කල්ලිවාදය තමයි නූතන කවීනට තියෙන ලොකුම අභියෝගය - ‍කිවියර අශෝක කුලතුංග

post-title

ඔහු නමින් අශෝක කුලතුංග. කවියෙක් ලෙසින් සමාජ මාධ්‍ය අවකාශය තුළ නිරන්තරව දක්නට ලැබෙන අශෝකගේ  කාව්‍ය කෘති දෙකක් මේ වන විට මුද්‍රණද්වාරයෙන් පිටව පවතිනවා. මෙයින් එකක් ‘’කරදාසි කුරුල්ලා” (2017) වන අතර අනෙක 2019 වසරේ  කළුතර දිස්‌ත්‍රික් ලේඛක සංවිධානය විසින් සංවිධානය කළ “පන්හිඳක අසිරිය” කාව්‍ය අත්පිටපත් තරගයේ සම්මානයට පාත්‍ර වූ  “දුරක ඉඳ සිඹිමි” කාව්‍ය කෘතියයි. ‘වචන’ වෙබ් අවකාශයේ අපි පසුගිය දවසක අශෝක කුලංතුංග සමග ඔහු හා ඔහුගේ නිර්මාණ පිළිබ‍‍ද  කළ සංවදායක් ඔබ වෙනුවෙන් මෙසේ මුදා හරිමු

01. ඔබ  කවිය අර්ථකතනය කර ගන්නේ කොහොම ද?

පෙර අපර දෙදිග සාහිත්‍යවේදීන් විසින් කවිය පිළිබඳ විවිධ නිර්වචන පළ කර තිබෙනවා. නමුදු මට කවිය යනු මීට පෙර මා කියවා රසවිඳ නැති යම් අපූර්වත්වයක් හෝ ප්‍රහර්ෂයක් සහිත කාව්‍ය නිර්මාණ යි. මා ද කාව්‍ය නිර්මාණකරණයේ නියැලෙන බැවින් එම නිර්මාණය මට නිර්මාණය කිරීමට නොහැකි වූයේ මන් දැ යි යන තෘෂ්ණාවක් මඳකට හෝ මනසට ප්‍රවිෂ්ට වන්නේ නම් ඒවා මා වඩාත් ආසක්ත කරන කාව්‍ය නිර්මාණ බව කිව යුතු යි. එය කවියට පමණක් නොව ගීතයට, වේදිකා නාට්‍යයට, ටෙලි නාට්‍යයට මෙන් ම සිනමාවට ද එලෙසම යි.

02. කවි ලියනවාද? ලියවෙනවා ද?

කවි ලියවෙනවා කියලා බොහෝ අය ප්‍රකාශ කළත් එය මට අනුව සාවද්‍ය යි. මම හිතනවා හොඳ නිර්මාණකරුවකුට එලෙස කවි ලියවෙන්න බැහැ. නමුත් කාව්‍ය නිර්මාණයක් කරා එළඹීමට යම් නිමිත්තක් ක්ෂණිකව මතු විය හැකි යි. එය තමයි පසුව කපා, කොටා, නැවත, නැවත සංස්කරණය කරමින් හොඳ නිර්මාණයක් බවට පත්කර ගන්නේ. මේ නිසා කොළයක් අරගෙන කිසිම වචනයක් හෝ සංස්කරණය නොකර යහපත් කාව්‍ය නිර්මාණයක් බිහිවෙනවනම් එය ඉතා ම අහඹුවක්. මේ නිසා නිර්මාණාත්මක කාව්‍ය නිර්මාණයක් කිරීමට පුළුල් වැඩ බිමක් අත්‍යාවශ්‍ය යි.

03. නූතනයේ බොහෝ කවීන්ගේ අනුභූති එකම තැනක හිරවෙලා. ඔබ කොහොමද අනුභූති සපයා ගන්නෙ? 

ඔබ ප්‍රකාශ කරන කාරණයට මම එකඟ යි. වර්තමානයේ බොහෝ කවි කිවිඳියන්ගේ අනුභූතීන් එක සමාන යි. එපමණක් නොව ඇතැම් කාව්‍ය කෘතිවල එකම අනුභූතිය විවිධ කෝණයන්ගෙන් රචනා කර ඇති අන්දම දක්නට ලැබෙනවා. එසේත් නැතිනම් පෙර කාව්‍ය සංග්‍රහයන්ගේ හෝ ප්‍රවීණයන්ගේ නිර්මාණ වෙනත් මානයන් ඔස්සේ නිර්මාණය කරනවා. එය සැබවින්ම කවියේ අනාගතයට ලොකු බලපෑමක් එල්ල කරනවා. නමුදු ඒ අතර ස්වීය ප්‍රතිභාවෙන් නිර්මාණ ක්‍ෂේත්‍රයේ නියැලෙන කවි කිවිඳියන් සිටින බව අනිවාර්යෙන්ම මතක් කළ යුතු යි. 


මම බොහෝ දුරට මාගේ නිර්මාණ සඳහා අනුභූති සොයා ගන්නේ මා තුළින්ම යි. මා දකින, අසන, කියවන හෝ අන් අයකු කියන ඇතැම් සිදුවීම්වල මට දැනෙන යම් කොටසක් තිබේ නම් එය මගේ යටි සිතේ රැදෙනවා. එය බොහෝ දුරට මා එම මොහොතේම ජංගම දුරකතනයේ සටහන් කර ගන්නවා. ඇතැම් අවස්ථාවල ගමනාගමනයේ යෙදී සිටින අතරතුර පවා සිතෙහි මතුවන නිමිති පසුව බොහොම සාර්ථක කාව්‍ය නිර්මාණ බවට පත් වෙලා තියෙනවා. අප අවට සමාජයේ පවතින ඉතා සුළු සිදුවීමක කොටසක් පවා නිර්මාණාත්මක නිර්මාණකරුවකුට යහපත් නිර්මාණයක් බිහිකරන්න ප්‍රමාණවත් කියල මම හිතනවා. 

04. ඔබේ කාව්‍යකරණයේ ගමන් මග ගැන කියමු ද?

මගේ කාව්‍ය ගමන් මග ගැන කියන්න ලොකු අතීතයක් ඇත්තටම නැහැ. මම සාහිත්‍ය ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ 2015 අග බාගයේ. ජාතික පුවත්පතක් ලෙසින් ලංකාදීප පුවත්පතේ නවරැල්ල විශේෂාංග තීරයේ තමයි මාගේ ප්‍රථම කාව්‍ය නිර්මාණය ජනගත වෙන්නේ. ඒ පියවරෙහි ඉදිරියට යමින් 2017 වර්ෂයේ ගොඩගේ ජාතික කාව්‍ය අත්පිටපත් තරගයේ ප්‍රශස්ත අත්පිටපතක් ලෙසින් මාගේ නිර්මාණ එකතුව තේරී පත් වෙනවා. එය “ඉගිල්ලෙන කරදහි කුරුල්ලා” නමින් ගොඩගේ ප්‍රකාශනයක් යටතේ මුද්‍රිත ව දොරට වඩිනවා. අනතුරුව ඔබ විසින් සංස්කරණය කළ ලක්බිම ‘එන් ජෙනරේෂන්’ විශේෂාංග පිටුවට මා රචනා කළ කාලීන සමාජ විෂයයන් පිළිබඳ බොහොමයක් ලිපි එක් කළා. අද දවස වන විට ලංකාවේ දැනට මුද්‍රණය වන සියලුම ජාතික පුවත්පත්වල හා දැනට මුද්‍රණය නොවන පුවත්පත්වල පවා මාගේ කාව්‍ය නිර්මාණ, සාහිත්‍ය විචාර පළ වී තිබීම සතුටක්. 2019  කළුතර දිස්‌ත්‍රික් ලේඛක සංවිධානය විසින් සංවිධානය කළ “පන්හිඳක අසිරිය” සම්මානය මගේ දෙවන කාව්‍ය අත්පිටපතට හිමිවෙනවා. එය  දෙවන කාව්‍ය සංග්‍රහය ලෙසින්  “දුරක ඉඳ සිඹිමි” නමින් සන්ථව ප්‍රකාශනයක් ලෙස ජනගත වුණා. 2019 අන්තර් රාජ්‍ය සේවා නිර්මාණ තරගාවලියේ ප්‍රශ්තම පද්‍ය රචනාව වෙනුවෙන් මාගේ කාව්‍ය නිර්මාණය සම්මානයට පාත්‍ර වෙනවා. ශ්‍රී ලාංකීය සංගීත ක්‍ෂේත්‍රයේ විශිෂ්ටයකුගේ චරිතාපදානය හා ඔහුගේ සංගීත භාවිතය පිළිබඳ මා කළ පර්යේෂණ කෘතියක් මේ වසරේ එළිදක්වන්නට සියලු කටයුතු සූදානමින් තිබුණත් රටේ පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් එය දෙවරක්ම කල් දමන්නට සිදු වුණා. ඉදිරි වසරේ තව තවත් අධ්‍යයනයෙන් යුතුව සාහිත්‍ය ක්‍ෂේත්‍රයට වඩාත් යහපත් දෙයක් කරන්නට බලාපොරොත්තුවෙන් සිටිනවා. 


විශේෂයෙන් සඳහන් කළ යුතුයි මේ ගමන් මගෙහි මූලික ම අඩිතාලම සකස්කළේ තිලක් පුෂ්පකුමාර ගුරු පියාණන්. අනතුරුව රත්න ශ්‍රී විජේසිංහ, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, තිඹිරියාගම බණ්ඩාර, වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි, ජයසිරි අලවත්ත, රවී සිරිවර්ධන, චූලානන්ද සමරනායක, නන්දන වීරසිංහ, සුමුදු චතුරාණි, තනුජා එන් අයගම වැනි බොහෝ සාහිත්‍යවේදීන්ගේ ආලෝකය ලැබුණා. පුවත්පත් සංස්කාරක මහත්ම මහත්මීන්, මුහුණු පොතේ මිතුරු මිතුරියන් හා පවුලේ සාමාජිකයන්ගෙන් මේ ගමනට ලොකු ආශීර්වාදයක් දැනටත් ලැබෙනවා. නම් වශයෙන් මේ මොහොතේ සඳහන් නොකළත් ඒ හැමදෙනා වෙනුවෙන්ම මේ හදවතේ ලොකු භක්තියක් තියෙනවා. 

05. නූතනයේ කවීන්ට තියෙන ප්‍රභලම බාධක ලෙස ඔබ දකින්නේ මොනවාද?

තාක්ෂණයේ දියුණුවත් සමඟින් අතීතයට වඩා නිර්මාණකරුවන්ගේ නිර්මාණ ජනගත කරන්න අවස්ථාව උදාවෙලා තියෙනවා. ඒක බොහොම සුබවාදී පියවරක්. නමුත් පෙර සිට ම පැවත එන කල්ලි වාදය අදත් දක්නට ලැබීම කනගාටුවක්. තමන්ට පක්ෂපාති නිර්මාණකරුවන්ගේ නිර්මාණ ඉහළට ඔසවන බහුතරයක් ප්‍රවීණයන් අතර ආධුනික, ප්‍රවීණ භේදයකින් තොර ව සැමට අතහිත දෙන ප්‍රවීණ සාහිත්‍යවේදීන් ඉතා අතලොස්සක් සිටීම වාසනාවක් හැටියට මම දකිනවා. බොහෝ මාධ්‍යයන්වල පවා දැන හැදුනුම්කමට මුල් තැන ලැබෙන අවස්ථා වැඩි අතර නිර්මාණ අධ්‍යයනයකින් යුතුව හොඳ නිර්මාණකරුවකුට ලැබෙන අවස්ථාවන් හිඟයි. නමුත් නිවැරදි අවබෝධයකින් නිවැරදි දෙයක් කරන අයකුට නිවැරදි තැනක් කවදා හෝ දිනක ලැබේයැයි මම විශ්වාස කරනවා. ඒ නිසා කිසිකෙනෙකුට ගැති නොවී තම ආත්ම අභිමානයෙන් ස්වීය නිර්මාණවල නිරතවන්න කියලා හැම නිර්මාණකරුවකුගෙන් ම මම ඉල්ලා සිටිනවා. 


අනෙක් අතට මා දකින තවත් ප්‍රබල බාධකයක් කවි කිවිඳියන් විසින් ම නිර්මාණය කරගන්නවා. ප්‍රතිභාව තිබුණත් අද බහුතරයක් ව්‍යුත්පත්තිය හා සතතාභ්‍යාසයෙන් මිඳිලා. වර්තමානය වන විට වසරකට මුද්‍රිත ව නිකුත්වන කවි පොත් ගණන දෙසීයකට අධික යි. නමුත් ඒවායෙන් බොහොමයක් තව තවත් සංස්කරණය කළ හැකි තව තවත් සංස්කරණය විය යුතු නිර්මාණ අන්තර්ගත කෘතීන් වීම අවාසනාවක්. කවියකුට තිබිය යුතු විශේෂම ගුණාංගය ඉවසීම යි. නූතන ම කවීන් බොහොමයකගේ මේ ගුණාංග නොමැති වීම ඔවුනගේ ඉදිරි ගමනට බාධාවක් කියා මම සිතනවා.

06. කවිය සමාජ මෙහෙවර උදෙසා භාවිත කළයුතුයි යන අදහස ගැන ඔබ හිතන්නෙ මොකද්ද?

කවිය සමාජ මෙහෙවර උදෙසා භාවිත කළ හැකි නම් එය සමාජය වෙනුවෙන් කළ හැකි යහපත් ම කටයුත්තක්. එසේ සිදු කළ සාහිත්‍යවේදීන් ඕනෑ තරම් අපේ රටෙත් හිටියා. එයට හොඳම උදාහරණය ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි. විදේශීය රටවල ධනවාදී සමාජ ක්‍රම වෙනස් කරන්න සාහිත්‍යයට හැකි වුණා. මම විශ්වාස කරනවා  අපි ලියන හැම කවියක ම අංශු මාත්‍රයක හෝ සමාජ මෙහෙවර උදෙසා වෙන්වුණ තැනක් තියෙනවා. සාමාජික, ආර්ථික, සංස්කෘතික හා දේශපාලනික කාව්‍ය නිර්මාණවල මෙය බොහෝ දුරට දක්නට ලැබෙනවා. ආදරය, විරහව, විවාහය, මරණය වැනි අනුභූතිවල පවා මම මේ දේ දකිනවා. ඒ අත්දැකීම ලබපු කෙනාට අපි නොසිතනා විදියට එවැනි නිර්මාණ මඟින් සහනයක් ලැබෙන්නට පුළුවන්. උදාහරණයකට අපි හිතමු ආදරයෙන් වෙන්වුණ අයෙක් විරහව දැනෙන කවියක් කියවනවා. එය කියවීමෙන් ඔහු හෝ ඇය තමන්ගේ අතීතය පිළිබඳව ආවර්ජනය කරමින් මඳකට හිත සනසා ගන්නවා. අපරාධයකට නොයා කවියක් රසවිඳීමෙන් දුක තුනී කරගැනීමට ලැබීමත් මම දකින්නේ එක් අතකින් නිර්මාණකරුවා සිදුකරන සමාජ මෙහෙවරක්. එලෙසින් ම ආදරය විඳින අයකුට ප්‍රේමනීය කවියකින් සහනයක් ලැබෙනවා. පරිසරය ගැන උනන්දු වන අයකුට සොබා සෞන්දර්යාත්මක කවක් විඳිය හැකි ය. මේ සෑම නිර්මාණයකින් ම සුළු වශයෙන් හෝ වන්නේ සමාජ මෙහෙවරකි. නමුත් නිර්මාණකරුවකු අනිවාර්යෙන්ම සමාජ මෙහෙවර උදෙසා කවි ලිවිය යුතුයි කියා අපට රාමුවකට සිර කරන්න බැහැ.   

 

 

Top