සිංගප්පූරුවේ සිට අභ්‍යවකාශ චන්ද්‍රිකා පිළිබද පර්යේෂණ පවත්වන ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික් හා පරිගණක ඉංජිනේරුවරයා (480)

post-title
  1. කලන කියන්නෙ කවුද?

ඒ ප්‍රශ්නෙට හරියටම උත්තරයක් දෙන්න මටත් ටිකක් අමාරුයි. දැනට මම මෙහෙම කියන්නම්. කලන කියන්නේ එක්තරා විදියකින් ගවේෂකයෙක් කියන්න පුළුවන්. අලුත් තැන් වලට යන්න, අලුත් දේවල් කරන්න කැමති පුද්ගලයෙක්.

  1. ඔබේ පාසල් අධ්‍යාපන අවධිය ගැන කතා කළොත්?

මම පාසල් අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙන්. ගොඩක් ළමයින්ට වගේම මටත් සුන්දර පාසල් කාලයක් තිබුණා. රාජකීය විද්‍යාලයේ දී ලංකාවේ හැම පළාතකින්ම ආපු විවිධ ජාතීන් වල යාලුවෝ ගොඩක් ඇසුරු කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ කාලේ ගොඩනැගුණු මිතුරුකම් ගොඩක් අදටත් ඒ විදියටම තියෙනවා. පාසල් කාලයේදී මම වැඩියෙන්ම අවධානය යොමු කළේ ඉගෙනීමේ කටයුතු වලට තමයි. කුඩා කාලයේ සිටම ගණිතය හා විද්‍යාව විෂයන් වලට ඉහළ දක්ෂතා පෙන්වූ නිසා බොහෝ දෙනාගේ අදහස පරිදි මම ඉංජිනේරුවෙකු වීමේ අදහසින් උසස් පෙළ ගණිතය විෂය ධාරාව තෝරා ගත්තා. එදා පාසලෙන් මට ලබාදුන් පන්නරය මේ දක්වා විශාල දුරක් ඒමට මට සෑහෙන උපකාරයක් වී තිබෙනවා.

  1. මේ වෙද්දි ඔබේ වෘත්තිය මොකද්ද?

මම වෘත්තියෙන් ඉලෙක්ට්‍රොනික් හා පරිගණක ඉංජිනේරුවෙක්. මම දැන් වැඩ කරන්නේ අභ්‍යාවකාශ ඉංජිනේරු ක්ෂේත්‍රයට අනුයුක්තවයි. මම 2014 දී මොරටුව විශවවිද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික් හා විදුලි සංදේශ ඉංජිනේරුවරයකු ලෙස ප්‍රථම උපාධිය ලබාගන්නවා. ඉන්පසු වසර කීපයක් ලංකාවේ එම ක්ෂේත්‍රයේ වැඩ කරනවා. මගේ දෙමාපියන්ගේ උපදෙස් පරිදි 2018 වසරේ දී පශ්චාත් උපාධිය හැදෑරීමට මම සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. වසරක් තුළ පශ්චාත් උපාධිය සම්පූර්ණ කර මම ඉලෙක්ට්‍රොනික් හා පරිගණක ඉංජිනේරු විශේෂඥයෙකු ලෙස සිංගප්පූරුවේ රැකියාවක් ලබාගන්නවා. මා රැකියාවට යන්නේ සිංගප්පූරුවේ විශාලතම ඉංජිනේරු සමාගමක් වන ST Engineering සමාගමටයි. ඔවුන් මාව අනුයුක්ත කරන්නේ ඔවුන් විසින් සිදුකරන ඉතාම අධිතාක්ෂණික හා උපාය මාර්ගික ව්‍යාපෘතියක් වන සිංගප්පූරු රාජ්‍ය අනුග්‍රහය මත සිදුකරන TELEOS අභ්‍යවකාශ චන්ද්‍රිකා ව්‍යාපෘතිය සඳහායි. ඒ අනුව පහුගිය වසර දෙකක කාලය සිට මා කටයුතු කරන්නේ අභ්‍යවකාශ චන්ද්‍රිකා ඉංජිනේරු ක්ෂේත්‍රයට අනුයුක්තවයි.

  1. ඔබේ වෘත්තිය තුළ මොන වගේ කාර්යභාරයක් ද සිදු වෙන්නෙ?

මෙවැනි චන්ද්‍රිකා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන විට විවිධ ක්ෂේත්‍ර ගණනාවක ඉංජිනේරු විශේෂඥයින් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. යාන්ත්‍රික, විදුලිබල, ඉලෙක්ට්‍රොනික, පරිගණක, මෘදුකාංග, සංඥා හා සන්නිවේදන වැනි විවිධ ක්ෂේත්‍ර ගණනාවක විශේෂඥ කණ්ඩායමක් අපගේ ව්‍යාපෘතිය හා සම්බන්ධ වී සිටිනවා. මෙහිදී අප සියලු දෙනා සහයෝගයෙන් හා අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. අවසානයේ බිහිවන නිපැයුම අප සියලු දෙනාගේම මහන්සියෙ ප්‍රතිඵලයක්.

මම කලින් සඳහන් කළ ආකාරයට මෙම අභ්‍යවකාශ චන්ද්‍රිකා ව්‍යාපෘතිය සිංගප්පූරු රජයේ උපාය මාර්ගික සංවර්ධන සැලැස්ම යටතේ ක්‍රියාත්මක වන දිගුකාලීන ව්‍යාපෘතියක්. මෙහි පළමු අදියර ලෙස සිංගප්පූරුවේ පළමුවන චන්ද්‍රිකාව වන TELEOS-1 නම් චන්ද්‍රිකාව 2015 දී සාර්ථකව අභ්‍යවකාශයේ කක්ෂගත කරනවා. ඒ පෘථිවියට 550km ඉහළින් පිහිටි පහල පෘථිවි කක්ෂය (Low Earth Orbit) තුළයි. මෙහි සිට අධි සංවේදී කැමරා පද්ධතියක් මගින් පෘථිවිය නිරීක්ෂණය කිරීමට මෙම චන්ද්‍රිකාව යොදාගන්නවා. එයින් ලැබෙන දත්ත උපයෝගී කරගෙන කාළගුණ පුරෝකතනය, ස්වභාවික විපත් කළමනාකරණය, නාවික ගමනාගමනය, නාගරික සංවර්ධනය ඇතුළු විවිධ උපාය මාර්ගික ක්‍රියාකාරකම් සිදුකළ හැකියි. මේ වන විට TELEOS-1 චන්ද්‍රිකාව වසර ගණනාවක් මෙම කාර්යභාරය සාර්ථකව ඉටු කරනවා.

නමුත් එම චන්ද්‍රිකාවේ හැකියාවට සීමාවන් තිබෙනවා. එහි දෘශ්‍ය කැමරා පද්ධතියට ඡායාරූප ගැනීමේ හැකියාව ඇත්තේ හිරු එළියෙන් ආලෝකමත් වී ඇති භූමි ප්‍රදේශ වල පමණයි. එමෙන්ම දැඩි වළාකුළු හෝ වැසි සහිත කාලගුණ තත්ත්ව යටතේ පැහැදිලි ඡායාරූප ලබාගැනීමට නොහැකි වෙනවා. එම නිසා මීළඟ චන්ද්‍රිකාව සැලසුම් කිරීමේදී අපි මෙම ගැටළුවලට පිළිතුරු දී තිබෙනවා. අපි මේ වන විට ඉදිකරන්නේ මෙම ව්‍යාපෘතියේ දෙවන චන්ද්‍රිකාව වන TELEOS-2 චන්ද්‍රිකාවයි. මෙහි ඇති විශේෂත්වය නම් TELEOS-2 චන්ද්‍රිකාව අධිතාක්ෂණික රේඩාර් පද්ධතියකින් සමන්විත වීමයි. මෙම චන්ද්‍රිකාව මගින් රේඩාර් තාක්ෂණය භාවිතා කර ඕනෑම කාලගුණික තත්වයක් යටතේ දිවා රෑ දෙකේදීම පෘථිවිය නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබෙනවා. එවිට පෙර කියූ ආකාරයට හැකියාව සීමා වෙන්නේ නෑ. නමුත් අධිතාක්ෂණික රේඩාර් පද්ධතියක් චන්ද්‍රිකාවක සවිකර අභ්‍යවකාශයේදී ක්‍රියාත්මක කිරීම ඉතාම අභියෝගාත්මක කාර්යයක්. පැයට කිලෝමීටර 27000 වේගයෙන් මෙම චන්ද්‍රිකාව පෘථිවිය වටා නොනවත්වා ගමන් කරනවා. එමෙන්ම චන්ද්‍රිකාවේ සවිකිරීමට නම් එම රේඩාර් පද්ධතිය සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා විය යුතු අතර අඩු විදුලි බල ශක්තියකින් ක්‍රියාත්මක විය යුතුයි. බොහෝවිට ඔබ දැක ඇති ගුවන්තොටුපල වල සවි කර ඇති රේඩාර් පද්ධති. ඒවා ඉතා විශාල වන අතර විශාල විදුලි බලයක් වැයවනවා. එබැවින් එවැනි සාම්ප්‍රදායික රේඩාර් පද්ධතියක් අභ්‍යවකාශයේදී භාවිත කළ නොහැකියි. එම නිසා මෙහිදී අප භාවිතා කරන රේඩාර් පද්ධතිය Synthetic Aperture Radar නම් නව තාක්ෂණය උපයෝගී කරගන්නවා. එමඟින් චන්ද්‍රිකාවේ සවි කළ හැකි තරම් ප්‍රමාණයෙන් කුඩා හා සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක විය හැකි තරම් අඩු විදුලි බලයක් සහිත රේඩාර් පද්ධතියක් අපට ලැබෙනවා. 

ඒ වගේම තවත් මතක් කළ යුතු දෙයක් තමයි චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කළ පසුව අපට කිසි ලෙස වත් නැවත එය ලබා ගැනීමට හෝ අළුත් වැඩියා කිරීමට නොහැකියි. කිසිදු අලුත්වැඩියාවකින් හෝ මිනිස් මැදිහත්වීමකින් තොරව එක දිගට වසර දහයක් පමණ තනිවම අභ්‍යවකාශයේ ක්‍රියාත්මක වීමට එයට හැකි විය යුතුයි. ඉතින් ඒ සඳහා එහි ඇති සියලුම පද්ධති ඉතාම ඉහළ ප්‍රමිතියකින් යුතුව සැලසුම් කිරීම හා නිෂ්පාදනය කිරීම වැදගත් වනවා. මේ සඳහා අප සියලු දෙනාටම විශාල භාරදූර කාර්යභාරයක් පැවරෙනවා. ඇත්තටම මෙම ව්‍යාපෘතියට හා ක්ෂේත්‍රයට මම තවමත් නවකයෙක්. අපගේ කණ්ඩායමේ මීට පෙර චන්ද්‍රිකා නිර්මාණය කර ඇති පරිණත විශේෂඥයින් බොහොමයක් සිටිනවා. ඔවුන් සමග වැඩ කිරීමෙන් මා බොහෝ දේ ඉගෙන ගන්නවා.

තවත් අභියෝග හා නවෝත්පාදන බොහෝමයක් මෙම ව්‍යාපෘතියේ තිබෙනවා. නමුත් මෙම ව්‍යාපෘතියේ රහස්‍යභාවය ආරක්ෂා කළ යුතු බැවින් දැනට ප්‍රසිද්ධියට පත් කර ඇති කරුණුවලට එහා දෙයක් කීමට මට හැකියාවක් නැහැ.

  1. ලංකාවෙ කෙනෙක්ට ඔබ ගිය වෘත්තිය ගමන් මග යන්න අවශ්‍ය නම්, මොන වගේ දෙයක් ද කරන්න ඕන?

කොයි දේ කරන්නත් මුලින්ම හොඳට ඉගෙනගෙන තමන්ගේ ක්ෂේත්‍රයෙන් ඉහළටම යන්න උත්සාහ කළ යුතුයි. ඉන්පසුව තමන්ට සුදුසු අවස්ථාවක් ලැබෙනකම් හොඳින් අවධානයෙන් සිටිය යුතුයි. අභ්‍යවකාශ ඉන්ජිනේරු වෘත්තීය ගැන කියනවනම් ඇත්තටම මේ ක්ෂේත්‍රයට ඇතුළත් වෙන්න ටිකක් අමාරුයි. තවමත් අභ්‍යවකාශ ව්‍යාපෘති බොහොමයක් ක්‍රියාත්මක වන්නේ විවිධ රටවල් වල රාජ්‍ය මට්ටමෙන්. එවැනි ව්‍යාපෘති වලට බොහෝ රටවල් වල බඳවාගන්නේ තමන්ගේ රටේ පුරවැසියන් පමණයි. එම නිසා ලංකාවේ තරුණ සිසුන්ට මේ සඳහා තිබෙන අවස්ථාවන් අඩුයි. මටත් කුඩා කල සිට මෙම ක්ෂේත්‍රයට ආසාවක් තිබුණත් මෙවැනි ව්‍යාපෘතියක වැඩ කරන්න හැකියාවක් ලැබෙයි කියලා නම් හිතුණේ නෑ. මේක ඇත්තටම සැලසුම් කරලා ලබා ගත්ත අවස්ථාවක් නෙවෙයි. මේක අහම්බෙන් වගේ සිදුවුනු හමුවීමක ප්‍රතිඵලයක් ලෙස ලැබුණු අවස්ථාවක්. 

හැබැයි ඉදිරියට මෙම තත්ත්වය වෙනස්වන ලකුණු පේන්න තියෙනවා. ඒකට හේතුව තමයි වැඩි වැඩියෙන් ලෝකයේ පෞද්ගලික ආයතන මෙම ක්ෂේත්‍රයේ ව්‍යාපෘති සඳහා යොමු වීම. මේ වන විට ඇමරිකාවේ හා යුරෝපයේ අපට මෙය දක්නට ලැබෙනවා. මෙම තත්ත්වය ඉදිරියටත් ව්‍යාප්ත වුනොත් බොහෝ දෙනෙක්ට මේ ක්ෂේත්‍රය විවෘත වේවි. එය එසේ වෙන්න කියලා මා ප්‍රාර්ථනා කරනවා. ඒක අපේ තරුණ පරම්පරාවට වගේම මෙම ක්ෂේත්‍රයේ දියුණුවටත් විශාල පිටුවහලක් වේවි.

  1. සිංග්ප්පූරුවෙ ඉන්න ඔබට ලංකාව ගැන මොකද හිතෙන්නෙ?

ලංකාව කියන්නේ ඇත්තටම හොඳ රටක්. පොඩි පොඩි අඩුපාඩු ගොඩක් තියෙනවා. හැබැයි දැන් වුණත් ඒවා හදා ගත්තොත් ඉක්මනින් ඉහළට යන්න පුළුවන් හැකියාවක් තියෙන රටක්. සිංගප්පූරුව දිහා බලලා ආපහු ලංකාව දිහා හැරිලා බලනකොට ඒක මට ඉතා පැහැදිලිව පේනවා. නමුත් ඒ සඳහා කැපකිරීම් කළ යුතුය.

  1. ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය ගැන ඔබේ අදහස් මොනවද?

ලංකාවේ පාසල් අධ්‍යාපන ක්‍රමය හොඳින් ක්‍රියාත්මක වෙනවා. නිදහස් අධ්‍යාපනය නිසා දක්ෂ සිසුන්ට ඉහළට යන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා. නමුත් උසස් අධ්‍යාපන ක්‍රමය තුළ විශාල හිඩසක් පේන්න තිබෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට අවස්ථාව ලැබෙන්නේ ඉතා සුළු පිරිසකට පමණයි. අනෙක් සිසුන් බොහෝ දෙනෙක්ගේ අධ්‍යාපනය එතනින් නිමා වෙනවා. මේ හේතුව නිසා අපගේ ශ්‍රම බලකායේ මැද පෙළ ඉතාම දුර්වල වෙනවා. ඕනෑම කණ්ඩායමක මැදපෙළ දුර්වල වූ විට ඉදිරියට යෑමට අපහසුයි. මෙම තත්ත්වය වෙනස් කරන්න නම් අප රට තුළ වෘත්තීය පුහුණුව ලබාදෙන උසස් අධ්‍යාපන ආයතන වැඩි වැඩියෙන් බිහි කළ යුතුයි. පාසල් අධ්‍යාපනයෙන් ලබා දෙන්නේ දැනුම කේන්ද්‍රිය අධ්‍යාපනයක්. ඉන්පසු සිසුන්ගේ රැකියා කුසලතා (Job skills) දියුණු කර ඔවුන් ගෝලීය රැකියා වෙළදපොලට ගැලපෙන ලෙස පුහුණු කිරීමට උසස් අධ්‍යාපනයක් ලබා දීම අවශ්‍යයි. සිංගප්පූරුව වැනි පළවෙනි ලෝකයේ රටවල පවා සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබෙන්නේ නැහැ. නමුත් ඔවුන් සියලුම සිසුන්ට යම් ආකාරයක උසස් වෘත්තීය අධ්‍යාපනයක් ලබාගැනීමට අවස්ථාව සලසා තිබෙනවා.

ඒ වගේම මම විශ්වාස කරන තවත් දෙයක් තමයි අපගේ තරුණ සිසුන්ට නව නිර්මාණ වාණිජකරණය කිරිම හා එමඟින් ව්‍යාපාර බිහි කිරීම ගැන හොඳ අවබෝධයක් ලබාදිය යුතුයි. අපේ රටේ බොහෝ නව නිර්මාණ හා විද්‍යාත්මක පර්යේෂණ සිදු වුණත් ඒවායින් ජාතික ආර්ථිකයට දායකවන නව ව්‍යාපාර බිහිවීම හුඟක් අඩුයි. බොහෝ දෙනෙකුට තමන්ගේ නිර්මාණ ඉදිරියට ගෙන යා යුතු ආකාරය ගැන අවබෝධයක් නැහැ. බොහෝ දෙනෙක් තමන්ගේ පර්යේෂණ වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය බලාපොරොත්තු වෙනවා. නමුත් වර්තමාන ලෝකයේ මෙය ප්‍රායෝගික නැහැ. මෑත කාලයේ ලෝකයේ බිහිවූ Google, Microsoft වැනි අති සාර්ථක නව ව්‍යාපාර දිහා බැලුවම පැහැදිලි වෙන දෙයක් තමයි ඒවා පිටුපස සිටි නිර්මාණකරුවන් කිසිදු රාජ්‍ය අනුග්‍රහයකින් තොරව තමන් විසින්ම ආයෝජකයන් සොයා ගොස් ඔවුන්ට තමන්ගේ අදහස් ඉදිරිපත් කර ආයෝජන සොයාගෙන එමගින් තමන්ගේ ව්‍යාපාර ආරම්භ කර ඒවා ගොඩ නැගූ බව. නව ලෝකය තුළ අලුතින් ව්‍යාපාර හා නිර්මාණ ගොඩනැගෙන්නේ මේ ආකාරයෙනුයි. ලෝකයේ බොහෝ දියුණු රටවල් වල මේ වන විට තරුණ පරම්පරාවට වැඩි වැඩියෙන් ව්‍යවසායකත්වය පුහුණු කරනවා. ඉතින් ආයෝජන ලබා ගැනීම හා නව ව්‍යාපාර බිහි කිරීම පිළිබඳව කුඩා කාලයේ සිටම අපගේ තරුණ සිසුන්ට අවබෝධයක් ලබා දීම වැදගත් කියලා මම හිතනවා.

  1. ඔබ සමාජ සේවා කටයුතු වලටත් සක්‍රියව දායක වෙන කෙනෙක් නේද? ඒ ගැනත් කියමු

මට පාසල් කාලේ සිටම හොඳින් ඉගැන්වීමට හැකියාව තිබුණා. පහුගිය කාලය තුල බොහෝ සිසුන්ට මම නොමිලේ උගන්වා තිබෙනවා. මම ලංකාවේ සිටි කාලයේ විවිධ අවස්ථාවල විවිධ කණ්ඩායම් සමග කීප වරක් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට නොමිලේ අධ්‍යාපන සම්මන්ත්‍රණ සඳහා දායකත්වය ලබාදී තිබෙනවා. සිසුන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීම අප රටට කළ හැකි විශාල ම සමාජ සේවය කියා මා විශ්වාස කරනවා. මීට අමතරව මගේ හොඳ මිතුරෙකු වන ගීතාන් නිතරම විවිධ සමාජ සේවා කටයුතු සංවිධානය කරනවා. ඔහු සංවිධානය කරන කටයුතු වලට මමත් බොහෝවිට මුදලින් හෝ ශ්‍රමයෙන් දායක වෙනවා.

  1. අනාගතයේ ඔබේ ඉලක්ක මොන වගේ ද?

අලුත් දේවල් ඉගෙන ගන්න, අලුත් දේවල් කරන්න සහ ක්ෂේත්‍රයේ දිගටම ඉහළටම යන්න මම බලාපොරොත්තු වෙනවා. ලෝකය ගමන් කරන දිශාව දිහා අවධානයෙන් බලාගෙන ඉන්න ගමන් මට එහි අවස්ථාවක් ලැබුණු විට එයින් උපරිම ප්‍රයෝජන ගන්න බලාපොරොත්තු වෙනව

10. ලංකාවෙ සරසවිවල ඉගෙන ගන්න විද්‍යාර්ථින්ට ක්ෂේත්‍රයේ දිගු ගමනක් ආව කෙනෙක් හැටියට මොන වගේ දෙයක් ද කියන්න තියෙන්නෙ.

සරසවි වල විද්‍යාර්ථින් කියන්නේ ලංකාවේ අධ්‍යාපනයේ ඉහළටම පැමිණි පුද්ගලයින්. ඉතින් එම අවස්ථාවෙන් ඔවුන් උපරිම ප්‍රයෝජන ගත යුතුයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේදී හැකිතරම් දැනුම හා අත්දැකීම් එකතු කරගත යුතුයි. බාහිර ලෝකයට විවෘත වී ලෝකය ගමන් කරන දිශාව පිළිබඳ අවධානයෙන් සිටිය යුතුයි. එමෙන්ම තමාගේ දක්ෂතාවයන් නිවැරදිව හඳුනාගෙන එයට සරිලන පරිදි තමා ගේ භූමිකාව සකසා ගත යුතු වෙනවා.


Top