පවත්නා සිද්ධාන්ත වෙනුවට බැටරි තාක්ෂණයට අලුත් සිද්ධාන්ත ගෙනෙන්නට වෙර දරන ලාංකික තරුණයා (237 වන ලිපිය)

post-title

01. ඉතින් අපි මුලින් ම කතා කරමු ඔබේ ජීවිතයේ මුල් පරිච්ඡේදය, ගම, ළමා කාලය හා පාසල් අධ්‍යාපනය ගැන විස්තර ටිකක්

මගේ නම විදිත සාරස සමරකෝන්. මගේ ගම පොල්ගහවෙල. මා මුලික අධ්‍යාපනය ලැබුවේ පොල්ගහවෙල ශාන්ත බර්නදෙත් ආදර්ශ මහා විද්‍යාලයෙන්. පහ වසර ශිෂ්‍යත්වයෙන් පස්සෙ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයට ඇතුළත් වෙලා උසස් පෙළ අවසන් වෙන තෙක් ඉගනුම ලැබුවා. 2010 වසරේ උසස් පෙළ විභාගයෙන් ගණිත අංශයෙන් දිවයිනේ 15 වෙනි ස්ථානය (ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රථම ස්ථානය) ලබාගෙන මොරටුව විශ්ව විද්‍යාලයේ රසායන සහ ක්‍රියාවලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවට ඇතුළත් වෙනවා. මගෙ ළමා කාලය ගැන කියනව නම් සුන්දර මතකයන් ගොඩක් තියෙනව. ඒ වගෙ සුන්දර ළමා කාලයක් ලබා දුන්න එක ගැන මා මගේ දෙමව්පියන්ට ගරු කරනව. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක් නැති ළමා කාලයක් අපිට තිබ්බා. අවුරුද්දට පුංචි පහේ අවුරුදු උත්සව තිබ්බ හැටි, වෙසක් එකට ඔයවල් ගානෙ ගිහින් උන බට කපල වෙසක් කූඩු හදපු හැටි, මේ ඔක්කොම මතක් වෙද්දි ඇහැට කදුළක් එනවා. අද ළමයින්ට ඒ වගේ ළමා කාලයක් නැහැ.

02. ඔබ දැන් වැඩි දුර අධ්‍යාපනය ලබන විෂය ක්ෂේත්‍රය ගැන දැන ගන්න අපි කැමතියි

මා මගේ ආචාර්ය උපාධිය සඳහා ඇමෙරිකාවේ Oregon State university හි රසායන ඉංජිනේරු දෙපාර්තමේන්තුවට ඇතුළත් වෙනවා 2017 සැප්තැම්බර් වල. දෙවෙනි වසර අවසානයෙ තරගකාරී ශිෂ්‍යත්වයක් (Graduate Fellowship) මා දිනා ගන්නවා. ඒ යටතේ දැනට මම අමෙරිකාවෙ ජාතික විද්‍යාගාර (National laboratories) 17න් එකක් වන Pacific Northwest National Laboratory එකේ Environmental Molecular Science Laboratory හි Graduate fellow කෙනෙක් ලෙස කටයුතු කරනවා. මගේ විෂය ක්ෂේත්‍රය වන්නෙ දැනට වැඩි වශයෙන් අවධානයට පත් වෙලා තියෙන බහුකාර්‍ය ඔක්සයිඩ සංයෝග (Functional oxide materials) සම්බන්ධයෙන් මූලික අන්දමේ අධ්‍යයනයන් සිදු කර (fundamental studies) ඒවායේ පරමාණුක මට්ටමෙ (Atomistic level) අයන සහ ස්කන්ධ හුවමාරුව (Charge and mass transfer) ගැන පර්යේෂණය කිරීම. මේ පර්යේෂණ සඳහා මා ඉතා සියුම් nanometer ප්‍රමාණයෙ ෆිල්ම්ස් (Epitaxial thin films) තමයි යොදා ගන්නෙ. ඒ මගින් මට පුළුවන් හරියට LEGO සෙට් එකක වගේ මට වුවමනා විදිහට පරමාණු එකක් උඩ එකක් වෙන විදිහට හදන්න. ඉතින් මේ යටතේ මගෙ වැඩි අවධානයක් යොමු වෙලා තියෙන්නෙ ශක්තිය ගබඩා කිරීම (Energy storage) ගැන. ඒ යටතෙ මම ලිතියම් අයන බැටරි සම්බන්ධයෙන් හදාරනවා. මගේ අරමුණ දැනට බහුලව භාවිත වන ද්‍රවමය විද්‍යුත් ද්‍රාවණ (Liquid electrolyte) සහිත ලිතියම් අයන බැටරි වෙනුවට සම්පූර්ණයෙන්ම ඝන (Solid-state) බැටරි නිෂ්පාදනය සඳහා වැදගත් වෙන මූලික අන්දමේ පර්යේෂණ (Fundamental studies) සිදු කරන එක. ඒ මගින් දැනට තියෙන ගොඩක් අභියෝග වලට විසඳුම් හොයන්න පිටිවහලක් වෙනවා.

03. මේ වගේ පර්යේෂණාත්මක හැදෑරීමක් කරන්න ලංකාවෙ පහසුකම් නැති නිසා ද ඔබ පිටරට විශ්වවිද්‍යාලයක් හා සම්බන්ධ වෙන්නෙ 

පැහැදිලිවම ඒක තමයි හේතුව. මගෙ පර්යේෂණ ගොඩක් පරමාණුක මට්ටමේ තියෙන නිසා බොහෝ විට යොදාගන්නා ක්‍රමවේදයන් (Characterization techniques) ඉතා සියුම්. උදාහරණයක් ලෙස මා නිතරම ඉතා ඉහල තීව්‍රතාවක් (Intensity) ඇති X-ray යොදාගන්නව. ඒ සදහාම වෙන් වු විද්‍යාගාර තියෙනව Synchrotrons කියල. ඒවට අමතරව තව ගොඩක් පර්යේෂණ මෙවලම් තියෙනවා ලංකාව වගේ රටක නැති. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ අපේ රටේ ඉදන් මේ වගේ පර්යේෂණ කරන්න බෑ කියල. අපිට හැමවෙලේම පුලුවන් collaborations හදාගන්න. ඒකෙ මුලික පියවර තමයි මේ. 

04. ලංකාවෙ බුද්ධි ගලනය ගැන ඔබගේ අදහස මොන වගේ එකක් ද?

මම හිතන්නෙ ඒකෙ දෙපැත්තක් තියෙනවා. එක පැත්තක් තමයි නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ඵල නෙලාගෙන, උපන් රට දාල වෙන රටකට යන එක වැරදි දෙයක් කියන එක. අනිත් පැත්ත තමයි අපේ රටේ දැනුමට සරිලන වටුපක්, ජීවන මට්ටමක් නැති නිසා වෙන රටකට යන්නම වෙනවා කියන එක. එහෙම අය කියන තවත් කතවක් තමයි රටෙන් පිටට ගියත් රට ගැන හොයල බලනව කියන එක. මගේ පෞද්ගලික මතය නම් බුද්ධිගලනය කියන්නෙ අපේ රටට ලොකු පාඩුවක්. හැබැයි ඒක නවත්තන්න නම් ඒකට හේතු හොයගෙන ඒ හේතු නැති කරන්න ඕනෙ. උදාහරණයක් විදියට කිව්වොත් අපි යැපුම් ආර්ථිකයෙන් නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕනෙ. ඒත් එක්කම විද්‍යාත්මක පර්යේෂණ සඳහා වැඩි අවධානයක් දෙන්න ඕනෙ. SLINTEC වගෙ ආයතන වැඩි වැඩියෙන් බිහිවෙන්න ඕනෙ. ලෝකෙ පුරා තියෙන නම් දරන විශ්වවිද්‍යාල, විද්‍යාගාර එක්ක collaboration හැදෙන්න ඕනෙ. දැනුම, තාක්ෂණය කේන්ද්‍ර වුනු ජාතික ප්‍රතිපත්තියක් රටේ ඇතිවෙන්න ඕනෙ. එතකොට බුද්ධි ගලනය ඉබේම නවතිවි.

05. ඔබ ආපසු ලංකාවට එන්න අදහස් කරනවාද? ඊට පස්සෙ උගත් දේ සහ දැනුම සම්බන්ධව ජීවිතේ මොන වගේ සැලසුමක් ද ඔබට තියෙන්නෙ

ඔව් මට ලංකාවට එන්න බලාපොරොත්තුවක් තියෙනවා. මා උගත් දෙයින් රටට උපරිම දෙයක් දෙන එක තමයි මගෙ අරමුණ. අපේ රටේ දේශපාලනය ගැන මගේ හිතේ එන්න එන්නම පිළිකුළ වැඩි වුනත් මා විශ්වාස කරනවා අපේ රටේ විද්‍යාත්මක පර්යේෂණ සම්බන්දයෙන් හොද වටපිටාවක් නිර්මාණය වෙන්න ඕනෙ කියලා. මගේ වැඩි කැමැත්තක් තියෙන්නෙ නම් පර්යේෂණ විද්‍යාඥයෙක් (Research scientist) කෙනෙක් වශයෙන් කටයුතු කරන්න. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරන්නත් කැමත්තක් තියෙනවා. බලමු මොකද වෙන්නෙ කියල.

06. අපි කැමතියි ලංකාවේ පාසල් අධ්‍යාපන ක්‍රමය ගැන ඔබගෙන් යම් අදහසක් විමසන්න

නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ඵල නෙළාගත් කෙනෙක් විදිහට මා සදා කල් එයට ගරු කරනවා. හැබැයි අපේ රටේ දැනට තියෙන අධ්‍යාපන ක්‍රමයෙ අඩුපාඩු නැතුවම නෙවෙයි. උදාහරණයක් විදියට දරුවන්ගෙ වටිනා කාලය අපතේ යවන ඇතැම් ක්‍රියා නවත්තන්න ඕනෙ. උසස් පෙළ විභාගය 12 වසර අවසානයෙ පවත්වන්න පුලුවන්. 13 වසරක් ඕනෙම නැහැ. ලෝකෙ අනිත් හැම රටකම විශ්වවිද්‍යාලයෙ පළමු වසරේ උගන්නන ඇතැම් විෂය කරුණු අපට උසස් පෙළ කාලයේ උගන්වනවා. ඒකෙන් ඇති වැඩක් නැහැ. ඒ වගේම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසාන කරල ප්‍රතිඵල එනකන් අවුරුද්දකට වඩා අපිට බලන් ඉන්න වෙනවා. ඒ කාලසීමා අඩු කරන්න ඕනෙ. ඒ වගේම දක්ෂතාව තියෙන දරුවන්ට ඉඩ දෙන්න ඕනෙ වසරක් හෝ දෙකක් මග හැර ඉහළ ශ්‍රේණි වලට මාරු වෙන්න. මට මතක හැටියට මේ ක්‍රමය අපේ රටේ තිබ්බා කලකට පෙර. මේ දේවල් කළොත් අවුරුදු 24-25 වෙනුවට අවුරුදු 21-22 වෙනකොට උපාධිය ගන්න පුළුවන් තත්වයක් උදාවේවි,ලෝකෙ අනිත් රටවල් වල වගේ ම.

07. ඔබේ පර්යේෂණ අනාගත ලෝකයට වැදගත් වෙන්නෙ මොන වගේ ද?

කලින් කිව්ව වගේම මගේ වැඩි අවධානයක් යොමුවෙලා තියෙන්නෙ ඝනමය ලිතියම් අයන බැටරි (Solid-state Li-ion batteries) සම්බන්ධයෙන් මූලික අන්දමේ පර්යේෂණ සිදු කරන එක. දැනට භාවිත වන ලිතියම් අයන බැටරි වල තියෙන ලොකු ම අවාසියක් තමයි ද්‍රවමය කාබනික විද්‍යුත් ද්‍රාවනය (Liquid organic electrolyte) තාප සංවේදි වීම සහ පුපුරනසුලු වීම. Note 7 එකට උන දේ මතක් කර ගන්නකො. ඒ වගේම ඒකක පරිමාවක අඩංගු ශක්තියත් (Energy density) පෙට්‍රල්, ඩීසල් වගේ ෆොසිල ඉන්ධන සමග සසඳන කල ඉතා අඩුයි. මෙය ෆොසිල ඉන්ධනවලින් තොර පරිසර හිතකාමී, සූර්‍ය ශක්තිය, සුළං බලය වැනි සුනිත්‍ය බලශක්ති ප්‍රභවයන් (Renewable energy sources) ප්‍රචලිත කිරීමට දැඩි අභියෝගයක් එල්ල කරනවා. ඉතින් මේ ද්‍රවමය විද්‍යුත් ද්‍රාවණ වෙනුවට ඝනයක් යොදා ගත්තොත් (Solid electrolyte) ඔය ප්‍රශ්න දෙකට පිළිතුරු ලැබෙනවා. හැබැයි අපි හිතන තරම් ඒක ලෙහෙසි නැහැ. අපි හැමෝම දන්න දෙයක් තමයි ලුණු වතුර විද්‍යුතය සන්නයනය කලත් ලුණු කැටයකින් ඒ දේ වෙන්නෙ නැහැ. ඒකට හේතුව ලුණු කැටයක අයන වල චලිතභාවය (Ionic mobility) ලුණු වතුරට සාපේක්ෂව ඉතා අඩු වීම. ඉතින් මේ ප්‍රශ්නෙ ලිතියම් අයන බැටරි වලටත් අදාළයි. ඊට අමතරව සම්පුර්ණයෙන්ම ඝනමය බැටරියක ඉලෙක්ට්‍රොඩ (Electrode) සහ ඝනමය ඉලෙක්ට්‍රොලයිටය (Solid electrolyte) අතර මුහුනත (Interface) ඉතා අස්ථාවර වෙන්න පුළුවන්. මගේ අරමුණ තමයි මේ දුර්වලතා වලට හේතුව සහ විසඳුම් සොයාගන්න එක. මේ සියලු සං‍යෝග සැදිලා තියෙන්නේ පරමාණු වලින් නිසා පරමාණුක මට්ටමේ පර්යේෂණ වලින් පමණයි අපට ඒ ඒ සං‍යෝගයන්ට අනන්‍ය වූ (Intrinsic) ලාක්ෂණික ගුණාංග සහ ක්‍රියාදාම (Properties and mechanisms) හරියටම අධ්‍යයනය කරන්න පුළුවන් වෙන්නේ. ඒක හරියට පිළිකාව වගේ ලෙඩක් හැදෙන්න හේතු සහ එම රෝගය සුව කරන ක්‍රම හොයන්න ජීවයේ මූලික තැනුම් ඒකකය වන DNA සහ ජාන පිළිබඳ අධ්‍යයනය කරනවා වගේ ම තමයි. ඉතින් මම හිතනවා මේ සොයා ගැනීම් වලින් ඉදිරියේදි සාර්ථක ලෙස මෙවැනි ඝනමය Li-ion battery හදන්න උදව්වක් වේවි කියලා. 

08. විද්‍යා පර්යේෂණ කරන ඔබ සංගීතය සම්බන්ධවත් දක්ෂතා පෙන්වනවා නේද? මේ දෙක කොහොම ද බැලන්ස් කර ගන්නෙ

ඉතා කුඩා කාලෙ ඉදන් මා සංගීතයට ඇල්මක් හැකියාවක් දැක්වූවා. මම හිතන්නෙ ඒක මට සහජයෙන් ආපු හැකියාවක්. පාසල් කාලයෙදි පමණක් නෙවෙයි විශ්ව විද්‍යාලයෙදි පවා මම සංගීත කටයුතු වලට සහභාගි වුනා. මොරටුව විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය සංගීත සංසදය මගින් වාර්ෂිකව පවත්වන ‍යාත්‍රා ප්‍රසංගයේ 2012 සහ 2013 වසරයන්හි කීබෝඩ් වාදනයෙන් දායක වුනා. ඊට අමතරව මගේ දෙපාර්තමේන්තුව වන රසායන සහ ක්‍රියාවලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවෙ (Chemical and process engineering) 2011 බැච් එකේ ඔක්කොම එක්ක එකතු වෙලා ‍යායෙ පැදුර කියන සංගීත වැඩසටහන කළා. ඒ වගේම අනෙකුත් දෙපාර්තමේන්තු වල සංගීත වැඩසටහන් වලටත් දායක වුනා පුලුවන් විදිහට. ඒ වගෙම මතක් කරන්න ඕනෙ මම 2013 වසරෙදි මගේම ස්වතන්ත්‍ර ගීයක් නිර්මාණය කලා , “සද සාවියේ” කියල. ඒක දැනුත් ‍ Youtube එකේ තියෙනව. ඒ සඳහා මට පද රචනයෙන්, සංගීතය සැපයීමෙන් සහ නන් අයුරින් සහයෝගය දුන් සියලුදෙනාම මා මේ වෙලාවෙ මතක් කරන්න කැමතියි. මම ශ්‍රාස්ත්‍රීය වශයෙන් සංගීතය හදාරල නැහැ. මම සංගීතය යොදාගන්නෙ විනෝදාංශයක් ලෙස. ඒ නිසා මට මගේ අධ්‍යාපන කටයුතු වලට බාදාවක් උනේ නැහැ. අදටත් මම ආචාර්ය උපාධිය හදාරන සිසුවෙක් විදිහටත් මගෙ මානසික ආතතිය නැති කරගන්නෙ සංගීතයෙන් තමයි.

09. අපිට ඔබ ගැන කතා කරද්දි දැන ගන්න ලැබුනා උඩවලව ඇත් අතුරු සෙවණෙ අලි එක්ක ගැට ගැහුණු බැදීමක් ගැන. අපි කැමතියි ඒ ගැන දැන ගන්න

ඒකට මග පෑදුනෙ මෙහෙමයි. වරක් මම උඩවලව ඇත් අතුරු සෙවණ බලන්න ගියාම මට දැනගන්න ලැබුන එහෙ ඉන්න අලි පැටවුන්ට බොන්න දෙන කිරි සංග්‍රහ මාසිකව ඉතා අධික වියදමක් යන බව සහ ඒ සඳහා අපට අනුග්‍රහය දක්වන්න පුළුවන් කියන එක. ඉතින් මම එදා ඉදන් මාසිකව එක අලි පැටියෙක්ගෙ මාසික කිරි සදහා යන වියදම ලබා දෙනව. මම හිතන්නෙ අලි කියන්නෙ අපෙ රටට සම්පතක්. සංස්කෘතිකමය වශයෙන් පමණක් නොව සංචාරක ක්ෂේත්‍රයෙදි උනත් අපෙ රටට විශාල විදේශ විනිමයක් උපයල දෙන සතෙක්. අපි හැමෝම අපිට පුලුවන් මට්ටමෙන් මේ සත්තු අරක්ෂා කරගන්න ඕනෙ. 

10. ඔබ වගේ වෙන්න උත්සහ කරන අය වෙනුවෙන් ඔබට දෙන්න තියෙන අදහස් මොනවාද

මුලින් ම කියන්න තියෙන්නේ ඉගෙන ගන්න ඕනෙ කාලෙ හොදින් ඉගෙන ගන්න ඉලක්කයක් ඇතුව. පොතට පතට විතරක් සීමා වෙන්නෙ නැතුව ලෝකෙ වෙන හැම දෙයක් ගැනම අවධානයෙන් ඉන්න. අද ඒක ගොඩක් ලේසි තාක්ෂණයෙ දියුණුව නිසා. ආපහු හැරිල බලද්දි පසුතැවෙන්න වෙන කිසිම දෙයක් කරන්න එපා. මොකද අපිට කවදාවත් අතීතය වෙනස් කරන්න බැහැ. ඒ වගේම සමහර වෙලාවට තීරණ ගද්දි හැගීම් වලට වහල් නොවී අනගතය දිහා බලලා තීරණ ගන්න. දෙමව්පියන්ට, ගුරුවරුන්ට පුලුවන් උපරිමයෙන් ගරු කරන්න, සලකන්න. මොකද ඔබේ හැම අභියෝගයක්ම පසුපස ඒ අයගෙ ආශිර්වාදය සෙවණැල්ලක් වගේ එනවා. අවසාන වශයෙන් ඔබ අදහන ආගම අනුව ඔබේ ජීවිත හැකිතාක් හඩගස්වාගන්න. ඒ ආශිර්වාදයත් ඔබේ සාර්තකත්වයට ඉතාමත් වැදගත්.




Top