වත්මන් ආර්ථිකයත් සමග ලාංකේය ජනතාවගේ මානසික ආතතිය (769)

post-title

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරා මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙනි

මේ යන විදිහට හෙට අනිද්දට මොනව වෙයිද

තවදුරටත් මේ තත්වය පැවතුනොත් ඝාතන සංස්කෘතියක් පවා ඇති වෙන්නට පුළුවන්.” 

මනුෂ්‍යයෙකුට ජීවත් වීමට අවශ්‍යම සාධක අතුරින් මානසික සෞඛ්‍ය කියන්නේ ඉතා වැදගත් ස්ථානයක පවතින සාධකයක්. ඊට හේතුව මානසික සෞඛ්‍ය බිඳ වැටුණු තැන එය මනුෂ්‍යයෙකුගේ සමස්ත ජීවන පද්ධතියම අඩාල වීමට බලපාන ප්‍රබල හේතු සාධකයක් වන නිසයි. එබැවින් වර්තමානයේ පවතින ආර්ථික අවපාත තත්වයත් සමග වත්මන් ලාංකේය ජනතාවගේ මානසික තත්වය සහ ඒ තුළින් පැන නැගී ඇති මානසික ආතති තත්වයන් පිළිබඳව දැනුවත් වීම වැදගත් වෙනවා. ඒ සඳහා අපිත් සමග එකතු වෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරා මැතිතුමයි. මේ එතුමන් වත්මන් ආර්ථික තත්වයත් සමග රටේ ජනතාව තුළ හටගෙන තිබෙන මානසික ආතති තත්වයන් පිළිබඳව අපිත් සමග බෙදා ගත් අදහසයි.

“ඇත්තෙන්ම වර්තමානයේ රටේ පවතින තත්වයත් සමග මිනිසුන්ට අවම ජීවිතයක් ගත කිරීමේ අවකාශය අහිමි වෙලා තියෙනවා. දැන් අපි සරල ජීවිතයක් කියන්නේ මූලිකම අවශ්‍යතා සපුරා ගත හැකි ජීවිතයක්. ඒත් අද වෙනකොට ඒ සරල ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව පවා මිනිසුන්ට අහිමි වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ලංකාවේ බොහෝ දෙනෙක් සුඛෝපභෝගී ජීවිත ගත කරලා තියෙනවා. නමුත් දැන් පවතින ආර්ථිකය අනුව මිනිසුන් ගත කළ ජීවිතය තුළ යම් විපර්යාසයන් සිද්ධ වීම නිසා යම් මානසික අසමතුලිතතාවන්ට බොහෝදෙනෙක් පත් වෙලා තියෙනවා. 

මිනිසුන්ගේ මානසික සෞඛ්‍ය කතා කරන්නේ සෞඛ්‍ය මනෝ විද්‍යාවෙන්. මේ සෞඛ්‍ය කායික, මානසික, අධ්‍යාත්මික, ආවේගාත්මක කියලා බෙදෙනවා. එතකොට අද වෙනකොට මේ ආවේගාත්මක සෞඛ්‍ය (Emotioíl Health) බිඳ වැටිලා. ඉතින් මේ තත්වයේ උපරිමය තමයි අද සමාජයෙන් වාර්තාවෙන්නේ. උදාහරණයක් විදිහට ඇමති කෙනෙකුගේ රියදුරෙක් මරා දැමීම, ඇමතිවරයෙකුට ගෑස් සිලින්ඩරයකින් පහර දීම, තෙල් පෝලිවම්ලදී නොසන්සුන්කාරී ලෙසින් හැසිරීම වගේ දේවල් අද සමාජයෙන් වාර්තා වෙනවා. එතකොට අද සමාජයේ මිනිස්සු දවසින් දවස ප්‍රචණඩ තත්වයකට පත් වෙනවා. තමන්ගේ කෝපය වේදනාව කළමනාකරණය කර ගන්න බැරි තැනට මිනිස්සු අද පත් වෙලා තියෙනවා. ඉතින් මේ චිත්තවේගී සෞඛ්‍ය බිඳ වැටිලා තියෙන්නේ අද රට තුළ ජීවත්වීමට සටනක් පවතින නිසා. ජීවත් වෙන්න ක්‍රමයක් නැති වෙනකොට මිනිසුන් ප්‍රචණ්ඩ වෙනවා. ඒ ප්‍රචණ්ඩත්වය තුළ තමයි අද මිනිසුන් ජීවත් වෙන්නේ. එතකොට මිනිසාගේ සමස්ත සෞඛ්‍ය පද්ධතියම බිඳ වැටෙනවා. එතකොට මේක අද සමාජයේ මිනිසුන් ආතතියෙනි් ජීවත් වෙන බවට පෙන්වලා දෙන්න පුළුවන් හොඳම උදාහරණයක්. එතකොට මේ තත්වය තවදුරටත් බලපැවැත් වුණොත් මේ රට තුළ ඝාතන සංස්කෘතියක් පවා ඇති වෙන්න පුළුවන්. සොරකම්, අපරාධ මේ දේවල් වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් මානසික සෞඛ්‍ය තුළ යම් අසමතුලිතතාවන් සිදු වුණාම මිනිසුන් තුළ පවතින මේ ආතතියට බලපාන ප්‍රධානතම හේතු සාධක අතුරින් ආර්ථික සාධක මේ වෙනකොට ප්‍රබල ලෙසින්ම බලපාල තියෙනවා. 

ඒ වගේම පසුගිය වසර දෙකක කාලයක් පුරාවට මුළු ලෝකයේම මිනිසුන්ගේ කායික සෞඛ්‍ය බිඳ වැටිලා තිබුණා. කොවිඩ් වසංගතය නිසා නිවෙස්වලට වී ජනතාව හුදෙකලා ජීවිත ගත කළා. ඉතින් ඒ තත්වය පහවෙලා යනකොට මේ රටේ විශාල ආර්ථික උද්ධමනයක්, ආර්ථික අවපාතයක් සීඝ්‍රයෙන් ඇති වෙන්න පටන් ගත්තා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට අද මිනිසුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ පවා හිඟවෙලා තියෙනවා. ජනතාවට තියෙන බලාපොරොත්තු අහිමි වෙලා තියෙනවා. තමන් කරගෙන ආව රැකියා අහිමි වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට රටේ පවතින ඉන්ධන අර්බුදය නිසා බොහෝ රියැදුරු රැකියා කළ පුද්ගලයින්ට තමන්ගේ රැකියාව පවා අහිමි වන තත්වයකට පත් වෙලා තියෙනවා. එතකොට ඒ අයගේ දරුවන්ට අධ්‍යාපනයක්වත් ලබා දෙන්නට නොහැකි තත්වයකට ඒ පුද්ගලයින් පත් වෙලා තියෙනවා. ඒ වගේම එදිනෙදා රැකියා කරන පුද්ගලයින් මේ පවතින ආර්ථික තත්වය යටතේ බොහොම පීඩනයකට ලක් වෙලා තියෙන බව පෙනෙනවා. එතකොට තමන්ගේ රැකියා අහිමි වෙනවා කියන්නෙම ජීවන රටාවේ සිදු වන විපර්යාසයක්. මේ විදිහට ජීවන රටාව නොසිතූ විදිහට වෙනස් වුණාම මේ ජනතාවට ඒක දරාගන්නට අපහසු වෙනවා. එතකොට මේ ආතතිය සහ ඒ ආතතියට මුහුණදීම කියන අවස්ථාවලදී මිනිසුන්ට ඒ ආතතිය බලපෑවාට ඒකට මුහුණ දෙන්නට හැකියාවක් නොමැති වෙනවා. උදාහරණයක් විදිහට මේ පෝලිම් යුගය ලංකා ඉතිහාසයේ 1975 වගේ කාලයේදීත් පැවතුනා. ඒත් ඒ යුගයේදී මිනිසුන් සුඛෝපභෝගී ජීවිත ගත කරලා පෝලිම්වල හිටියේ නැහැ. ඒත් දැන් මිනිසුන්ට මේ සුඛවිහරණ ලබලා තමයි පෝලිම්වල ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මධ්‍යම පාන්තිකයින්ට මුදල් තිබුණත් ඔවුන්ට අවශ්‍ය බඩුභාණ්ඩාහිරාදිය හිඟ වෙලා තියෙනවා. ඒත් පීඩිත පන්තියේ ජනතාවට මුදල් වගේම බඩුභාණ්ඩ යන සියළු දේ හිඟ වෙලා තියෙනවා. අවසානයේදී මේ සියළු දෙනාට වෙවරය, ක්‍රෝධය, පළිගැනීම කියන මනෝභාවයන් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ දේවල් වල ප්‍රතිඵල විදිහට තමයි සමාජයේ උද්ඝෝෂණ, අරගල, අපරාධ කියන දේවල් ඇති වෙලා තියෙන්නේ. 

ඉතින් මෙතනදි රටට අවශ්‍ය කරන නායකත්වය පිළිබඳව මේ වන විට යම් යම් ගැටළුකාරී තත්වයන් මතු වෙලා තියෙන බව පෙනෙනවා. ඉතින් මේ දේවල් සමග වර්තමානයේ මිනිසුන්ට තමන්ගේ ජීවිත ගැන කිසිදු විශ්වාසයක් නැහැ. ජනතාව දන්නේ රැවටීම ක්‍රියාත්මක වන බවයි. ජනතාව දන්නේ අසහනය ව්‍යාප්ත වන බවයි, ජනතාව දන්නේ මානසික සෞඛ්‍ය බිඳ වැටෙන බවයි. ඒ නිසා මේ තත්වය යටතේ අනාගතයේ කිසිම මනුස්සයෙකුට තමන්ගේ අනාගත සැලසුම් හදන්න බැරිව ගිහින් තියෙනවා. එතකොට මානසික සෞඛ්‍ය අතින් උග්‍ර මානසික කම්පනයන්ට ආතතීන්ට පත් වෙලා තියෙනවා.

ඉතින් මේ තත්වයට සාර්ථක විසඳුම් තියෙනවා කියන්නත් බැහැ. කොහොමවුණත් රටේ ජනතාවගේ පවතින මේ මානසික ආතතියෙන් මිදෙන්නට මිනිසුන්ට අවබෝධය අවශ්‍යයි. තමන්ට තමන් පිළිබඳව වගේම තමන්ට අන්අය පිළිබඳවද අවබෝධය අවශ්‍යයි. ඉතින් මේ දේවල් දැන්වත් ක්‍රියාත්මක කළොත් ජනතාවට ආර්ථික ප්‍රශ්න කොයිතරම් ආවත් මිනිසුන්ට තමන් කරන දේ තුළින් සතුටක් ලබන්න පුළුවන්. අවම වශයෙන් තමන්ට ඉටු කරන්න තියෙන යුතුකම් වගකීම් මොනවද කියලා අවබෝධ කොටගෙන ක්‍රියා කරලා ආතතිය අවම කර ගතහොත් යම් පැවැත්මක් තිබේවි කියලා මම හිතනවා. ඒ නිසා තමන්ට තමන් පිළිබඳ හැඟීමෙන් කටයුතු කරන්න වගේම මේ ආර්ථික ගැටළුවලින් මිදෙන්න අවශ්‍යතාද කළමනාකරණය කරගැනීමට දැන් සිදු වෙලා තියෙනවා. ඒ වගේම ආතතියෙන් මිදෙන්න අනිවාර්යයෙන්ම ආකල්පමය සංවර්ධනයක් තුළින් අනාගතයේදී රටට අවශ්‍ය මිනිසුන් බිහි කිරීමද වැදගත් වෙනවා.” 

අදහස් දැක්වීම - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරා

Top