අසන්ධිමිත්තා විසින් එල්ලා මැරූ සමාජ අසාධාරණය(339)

අසන්ධිමිත්තා විසින් එල්ලා මැරූ සමාජ අසාධාරණය(339)

සමහර කතා තියෙනවා නොහිතන විදිහේ අවසානයක් තුළ ප්‍රේක්ෂකයන්ව ගෙනැවිත් අතරමං කරවන. ආයේ ආයෙම ඒ සිදුවීම් තුළ ප්‍රේක්ෂකයව හිර කරවන. සිදු වූයේ කුමක්ද කියන දේ ආයේ ආයෙම සිතීමට පොළඹවන. පැහැදිලි අවසානයක් නොමැති අවසානයක් තුළ ප්‍රේක්ෂයාව ගෙනවිත් තබා යන.

අසන්ධිමිත්තා එහෙමත් නැත්නම් රාත්තල් තුන්සීයක් බර ගැහැනියක් , තමන්ගේ ස්වශක්තිය යොදා ගෙන ප්‍රේක්ෂකයන්ව දරුණු හැගීම් දැනීම් සමුදායක් ඇතුළේ හිර කරපු කතාවක්. අසාධාරණයට සාධාරණයක් ඉල්ලා කළ ආයාචනයක්.

තමන්ගේ අසාමාන්‍ය තරබාරු සිරුර නිසා බස් රථයකවත් ගමන් ගන්නා පිරිමියෙක් තමන්ගේ ළඟින් අසුන් නොගන්නා විදිහේ ප්‍රතික්ෂේපිත කාන්තාවක් අසන්ධි. සමාජයේ බහුතරයක් පිරිමින්ගෙන් ආදරණීය ස්පර්ශයක්වත් නොමැතිව සමාජයෙන් පිටිවහල් කළ ගැහැනියක්.තමන්ගේ පාසල් අවධියේ පටන් අසාමාන්‍ය බර හේතුවෙන් බොහෝ දෙනාගේ විහිළු තහළු වලට ලක්වන කාන්තාවක්. 

තමන්ගේ ජීවිත කතාව ඇය පවසන්න තීරණය කරන්නේ චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වන තම පාසල් කාලයේ මිතුරෙක් හටයි. එතැන් පටන් ඇය ඔහුට පවසන දේ නරඹන්නාද ඇයගේ කතාව ලෙස ගොඩනගා ගන්නවා සහ අසන්ධිගේ අවශ්‍යතාවයේ ගොදුර බවට අප සියලු දෙනාම වක්‍රාකාරයෙන් පත් වනවා.

මුලින්ම ඇය බස් රියේ ගමන් ගන්නා දර්ශනය.ඇය ළඟ අසුන්ගන්නා පිරිමියෙක් නැවත වතාවක් එම අසුනෙන් ඉවත් වී යනවා..ඊටත් පසුව ඇය වඩා පවතින්නා වූ පරිසරේ ඇති විඩාබර ස්වාභාවය කැමරා කාචයට අසු වෙනවා.අසන්ධිගේ ජීවිතෙත් අන්න ඒ වගේ.ප්‍රතික්ෂේප වීම් බහුල ඒකාකාරී විඩාබර ජීවිතයක්...අසන්ධිගේ ළඟින් අසුන් ගන්න එකම පිරිමියා වෙන්නේ වික්‍රම.එහෙමත් නැත්නම් විකී. තමන්ව ප්‍රතික්ෂේප නොකරපු පිරිමියා...ඊටත් පස්සේ කතාවේ ප්‍රධානතම චරිතයක් වන පිරිමියා.

" ඇයි ඔයා මගේ පස්සෙන් එන්නේ..

-ඉතින් මට එන්න එපා කීවේ නෑනේ..

දන්නවද මම රාත්තල් තුන්සීයකට වඩා බර, කසාද දෙකක්ම කැඩුනු අවුරුදු තිස් අටක ගෑනියක්.

මං අඩි පහයි අඟල් තුනක් උස ,රාත්තල් එකසිය පනහක් බර ඒත් කිසිම පවුල් බරක් නැති තනිවූ හදවතක් හොයන වරදට සමාව දෙන්න සූදානම් තනිකඩ පිරිමියෙක්..."

ඒ බස් රියෙන් මුණගැහෙන, බස් රියේදි වචනයක්වත් නොදොඩපු විකීගේ සහ අසන්ධිගේ හමුවීම.. එහෙමත් නැත්නම් අසන්ධි අපේක්ෂා කරන හමුවීම.ඇයගේ මනෝ ලෝකය තුළ ඇය මවා ගන්නා සිතලුව. තමන්ගේ ජීවිතේ තමන් පතන පිරිමියාගේ තියෙන්න ඕනි ලක්ෂණ අනුව ඇය ගොඩනගන චරිතය මැදිවියේ ඉන්න විකී.තමන්ගේ සිතිගියාවන් අනුව විටින් විට මවා ගන්නා පරිණත වියපත් විකී.සම්පූර්ණ කතාවම ඇය විසින් ගොඩනගන්නේ මෙන්න මේ චරිත දෙක පාදක කරගෙන.. තමන්ගේ උදව්වට ,ආරක්ෂාවට,විටෙක ශාරීරික අවශ්‍යතාවන් වලට ආදී ලෙස අවස්ථානුරූපීයව ගොඩ නගන පුද්ගල රූපය වෙන්නේ විකී.

තමන්ව විහිලුවට ලක් කරන එදිනෙදා ජීවිතයේ පිරිමින්ගෙන් ,ඇයව ආරක්ෂා කරන ඇයට රැකවරණය සලසන පිරිමියෙක් හැම ගැහැනියක්ම බලාපොරොත්තු වෙනවා..එය රාත්තල් තුන්සීයක් බර අසන්ධිට පවා පොදු කාරණාවක්.ගැහැනියකගේ හදවතේ සියුම් කලාප හැම ගැහැනියක්ටම පාහේ පොදුයි.

" මං මහතයි.කොටයි.බෝලයක් වගේ...

- මං ආසයි බෝල ගහන්න..

මිනිස්සු ඔයාට හිනා වෙයි..

ඊට කලින් මං හිනාවෙනවා උන්ට..."

අසන්ධි තුළ විටෙක තමන් ගැනම පවා පවතින්නේ කලකිරීමක්.තමන් විසින්ම තමන්ව නොසලකා හැරීමක්...ඒත් එවන් වූ වෙලාවක තමන් වෙනුවෙන් නැගී සිටින පිරිමියෙක් ඇයට අවශ්‍ය වෙනවා.ඇය වෙනුවෙන් සමාජය සමඟ වුව සටන් කරන පිරිමියෙක් ඇයට අවශ්‍ය වෙනවා. ඊට අනුරූපී වන ලෙස පිරිමි චරිත ඇය ඈ වටා ගොඩනගා ගන්නවා.ඊට අවශ්‍ය සාධක පවා විටෙක ඇය විසින්ම සකස්කොට තිබෙනවා.

" ඇඟ පුරා හොරි හැදිලා ඉන්න මනුස්සයෙක් පාරේ වැටිලා හිටියට කවුරුත් බලන් නෑ..හැබැයි ඒ මිනිහා පාරේ මැරිලා හිටියොත් හැමෝම වටවෙනවා මිනිය බලන්න....."

කතාවේ තවත් එක් ප්‍රබලතම දෙබසක්.අසන්ධි තම කතාව පවා ගොඩනගන්නේ අන්න ඒ සංකල්පය මත බව පැහැදිලි වෙනවා.අසන්ධියේ ජීවිතයත් අන්න ඒ වගේ. කිසි සමාජ පිළිගැනීමක් නැතුව හුදෙකලාව හැඟීම් සමඟ අසරණව කටයුතු කරන තැනැත්තියක්. තමන් සමාජ්යෙන් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරණු විනා ඇයව කිසි දිනෙක පිළිගන්නා කෙනෙක් නැති තරම්.ඉතින් අසන්ධි විසින් තමන්ට, තමන්ගේ කතාවට මිනිස්සු ආකර්ෂණය වෙන , තමන් පිළිබඳව දැනගැනීමට කුතුහලයෙන් බලන් සිටින පිරිසක් සිටින තත්වයකට පත් කරනවා. තමන්ට සමාජය තුළින් නොලැබුණු අවධානය ඒ ඔස්සේ ඇය විසින් ගොඩ නගනවා.

" මං ගෑනු තුන්දෙනෙක්ව මරපු ගෑනියක්.මට ඕනි පිරිමි රොත්තක් එකතු වෙලා රාත්තල් තුන්සීයක් බර ගෑනියක් එල්ලන විදිහ බලන්න.... "

චිත්‍රපටය පුරා පුන පුනා කියවෙන දෙබසක්.

තමන්ගේ රැකියාව අහිමි වීමෙන් පස්සේ අසන්ධිගේ ඊළඟ පියවර වන්නේ කාලි දේවාලයක් ආරම්භ කිරීම.නමුත් එයත් ඇයට සිදු කිරීමට නොහැකි වන්නේ තමන් හදාවඩා ගන්න ගමේ පුංචි කොල්ලන් දෙදෙනා විසින් සිදු කරන සොරකම් නිසාවෙන්. ජීවිතයේ තනිවුණ ගැහැනියක් වුණත් ඇය ද සාමාන්‍යය කාන්තාවක්.තමන්ට නොලැබි දරු සම්පත වෙනුවෙන් ඇය අසල්වැසි අනාථ දරු දෙපළකට මවක් වනවා. ඒ තුළින් ඇය තුළ පවතින උත්තරීතර ස්ත්‍රීත්වය කෙරෙහිද නිර්මාණ කරුවා ප්‍රේක්ෂක හදවත් යොමු කරවනවා. ඊටත් පසුව අසන්ධිගේ තීරණය වනුයේ අසරණියන්ට සරණක් වීම.එතුලින් හෝ තම ජීවිකාව සලසා ගැනීම. අහම්බයෙන් යන ගමනක ඇයට පිරිමියෙක් නිසා අනාත වුණු තම මෑණියන් සමඟ ජීවත් වෙන මදාරා සහ සමදරා යන සහෝදරියන් දෙදනා මුණ ගැසෙනවා. එහෙමත් නැත්නම් ඇය මැරුවා යැයි කියන කාන්තාවන් තිදෙනා මුණ ගැසෙනවා. 

" පිරිමියෙක්ගේ ආරක්ෂාවක් නැතුව කිසිම ගෑනියක්ට තනියම ඉන්න බෑ නංගී.මේ මස් පර්වතයක් වගේ ඉන්න මටත් බැරි එක ඔයාලට කොහොමත් බෑ.... "

එක අවස්ථාවක අසන්ධි මදාර සහ සමදරා සමඟ ඇති වන පිළිඳරකදී එලෙස පවසනවා.

කිසිදා නොදන්නා නොදැකපු කෙනෙකුට ගැහැනු තිදෙනෙක් පමණක් ජීවත් වන නිවසක නවාතැන් ගැනීමට ඉඩක් ලබා දේවිද ? සාමාන්‍යයෙන් කවරදාවත් වත්මන් සමාජය තුළ සිදු නොවන ක්‍රියාවක්.මෙතැන් පටන් නරඹන්නාව තවත් ගැටලුකාරී අවස්ථා කීපයකම නිර්මාණකරුවා සිර කරනවා.

" එයාව උසාවි ගෙනියන්නේ ඇයි කියලා දන්නවද ? "

අසන්ධි සොයා යන අධ්‍යක්ෂක මිතුරාට පොලිසියෙන් ලැබෙන්නේ එවැනි පැනයක්..අප මෙන්ම ඔහු එතෙක් දැන සිටි කතාව නිසා අධ්‍යක්ෂක මිතුරා තමන් ඒ බව දන්නා බව ප්‍රකාශ කොට සිටිනවා. නමුත් ඉන් පසුව ඇති වන තත්වය නිසා අධ්‍යක්ෂක මිතුරා මෙන්ම අප ද මෙතෙක් නොදැන සිටි කතාවක් එතුළ ගැබ් වී තිබෙන බව පැහැදිලි වනවා.

තමන් විසින් අසන්ධිගේ නිවසටම ගොස් තොරතුරු සොයා බැලීමට ඔහු තීරණය කරනවා. චිත්‍රපටයේ පැටලුම ලෙහා දමන්නේ එතැක් පටන්.. විකී නම් පුද්ගලයෙක් එම නිවසේ ජීවත් ව සිටිය නැති බව අසල්වැසියන්ගෙන් ඔහු දැන ගන්නවා.තවත් ගැහැනු පේළියක් සමඟ උසාවිය වෙත අසන්ධි ගෙන ගිය හේතුව පිළිබඳව යම් ඉඟියක් නිර්මාණකරුවා ලබා දී තිබෙනවා.විකී නම් පිරිමියා තමන් සමඟ ජීවත් වූ බවට ඇය විසින්ම ගොඩනගපු සාධක පෙන්නුම් කරනවා.

එක්කෝ ඇය විසින් නොකළ මිනීමැරුමක චෝදනාව භාර ගන්නවා.ඇයගේ ඒකායන අරමුණ ඇය ඉෂ්ට කර ගන්නවා..

" මට ඕනි පිරිමි රොත්තක් එකතු වෙලා රාත්තල් තුන්සීයක් බර ගෑනියක් එල්ලන විදිහ බලන්න... "

ඇයගේ පැහැදිලි එකම අරමුණ කරා ගමන් කරන්න මෙතෙක් කල් ඇයට ගරහපු, ප්‍රතික්ෂේප කරපු සමාජයම ඇය විසින් යොදා ගන්නවා.සමාජයේ අහේතුක කොන් වීම නිසා නිවැරැදිකාරියක් මරණයට කැප කිරීමේ වරද ඇය සමාජය වෙත භාර කරනවා.

නොඑසේනම් මෙතෙක් කල් ගැරහුම් ලැබූ, ප්‍රතික්ෂේපිත සියලු ස්ත්‍රී නියෝජනය නැවත වතාවක් ප්‍රතික්ෂේප නොවන ලෙස එවන් පුහු බෙඳීම් තුළින් මිනිසුන්ව කොන්වන සංකල්ප ඇය විසින් සංකේතාත්මකව එල්ලා මරනවා.ඒ සියලු සංකල්ප සමාජයෙන් හකුලා දැමිය යුතු බව ඇය විසින් තද බල පහරක් සමාජය වෙත එල්ල කරමින්ම පෙන්වා දෙනවා.

ඒ කිසිදු විටෙක අසන්ධිමිත්තා මානසික ව්‍යාධියකින් පෙලෙන කාන්තාවක් බව කියා අනෙක් අයට නිවැරැදි වීමේ අයිතිය මෙතුළින් අතුගා දමනවා.ඇයව ඒ තත්වයට පත් කළ සමාජයම ,ඒ ඇය තනිව විද දරාගත් වේදනාව විදගැනීම කළ යුතුම වනවා. ඇත්තෙන්ම මානසික ව්‍යාධියකින් පෙළෙන්නේ මේ පුහු බෙඳීම් කර පින්නා ගත් සමාජයම විනා ඇය නොවන බව නිර්මාණකරුවා සහෘද ප්‍රේක්ෂක හදවත් තුළට කම්පනයක් සමඟම වටහා දෙනවා.

ඒත් අසන්ධිලා වෙනුවෙන් පොඩි ඉඩක් හරි වෙන් කරපු විකීලා වැනි පිරිමි සුපුරුදු චාරිකාවේ නැවත දුවනවා.ඔවුන්ගේ හුරුපුරුදු ඇතැම් පුරුදු අස්සේ තවමත් විවිධාකරයේ ගැහැනු පාවිච්චි වෙනවා. ඉතින් තවමත් සමාජයේ මොනතරම් පෙන්වා දෙන්න හැදුවත්, ඒ වැරැදි කොතෙක් නිවැරැදි කළත් මිනිසුන්ගේ දුර්ජන ස්වාභාවය නොමැකී තිබෙනවා. අදටත් මේ මොහොතෙත් අසන්ධි වගේ ගැහැනු තවමත් පීඩාවට පත් වෙනවා.

Top