ජනප්‍රියත්වය තාවකාලිකයි, ඒ වෙනුවෙන් මට මාව නැතිවුණේ නැහැ. - රංගන ශිල්පී අරවින්ද දොඹගහවත්ත (272 වන ලිපිය)

post-title

රංගන ශිල්පියෙක් කියන්නේ එක් පැත්තකින් පුද්ගලයෙකුට ලැබෙන සිවිල් බලයක්. ඒ වගේම වටිනාකමක්. ඒ නිසාම හුඟක් දෙනෙක් ජනප්‍රියත්වය පසුපස හඹා යනවා. නමුත් හඹා යෑමකින් තොරවම එවැනි අවස්ථාවක් කෙනෙකුට ලැබෙන්නේ කලාතුරකින්. අරවින්ද දොඹගහවත්ත එවැනි අවස්ථාවක් ලද රංගන ශිල්පියෙක්. ඒ වගේම ලැබුණු ජනප්‍රියත්වය ඉතාම යහපත් දේ වෙනුවෙන් ප්‍රයෝජනයට ගන්නට ලැබීම ඔහු ලද තවත් භාග්‍යයක්. ඒ නිසාම පසුගිය කාලයේ ජනාදරයට පත්වුණු කැලෑ හඳේ ජෝන් ජයපාලගේ චරිතය තුළින් අපි දකින අරවින්ද ගැන අරවින්ද එක්ක කතා කළා.

  1. ජෝන් ජයපාල කියන්නේ මොන විදියේ චරිතයක් ද? කොහොමද මේ චරිතය සඳහා අවස්ථාව ලැබුණේ?

මට නිමල් උඳුගොඩ මහත්මයා කතා කරලා “අරවින්ද අපි මෙහෙම ටෙලි නාට්‍යයක් කරනවා එනවද?” කියලා ඇහුවා. ඊට පස්සේ මට චරිතය ගැනත් පොඩි විස්තරයක් කළා. රදල කුළය නියෝජනය කරන ඉහළ මධ්‍යම පාන්තික චරිතයක් තමයි ජෝන් ජයපාලගේ චරිතය කියන්නේ. ඉංග්‍රිසි කතා කරන සමාජ පන්තිය ඇතුලේ හිටියත් තමන් කැමති විදියට ජීවත් වෙන්න නොහැකිවීම නිසා ජෝන් ජයපාලගේ නොහිතූ පැත්තකට පෙරළෙනවා. ඒ වෙලාවේ මගේ ඔලුවට ආවේ දේව්දාස් චිත්‍රපටයේ දේව්දාස්ගේ චරිතය. ඇත්තටම ජෝන් ජයපාල කියන්නේ මට හිතෙන විදියට සියල්ල තිබිලත් ඒවා විදින්න අවස්ථාව නොලැබුණු කෙනෙක්.

  1. ටෙලි නාට්‍යයට ආරාධනාව ලැබෙනකොට කැලෑ හඳ පොත කියවලා තිබුණද?

ඇත්තටම නැහැ. මේ කතාව 1933 දී ලියවුණු පොතක්. චිත්‍රපටය නිර්මාණ වෙන්නේ 1953 දී. ඒ කියන්නේ පොත ලියවිලා අවුරුදු 20 කට පස්සේ. චිත්‍රපටය තිරගත වෙන්නේ 1956 අවුරුද්දේ. මගේ පරම්පරාවට පරම්පරා ගාණකට කලින් තමයි මේ කතාව කරලියට ඇවිත් තියෙන්නේ. ඒ නිසා මට පොත කියවන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් පිටපත ලැබුණට පස්සේ මට මේ චරිතය ගැන අවබෝධයක් ලබාගන්න ඕන නිසා මම මුලින්ම චිත්‍රපටය හෙව්වා. නමුත් ඒ වෙද්දි ලංකාවේ පිටපතක් තිබුණේ නැහැ. පිටපතක් තිබුණේ ඉන්දියාවේ විතරයි. ඒත් මේ වෙනුවෙන් මට ඉන්දියාවට යන්න බැහැනේ. නමුත් මම චිත්‍රපටය බලපු අයගෙන් කතාව අහලා බැලුවා. එතකොට මට හිතුනා මට ලැබුණු ටෙලි පිටපතට වඩා චිත්‍රපටයේ කතාව වෙනස් කියලා. ඉතින් පොතේ කතාව චිත්‍රපටයට වඩා වෙනස් ද කියලා බලන්න තමයි මම පොත කියෙව්වේ.

  1. ඔබ මේ රටේ ජාතික පුවත්පතක කතුවරයෙකුගේ පුතෙක්. ඔහු පොත් ලියන කෙනෙක්. ඒ නිසා පොත් කියවීම ඔබට අමුත්තක් වෙන්න බැහැ. එහෙම නම් කැලෑ හඳ මඟහැරුනේ කොහොමද?

ඇත්තටම පොත් කියවීම වගේම ලස්සන තැන් බලන්න යන එක ඇවිදින එක මගේ විනෝදාංශ දෙකක්. මම පොත් කියවන්න හුඟක් ආසයි. නමුත් කැලෑ හඳ කියවන්න උනන්දු නොවුණේ මේ චරිතය තුළින් මට අලුත් යමක් දෙන්න ඕන වුණු නිසා. පොත කියෙව්වා නම් මට මේ චරිතය මට දැනෙන විදියට කරන්න අමාරු වෙනවා. ඒ චරිතයේ පුංචි තැනක් හෝ මා තුළින් අනුකරණය වෙන එක මට නවත්වන්න බැහැ. ඩබ්. ඒ සිල්වා මහතාගේ ජෝන් ජයපාල ස්ටැන්ලි පෙරේරා දකින ජෝන් ජයපාලට වඩා වෙනස් වෙන්න පුළුවන් නිසා මම මුලින්ම පොත කියවන්න උනන්දු වුණේ නැහැ. චරිතය පිළිබඳව ස්වයං අධ්‍යනය තුළින් මට දැනෙන හැඟෙන දේ තමයි මම උකහා ගත්තේ.

  1. චරිතයට ලැබෙන ප්‍රතිචාර පිළිබඳව තෘප්තිමත් ද?

ඒකට ප්‍රතිචාර වැඩිම ප්‍රමාණයක් ලැබෙන්නේ වැඩිහිටි පරම්පරාවෙන්. එයාලාගේ කාලේ ආදර කතාවක් වගේ කියලා හැමෝම කියනවා. ඇත්තටම ඒ වෙද්දි රටේ තිබුණු තත්ත්වයත් එක්ක අපිට වැඩි පිරිවැයක් සහ කාලයක් වෙන් කරලා ටෙලි නාට්‍ය කරන්න බැරිවුණා. ඒ නිසාම පොතේ කතාවට වඩා ටෙලි නාට්‍යයේ වෙනස් තැන් තිබුණා. විශේෂයෙන්ම ඉන්දියාවේ දර්ශන කිහිපයක්ම තිබුණත් මේ වතාවරණය එක්ක ඉන්දියාවට යන්න පුළුවන්කමක් තිබුනේ නැහැ. ඒ නිසා ඒ දර්ශන රූගත කලේ නැහැ. ඒ නිසා යම් පමණකින් චරිතයට සාධාරණයක් වුණේ නැතත් රංගනය පැත්තෙන් ලැබෙන ප්‍රතිචාර ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්.

  1. මුලින් අපි ඇහුවා වගේ මාධ්‍ය ක්‍ෂෙත්‍රයට සම්බන්ධ පවුලක කෙනෙක් විදියට ජනප්‍රියත්වය හා ජනප්‍රිය චරිත ඔබට අමුත්තක් නෙවෙයි. මේ ලැබෙන ප්‍රතිචාර වුණත් ඔබට සාමාන්‍යයි. ඒ ගැන ඔබේ අදහස මොකද්ද?

මම මේ කරන්නේ විවේචනයක් නෙවෙයි. නමුත් ඇත්තටම මුල ඉදලා ක්‍ෂෙත්‍රයට එන කෙනෙකුට වඩා මට මේක දැනෙන විදිය වෙනස්. මුල ඉදලා එන කෙනෙකුට හදාගන්න දේවල් හුඟක් තියෙනවා. එයාලා කතා කරන විදිය, කන බොන අඳින පළදින විදිය පවා ක්‍ෂෙත්‍රයට ගැලපෙන විදියට වෙනස් කරගන්න ඕන. ඒක ටිකක් සංකීර්ණයි. ඒ නිසා තමයි සමහර අය මුලින් ආපු කාලේ හිටපු විදියට වඩා පස්සේ වෙනස් වෙන්නේ. ඒක වරදක් නෙවෙයි. නමුත් මට එහෙම අමුතු දෙයක් නැහැ. තාත්තා නිසා පොඩි කාලේ ඉදලම මම ක්‍ෂෙත්‍රයේ අයව දැනගෙන හිටියා. දැකලා තිබුණා. ඒක මට සාමාන්‍යයි. මට මාව නැති කරගෙන අමුතුවෙන් හදාගන්න දෙයක් නැහැ. ජනප්‍රියත්වය තාවකාලිකයි. ඒ වෙනුවෙන් මට මාව නැතිවුණේ නැහැ.

  1. නළුවෙක් වෙන්න හිතුනේ ඇයි?

මම පොඩි කාලේ ඉදලම ක්‍ෂෙත්‍රයට ආසාවෙන් හිටියා. මට ඕන වුණේ මිනිස්සුන්ගේ හිත් ඇතුලේ යමක් කරන්න. හොඳ මතකයක් වෙන්න. ඒකට සුදුසුම ක්‍රමය තමයි රංගන ක්‍ෂෙත්‍රය කියලා මම දැනගෙන හිටියා. ඒ වගේම වෛද්‍යවරයෙක් වෙන්න සහ පුරා විද්‍යා ක්‍ෂෙත්‍රයට යන්නත් මට අවශ්‍ය වෙලා තිබුණා. ඒත් මට ඒ ක්‍ෂෙත්‍ර දෙකට කොටු වෙන්න උවමනාවක් තිබුණේ නැහැ. අට පහ රස්සා කරන්න මට කොහෙත්ම අදහසක් තිබුණේ නැහැ. ඉතින් මගේ නිදහස එක්ක උපරිමය කරන්න ඕන නිසා මම නළුවෙක් වුණා.

  1. ක්‍ෂෙත්‍රයට අවස්ථාව ලැබෙන්නේ මොන විදියට ද?

මම තමයි 1998 අවුරුද්දේ ටවර් හෝල් පදනමෙන් කළ නාට්‍ය උළලේ හොඳම සහය නළුවා වුණේ. ඒ සිඟාල පුරෝහිත නාට්‍ය වෙනුවෙන්. මගේ පාසල වුණු මලියදේව විද්‍යාලයේ අවුරුදු 100 ක් පැරණි නාට්‍ය සංගමයේ ලාබාලම සාමාජිකයා විදියට මම තියපු වාර්තාව අදටත් ඒ විදියටම තියෙනවා. එතනින් පස්සේ 2006, 2007, 2008 රාජ්‍ය නාට්‍ය උළලේ හොඳම නළුවා විදියට මම සම්මානයට පාත්‍ර වුණා. ඒ කාලේ දයාරත්න රටගෙදර මහත්මයා මට කතා කළා නමුත් අපේ පාසලේ නීතියක් තිබුණා පාසල් කාලෙදී ඒ වගේ නිර්මාණ සඳහා සම්බන්ධ වෙන්න බැහැ කියලා. ඒ නිසා ඒ අවස්ථාව මගෙන් ගිලිහුණා. ඒ විදියට අවස්ථා කිහිපයක් ගිලිහි ගිහින් තමයි ක්‍ෂෙත්‍රයට පය තියන්න අවස්ථාව ලැබුණේ.

  1. චරිතය තුළ ඔබ දකින ජෝන් ජයපාල වර්ථමාන පරම්පරාවෙත් ඉන්න පුළුවන්ද?

අපි හැමෝම ඇතුළෙ ජෝන් ජයපාල කෙනෙක් වගේම මාලිනි ජයපාල කෙනෙකුත් ඉන්න පුළුවන්. ආදරය කියන කාරනයට ඒ හැඟීමට කාල වෙනසක් නැහැ. නමුත් පවතින සමාජ තත්ත්වය මත ආදරය කරන ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. ජයපාලලා තාමත් ඉන්නවා. ඉස්සරහටත් ඉදියි. ආදරය මතුවෙන්නේ කොහොමද කියලා කියන්න බැහැ. 1933 තමන්ට හැමදේම තිබිලා විඳගන්න පින නැති තරුණයෝ හිටියා, 2000 ත් හිටියා දැනුත් ඉන්නවා. ඉස්සරහටත් ඉදියි.

  1. ඒ “ඉබේ ඇතිවන ආදරය” ඔබට දැනිලා තියෙනවද?

මට ආදරය ගැන අදහසක් තවම ඇතිවෙලා නැහැ. අද තරුණ සමාජය ආදරය හොයාගෙන යන විදිය වෙනස්. ඉක්මනින් ආදරය කරනවා, හැඟීම්වලට වහල් වෙනවා, ඉක්මනින් වෙන් වෙනවා. නමුත් ආදරය ඉබේ ඇතිවෙන දෙයක්. හුඟක් අය කියනවා බාහිර රූපය ආදරයට වැදගත් නෑ කියලා. සමහර අය බාහිර රූපය, පවුල් පසුබිම ආදී නොයෙක් දේවල් මඟින් ආදරය මනිනවා. නමුත් මම හිතන්නේ ඒ හැමදේම ගැලපෙන තැන තමයි අපි හොයන ආදරය අපිට ලැබෙන්නේ. ඉතිං ආදරය හොයාගෙන යනවට වඩා හොයන ආදරය ලැබෙනකල් බලාගෙන ඉන්න එක වටිනවා.

  1. රංගන ශිල්පියෙක් විදියට ඔබ මෙතෙක් කළ චරිත ගැන තෘප්තිමත් ද?

හැම රංගන ශිල්පියෙක්ම තමන්ගේ චරිතය ගැන තෘප්තිමත් නැහැ. මාත් එහෙමයි. මටත් හිතෙනවා තවත් ටිකක් හොඳට කරන්න තිබුණා නම් හොඳයි කියලා. ඒ වෙලාවෙදි මම කරන රඟපෑම ගැන තෘප්තිමත් වුණත් පස්සේ ආපහු බලනකොට හිතෙනවා තවත් ටිකක් රඟපාන්න තිබුණා නම් මීට වඩා හොඳට කරන්න තිබුණා කියලා. නමුත් ප්‍රේක්‍ෂක ඇසින් බැලුවාම නම් මම රඟපාන චරිත ගැන මම තෘප්තිමත්. සැබෑ ප්‍රේක්‍ෂකයාත් තෘප්තිමත් ඇති. මොකද මට තාම විවේචන ඇවිල්ලා නෑ.

  1. ඔබට යමක් කරන්න හැකිවුණා කියලා හිතෙන හිතට දැනුනු චරිතය මොකද්ද?

හිරු ටීවී නාලිකාවේ විකාශනය වුණු “දේවී” ටෙලි නාට්‍යයේ ජයතු බණ්ඩාර ගේ චරිතය මම වැඩක් කළ චරිතයක් කියලා කියන්න පුළුවන්. ඒ කතාව ඉතාම ඉහළ කැපවීමකින් කරන්න මට අවස්ථාව ලැබුණා. 

  1. ජනප්‍රිය සහ මධ්‍යම පාන්තික තරුණ පරම්පරාව තුළ දකින්න නොලැබෙන මට්ටමේ ආගමික නැඹුරුවක් ඔබ තුළ දකින්න ලැබෙනවා. ඒ විශේෂ කාරණාව ගැන කතා කරමු නේද?

මම පොඩි කාලේ ඉදලම පොත් කියවපු කෙනෙක්. ඒ කියවීම ඇතුලේ මම දර්ශනය පිළිබඳ පොත් කියවන්නත් යොමු වුණා. මම බුද්ධාගම ගැන හොයන්න පෙළඹුනේ පවුලෙන් ආපු ආභාෂයක් නිසා නෙවෙයි. ඇයි බුදු දහම අනිත් ආගම්වලට වඩා හොඳයි කියන්නේ, මොකද්ද විශේෂත්වය කියන කාරණා මට හොයන්න ඕන වුණා. ඒ නිසා මම බුදු දහම ගැන තියෙන පොත් කියවමින් හදාරන්න පටන් ගත්තා. නමුත් මට තේරුනා බුදු දහම හදාරන්න නම් මම අනිත් ආගම් ගැන කියවලා ඉන්න ඕන කියලා. ඒ නිසා බයිබලය, භගවත් ගීතාව, කුරානය පවා කියෙව්වා. ඊට පස්සේ තමයි මම ත්‍රිපිටකය කියෙව්වේ. ඒ කියවගෙන යද්දි මට තේරුණා බුදු දහම කියන්නේ මොකද්ද කියලා. ඒ දර්ශනය මොනතරම් ප්‍රායෝගික ද කියලා මම තේරුම් ගත්තා. ඉතින් මම ඒ ඔස්සේ හදාරමින් ඉගෙන ගනිමින් යද්දි ආගමට දහමට අනුකූල දේවල් කරමින් යනවා.

  1. ඉදිරි වැඩ කටයුතු මොනවද?

පිච්ච මල සුවඳයි නමින් රාජ්‍ය සම්මානයට පාත්‍ර වුණු පොත පාදක කරගනිමින් කරන ටෙලි නාට්‍යයක් සඳහා ආරාධනා ලැබුණා. තවත් වැඩ කිහිපයකට කතා කරලා තිබෙනවා. 

  1. රංගන ක්‍ෂෙත්‍රය ගැන මොකද හිතන්නේ?

අද තිබෙන ප්‍රශ්නයක් තමයි නළුවාව චරිතයෙන් මනින එක. ඒ වගේම පුද්ගල ස්වභාවය මත චරිත ලබාදීම. මේ නිසා නළුවා චරිතාංග නළුවෙක් නොවී එක් චරිතයකට කොටුවෙනවා. නමුත් වෙනස් චරිත දෙන්න පුළුවන් නම් ඒක නළුවාට කරන ලොකු අගය කිරීමක්. හින්දි සිනමාව ඇතුලේ නළුවා නෙවෙයි චරිතයයි හදන්නේ. ඒ චරිතය තුළ නළුවා නිර්මාණව වෙනවා. ඒ වගේම ජනප්‍රිය වෙනවා. නමුත් අපේ රටේ හදන්නේ නළුවාව. චරිතය නෙවෙයි. ඒක නළුවෙකුට ලොකු ගමනක් යන්න අභියෝගයක් වෙන්න පුළුවන්.

Top