මුදලට විකිණෙන තැනක සදාචාරාත්මක මාධ්‍යවේදියෙක් නිර්මාණය වෙන්නේ නැහැ - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර (170 වන ලිපිය)

post-title

අද අපේ ‘වචන‘ සංලාපය සදහා එකතුවෙන පුද්ගලයා පිළිබද අපි අලුතින් හදුන්වාදෙන්න උත්සහ කරන්නෙ නැහැ. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන එතුමාගේ නම කියුව පමණින් රටම එතුමාව දන්නවා. ඉතින් මේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා සමග ලංකාවේ මාධ්‍ය භාවිතාව සහ මාධ්‍යවේදියා පිළිබද වචන කණ්ඩායම කරන ලද කතාබහයි.

  1. යම් කෙනෙක් මාධ්‍යවේදියෙක් වෙන්න අදහස් කරනවා නම් එයාට මේ ක්‍ෂෙත්‍රයට පිවිසීමට තිබිය යුතු සුදුසුකම් මොනවද?

දැන්නම් ජනමාධ්‍ය පාඨමාලා තියෙනවා. උපාධි පාඨමාලා සඳහා ජනමාධ්‍යවේදය හඳුන්වා දීලා තියෙනවා වගේම පාසල් විෂයක් ලෙසත් ජනමාධ්‍යවේදය හඳුන්වා දීලා තිබෙනවා. මේ වගේ පාඨමාලා හැදෑරීමෙන් වගේම මාධ්‍ය ක්‍ෂෙත්‍රය සම්බන්ධ පොතපත කියවීමෙන් සහ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය එක්ක සම්බන්ධ වෙලා නිදහස් මාධ්‍යවේදියෙක් විදියට වැඩ කිරීමෙන් වෘත්තීය මාධ්‍යවේදියෙක් වීම සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරගන්න පුළුවන්. 

  1. ඔබ වෘත්තීය මාධ්‍ය ක්‍ෂෙත්‍රයට පිවිසෙද්දී ඒ කාලේ තිබුණු අවම සුදුසුකම් මොනවද?

පත්තරේක වැඩකරනවා නම් ලියන්න පුළුවන් වෙන්න ඕන. නිවේදකයෙක් වෙන්න නම් හොඳ පෞර්ෂයක් තියෙන්න ඕන. ඉතින් ප්‍රවෘත්තියක් සොයා යාමේ උනන්දුව, විශේෂාංග සඳහා තොරතුරු ලබාගැනීමේ උනන්දුව, ලබාදෙන ඕනම ලිපියක, ප්‍රවෘත්තියක ඒ වගකීම නිසි ආකාරයෙන් ඉටු කිරීමේ හැකියාව තිබිය යුතුයි. ඒ වගේම භාෂා දැනුම ඉතාම වැදගත් වුණා. 

  1. අද වෙද්දි කෙනෙකුට මාධ්‍ය ක්‍ෂෙත්‍රයට පිවිසෙන්න අමුතු උත්සාහයක් අවශ්‍ය නැහැ. හොඳ වේදිකාවක් එයාලට හැදිලා තියෙනවා. නමුත් එදා වගේ අද මේ ක්‍ෂෙත්‍රය ඇතුළෙ නමක් හැදුනු මාධ්‍යවේදියෙක් දකින්න නැහැ. ඒකට හේතුව මොකක් වෙන්න ඇති ද?

එදා මාධ්‍යවේදීන්ට, අමතර හැකියා-දක්‍ෂතා තිබුණා. අද කෙනෙකුට එයාගේ නම හදාගන්න පහසුයි. ඒකට ලොකු වෙහෙසක් ගන්න ඕන නැහැ. ඒ කාලේ එහෙම ලේසියෙන් නම හදාගන්න බැහැ. ඒකට ලොකු පරිශ්‍රමයක් දරන්න වෙනවා. සීනියර්ලා තමයි අපිට හිටිය ගුරුවරු. අපි ඒ අයගෙන් ඕන තරම් බැනුම් අහලා තියෙනවා. සමහර සීනියර්ලා අපේ ලිපි ඉරලා විසි කරනවා. ඉතින් හොඳ ලිපියක් ලියන්න අපිට ලොකු උත්සාහයක් ගන්න සිදුවුණා. භාෂාව පිළිබඳ ප්‍රවීණයෙකුට ඇරෙන්න ඒ කාලේ මාධ්‍යවේදියෙක් වෙන්න ලේසි නැහැ. ක්‍ෂෙත්‍රයට පිවිසෙන්න තිබ්බ ඉඩ අවමයි. මාර්ටින් වික්‍රමසිංහ, මීමන ප්‍රේමතිලක, මුනිදාස ලියනගේ වගේ විශිෂ්ටයන් ඇසුරේ හැදෙන්න පුළුවන් වාතාවරණයක් ඒ කාලේ අපිට තිබුණා. 

  1. රාජ්‍ය යාන්ත්‍රණයට තිබෙන විරෝධය, ආගමික විරෝධය, සමාජ විරෝධය වගේ බොහෝමයක් කාරණා පිළිබඳව විරෝධයක් වගේම විවේචනයක් කෙනෙකුට තියෙන්න පුළුවන්. නමුත් ඉතාම පහත් අන්දමින් යම් කරුණක් විවේචනය කරන්න මාධ්‍යවේදියෙකුට පුළුවන් ද?

ලියන්නා සහ මාධ්‍යවේදියා එකිනෙකට වෙනස් වෙන්නේ අන්න ඒ කියන කාරණාවෙදියි. ජර්නලිස්ට් කියන්නේ එහෙමත් නැත්නම් මාධ්‍යවේදියා කියන්නේ තමන්ව කියවන පුද්ගලයාට සමබර පුවත් සපයන්නෙක්. එයාට පක්‍ෂග්‍රාහී විවේචන නැහැ. විවේචන තියෙන්න පුළුවන්. නමුත් ඒවා බොහොම සමබරයි. නිවැරදි මාධ්‍ය භාවිතාවක් ඒ පුද්ගලයා තුළ තියෙනවා. ලියන්න පුළුවන් වුණු පමණින් මේ කාරණා සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒකට හොඳ කියවීමත් තිබිය යුතුයි. 

  1. ඒ විදියේ සමබර පුවත් ඉදිරිපත් කිරීමේ ඉඩක් ලංකාවේ මාධ්‍ය ආයතන තුළ තියෙනවද?

මෙහෙමයි. ප්‍රවෘත්තියක් විකෘති කිරීම පහසු නැහැ. අද වෙද්දි මාධ්‍යවේදියෝ සෑහෙන ප්‍රමාණයක් මාධ්‍ය ක්‍ෂෙත්‍රයේ ඉන්නවා. ඒ අය බොහෝ දෙනා එකම ප්‍රවෘත්තිය වාර්ථා කරනවා. ඒ නිසා ආයතන ගණනාවක එකම ප්‍රවෘත්තියත් එක් ආයතනයක ඒ ප්‍රවෘත්තියේම විකෘතියක් පළවෙන්න හේතුවක් නැහැ. එහෙම වෙන්නෙ නැහැ. අද සමාජ මාධ්‍ය හුඟක් බලවත් වැරදි ප්‍රවෘත්තියක් පළවුණත් ඒ ගැන අදාල මාධ්‍ය ආයතනයට ප්‍රබල විවේචන සෘජු විවේචන එල්ල වෙනවා. ඒ නිසා කිසිම මාධ්‍ය ආයතනයක් ඒ අවදානම ගන්නේ නැහැ. 

  1. පොත් කියවීම හොඳ ලියන්නෙක් වෙන්න බලපාන සෘජු කාරණාවක් ද?

තමන් ලියන්නේ මොන භාෂාවෙන් ද අන්න ඒ භාෂාව හොඳින් හැදෑරීම ඉතාම අත්‍යාවශ්‍ය වෙනවා. ඒක තමයි හොඳ ලියන්නෙක් වීමේ ප්‍රධානම කාරණය. පොත් පත් කියවීම මඟින් තව දුරටත් දැනුම වර්ධනය වෙනවා. සමහර විට ලියන ලිපියට අවශ්‍ය තොරතුරු, උපුටා ගැනීම් ලබාදෙන්න පොතකට පුළුවන්. එයින් ලිපියේ ගුණාත්මකබව හා රසය වැඩි වෙනවා. පොතක් ඇතුලෙන් අපිට සෘජුව අත්විදින්න නොලැබෙන දේ ගැන දැනුම සහ අත්දැකීම් ලැබෙනවා. පොත් නොකියවන කෙනෙකුට හොඳ ජර්නලිස්ට් කෙනෙක් වෙන්න බැහැ. 

  1. ගොඩක් මිනිස්සු හිතනවා මාධ්‍යවේදියෙක් වීමෙන් තමන්ට අමුතු සිවිල් බලයක් ආරෝපණය වෙනවා කියලා. මේ කතාව මොනතතරම් දුරට සාධාරණ ද?

ඔව්, මාධ්‍ය ක්‍ෂෙත්‍රය ඇතුලේ සිවිල් බලයක් ගොඩනඟා ගත්තු මාධ්‍යවේදියෝ ඉන්නවා. ඒකට බලපාන්නේ ඒ අයගේ මාධ්‍ය භාවිතාව. එයින් ඔවුන් ගොඩනඟා ගන්නා සමාජ වපසරිය. මාධ්‍යවේදියෙකුට ජනතාව තුළ ගෞරවයක් ඇති කරගන්න අවශ්‍ය නම් ඒ මාධ්‍යවේදියා මාධ්‍ය ජීවිතයේ වගේම සාමාන්‍ය ජීවිතයේත් ගෞරවනීය පුද්ගලයෙක් විය යුතුයි. 

  1. කතෘ සංසදයේ නිර්මාතෘවරයා විදියට වගේම මාධ්‍ය සංගම් ගණනාවක ක්‍රියාකාරි මාධ්‍යවේදියෙක් විදියට වර්ථමාන මාධ්‍ය සංගම් ගැන ඔබේ අදහස මොකද්ද?

මාධ්‍ය සංගම් පිළිබඳ අවශ්‍යතාවය එන්නේ මාධ්‍ය පීඩනයට ලක්වෙද්දි. රජය තුළින් හෝ යුද්ධය තුළින් හෝ මාධ්‍ය මර්ධනය හිතාමතා සිදුවෙද්දි තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න මාධ්‍යට යාන්ත්‍රණයක් උවමනා වෙනවා. අන්න එතනදි තමයි ජනමාධ්‍ය සංගම් වැදගත් වෙන්නේ. ලෝකයේ ගත්තාම මාධ්‍ය සංගම් වර්ග දෙකක් තිබෙනවා. ඒ නිදහස වෙනුවෙන් සටන් කරන කොටස සහ මාධ්‍ය සුබසාධනය වෙනුවෙන් සටන් කරන කොටස. 

  1. අපි නිරන්තරයෙන් මාධ්‍ය නිදහස ගැන කතා කරනවා. ඔබ හිතන විදියට ලංකාවේ මාධ්‍ය නිදහසක් තියෙනවාද?

ඔය නිදහස කියන කාරණය කොතනද තියෙන්නේ කියන එක ප්‍රශ්නයක්. මාධ්‍ය හසුරවන්නේ කතෘ. ඒ මොහොතේ කතෘගේ මතය තමයි මාධ්‍ය විදියට එළියට එන්නේ. ඒ කතෘ ඇත්තටම පත්තරේ එඩිටර් වෙන්න පුළුවන්, මාධ්‍ය ආයතන හිමිකාරයා වෙන්න පුළුවන්, ඒ මාධ්‍ය ආයතනය පවත්වාගෙන යන්න සල්ලි වියදම් කරන ව්‍යාපාරිකයා හෝ දේශපාලකයා වෙන්නත් පුළුවන්. අන්න ඒ මත මාධ්‍ය නිදහස නිර්වචනය වෙනවා. 

  1. සදාචාරාත්මක විය යුත්තේ මාධ්‍ය ද එහෙමත් නැත්නම් මාධ්‍යවේදියා ද?

දෙකම. මාධ්‍යවේදියා සදාචාරාත්මක වෙනවා වගේම මාධ්‍ය සදාචාරාත්මක වීමත් විය යුත්තක්. මාධ්‍යට බැහැ වින්දිතයන්ගේ ඡායාරූප පළ කරන්න, චූදිතයන්ගේ තොරතුරු එළිකරන්න. යම් මාධ්‍යයක් යුද්ධය වාර්ථා කරනවා නම් අමු මළමිනි පෙන්නන්නත් පුළුවන්. කිසිම ඡායාරූපයක් නොපෙන්වා වුණත් ඒ මොහොත මිනිස්සුන්ට ගෙන එන්න පුළුවන්. උදාහරණයක් විදියට මගේ සංස්කරණයෙන් ප්‍රකාශයට පත්වෙන ආදරණීය අම්මි සඟරාවේ අපි “අංගවිකල දරුවන්” කියන වචනය පාවිච්චි කරන්නේ නැහැ. අන්න ඒකයි මාධ්‍ය සදාචාරය කියන්නේ. 

  1. මාධ්‍ය සදාචාරාත්මක වෙන්න නම් සදාචාරාත්මක මිනිස්සු මාධ්‍ය ක්‍ෂෙත්‍රයට පිවිසිය යුතුයි. ඒ සඳහා වර්ථමාන මාධ්‍යයේ වගකීම මොනවගේද

මිනිස්සුන්ව නිරන්තරයෙන් යහපත් දෙයින් යාවත්කාලීන කිරීම මාධ්‍යයේ වගකීමක් වෙනවා. ඒ වගකීම නිසි පරිදි සිදුවෙනවා නම් වගකීම් සහිත මිනිස්සු හදන්න පුළුවන්. ඒ වගේම කිවයුතු දේ සහ නොකිවයුතු දේ ගැන අවධානය යොමු කිරීමත් වැදගත්. ගොසිප් කියන්නේ ජනමාධ්‍ය නෙවෙයි. අපි ඕන තරම් මව්කිරි ගැන ආදරණීය අම්මි සඟරාව ඇතුළෙ කතා කරනවා. නමුත් පිටිකිරි ප්‍රවර්ධනය කරන්නේ නැහැ. මොකද මව්කිරි කියන්නේ අයිතියක්. පිටිකිරි කියන්නේ ව්‍යාපාරයක්. මුදලට විකිණෙන තැනක සදාචාරාත්මක මාධ්‍යවේදියෝ හදන්න බැහැ.

Top