණාවන්ත ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් තමා මාව රෝහලට අරන් ගියේ..අරන් ගිය ගමන් මාව වතුර බාල්දි විස්සකින් විතර නෑව්වා.එදා දොස්තරවරු මගේ දෙමාපියන්ට කියලා තිබ්බා මාව සුව කරන්න බැරි වෙයි කියලා. "
ඉතින් ඒ භද්‍ර යෞවනිය ඒ තරම් වේදනාවක් කොහොම දරා ගන්න ඇතිද ?ජීවිතේ පටන් ගන්න ඔන්න මෙන්න කියලා තියෙන මොහොතක තමන්ගේ හීන එකිනෙක බිද වැටෙනකොට ? ඊටත් පසුව ඇයට ශල්‍යකර්මය නවයකටත් භාජනය වෙන්න සිද්ද වෙනවා.
" මගේ නහයේ කැලළක් තිබ්බා.මේ අනතුරටත් පෙර ඉදලම.ඉතින් ශල්‍යකර්මයේදී ඒක අයින් කරන්න කියලා මං ඩොක්ටර්ට කීවා. ඒ අවසන් ශල්‍යකර්ම දෙකෙන් පස්සේ මං හිටියටත් වඩා ලස්සනට ඉදී කියලා මං හිතුවේ.ඒත් මං හිටපු වාට්ටුවේ මූණ බලන්න කිසිම කණ්නාඩියක් තිබ්බේ නෑ.ඒ නිසා මං මගේ මූණ දැක්කේ නෑ. හෙදියන් මූණ සෝදන්න දෙන වතුර භාජනයෙන් මං මූණ බලන්න උත්සාහ කරලා තියෙනවා.ඒත් මට පෙනුනේ බැන්ඩේජ් විතරයි.මං හරියටම මගේ මූණ දැක්කේ මේ අනතුරෙන් දවස් සීයකට පස්සේ. එදා මට ඇත්තටම දකින්න තරම් මූණක් ඉතිරි වෙලා තිබ්බේ නෑ..මට ඒ වෙලාවේ සියදිවි හානිකරගන්න තරම් හැඟීමක් ආවා "
ඉතින් රෝහලෙන් නිවසට ආවට පස්සෙත් ඇයට බොහෝ අපහාස වලට ලක් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. එතනත් දරුණුම සත්‍යය තමා ඒ අපහාසයන් කල බොහොමයක් දෙනා කාන්තාවන් වීම. ඉතින් ඒ ඔස්සේ මේ පුංචි කෙල්ල ලොකු මානසික අවපාතනයකටත් ලක් වෙනවා.
" මිනිස්සු අපේ පවුලෙ අයට කීවා මාව මැරෙන්න ඉන්ජක්ෂන් එකක් ලබා දෙන්න කියලා. ඇත්තටම අර මනුස්සයා මගේ ජීවිතේට පීඩාවක් කරේ එක පාරයි.ඒත් සමාජේ දිගින් දිගටම මට පහර එල්ල කරන්න ගත්තා "
ඉතින් ඒ තරම් පීඩාවට පත් ව සිටි ඇය අනික් බොහෝමයක් ඇසිඩ් ප්‍රහාරවලට ලක් වන කාන්තාවන් වගේ, ජීවිතේ විනාශ කර නොගෙන, නැගිටින්න පටන් ගන්නවා.විශේෂයෙන්ම තමන්ගේ පියාගේ සහයෝගයෙන්. මේ ලෝකේ කවදාවත් කල නොහැක්ක නෑ කියන දේ ඇය තේරුම් අර ගන්නවා. ඉතින් 2006 වසරෙදි ඇය නැවත අලුත්ම ලක්ෂ්මි කෙනෙක් විදිහට ඉපදෙනවා. තමන්ට වුන දේ තවත් කෙනෙක්ට නොවෙන්න ඇය මුළු සමාජය එක්කම සටන් කරන්න පටන් ගන්නවා.ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් ඉදිරිපත් කරනවා. ඉන්දියාව තුළ ඇසිඩ් වෙළදාම නවත්වන ලෙස ඉල්ලලා. වසර 2013 දී ඒ සටනට ලොකු ජයග්‍රහණයක් හිමි කර ගන්න මේ දිරිය දැරියට පුළුවන් වෙනවා. අවුරුදු දහ අටට අඩු පුද්ගලයන්ට ඇසිඩ් මිලදී ගැනීමේ තහනමත් ,ඇසිඩ් මිලට ගන්නා සියලු පුද්ගලයන්ගේ හැඳුනුම්පත සහ සියලු විස්තර රහිතව ඇසිඩ් වෙළදාම තහනම් කිරීමත් ඒ හරහා සිද්ධ වෙනවා. නමුත් ඒ තහනමෙන් සියයට සීයක්ම ඇසිඩ් පහරදීම් නැවතී නැති බව ටික කාලෙකින්ම පේන්න ගන්නවා. ඉතින් නැවත වතාවක් ඇය ඒ වෙනුවෙන් සටන් කරන්න පටන් ගන්නවා.
ඒ අතරතුර කාලයේදි ඇයගේ ජීවිතේට තව ආලෝකයක් එකතු වෙනවා.ඒ Alok Dixit .තමන් වගේම මේ ඇසිඩ් ප්‍රහාර වලට විරුද්ධව සටන් කරන කඩවසම් සමාජ සේවකයෙක්.
ලක්ෂ්මිගේ ශක්තිමත් ආත්මයට ඔහු පෙම් බදිනවා.
" ඇය අපි ළඟට එනකොට මූණ වහන් නැතුව ආවේ.ඒත් ගොඩක් ගැහැනු ළමයි අපි ළඟට එන්නේ ලැජ්ජාවට මූණ වහගෙන.ඉතින් ඇය අනික් හැමෝටම වඩා වෙනස්.ඇය තමන්ගේ ඇත්ත මුහුණෙන්ම සමාජෙට මූන දුන්නා.ඉතින් ඇයගේ ඒ ආත්මයේ තිබ්බ නිර්මල කමට මට ආදරයක් ඇති වුණා " Alok ඒ ආදර කතාවේ ආරම්භය ගැන දක්වපු අදහස ඒ. ඉතින් 2015 දී ඒ ආදරේ සංකේතය විදිහට පුංචි Pihu බිහි වෙනවා.
නමුත් අර විවාහය කියන බැදීම නම් පවත්ගන්න දෙන්නටම ටිකක් අපහසු වෙනවා.ඉතින් ඒ නොගැලපීම් නිසා ඔවුන් සාමකාමී ලෙස විවාහයෙන් වෙන් වෙනවා.නමුත් එය ජීවිතේ බිඳ වැටීමක් ලෙස නම් ලක්ෂ්මි කොහෙත්ම සලකන් නෑ.
අර මුල ඉදන් ගෙන ආව සටන අතිසාර්ථක ලෙස අවසන් කරන්නත් ඇය ඇතුළු කණ්ඩායමට හැකි වෙනවා. මේ වන විට ඉන්දියාව තුළ ඇසිඩ් වැනි හානිකර ද්‍රව්‍ය වෙළදාම තහනමත් එලෙස සිදු කරන වැරදි සම්බන්ධයෙන් අදාල අපරාධයකරුවන්ට අවම වසර දහයක සිට උපරීම ජීවිතාන්තය දක්වා සිර දඩුවම් අංක 326A දරණ පනත යටතේ නියම වෙනවා.
වසර හතරක් පුරාවට ඇදී ගිය Laxmi Agarwal ගේ නඩු තීන්දුවෙන්, එම ප්‍රහාරය සිදු කල Naeem නොහොත් ගුඩ්ඩු වසර දහයකට සිර දඩුවමකට ලක් වෙනවා. ඒ වගේම සහය දුන් රාකි වසර හතක සිර දඩුවමකට ලක් වෙනවා.
" මං ඇසිඩ් ප්‍රහාරයෙන් පස්සේ ඔහුව මුණ ගැහුනු පලවෙනි දවස එදා.ඔහුගේ මූණේ කිසි පසුතැවීමක් තිබ්බේ නෑ..ඔහු එදත් ප්‍රකාශ කරේ තවමත් මාව විවාහ කර ගන්න කැමති බව "
ඉතින් , මේ නිර්භීත ගැහැනිය 2014 වසරේදී, මිෂෙල් ඔබාමා අතින් International women of courage සම්මානයෙන් පිදුම් ලබනවා. ඒ වගේම ඇසිඩ් ප්‍රහාරයකට ඇගේ අභ්‍යන්තර ලස්සන හංගන්න බෑ කියන දේත් ඈ ඔප්පු කර පෙන්වනවා. ඒ 2016 වසරෙදි London fashion week තුළට නිරූපණයෙන්, සම්බන්ධ වීම මඟින්. ඒ වගේම ඇය වෙනුවෙන්ම නිර්මාණය වූ Chhapaak චිත්‍රපටය හරහා ඇය තව දුරටත් වීරවරයක් බවටම පත් වෙනවා.
" මම පුදුම වුනා පාසලේදී මෙඩ්ල් එකක්වත් ගත්තේ නැති මං වෙනුවෙන් චිත්‍රපටයක් හැදෙන්න යනවා කීවාම. ඒ වගේම දීපිකා වගේ තරුවක් මගේ චරිතේ නිරූපණය කරනවා කියලා දැන ගත්තහම. ඒ වගේම මං වගේ තවත් අයට සිද්ධ වුනු මේ පීඩාව වෙනුවෙන් ඒ වැරදිකරුවන්ට වගේම මං දිහා අපරාධයකාරයෙක් විදිහට බලපු සමාජෙටත් දරුණු ප්‍රහාරයක් මේ චිත්‍රපටය හරහා එල්ල වෙනවා දකින්න මට ඕනි වුණා. ඒ වගේම මගේ දුව.එයා සාමාන්‍යයෙන් එක දිගට කිසිම චිත්‍රපටයක් නරඹන කෙනෙක් නෙව්.ඒත් මේ කතාව ඉවර වෙනකම්ම එයා බලන් හිටියා. ඒ කරලා මගෙන් ගොඩාක් දේවල් ගැන ප්‍රශ්න කරා. එයා දැන් මට ඉස්සරටත් වඩා වැඩියෙන් ආදරේ කරනවා කියලා මට දැනෙනවා.. "
ඉතින් ඒ අතිශයින්ම සංවේදී සිදුවීම් මතින් නිර්මාණ වූ Chhapaak චිත්‍රපටය, තවදුරටත් නරඹලා නැතිනම් අනිවාර්යයෙන්ම නරඹන්න කියලා මං නුඹට ආරාධනා කරනවා.
ඒ වගේම ශක්තිමත් ආත්මයක් වන්න උත්සාහ දරන්න.ජීවිතේ එන දරුණු බිඳ වැටීම් පවා, නැගිටීමට වාරුවක් කර ගන්න...