එක දොරක් වැහෙන්නේ තව දොරවල් සියයක් ඇරෙන්න.. අපි අපේ දක්ෂතාවය අනුව ඒ දොර විවෘත කර ගන්න ඕනි (689)

post-title

අද වචන එක්ක සංලාපයේ යෙදෙන්නෙ ලංකාවේ තරුණ ව්‍යවසායිකාවක්. ඇය මේ වන විට දෙස් විදෙස් තරග ගණනාවක් ජයගත්ත ජීවිතය ජයගත්ත කුඩා පරිමාණයේ handloom brand එකක් පවත්වගෙන යන තරුණ කාන්තාවක්. නමින් උෂානි එස් හේවගේ අපි ඇය සමග කතා කරමු.

01 කවුද උෂානි කියන්නෙ කියලා කියමු ද ? 

මොරටුව විශ්ව විද්‍යාලයෙන් fashion Design degree එක කරලා මේ වන විට ලංකාවේ ප්‍රමුඛ ඇගලුම් ආයතනයක නව නිපැයුම් අංශයේ ජේ්‍යෂ්ඨ විධායක නිලධාරිනියක්. ඒ අතර Ushani Design නමින් මගේ කුඩා පරිමාණයේ handloom brand එකක් කරනවා. මම මාව හැමවෙලාවෙම රාමුවෙන් පිටත හිතන්න කැමති කෙනෙක් ලෙස හදුන්වන්න කැමතියි.

02 ඔබ අධ්‍යාපනය ලැබුව කාලය සහ ඒ තැන් ගැනත් කියමු ද?

මුලින්ම මගේ ප්‍රාථමික අධ්‍යාපනය කුඩා ඔය විද්‍යාලයෙන් (ගමේ පාසල)  ශිෂ්‍යත්වය සමත්ව නුවරඑළිය යහපත් එඩේරාගේ කන්‍යාරාමයට ඇතුළත් වුණා. මගේ උසස්පෙළ මං හැදෑරුවේ නුවරඑළිය ගාමිණී ජාතික පාසලෙන්.. ජීව විද්‍යා අංශයෙන්.. ඒත් මගේ වෛද්‍ය විද්‍යාල හීනය ඉතාම ආසන්නව මට මග ඇරෙන නිසා මං මගේ පාර සම්පුර්ණයෙන්ම වෙනස් කරලා මොරටුව විශ්ව විද්‍යාලයේ fashion Design and product development degree එකට ඇතුළත් වෙනවා.. ඒ තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය.

03 මේ වගේ පැත්තකට ඇයි ඔයා යොමු වුනේ?

මුලින්ම ඒක වෛද්‍ය විද්‍යාලය ඉතාම කුඩා ලකුණු ප්‍රමාණයකින් අහිමි වීම නිසා ගත්ත ක්ෂණික තීරණයක් … ඒත් එක්කම නිර්මාණත්මක දේවල් කරන්න තිබ්බ ආශාව…පසුව අවසන් වසරේදී මගේ පර්යේෂණයේදී මං දැක්කා ලංකාවේ Handloom කර්මාන්තය තවමත් ආරම්භක අවධියේ පවතින බව.. ඒ සදහා නව වර්ණ සංකලන එකතු කර අලුත් දෙයක් කිරීමට හැකි බව දුටු නිසා ඒ සදහා මං යොමු වුනා.

04 උෂානිගේ ව්‍යාපර සංකල්පය ජයග්‍රහණ ලබාගෙන තියෙනවා නේද ? 

ඒ ගැන අපි පොඩ්ඩක් කතා කලොත් ? මුලින්ම මට මේ හැම දේකටම මග පෑදෙන්නේ Mora Ventures නමින් මොරටුව විශ්ව විද්‍යාලයේ තිබුණ නව අදහස් පිළිබද තරගයේ 3 වන ස්ථානය ලැබීමත් එක්කම..

ඉන්පසු World Intellectual Property Organization එකෙන් ආසියාතික රටවල් වල නව අදහස් වාණිජකරණයට (innovation commercialization) උපදේශන වැඩසටහනට පළමු ශ්‍රී ලාංකිකයා ලෙස මාව තෝරාගෙන තියෙනවා. මම කළ අවසන් වසරේ ශ්‍රී ලංකා අත්යන්ත්‍ර ශිල්පීය ක්‍රම ව්‍යාපෘතිය ලෝක අන්තර් බුද්ධිමය දේපළ සංවිධානයේ වැඩසටහනට තෝරා ගැනීමේ පදනම වුණා. .ඒ හරහා පර්යේෂණ වාණිජකරණ උපදේශන ව්‍යාපාරයක් වන Burnside Development සහ Associates හි සභාපති ශ්‍රීමත් ජෝන් ඒ ෆ්‍රේසර් සමඟ වැඩ කිරීමට මට අවස්ථාව ලැබුණා.

උපදේශන වැඩසටහනේ දෙවන පියවර ලෙස මට Cornel විශ්වවිද්‍යාලයේ ආචාර්ය Dick S cahoon සමඟ වැඩ කිරීමට අවස්ථාව ලැබුණා. මට ලැබුණු ලොකුම ජයග්‍රහණය නම් Randy S Fisher වැනි නවෝත්පාදන ව්‍යාපාර උපායමාර්ගිකයෙකු උපදේශකයෙකු ලෙස ලබා ගැනීමයි. මේ දක්වා මම WIPO හරහා නවෝත්පාදන වාණිජකරණය සහ ව්‍යවසායකත්වය පිළිබඳ විශාල දැනුමක් ලබාගෙන තියෙනවා.

බස්නාහිර පළාත් අත්යන්ත්‍ර තරගයේ ප්‍රථම ස්ථානය, ජනාධිපති කුසලතා සම්මානය 2018, NSF ජාතික ප්‍රදානයේ නාමිකයා, Global Good fund නමින් ඇමරිකාවේ පවතින සමාජ සංවර්ධන ව්‍යවසායිකා තරගයක දෙවන වටයට තේරී පත්වීම (පලමු ශ්‍රී ලාංකික නියෝජනය) වගේ ජයග්ග්‍රහන මේ වන විට ලබා ගෙන තියෙනවා. 

Whats-App-Image-2021-11-20-at-9-21-11-AM

 05 ලංකාවෙ මේ බිස්නස් එකට තියෙන්නෙ කොහොම වෙළදපොළක් ද?

 ලංකාවේ Handloom සදහා හොද වෙළදපොළක් පවතිනවා. හැබැයි ඒ තත්වයෙන් උසස් නිර්මාණ විය යුතුයි.

06 අද වෙද්දි ගොඩක් කර්මාන්ත වලට කොරෝනා විශාල බලපෑමක් කරනවා කියලා අපට අහන්න දකින්න ලැබෙනවා. ඔබ මොකද්ද මේ ගැන දක්වන ආකල්පය

කොරෝනා බොහෝ කර්මාන්ත වලට අහිතකර ලෙස බලපෑව. අමුද්‍රව්‍ය සදහා නිශ්චිත මිලක් නොමැති වීම සහ ප්‍රවාහන ගැටලු ඉන් ප්‍රධානයි… නමුත් .. කොරෝනා නිසා ලැබුන කාලය නැවත මගේ brand එක ස්ථාපිත කිරීමට මං යොදා ගත්තා. ක්‍රමවත් පාරිභෝගික අධ්‍යනයක් කලා. ඒ සදහා මට Randy S fisher ගේ Customer Discovery ක්‍රමය උදව් වුනා.

07 උෂානි ව්‍යාපාර වැඩ වලට අමතරව මොන වගේ දේවල් ද එදිනෙදා ජීවිතේ දි ජීවිතය විදින්න තෝරාගෙන කරන්නෙ? 

සිංදු අහනවා.. මට විවේකය ඉතාම අඩුයි.. ඒත් ඉඩක් ලැබෙන කොට film බලනවා.

08 ලංකාවෙ අධ්‍යාපන රටාව ඇතුළෙ උසස් අධ්‍යාපනයට යන්න නොහැකි කණ්ඩායම් සමාජය ඇතුළෙ අතරමං වෙනවා ඉතින් ඒ වගේ අය ගැන තරුණ ව්‍යවසායිකාවක් හැටියට උෂානිට තියෙන්නෙ කොහොම අදහස් ද?

මට හිතෙන්නේ ඒක සමාජය දිහා තමන් බලන විධිය නිසා වෙන දෙයක්.. අපි රැකියාවන් වර්ගීකරණය කරනවා . පිළිගත් හා නොපිළිගත් කියලා.. ඒ නිසා උසස් අධ්‍යාපනය ඇතුළෙ  තමන් හිතන තැනට  ළගා වීමට නොහැකි වුනාම හීනමානයකට තමන්ම ලක් වෙනවා.. ඒත් ඇත්ත ඒක නෙවෙයි.. එක දොරක් වැහෙන්නේ තව දොරවල් 100ක් ඇරෙන්න.. අපි අපේ දක්ෂතාවය අනුව ඒ දොර විවෘත කර ගන්න ඕනි.

09 ඔබ තරුණ ව්‍යවසායිකාවක් හැටියට අලුතින් මේ ක්ෂේත්‍රයට එන අයට මොන වගේ දෙයක් ද කියන්න තියෙන්නෙ?

 තමන් ආදරය කරන දේ කරන්න.. කරන දේට තමන් ආදරේ නැත්නම් එතන ඔබේ අරමුණ නෑ.. බලාපොරොත්තු විශ්වාස කරන්න.. ඒ සදහා වැඩ කරන්න.

10 ඔබගේ ව්‍යාපාරයට සම්බන්ධව මෙරට දියුණු විය යුතු පැති ඔබ දකිනවාද ?

 ඔව් .. මේ කර්මාන්තයට තව තාක්ෂණය එකතු වෙන්න ඕනි. machine automated වෙන්න ඕනි.. මේ මගින් විදේශ විනිමය ලබා ගන්න පුලුවන් අවධානය ලැබෙනවා නම් .

11 කාටහරි කෙනෙක් ට ඔබේ මේ ව්‍යාපාරය ගැන වැඩි දුර දැනගන්න ඕන වුනොත් කොහොමද සම්බන්ධ කර ගන්නෙ? 

Whats-App-Image-2021-11-20-at-9-21-41-AM

මගේ Facebook (https://www.facebook.com/Ushanidesign) සහ Instagram පිටුව හරහා Ushani Design සමග සම්බන්ධ විය හැකියි.

 

Top