සුපිරි පාසල් සංස්කෘතියේ ඛේදවාචකය - 'හිච්කි’

සුපිරි පාසල් සංස්කෘතියේ ඛේදවාචකය - 'හිච්කි’

බොලිවුඩ් සිනමාව පසුගිය දශක කිහිපයේදී බොක්ස්ඔෆිස්  වාර්තා ලබන සුරූපී නළු නිළියන් ප්‍රමුඛ චිත්‍රපට රැල්ලක් ද එපමණ ම වූ සිනමා සම්මාන උලෙළවල් ද බිහිකරමින් තිබිණි. ක්‍රියාදාම චිත‍්‍රපට, අතීත රාජ චරිත, චරිතපදාන සිනමාපට, ප්‍රේම චිත්‍රපට අතරෙහි සමාජයේ කතාබහ නොකෙරෙන චරිත වෙත සානුකම්පිත බවක් දක්වන සිනමාපට රැල්ලක් ද විය. 'බර්ෆි’, 'තාරේ සමීන් පර්’, 'කොයි මිල් ගයා’, 'පා’, 'සීරෝ’, 'කාබිල්’ වැනි චිත‍්‍රපට මෙහි කී අවසාන පක්ෂය නියෝජනය කරයි.

ආරම්භයේදී සමාජ පිළිගැනීමක් නොලැබෙන, දිගින් දිගටම දුෂ්කරතාවන්ට මුහුණදෙන චරිතයක් වටා කේන්ද්‍රගත වන මෙම සිනමාපට, අවසානයේ සියලූ සමාජ පිළිගැනීම් ලැබී, දුෂ්ට චරිත පවා යහපත් වී, මුඛ්‍ය චරිතයේ අරමුණු ඉටුකරගන්නා ආකාරයේ සාම්ප‍්‍රදායික හොඳ පුද්ගලයන් බිහිවීමේ සුඛාන්තය අත්දකියි. ප‍්‍රබන්ධමය ආකෘතිය ම නැවතත් නිර්මාණය කරවන එකී රැල්ලෙන් බිහිවූවක් වුවකි, සිද්ධාර්ත් මල්හෝත‍්‍රා විසින් අධ්‍යක්ෂණය කළ 'හිච්කි’ සිනමාපටය. සිද්ධාර්ත් මීට ඉහතදී අධ්‍යක්ෂණය කළ 'වී ආ ෆැමිලි’ චිත‍්‍රපටයේ දැක්වෙන කුටුම්භ සංස්ථාවේ ගැටුම්කාරී ස්වභාවය 'හිච්කී'හිදී ද දිස්වෙන නමුදු එයට මුඛ්‍ය අවධානය නොදී වෙනත් තේමාවක් කරා සිනමාපටය ගෙනයාමට ඔහු සමත් වේ.

පසුගිය දිනයක ඉන්දියාවේ එන්ඞීටීවී හි පුවතක් වාර්තා විණි. එනම්, ඉන්දියාවේ ප‍්‍රකට පාසලක ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් පහරදී සිසුවෙකු මිය ගොස් ඇති බවත්, එම පාසලේ බලධාරීන් එම ඝාතනය වසන්කර, මෘත ශරීරය වළදමා ඇති බවත් ය. එම පුවත හා සමගාමීව විශ්වවිද්‍යාල නවකවද ප‍්‍රශ්නය හා සම්බන්ධවි 'ටේබල් නම්බර් 21’ වැනි චිත‍්‍රපටද, පාසල් සිසු සහ ගුරු ගැටලූ ඉලක්ක කරගනිමින් නිකුත් වූ චිත‍්‍රපටද ඉන්දියාවේ තරමක ප‍්‍රමාණයක් බිහිව ඇති අතර, ඒවායින් බොහොමයක් තරුණ ගුරුවරයෙකු හා ඔහුගේ පෙම්වතිය දක්වා අවසානයේ විතැන් වී කදිම හින්දි ගීයක් පේ‍්‍රක්ෂකයා අබිමුව තබා සමාජයේ යහපත් ලෙස දිවිගෙවීමේ අවස්ථාව දක්වා, ඔවුන්ගේ විවාහවලින් හෝ සිසුන් ප‍්‍රීතිමත් කරවන සිදුවීමකින් අවසන් වේ. සැබෑ ප‍්‍රශ්නය මගහරී.

හිච්කි(ඉක්කාව) හිදී නේනා මාතූර් ටොරේට් සින්ඩ්‍රෝමය, එනම් ඉක්කාවක් සහ නොයෙක් ශබ්ද ඉබේ ඇතිකරවන ආකාරයේ කථන අපහසුතාවකින් පීඩිත ගුරුවරියක ලෙස යොදාගනිමින් සුපුරුදු අනුකම්පාවින් පේ‍්‍රක්ෂකයා බැඳ ගැනීමේ උපක‍්‍රමයක අධ්‍යක්ෂකවරයා නියැළෙතැයි පළමුව පේ‍්‍රක්ෂකයාට සිතේ. නමුත් ඉන්පසු ක‍්‍රමිකව සිනමාපටය ගලායන්නේ සුපිරි පාසල් සංස්කෘතියේ පවතින ඛේදවාචකයන් වෙතය. ලොව තෙවන විශාලතම මුඩුක්කු පරිසරය හිමි ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත සිනමාපටය මධ්‍ය්‍ය වනවිට අප අවධානය යොමු වේ. මුඩුක්කු දිවියකින් උපන් දරුවන් කේන්ද්‍ර කරගනිමින් සැකසූ සම්මානිත 'ස්ලම් ඩෝග් මිලියනයර්’ සිනමාපටය ඇතුළු ජනප‍්‍රිය නොවූ සිනමාපට කිහිපයකින් පසු හිච්කි එම අඩවියට සාර්ථකව පිවිසීමට උත්සාහ දරා ඇතැයි හැගේ.

නාගරික මධ්‍යම පාන්තික සහ ධනපති පැලැන්තියේ දරුවන් ඉගෙනුම ලබන පාසල් ලංකාවේ වුවද අධ්‍යාපන සඳහා වන රාජ්‍ය වරප‍්‍රසාද ලබයි. ඒවාට ශිෂ්‍යත්ව රේටින්ස් ද ඉහළය. නම කියූ සැණින් ලංකාවේ රැකියා ප‍්‍රධානීහු ද නැමෙති. නාගරික පාසල් සිසුන් සහ ගම්වල සිසුන්  අතර වන සංස්කෘතික ඝට්ටනය හා සමාන  තේමාවක් නේනා මාතූර් ගුරු වෘත්තියේ යෙදෙන පාසලේද පවතී. පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් ලෙස දක්ෂ යැයි කැපී පෙනෙන ලකුණු ගන්නා සිසුන් නිතරගයෙන් පත්වේ. මුඩුක්කු නිවාසවල සිසුන් ඔවුන්ට දක්වන අකමැත්ත, මුඩුක්කු නිවාසවල වැසියන්ගේ එදිනෙදා රැකියා කටයුතු වෙනුවෙන් දරුවන් දුෂ්කරතාවන්ට යොමුවීම, ඔවුන්ගේ නිවාස කරා පැමිණෙන තරුණ ගුරුවරියගේ සමාජ තත්ත්වය සමග නොපෑහීමෙන් මතුවන ආගන්තුක බව,  ගුරු - දෙමාපිය රැස්වීම්වලදී විභාගවලින් ඉහළ ලකුණුගන්නා සිසුන් වර්ණනා කරන ගුරුවරුන්ගේ චරිත ස්වභාව යනාදිය සිනමාපටය විටෙක ප‍්‍රශ්නකාරී කරවයි. විටෙක ගැටුම්කාරී බවත්, ආකර්ශනයත් වර්ධනය කරවයි.
පාසැල් පද්ධතියේ අත්දකින සැබෑ ඛේදවාචකයන් සම්බන්ධයෙන් සුදු හුණු ගෑමට නොයන අධ්‍යක්ෂකවරයා ක‍්‍රමයෙන් පේ‍්‍රක්ෂකයා කුහුලෙන් පීඩාවට පත්කරයි. නොවිසඳෙන පැන මාලාවක් ලෙස පෙනෙන එෆ් 9 පන්තියේ  සිසුන් පාලනය කරගැනීමට ආධුනික ගුරුවරිය දරන තැත් දිගින් දිගටම සිසුන් විසින් උඩුයටිකුරු කරනු ලබයි. නේනා මාතූර් තම පන්තියේ සිසුසිසුවියන්ට සුබවාදී කරුණු පාඩම් කීමට තැත් කළත්, ඔවුන් ඇයව ප‍්‍රශ්නකරන්නේ සැබෑ යථාර්ථය එම පාඩම්වලට නතු නොවන බවට උදාහරණ දක්වමින් ඇයව නිහඩ කරවීමෙනි.

ඒකාකාරී විෂය නිර්දේශ සහ ඉගෙනුම් ක‍්‍රම මගින් විභාග සමත්කිරීමේ එකම අරමුණ කරගත් පාසලක් සහ එම සාම්ප‍්‍රදායික ලක්ෂණවලට පටහැනි දෑ කරන තරුණ ගුරුවරිය පවසන සියල්ලට අනුමැතිය ලබාදෙන කාරුණික විදුහල්පතිවරයෙකු එකිනෙකට නොපෑහෙන කරුණු සේ පෙනේ. පාසලේ සේවයේ නියුතු ගුරුවරියන් සාරි ඇඳසිටිය යුතු වුවත් නේනා සාමාන්‍ය කාන්තා වස්ත‍්‍ර සහිතව කෙළිලොල් දැරියක සේ පාසලේ ඉගැන්වීමට පැමිණීම, විභාග ප‍්‍රශ්න පත‍්‍ර නිකුත් කළේ තමන් යැයි කී ගුරුවරයාට විදුහල්පතිවරයා කිසිවක් නොකීම, කළු - සුදු යැයි නම්කළ චරිත සියල්ල එක්වී අවසානයේ පාපන්දු ගැසීමෙන් ප‍්‍රීතිවීම, ගුරුවරිය මුඩුක්කු පරිසරයට ගොස් සිසුන්ගේ දෙමාපියන් හමුවීම සැබෑ ලෝකයේ ඒ ආකාරයෙන්ම වන්නේදැයි කුකුසක් මතුවේ. 

 
නේනාගේ කුටුම්භයේ උද්ගත වන ප‍්‍රශ්න හමුවේ සිනමාපටය අවසානයේදී පවුලේ සාමාජිකයන් වැළඳ, වැළපෙන, සතුටු කඳුළු වගුරුවන, ප‍්‍රශ්න නිරාකරණය කරන, සුන්දර පවුලක් ලෙසින් පත්වීම ප‍්‍රශ්නකාරීය. නේනා එම පාසලේ විදුහල්පතිනියව ඉන් විශ‍්‍රාම ලබන ප‍්‍රීතිමත් උත්සව අවස්ථාවකින් එය අවසන් වේ. මෙවන් කතාවසාන දරුවන්ට බත්කවන්නට කියන කතාන්දර මෙන් මුල - මැද - අගත් උසුළයි.

නේනා මාතූර්ගේ සින්ඩ්‍රෝම ගැටලූවට එහා ගැටලූවක් දක්වා කතාව විතැන් කරවීමට අධ්‍යක්ෂකවරයා සමත් වන අතර කාලයක් සිනමාවෙන් ඉවත්ව සිටි රාණි මුඛර්ජී දිරිමත් රූමත් තරුණියකගේ චරිතය දක්ෂව හසුරුවයි. 'අයහපත් සිසුන් නැත, සිටින්නේ අයහපත් ගුරුවරුන් පමණි’ යි ගුරුවරිය පවසයි. එහෙත් යහපත-අයහපත අතර සීමා ඉර බෙදාගන්නෙ කෙසේද? එය ප්‍රේක්ෂකයාට බාරය.
 
Top