" මා කිසිවිටෙක සම්මාන තුළින් හිස උදුම්මා ගන්නේ නැහැ" - ප්‍රවීන කවියර නන්දන වීරසිංහ

post-title

"කවියකු වීම ඉතා අපහසු කාර්යයක්. මගේ මුල් කවි පොත පිට වූ වර්ෂයේ සිට අවුරුදු තිස් හතක් පමණ මා මෙතෙක් ගෙවූ කාව්‍ය ජීවිතය තුළ එම දුෂ්කරතා සහ අපහසුතා මා විඳ තිබෙනවා. එම අවුරුදු ගණනාව තුළ යම්කිසි මට්ටමක දක්ෂ සහ හොඳ යැයි කිවහැකි කාව්‍ය තිස් අටක්වත් මා ලියා ඇති බව සිතනවා. මා මහා ලොකු කවියකු කියන මමත්වය තුළ සිරවී නැහැ. එහෙම සිතා මා කිසිවිටෙක උඩඟු වන්නේ නෑ. මා පැමිණියේ සෙමින් ගමනක්. එහිදී ඇති වූ දුෂ්කරතා, අභියෝග, විවේචන සියල්ලම විද දරා ගැනීමට අවශ්‍ය අවබෝධය මා සතුව තිබුණා. මගේ නිර්මාණ තුළ යම්කිසි අඩුපාඩුවක් කුඩා දරුවකු වුවත් පෙන්වා දුන්නොත් සාධාරණ ලෙස එය පිළිගැනීමේ මානසික අවබෝධයකින් යුතු ප්‍රඥාවක් මා ගොඩනගාගෙන තිබෙනවා. මමත්වය සහ උඩගුකම නොමැති තැනයි නිර්මාණකරුවකු බිහිවන්නේ "

ඔහු සිනාමුසුව මා සමඟ පැවසුවා. දැන් ඔබ බලයි කවුද මේ ඔහු කියා. ඔව් ඔහු සොඳුරු කවියෙක්. දක්ෂ කවියෙක්. ප්‍රවීණ මෙන්ම නිහතමානී කවියෙක්. ප්‍රවීණත්වය හා සබැඳිව නිහතමානීත්වය නිර්මාණකරුවෙකු තුළ තිබේ නම්, එයට පෙන්වා දිය හැකි ජීවමාන සාක්ෂ්‍යක් වන්නේ නන්දන වීරසිංහ නම් ඒ සොඳුරු කවියා ය .

මේ සිරිලක දකුණු පුරවරයේ ගාල්ල දිස්ත්‍රික්කයේ මාපලගම හා හිනිදුම ආශ්‍රිත ප්‍රදේශය ස්වභාවිකත්වයෙන් අතිශය සුපෝෂිතයි. මෙකී සොඳුරු ගම් පියසේ 1954 ජූලි මස 13 වැනිදා උපත ලැබූ නන්දන වීරසිංහයන් අදට ද පවසන්නේ මාපලගම සහ හිනිදුම ගෙවුනු ළමා කාලය සහ එහි ස්වාභාවික සෞන්දර්ය තම නිර්මාණකරණයට යහපත් බලපෑම් කළ බවයි.

යහපත් සහ වැදගත් පවුල් පසුබිමකට උරුමකම් කියූ වීරසිංහයන්ගේ පියා ඉඩම් හිමි වැවිලිකරුවෙකි. ඔහු ඉඩකඩම් සමඟම කාලය ගත කළත් තම දරුවන් සිවු දෙනාට අවශ්‍ය සියලුම දෑ අඩු නොකොට ලබා දී ඇත. නන්දන වීරසිංහයන්ගේ මව එකල සමාජ තත්වයට අනුව ඉතා උගත් සහ දැනුමැති තැනැත්තියකි. එමෙන් ම ඔහුගේ මවට ඉතා හොඳ සාහිත්‍ය දැනුමක් තිබී ඇත. ඇය බොහෝ ලෙස ජනකවි දැන සිටි බවත් ඒවා ඉතා මිහිරි ලෙස ගායනා කළ අතීතය තම රස මනස වැඩීමට උදව් වූ බවත් වීරසිංහයන් පවසයි.

කුඩා කල සිටම දැනුම් පිපාසයෙන් පෙළුණු වීරසිංහයන් කුඩා කඩදාසි කැබැල්ලක් වුවද අපතේ දමන්නේ එහි ඇති දෑ කියවීමෙන් පසුවය. පොත්පත් කියවීමට මහත් සේ ආසා කළ ඔහුට තම ආදරණීය පොඩි අක්කාගේ කියැවීමේ පුරුද්ද ද මනා ලෙස යහපත් බලපෑම් කළේය. ඒ පිළිබද ඔහු සිහිකළේ මෙසේ ය.

" මට කියවීමට අනුබල දුන්නේ පොඩි අක්කා. ඇය පුස්තකාලයෙන් ගෙනෙන පොත්පත් මමත් බොහොම ආසාවෙන් කියවූවා. විශේෂයෙන්ම, ජී .බී සේනානායකයන්ගේ, සිරි ගුණසිංහයන්ගේ සහ මාර්ටින් වික්‍රමසිංහ මහතා වැනි නිර්මාණකරුවන් ගේ ආශ්‍රය එකල මා පොතපතින් ලැබුවා. විශේෂයෙන් මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ කෘති නිතර කියවීමෙන් මා සිත ගත් ගද්‍ය භාෂාවක් නිර්මාණය කර ගැනීමට මට හැකි වූවා. මා කුඩා කල මට හැකි අයුරින් කවි ලියූවා. ඒවා මගේ පොඩි අක්කාට කියා කොපි පොතක පිටපත් කරගෙන මගේ පාසල් මිතුරන්ට පෙන්වූ විට ඔවුන් මට ප්‍රශංසා කළා."

සහෝදරියන් තිදෙනකුගේ සෙනෙහස හා පතපොත මැද ගෙවුනු මුල් ළමා කාලය මාපලගම සහ හිනිදුම ආශ්‍රිතව ගෙවුනත් වයස අවුරුදු එකොළහ පමණ වන විට වීරසිංහයන් මහනුවර තම ඥාති නිවෙසකට ගිය පසු මහනුවර නාගරික ප්‍රදේශයට හුරු වීමට ඔහුට සිදුවුවත් තම අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස සිදු කර ගැනීමට මහනුවර ප්‍රදේශය ඔහුට පිටුවහලක්ව ඇත. මාපලගම මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ ඔහු පේරාදෙණිය මධ්‍ය විද්‍යාලය, කිංස්වුඩ් විද්‍යාලය වැනි පාසල් කිහිපයකින්ම තම අධ්‍යාපන කටයුතු සිදු කළේය.

මහනුවර ඇමෙරිකානු පුස්තකාල මධ්‍යස්ථානය ද නන්දන වීරසිංහයන්ගේ දැනුම ඉතා පුළුල් පරාසයකට ගෙන ගියේය. ඇමරිකානු පුස්තකාලයේදී කාව්‍ය ග්‍රන්ථ සහ ප්‍රබන්ධ ග්‍රන්ථ කියවීමට ඔහු පෙළඹුණේය. පත පොත කියැවීම ජීවිතයට ඇති සුවිශේෂි උරුමයක් ලෙස ඔහු කුඩා කල සිට අදට ද විශ්වාස කරන්නේය.

" පොත්පත් කියවීම මනුෂ්‍යයාට ඉතා වැදගත් කාරණයක්. කියවීම කිසිවිටෙකත් අපතේ යන දෙයක් නොවේ. කියවන තරමට දැනුම දෙගුණ තෙගුණ කරගෙන අභ්‍යන්තරය ඉතා සුමට ව සකස් කරගත යුතුයි. කියවීම යනු යම්කිසි ආධාරකයක් පමණයි. කියවීම සමග නිර්මාණාත්මක චරිතයක් වීම අපගේ වගකීමක්. කියැවූ දෙයින් පණ්ඩිත මානසිකත්වයකට පැමිණ, දේශන පැවැත්වීම, කයිවාරු ගැසීම වැනි නිශ්ඵල දේවල් නොවෙයි සාහිත්‍යකරුවකු ගේ, නිර්මාණකරුවකුගේ හෝ කියවන්නකු ගේ කාර්යභාරය වන්නේ. පතපොත තුළින් සන්නද්ධ වීම කළ යුතුයි. කෙතරම් පතපොත ආශ්‍රය කලත් නිරන්තරයෙන්ම සිටිය යුත්තේ කියවන්නෙකු ලෙස නොවෙයි නොකියවන කෙනෙක් ලෙසයි. එයයි සතුට."

කෙමෙන් රැකියා ගතවීමේ වයසට පැමිණි වීරසිංහයන් එකල ගිං ගඟ ව්‍යාපෘතියට සම්බන්ධ රැකියාවක සහ නුගේගොඩ වර්ණ රසායනාගාරයේ රැකියාවක නිරත වූ කාලයේදී එකළ පැවති නවයුගය, සිළුමිණ සහ දීපශිඛා නම් පුවත්පත් වලට කාව්‍ය නිර්මාණ සහ පාඨක තීරුලිපි ලිවිමේ කටයුතු කෙරෙහිද තම අවධානය යොමු කළේය.

කෙසේ හෝ කෙමෙන් පුවත්පත් කලාවේදයට නැඹුරු වූ නන්දන වීරසිංහ මහතා පුද්ගලික පුවත්පත් ප්‍රකාශන ආයතන කිහිපයකම රැකියා කළේය. ඉන්පසුව ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වී පුවත්පත් කලාවේදියෙකු ලෙස බොහෝ කාර්යභාරයන් සිදුකිරීමට ඔහුට හැකි විය. අසූව දශකයේ දී දීපන,ඇමතුම සහ අනූව දශකයේදී මාතොට වැනි සඟරාවන් හි සංස්කාරවරයා ලෙසද ඔහු කටයුතු කළේය.

සාහිත්‍යය සහ ශාස්ත්‍රීය ලිපි සම්බන්ධයෙන් තම අවධානය වැඩි වශයෙන් යොමුකළ වීරසිංහ මහතා අවුරුදු පහළොවක් පමණ සේවය කළ සිළුමිණ පුවත්පතෙහි පුන්කලස සහ සියපත වැනි සාහිත්‍ය අතිරේක වල ආරම්භක සංස්කාරකවරයා ලෙස ද කටයුතු කළේය. තම සංස්කරණ කටයුතු යටතේ ශාස්ත්‍රීය ලිපි ඔස්සේ නවතම අධ්‍යනයන් සිදු කිරීමට ද නන්දන වීරසිංහ මහතා උත්සාහ ගත්තේය. මේ සියලුම වැඩකටයුතු තුළදී තම නිහතමානී මනුෂ්‍යත්ව ගුණාංගයද ඔහු නිරතුරුවම රැක ගත්තේය. නිහතමානීත්වය පෙරදැරි ඥානය නිසා බොහෝ පිරිසකට සහය වීමට සහ දැනුම බෙදාදීමට ඔහුට හැකි වූයේ ය.

" ඉංග්‍රීසි බස් වහර සාහිත්‍ය දැනුම සහ ශාස්ත්‍රීය ලිපි කෙරෙහි අවධානය යොමු කිරීම නිසා එකල විවිධ විද්වතුන් ආශ්‍රය කිරීමට මට හැකියාව ලැබුණා. එපමණක් නොවෙයි විවිධ විෂයන් පිළිබඳ පුළුල් පරාසයක විහිදී දැනුමක් ලබා ගැනීමට ද මට හැකිවූවා. පුවතපත් කලාවේදියෙකු ලෙස මා මට හැකි උපරිම ලෙස ආධුනිකයන්ට අතහිත දුන්නා. සෑම විටම අපෙන් පිටුපස සිටින පරපුරට සහය වීම අවශ්‍ය බව මා සැලකුවා. එබැවින් ඔවුන්ට අවශ්‍ය උපදෙස් මඟ පෙන්වීම් නො මසුරුව ලබා දුන්නා. මා කළ විවිධ ලිපි එකතු කොට පොත් නිර්මාණය කිරීමටද මා ලේඛකයන්ට අනුබල දුන් අවස්ථා තිබෙනවා "

නන්දන වීරසිංහ මහතා එලෙස පවසන්නේ සැබැ ආත්ම තෘප්තියකින් ය. මෙලෙස පුවත්පත් කලාවේදියෙකු ලෙසද තම වගකීම් ඉටුකළ වීරසිංහයන් ඔහුගේ ජීවිතයම කැප කළේ කාව්‍යකරණය වෙනුවෙනි. දේශීය හා විදේශීය කාව්‍ය සහ ජන සාහිත්‍ය පිළිබඳව සෙවීම් සහ හැදෑරීම් කළ නන්දන වීරසිංහයන් ඒ අවබෝධයෙන් තම නිර්මාණ කටයුතු සිදු කළේය. ලෝකයේ විශිෂ්ට කාව්‍යකරුවන්ගේ කාව්‍යකරණය ඔහු තම නිර්මාණයන් කෙරෙහි පරමාදර්ශයන් කර ගත්තේය.

1984 වර්ෂයේදී " ගිං ගඟේ විලාපය " ලෙස තම ප්‍රථම කාව්‍ය සංග්‍රහය පළ කිරීමට නන්දන වීරසිංහයන් ට හැකිවිය. ඔහු ගිං ගඟ ජල ව්‍යාපෘතියේ වැඩ පරිපාලකවරයෙක් ලෙස සේවයේ යෙදුණු කාලයේදී තමා ලැබූ ඇතැම් අත්දැකීම් තම ප්‍රථම කාව්‍ය සංග්‍රහයට ඇසුරු කර කර ගැනීමට පෙළඹ ඇත. ඉනික්බිතිව පළ කළ ඔහුගේ සෑම කාව්‍ය නිර්මාණයකම තම ජීවන අත්දැකීම් හි සෙවනැලි ඇදී නොමැකී ඇත්තේය.

" ජීවන අත්දැකීම් ඇසුරු කරගෙන හා ඒවා මූලික කරගෙන එම සියලු අත්දැකීම් වෙනස්කම්වලට භාජනය කරමින් නිර්මාණ කටයුතු සිදු කළ යුතුයි. කාව්‍යකරණයේ පිම්ම වන්නේ එම අත්දැකීම් පමණක් නොවේ. කළ යුතු වන්නේ අත්දැකීම් ඇසුරු කරගනිමින් ඒවායේ ස්වරූපය වෙනස් කිරීමෙන් පරිකල්පන ශක්තියෙන් යුතුව නිර්මාණ කටයුතු සිදු කිරීමයි. ‘කිරි සුවඳැති රාත්‍රිය‘ කාව්‍ය සංග්‍රහයේ ඇති වලව්වට වැසි ඇවිත් කවි පංතිය මගේ ජීවිතයේ කටුක අත්දැකීමක්. මගේ මවුපියන් සතු දේපළ අහිමි වීමත් සමඟ එම ප්‍රදේශ වල නව ප්‍රබෝධයක් ඇතිවුණා මා එය හොඳින් ම දුටුවා. දේපොළ සම්පත් අහිමි වීම මගේ ජීවිතයේ අධ්‍යාපනයට පැවැත්මට යම්කිසි බලපෑමක් හා පීඩාවක් එල්ල කළා."

"පරපුරක කළු දුඹුල් කඩා පිරිසිදු කරන

සෙවෙල කෑ උළු පිහිලි සෝද සෝදා හරින

අලුත් වැස්සක අසිරි පතා සිටියෙන් නිතින

මෙන්න දැන් දොරකඩට ඇවිත් නිල් දිය ඉසින"

ඉඩම් සහ වස්තුව හිමි සමාජ පන්තියක බිඳවැටීමත් නව සමානාත්මතාවයෙන් යුතු සමාජ පන්තියක ප්‍රබෝධයත් නන්දන වීරසිංහයන් තම අත්දැකීම් ඔස්සේ වලව්වට වැසි ඇවිත් කවි පන්තියෙන් මනාවට නිර්මාණය කර ඇත.

" අම්මා කවි කියමින් මා නැළවූ කාමරය තුලින

අම්මා ඇඳි මල් සාරියෙ සුවඳ හිමින් හිතට ගලන

පෙම්මා සුරතල් වදනක අමා මිහිර සර ගොළුවුණ.."

" ඉඳහිට හමුවී නැති කම් බැරි කම් කඳුලින් සඟවන

ජීවිතයයි සොයා එදා අප පියඹා ගියේ තුටින

එකාවන්ව හින්ද සිව් අත ලෝක තනා ගනු රිසියෙන

විසිර නොයා අපිට ඉන්ට බැරි ඇයි එක සිසිල් සෙවණ"

නන්දන වීරසිංහ මහතා "නිම්මා නැති උතුම් වෙහෙර" කවි පන්තියේ ඉහත ලෙස තම පවුල පිළිබඳව හැඟීම්බර අත්දැකීම් එලෙස ගොනු කර ඇත්තේ ය. තමන් නිර්මාණය කළ කාව්‍ය අතුරින් නන්දන වීරසිංහයන් බොහෝ ප්‍රිය කරනා " ගිරග" නම් කාව්‍ය සංග්‍රහයටද ඔහු තමා වෙසුණු ගම් පියසේ විඳි ස්වභාව සෞන්දර්යයේ අත්දැකීම් ද පාදක කොටගෙන ඇත්තේය. අත්දැකීම් හි සියුම් තැන් හඳුනාගනිමින් කාව්‍යමය වෙනස්කම් ඔස්සේ තම නිර්මාණ කටයුතු සිදුකල නන්දන වීරසිංහ කවියා සුවිශේෂී ලෙස තම නිර්මාණය තුළ මනෝ චිත්‍ර මැවීමට සමත් කවියෙකි. සාමාන්‍ය දෛනික භාෂා ව්‍යවහාරයෙන් ඉදිරි පිම්මක් රැගෙන වඩාත් සාහිත්‍ය මුසු බස් වහරකින් තම කාව්‍යමය භාෂාව හැසිරීමටද ඔහු සමත්ව ඇත.

" කොළනි ගමේ වියළි හුළඟ මස් කරවල සුවඳ ගෙනෙන

ගොවි දරුවන් මත් දියරෙන් කරටිය පොඟවා විකලෙන

යකඩ රත්තරන් කරන වෙළඳ මායමේ පැටලෙන

කොළනි පුතුන් චාටු බහට නැලවී මඩි ඇතුල පාන"

(කියා සිටිමි ජනපදේට කවි පන්තියෙන්)

චිත්ත රූප මවනා ජීවී භාෂාව තුළ තම වචන හරබයන් දක්ෂ ලෙස සිදුකරනා නන්දන වීරසිංහයන් සමාජය සහ මනුෂ්‍යත්වය කෙරෙහි ඉතා සංවේදී කවියෙකි. මනුෂ්‍ය ස්වභාවය ජීවිත පැවැත්ම සහ යම් යම් ලෝ ධර්මතා ඔහු තම නිර්මාණයන්ට වස්තු විෂයයන් කර ගන්නේ ය. සෙන් දර්ශනය, විවිධ බටහිර දාර්ශනික සංකල්ප සහ තාඕවාදය ද එකී වස්තු විෂයන් සමග මුසු කොට කාව්‍යකරණයට හසු කොට ගැනීම තරම් ඔහු දක්ශ වූයේය.

සමාජය දෙස සහ ජීවන පැවැත්ම දෙස අතිශය සුබවාදීව හා අවබෝධාත්මක දෘෂ්ටි කෝණයකින් යුතුව බලනා වීරසිංහයන් යම් පරිණත භාවයකට පත් වැඩිහිටියෙකි.

" ජීවිතය හමුවේ එන ප්‍රශ්න ගැටලු ව්‍යාකූලත්ව කෙරෙහි අකම්පිතව මුහුණ දිය යුතුයි. අනාගතයේ විශාල සැලසුම් නොමැතිව මෙම මොහොත ගත කිරීමයි ක්‍රමය. රිදී බිඳවැටීම් හමුවේ උමතුවෙන් කලබලයෙන් ක්‍රියා නොකළ යුතුයි. මෙම මොහොත ගැන අවධානයෙන් සාධාරණව ජීවත් විය යුතුයි. මට රුපියල් දහසක් අවශ්‍ය මොහොතේ දී ලැබෙන්නේ රුපියල් පන්සියයයි. ඇත්තෙන්ම එය මගේ ගැටලුවක් නොවෙයි. මෙම සමාජ විෂමතාවයේ ගැටලුවක්, දේශපාලන ක්‍රමයේ වැරැද්දක්. කිසිවෙකුට අපිව උස්පහත් කිරීමේ අයිතියක් නෑ. පුද්ගලත්වය පවතින්නේ සමාජ ආර්ථික සංස්කෘතික හා දේශපාලන සහ සම්බන්ධයෙන්. ඉතින් අවශ්‍ය වන්නේ අවබෝධයකින් සාවධාන ව සරල ව ක්‍රියා කිරීම පමණයි."

නන්දන වීරසිංහයන්ගේ ඉහත වදන් තුළින් ඔහු ජීවිතය පිළිබදව කෙතරම් සර්ව සාධාරණ ලෙස ක්‍රියා කරන්නේදැයි අපට වටහාගත හැකියි. එම වදන් අපට ද ජීවන ආදර්ශයන්ම ය. එපමණක් නොවෙයි නන්දන වීරසිංහයන් නිර්මාණකරුවෙකු ලෙස, සුන්දර කවියෙකු ලෙස ප්‍රේමය නම් මනෝභාවය පිළිබඳව දක්වන්නේ ද මැදිහත් සහ සාවධාන බවකි.

"ප්‍රේමය ජීවිතයට අර්ථවත් ගාමක බලවේගයක් ලෙස ක්‍රියා කරන සුන්දර අත්දැකීමක්. නමුත් සිනමාවේ සහ නවකතා වල නිර්මාණය කර ඇති ආකාරයට ප්‍රේමය යනු පරමයක් යැයි මා විශ්වාස කරන්නේ නැහැ. මා එලෙස දකින්නේ නෑ. ප්‍රේමය ජීවිත පරිත්‍යාගයෙන් සිදුකරන දෙයක් යැයි මා දකින්නේ නෑ. ජීවිතයට පැමිණෙන විවිධ බාධක ගැටුම් හමුවේ ප්‍රේමය කෙටිකාලීන වියහැකියි. කෙටිකාලීන හෝ දිගුකාලීන වේවා ප්‍රේමය තුළ ද අප සාධාරණ විය යුතුයි."

මෙසේ සුබවාදී චරිතයක් වන නන්දන වීරසිංහ මහතා කාව්‍යකරණයේ නියැලීම තුළින් ම තම නිර්මාණකරණ හැකියාව ඔපමට්ටම් කරගැනීමට සමත් විය. වීරසිංහයන්ගේ කාව්‍යකරණයේ සුවිශේෂීත්වය නිසාම ඔහු අවස්ථා ගණනාවකදීම සම්මානයට පාත්‍ර වූයේය.

"ගිරග", " කිරි සුවදැති රාත්‍රිය", "මහත් සඳ පිනි බිඳක", " චන්ද්‍ර බිම්බ", " සත්‍යකාම නම් මම වෙමි" , " රැය කරා ගමන" ආදී කවි සංග්‍රහයන් අවස්ථා ගණනාවක දී ම සම්මාන ඇගයීම් හිමිකර ගත්තේය. "රාජ්‍ය සාහිත්‍යය සම්මානය", "ස්වාධීන සාහිත්‍ය සම්මානය" හා "විද්‍යෝදය සම්මානය", "ගොඩගේ සම්මානය" ආදී සුවිශේෂී සම්මාන ඇගයීම් එකී නිර්මාණයන්ට ලබාගත් නන්දන වීරසිංහ මහතාට 2000 වර්ෂයේ දී " ජපාන බුන්කා " සම්මානය ද හිමි වන්නේ සමස්ත සාහිත්‍ය උදෙසා ඔහු කළ මෙහෙවර වෙනුවෙන් ය.

නන්දන වීරසිංහ මහතාගේ කාව්‍ය කෘති අතුරින් "ගිංගඟේ විලාපය", "කිරි සුවඳැති රාත්‍රිය" සහ "ක්ෂණ නියාම" යන කාව්‍ය සංග්‍රහයන් රසික ජනතාව අතර ඉතා ප්‍රකට විය. එකී කාව්‍ය සංග්‍රහ වලට අමතරව වීරසිංහ මහතාගේ කවි එකතුවක් ශෂී ප්‍රභාත් රණසිංහ මහතා විසින් "සඳකැන් මිණි" ලෙස ද පළ කර ඇත.

එපමණක් නොවෙයි දැනට වසර පහළොවක පමණ සිට ම නන්දන වීරසිංහ මහතාගේ පද්‍ය පන්තීන් පාසල් පෙළ පොත් සඳහා ද නිර්දේශිතය. එලෙස පාසල් පෙළපොතකට පළමුව නිර්දේශිත වූ පද්‍ය පන්තිය වූයේ "ගිං ගඟේ විලාපය" නම් කාව්‍ය සංග්‍රහයේ ඇති " දුම්මල ගලට ගිය අම්මා" නම් කවි පන්තියයි.

දුම්මල ගල ඉමේ මහ මූකලානේ

අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ

කන්දේ පරවේණී උළලේනියන්නේ

රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා

ඒවා මිටි බැඳං වඳුරඹ පොළට ගියා

හාල් ටිකට පොල් ගෙඩියට ණයක් තියා

කොපි පොතකුයි පැන්සලකුයි ගෙනෙන්නියා

වැහි වැහැලා ගල ආඳා බඩේ උනා

අම්මා එදත් ඒ ගල මුදුනටම උනා

රූටා ගිහිං පාමුළ ගලටත් රිදුනා

අම්මා තිව් විලාපය තවමත් ඇසෙනා

ඇළබඩ රුප්පාව ළඟ රෑ හඳපානේ

ඉන්නා කලට මට දුම්මල ගල පෙනුනේ

ලෝබ නැතුව ඔය ගල දුම්මල දුන්නේ

අම්මා පෙරළුවත් තරහක් නෑ හිතුනෙ

ඉන්පසු අවස්ථා ගණනාවකදීම එතුමාගේ කාව්‍ය පන්තීන් දහය සහ එකොළහ ශ්‍රේණි සදහා ද උසස් පෙළ සිසුන්ගේ පෙළපොත් සඳහා ද නිර්දේශිත වූයේය. සම්මාන, ඇගයීම් සහ මෙලෙස තම නිර්මාණ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් නිර්දේශ වීම පිළිබඳව ඔහු අදහස් දක්වන්න මෙසේයි .

"සම්මාන ඇගයීම් හරහා මගේ කාව්‍ය ජීවිතයට යම්කිසි උද්යෝගයක් ලැබුණා. එය සතුටක්. නමුත් මා කිසිවිටෙක සම්මාන තුළින් හිස උදුම්මා ගන්නේ නම් නැහැ. එසේ සිදු කළා නම් කෙදිනකවත් මට නිර්මාණකරුවෙකු වීමට සහ මගේ නිර්මාණ වැඩිදියුණු කර ගැනීමේ හැකියාව උදා වන්නේ නැහැ. රත්න ශ්‍රී විජේසිංහ, ආරියවංශ රණවීර, පරාක්‍රම කොඩිතුවක්කු වැනි මාගේ සමකාලීන මහත්වරුන්ගේ නිර්මාණ සමග මගේ නිර්මාණ පෙළපොත් සඳහා නිර්දේශ වීම මට මහත් සතුටක්. එම නිර්මාණ නව පරම්පරාවක් අධ්‍යනය කිරීම, කියවීම තුළින් කවිය පිළිබඳව සෙවීමට සහ අධ්‍යනයට ඔවුන් උනන්දු වෙනවා. එවිට නිතරම කවිය අලුත් වෙනවා. සම්මාන ඇගයීම් ලබා ගත්තාටත් වඩා මට එය විශාල සතුටක් "

ප්‍රවීණ කාව්‍ය නිර්මාණකරුවෙකු ලෙස එතුමා නව පරපුරේ කාව්‍ය නිර්මාණකරුවන් පිළිබඳව දක්වන්නේ මෙසේ සුබවාදී අදහසකි.

" කාව්‍යකරණයේ ඉතාම දුෂ්කර මාර්ගයක ගමන් ගන්න කෙනෙකුට තමයි උච්ච ස්ථානයකට පැමිණීමට හැකි. මෙම දිගු ගමනේදී කැපවීම සහ උනන්දුව අවශ්‍යයි. වත්මන් තරුණ පරපුර කාව්‍යකරණයට යොමු වීමේ සුබවාදී ලක්ෂණ මා දකිනවා. අපට එකල නොතිබුණු බරපතළ සමාජ ප්‍රශ්න තමා දැන් පරපුරට ඇත්තෙ. එහෙව් කඨෝර සමාජයේ ඉතා දක්ෂ කවි කිවිඳියෝ අනාගතයේ බිහිවන ලකුණු මා දැක තිබෙනවා. විද්‍යාවේ ජයග්‍රහණයක් මේ තාක්ෂණය. මිනිසා එයින් යහපත් උපරිම ප්‍රතිඵල ගත යුතුයි. ඉතා යහපත් ලෙස භාවිතා කළ යුතුයි. මගේ නිර්මාණ වුවත් වරින් වර මුණුපොතේ මිතුරු මිතුරියන් වෙත අවධානයට යොමු කරමින් නිර්මාණ බෙදාගන්නේ සතුටින්. එහිදී බොහෝ දෙනාගේ ප්‍රතිචාර සහ රසික ප්‍රජාව දෙස අවධානය යොමු කිරීමේ දී කවිය පිළිබඳව බොහෝ දෙනා උනන්දු වන බව මට පෙනෙනවා. ඉතින් සියලු දෙනා කළ යුත්තේ අතීතය ගැන අවධානයෙන් අනාගතය සකස් කර ගැනීමයි."

පුතුනුවන් දෙදෙනකුගේ සහ දියණියකගේ ආදරණීය පියකු වන නන්දන වීරසිංහ මහතාගේ බිරිඳ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවීණ නිවේදිකාවකි. ඇය රම්‍යා ශ්‍රියානි පතිරණ මහත්මියයි. වීරසිංහ මහතාට ඒ සියලු දෙනාගෙන්ම තම නිර්මාණ කටයුතු සඳහා ලැබෙන සහය ඔහු සිහි කරන්නේ ගෞරවපූර්වකව ය.

"පවුලේ උදවියගේ සහය නොමැතිව අවුරුදු ගණනාවක් මෙම කර්තව්‍ය කිරීමට මට නොහැකියි. ඔවුන් සැම විටම මට නිදහස් වාතාවරණයක් සාදා දෙනවා. ජීවිතයේ ඇතැම් හැලහැප්පීම් සහ කර්කශතාවයන් තේරුම් ගෙන ඔවුන් කටයුතු කිරීම මට ඉතාම විශාල සහනයක්, සතුටක්."

නන්දන වීරසිංහ මහතා පවසන ආකාරයට ඔහු කවියෙකු ලෙස ආ ගමන් මගෙහි හා කවියකු ලෙස තම චරිතය ගොඩනගා ගැනීමට ගත් උත්සහයේ ගෞරවය හිමිවිය යුතු චරිත කිහිපයක්ම සිටිනවා.

" තනිව පුද්ගලයෙකුට අර්ථවත් විය නොහැකියි. මා මෙම සමාජ ක්‍රමයේ ම ඵලයක්. අන්‍යෝන්‍ය සම්බන්ධයෙන් පුද්ගලයා ගොඩනැගීම හා ජයග්‍රහණ ලබා ගැනීම සිදුවනවා. එලෙස මා හට අර්ථවත් වීමට බලපෑ චරිත අතර මා හට ප්‍රථමයෙන්ම සිහියට නැගෙන්නේ මගේ පොඩි අක්කාවයි. ඇය මට බොහෝ සහය වූවා. කියවීමට අනුබල දුන්නා. සිරි ගුණසිංහ, ගුණදාස අමරසේකර, ජී. බී. සේනානායක, විමල් දිසානායක සහ මාර්ටින් වික්‍රමසිංහ වැනි මහත්වරුන්ගේ නිර්මාණයන් මට නිතැතින්ම ශක්තියක් වූවා. එමෙන්ම මා සමකාලීන මිත්‍රයන් වන ජයතිලක කම්මැල්ලවීර, රත්න ශ්‍රී විජේසිංහ, ආරියවංශ රණවීර සහ කීර්ති වැලිසරගේ වැනි විශිෂ්ට නිර්මාණකරුවන් ගේ අදහස් උදහස් ඔවුන්ගේ නිර්මාණයන්හි ඇති විශිෂ්ටත්වය, ශක්තිය මාගේ නිර්මාණ වලට ආලෝකයක් වුණා. එමෙන්ම අමතක නොකළ යුතුයි මට බාල විද්වත් පරම්පරාව. එකී පරම්පරාවේ අදහස් උදහස් විවේචනත් මගේ නිර්මාණ කටයුතු කෙරෙහි සුබවාදී ලෙස බලපෑම් කරනවා. සුනන්ද කරුණාරත්න නම් නිර්මාණකරුවත් මා හට ඉතා වැදගත්."

ජීවිතයේ සැදෑ සමය ගෙවමින් සිටින සොඳුරු සුබවාදී නන්දන වීරසිංහ නම් කවියා තවමත් තම කාව්‍යකරණ කටයුතු තුළ ඉතා ජවසම්පන්නයි . පැරණි මධ්‍යකාලීන ජපානයේ පැවති, කවීන් දෙදෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් එක්ව රචනා කළ කාව්‍ය විශේෂයක් පිළිබඳ අධ්‍යනය කරමින් සහ සැලසුම් සකස් කරමින් සිටින වීරසිංහයන් එකී කවි තිහක් හතළිහක් පමණ ප්‍රමාණයක් පරිවර්තනය කිරීමේ භාරදූර කටයුත්තක මෙකල නියැලී සිටිනවා .

නන්දන වීරසිංහ නම් සුවිශේෂී කවියාගෙන් අවසාන වශයෙන් මා මෙලෙස විමසුවා.

"කාව්‍යකරණයෙන් හරිහම්බ කරගත් දෙයක් තිබෙනවාද ?"

එහිදී මදක් සිනාසුනු ඔහු ඉතා උද්යෝගයෙන් මෙලෙස පැවසූවා.

"කාව්‍යකරණය තුළින් මා භෞතික මහා වස්තු සම්භාරයක් රැස් කර ගත්තේ නැහැ. හරි හම්බ කරගත්තෙ මනුෂ්‍යයින් සහ දැනුම. කවිය මගින් හොඳ රසික පිරිසක් සහ විද්වත්, උගත් පිරිසක් ඇසුරු කරන්නට මට ලැබුණා. මම මගේ ජීවිතය බොහෝ ලෙස කාව්‍යකරණය වෙනුවෙන් කැප කලා. එය මට විශාල සතුටක්. ඇතැම් අවස්ථාවන්හිදී ගැටළු තත්ත්ව උද්ගත වුණත් මා කිසිවක් සමග ගැටෙන්නේ නෑ. ආත්ම තෘප්තිය මා විශාල වශයෙන් හරි හම්බ කර ගත්තා. මගේ ජීවිතයේ විශාල සැලසුම් අපේක්ෂා ගොඩනඟාගෙන නැහැ. මගේ ජීවිතය මා ව්‍යාපාරයක් කරගෙන නැහැ. කාව්‍යකරණය තුළින් මා මනාව පෝෂණය වී තිබෙනවා. මට එය ප්‍රමාණවත්."

ප්‍රවීණත්වය නම් ලේබලය කොතෙක් නම් ඉදිරියේ රැඳවූවත් එකී ප්‍රවීණත්වයට තම ආධ්‍යාත්මයෙන් ම සාධාරණයක් ඉටු කළ හැක්කේ අල්ප දෙනෙකුටයි. එකී අල්ප දෙනා අතර නන්දන වීරසිංහ මහතා ඉහළින්ම වැජඹේ.

ඉතින් වීරසිංහයනි,

කවිය තුළ සදා අමරණීය ඔබට

දීඝායු වේවා !

මුවගේ සිනහව නිරතුරු රැඳේවා !

මූලාශ්රව :- නන්දන වීරසිංහ මහතා සමඟ සිදුකළ සාකච්ඡාවක් සහ අන්තර්ජාලය ඇසුරෙනි.

Top