මිනිස් සන්තානය තුළ ගලා යන හැගීම් දැනීම් මෙතෙකැයි කිව නොහැකිය. එකී හැගීම් දැනීම් වලින් රසාලිප්ත සාගරයක කිමිදෙන්නට ලැබෙන අවස්ථාවක් වේ නම් එය සාහිත්‍යය නිර්මාණයක් රස විදීම පමණයි. එය කුමන හෝ ෂානරයක් වුවද විය හැකියි. ක්ෂණයකටවත් චිත්ත සන්තානය වෙනතකට ගිලිහෙන්නට නොදී නිර්මාණයෙහි ඇලී ගැලී ඉන්නට හැකි නම් එය නිර්මාණකරුවෙකුගේ අපූර්වත්වයේ ප්‍රතිභාවට සාක්ෂි දැරීමකි. දකුණු ඉන්දීය සිනමා කර්මාන්තය තුළ නිෂ්පාදනය වන විචිත්‍රවත් සිනමා කෘති ඔබ අනන්තවත් නරඹන්නට ඇති අතර ඒවායෙහි ඇති සරල සහ සංකීර්ණ භාවයන් සියුම් ලෙස ඔබේ මනසින් ස්පර්ශ කරන්නටත් ඇති. නමුත් එයට හාත්පසින්ම වෙනස් වූ ආසියාතික සමාජයේ තිබෙන පසුගාමීත්වය එක්තරා දෘෂ්ටිකෝණයකින් දැක ඉන්දීය සමාජ, සංස්කෘතික, ආර්ථික, දේශපාලනික යනාදී සියලු සංදර්භයන්හි ඇති ප්‍රධාන පලුද්ද විවේචනය කිරීමට මීරා භාරතී නම් වූ තරුණ චිත්‍රපට අධ්‍යක්ෂකවරිය තම සිනමා නිර්මාණයක් තුළින් සමත්ව ඇත. ඔබ වෙනදා නැරඹූ සිනමාපට තරම් විචිත්‍රවත් නොවුණත් මෙය ඔබ නරඹා ඇත්නම් හෝ නරඹන්නේ නම් ඇතැම් ජුගුප්සාජනක සිතුවිලි පැන නැගුණත් සමස්ත කතාංගය තුළින් එම මිනිසුන්ගේ සංවේදී හදවත් තේරුම් ගැනීමට ඔබට හැකිවේවි යැයි සිතමි. සිනමා කෘතිය වන්නේ කක්කූසු නම් වූ වාර්තා චිත්‍රපටයයි. මෙමගින් ඇය ඉන්දියාවේ අතීත හා වර්තමාන සමාජ ව්‍යුහය යා කරමින් වත්මනෙහි සැබෑවක් ලෙස පවතින සත්‍යය හෙළිදරව් කරයි.
ඉන්දියාවේ සංස්කෘතික සෝදා පාළුවකටත් වඩා සමාජ, දේශපාලන ප්‍රවෘත්තියක් හෙළි කරන මෙය වර්තමාන ඉන්දියාවේ තත්‍ය ස්වරූපය සැබෑවටම නිරූපණය කරන්නකි. මෙම චිත්‍රපටයට පසුබිම් වන්නේ ඉන්දියාවේ අපද්‍රව්‍යය ඉවත් කිරීම රැකියාව කර ගත් නගර සභාවෙහි සේවය කරන කම්කරු ප්‍රජාවයි. මොවුන් මිනිසුන් විසින්ම ඉවත් කරන අපද්‍රව්‍යය කිසිදු ආවරණයක් නොමැති සිය දෑත් වලින්ම අල්ලා ඉවත් කරන අයුරු මෙම චිත්‍රපටයට පාදක වෙයි. එම අපද්‍රව්‍යය අතර මළ අපද්‍රව්‍යයද තිබීම පිළිකුල් සහගත කරුණකි. රෝහල්වලින්, නිවෙස්වලින්, කර්මාන්තශාලාවලින් ඉවත් කෙරෙන අපද්‍රව්‍යය සියල්ලම පාහේ ඉවත් කිරීමට සිදු වන්නේ මේ ප්‍රජාවටයි. දුක්ඛදායකම කරුණ වන්නේ කුලයෙන් පහත් සමාජය නියෝජනය කරන මොවුන්ට ඉන්දීය පාලනය තුළ නම්බුනාමය පිරිනමා ඇත්තේ කුලහීනයන් ලෙසටයි. මොවුන්ගේ නිළ වෘත්තිය ලෙස නීතිගත කර ඇත්තේ මෙම මිනිස් අපද්‍රව්‍යය සිය නිරෝගී දෑත් වලින් ඉවත් කිරීමටයි.
මිනිස් සන්තානය තුළ පැතිර යන හදවත් ගනුදෙනුවට මුල් තැන දෙමින් එමගින් ප්‍රේක්ෂකයා විසින්ම ඉන්දීය සමාජය දෙසට එල්ල කරන බලවත් ප්‍රතිප්‍රහාරය ඉතාමත් සාධාරණ බව පසක් කිරීමට මීරා යත්න දරන්නට ඇත. බලාපොරොත්තු වන්නට ඇත. සමස්ත ඉන්දීය සමාජයම නියෝජනය කරන එක් පුරුකක් වූ මීරා භාරතීම එම සමාජ දේහයේ විශාලම සිදුර සමස්ත ලෝකයාටම පෙන්වා දෙන්නට ගත් උත්සාහයත් සමාජයක යථාර්තවත් තතු සැබෑවකැයි පෙන්වා දෙන්නට ගත් උත්සාහයත් නිසා මෙම වාර්තා චිත්‍රපටය භාරතයේ මෙන්ම ලෝක ඉතිහාසයේ ද ඉතිහාසගත වනු ඇත.
ඉන්දියාව තුළ අද්‍යතනයේ ඇත්තේ කුල ක්‍රමය මත පදනම් වූ දෘෂ්ටිවාදයකි. මේ දෘෂ්ටිවාදය නිසාම ඉන්දියාව තුළ බිහිව ඇත්තේ දරිද්‍රතාවයේ හිණිපෙත්තටම ගිය පීඩිත පංතියකි. පැරණි සාම්ප්‍රධායික මාක්ස්වාදීන් සමාජයට මෙවන් වූ දෘෂ්ටිවාදයන් අවශ්‍ය නැති බව ප්‍රකාශ කළත් ඉන්දියාව තුළ කුල ක්‍රමය මත පදනම් වූ දෘෂ්ටිවාදය නිසා චිත්‍රපටය පුරාවට දිවෙන පීඩිත අදෝනාවන් එයට හසු වී ඇත. මීරා භාරතී උත්සාහ ගන්නට ඇත්තේ සබුද්ධික ජනයාගේ සමාජ, සංස්කෘතික විඤ්ඤානය තුළ සමාජ යුක්තිය, සමාජ පරිවර්තනයක් උදෙසා නැවත ප්‍රතිනිශ්පාදනය කරන්නට යැයි මා හට සිතෙයි.
වත්මනෙහි බටහිර රටවල් පමණක් නොව පරිධියේ රටවල් ද සිටින්නේ ගෝලීය වශයෙන් විස්ථාරණය වූ පරිභෝජනවාදී සමාජයකයි. එවන් සංදර්භීය අවධියක මෙවන් පසුබිමක් ඉන්දියාව වැනි බලවත් රටක නිරූපිත වීම ජුගුප්සාජනකයි. 2003 දී ඉන්දීය රජය මිනිසුන්ගේ අපද්‍රව්‍යය මෙම කුල හීන ආන්තික ප්‍රජාව විසින් සියතින් ඉවත් කිරීම තහනමට ලක් කර ඇත. එහිදී නීතිය අනුව ප්‍රකාශ කර ඇත්තේ මෙම කාර්යයේ නියුතු පුද්ගලයින් සදහා එයට අවශ්‍ය උපකරණ 44ක් ලබා දිය යුතුයි යන්නයි. නමුත් නීතිය අණපනත් විහිළුවක් බවට පත් කරමින් අද වනතුරුත් නිසි ක්‍රියාත්මක වීමක් නැත. අධිපතිවාදී බලවේගයන්ගේ පහසුවෙන්ම ගොදුරු බවට පත් වූ මෙම කම්කරුවන්ගේ ජීවන අරගලය මිහිපිට අපායක් ලෙස දකින්නට සිදුවීම කණගාටුවට කරුණකි. ඉන්දියාවේ මෙම අපද්‍රව්‍යය ඉවත් කිරීමේ කටයුතු වලින් 90% ක් පමණම යෙදී සිටින්නේ කාන්තාවන්ය. වැසිකිළි පිරිසිදු කිරීම මෙන්ම එහි අපද්‍රව්‍යය ඉවත් කිරීම, කාන්තා පාර්ශවය භාවිතා කළ අපිරිසිදු සනීපාරක්ෂක තුවා සිය ඇගිලි තුඩුවලින් ඉවත් කිරීමට තවත් කුලහීන ගැහැණියකට සිදුවීම අභාග්‍යසම්පන්නය. රුපියල් දෙසියයක් වැනි අඩු වැටුපකට තම ශ්‍රමිකත්වය අඩු නැතිව ලබා දෙන මෙවැනි ගැහැණුන්ට ඔවුන්ගේ ප්‍රජනන පද්ධතියේ ගර්භාෂය පවා අහිමිව ගොස් ඇත්තේ දෛවයේ සරදමකටය. එයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ අපද්‍රව්‍යය ඉවත් කිරීමේ කටයුතු වලදී අධික බර ඔසවන්නට සිදුවීමෙන් ගර්භාෂය දුර්වලවන බවයි.
කණගාටුවට කරුණ වන්නේ නීති පොතේ මොවුන්ගේ සෞඛ්‍ය රැක ගනිමින් මෙම කාර්යය ඉටු කිරීමට උකරණ ලබා දීම කළ යුතුයි යන්න නීති ගත කර තිබුණත් අඩුම තරමේ ග්ලවුස් ( අත් ආවරණ ) හෝ ලබා දෙන්නේ අවුරුදු පහකට සැරයක් පමණි. ඒවාද ප්‍රමිතියෙන් අඩු නිසා මේවා භාවිතයද කෙටි කාලයකට පමණක් සීමා වී ඇත. මළ අපද්‍රව්‍යය දෑත් වලින් ඉවත් කිරීමෙන් පසුව දෑත් පිරිසිදු කර ගැනීම සදහා බලධරයින් විසින් සබන් කැටයක්වත් දීමට මානුෂික නොවන රටක ජීවත් වීමට මොවුන්ට සිදුව තිබේ. ගෞරවනීය ඉන්දීය රජයේ නීතිය සාධාරණ නොවීම නිසා මොවුන්ට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ ඉන්දීය රජයෙන් පමණක් නොවෙයි එයට පහළ නිළධාරීන්ගෙනුයි. ධනපති පංතියට බලය ඇති නිසාම නිර්ධන පාංතිකයා නොදැනුවත්වම ඔවුන්ගේ වහලුන් බවට පත් කොට ඇත.
කුලහීන සමාජ සංස්ථාවක් මහ සමාජයට විවෘත නොකිරීම නිසා ඒ සංස්ථාව නියෝජනය කරන්නන්ට අධ්‍යාපනය ලැබීම, සෞඛ්‍යය, පිළිගත් වෘත්තිකභාවය යනාදී වරප්‍රසාද අහිමිව ගොස් ඇති අතර එය වර්තමාන සමාජ පරිවර්තනයේ එක්තරා වූ හිදැසක් ලෙස පෙන්වා දිය හැකිය. එයට කදිම සංනිදර්ශනයක් වන්නේ මෙම සිනමා පටය තුළින් හෙළිවන ගැඹුරු යථාර්ථයයි. අධ්‍යාපනයේ දොරටු වැසුණ සමාජයක් නිර්මාණය කිරීම තුළින් පාසලේ අට හෝ නවය වසර වන තෙක් උපරිම අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදා කළත් උසස් අධ්‍යාපනය ලැබීමට වරම් අහිමි කරමින් පසුව මෙම අපද්‍රව්‍යය ඉවත් කිරීමේ රැකියාවට යාමට මොවුන්ගේ ඉරණම තීන්දු කොට ඇත. එම ඉරණම ඉහළ බලධරයින් විසින් කලින්ම ලියා ඇත. මෙවැනි කුල හීනයන්ගේ දරුවන් පාසලේ ගුරුවරු විසින් කොන් කරන තත්ත්වයට පවා පත් වීම එම සමාජ, සංස්කෘතිය හාස්‍යයට පත් වන තැන්ය.
“මගේ දරුවෝ පාසල් යන්න බැහැ කියනවා. මගේ දුවගෙන් ඈත්වෙලා වාඩිවෙන්න කියලා ගුරුවරු කියනවලු ”
මේ ඇසෙන්නේ දුකට වැළපෙන හදවත් වල සංවේදී වාග් ප්‍රකාශයන්ය. තම දරුවන් පවා දෙමව්පියන් යෙදී සිටින මෙම රැකියාව පිළිබද නොදන්නා පසුබිමක ඒ දෙමව්පියන් දරුවන්ට හොරෙන් ඔවුන්ගේ සෞඛ්‍ය රැක ගැනීම වෙනුවෙන් කටයුතු කරයි.
“අපි ජරාව අතින් අල්ලන්නේ. ඒ නිසා අපිට බත් කටවල් දෙකකට වඩා කන්න බෑ. හේතුව අපිට කනකොට ඒ දේවල් මතක් වෙනවා. කවදාවත් අපේ දරුවන්ට අපේ පිගානෙ කන්න දෙන්නේ නැහැ. දරුවන් දන්නේ නැහැ අපි මේ රැකියාවෙහි ඉන්නේ කියලා. ගෙදර කන බොන පිගන් වීදුරු වගේ දේවල් අපි වෙනම තියාගෙනයි ඉන්නේ ”
මීරා භාරතී ප්‍රශ්න කරන්නේ මේ සැබෑ යථාර්ථය නොවේද?
ප්‍රාථමික සමාජයක ලක්ෂණ කියාපාමින් කුලයක් පදනම් කරගෙන මෙවැනි වෘත්තියක් කුලහීන ජනතාවට නිර්ණය කිරීම වහල් යුගය වැඩවසම්වාදී යුගය යළි මතක් කර දීමකි. මෙම යුග පසුකර ලෝකය පිවිස ඇත්තේ පශ්චාත් කාර්මික යුගය නැතිනම් ධනේෂ්වර යුගයට වුවත් මාක්ස්වාදීන්ට අනුව පංති ව්‍යුහය හා කම්කරුවා පිළිබදව නැවත කතා කරන්නට සිදුව ඇත.
කුණු ඉවත් කිරීම සදහා ඉහළ පැළැන්තියේ නිවෙස් කරා යන මෙම මිනිසුන්ට බීමට වතුර වීදුරුවක් ඉල්ලූ විට වතුර වීදුරුව ලබා නොදී අත් අල්ලන්න යැයි කියා වතුර වත් කරනු ලබයි. ඒ නිසා අපහසුවෙන් වුවද අතට වත් කරන වතුර ටික කටට හළා ගෙන පිපාසය සංසිදුවා ගැනීමට මොවුන්ට සිදු වේ. එවැනි පහත් සංස්කෘතියක් දැන් නිර්මාණය වී තිබේ. රෙදි කඩයක හෝ කුමන ආයතනයක රැකියාව කළත් ඔවුන්ට හිමි වන්නේ එහිද වැසිකිළි සේදීමටයි. මේ රැකියාව නිසා ජිවිතයෙන් පවා වන්දි ගෙවීමට මොවුන්ට සිදුව තිබේ.
ඛේදයකි! “ අපි මිය ගිය පසු ලක්ෂ 10ක මුදලක් වන්දි මුදලක් ලෙස පවුලට ලබා දෙනවා. නමුත් ඉහළ නිළධාරීන් එයත් ගසා කනවා. අපිට ඉතිරි වෙන්නේ ඉතාම අඩු මුදලක් ”
සාමාන්‍ය පවුලක සිට දේශපාලනයට පැමිණි නරේන්ද්‍ර මෝදි එරට අගමැති පදවියට පත් වීමෙන් පසු ඔවුන් සිතුවේ ඔවුන්ට අහිමිව ගිය සමානාත්මතාවය, වරප්‍රසාද හා අයිතිවාසිකම් යළි තමන්ට හිමි වෙනු ඇති බවයි. නමුත් එය සිතළුවක් පමණක් බවට පත් කරමින් යලි සුපුරුදු ජීවිතයට අවතීර්ණ වීමට ඔවුන්ට සිදු වූ අතර අසාධාරණ නීතිය හමුවේ දණ නමන්නට ද සිදු විය.
තම කුසගින්නත් දරුවන්ගේ බඩ වියතත් රැක ගැනීම උදෙසා විෂබීජ සමග සටන් කරන්නට සිදුවන මෙම මිනිසුන්ගේ කදුළු කතාව තුළින් කුලය, අහිමිව ගිය අධ්‍යාපනය හා සෞඛ්‍යය, නොපිළිගත් වෘත්තිකභාවය, නොලැබී ගිය වරප්‍රසාදයන් පිළිබදව මීරා භාරතී ඍජුවම ප්‍රශ්න කරයි.
ඉන්දීය පාලනයේ දුගද මුසු චිත්‍රය අපූරුවට චිත්‍රණය කරන්නට මීරා භාරතී ගත් අප්‍රතිහත ධෛර්යය නිර්ලෝභීව අගය කළ යුතුය. නමුත් ඉන්දියාවේ සමාජ දේහයේ මේ විශාල කුස්තුරය ප්‍රතිනිර්මාණය කළාට ඇයට ලබා දුන් ගෞරවනීය සම්මානය වූයේ ඇයව ගෞරවනීය ඉන්දීය රජය විසින් අත්අඩංගුවට ගැනීමයි. හිමි වූයේ ඉන්දීය සිරකුටියයි. එහිදී මේ වෙනුවෙන් ඇයට ලබා දුන් ගෞරවනිය සංග්‍රහය වූයේ සිරබත් කෑමයි.
ගෝලීය ධනේෂ්වරයේ පෙරටුගාමී රටක් වූ ඉන්දියාවේ ඉන්දීය පාලනය එරට ජන සමාජයේ උපරි ව්‍යුහයට සිදු කරන බලපෑම අතිමහත්ය. එය සමාජයේ අධෝ ව්‍යුහයට ද එලෙසම බලපානු ලබයි. කළ යුත්තේ ඉන්දීය පාලනයේ ඉහළ ධූරාවලියේ සිටම බිම් මට්ටමේ ආන්තික ප්‍රජාව නියෝජනය කරන පහළ ධූරාවලිය දක්වාම නීතිමය, අධ්‍යාපනික, සෞඛ්‍යය යනාදී සංස්ථා නැවත ප්‍රතිව්‍යුහගත කිරීමයි.
අද්‍යතන ගෝලීය ගෝලීය කොවිඩ්-19 ව්‍යාප්තිය හමුවේ මේ කම්කරු ප්‍රජාව මුහුණ පා ඇති තත්ත්වය පෙර තිබූ තත්ත්වයට වඩා තවත් සංකීර්ණ වී තිබේ. කොවිඩ්-19 වසංගතය ව්‍යාප්තිකරණය වීමට පෙර සිට පැවති ධනේෂ්වර සමාජයේ එනම් පශ්චාත් කාර්මික සමාජය තුළ මතුවුණු මෙම නිර්ධන පංතිය කොවිඩ් ව්‍යාප්තියෙන් පසුව එනම් පහ්චාත් කොවිඩ් යුගයෙන් පසු නිර්මාණය වන ජාලතන්ත්‍රවාදයත් සමග මොවුන්ට මුහුණ පෑමට සිදුවන්නේ පෙරටත් වඩා සංකීර්ණ වූ වෙනස්ම සමාජ අභියෝගයන්ටයැයි සිතෙයි. න්‍යෂ්ටික අවි, අභ්‍යවකාශ ෂටලයන් අත්හදා බලමින් සිටින ඉන්දියාව මෙවන් වූ මිනිසුන්ගේ හඩට කන් නොදෙන්නේ මන්දැයි යළි යලිත් සිතා බැලිය යුතු කරුණකි.
මෙම සිනමා පටය ඔබත් නරඹන්න. මා නොකියූ බොහෝ දේ එවිට ඔබට හදවතට දැනේවි. මෙවන් මිනිසුන් මේ මිහිපිට තවමත් ජිවත් වන බවද ඔබට සිතේවි.