කේම්බ්‍රිජ් සරසවියෙන් ආචාර්ය උපාධිය හදාරන ශ්‍රී ලාංකේය තරුණිය - සිකී ප්‍රනාන්දු

post-title
  1. සිකී කියන්නෙ කවුද

සාමාන්‍ය, සැහැල්ලුවෙන් ඉන්න කැමැති කෙනෙක්

  1. සිකී අධ්‍යාපනය ලැබුව ව අවදිය ගැන කතා කරමුද?

දේවි බාලිකා විද්‍යාලයෙන් සහ ප්‍රාථමික අධ්‍යාපනය මොරටුව වේල්ස් කුමරි විදුහලෙන් මාගේ පාසල් අධ්‍යාපනය ලැබුවේ. පාසල් දෙකේදිම මට හරිම සුන්දර යාලුවෝ පිරිසක් එක්ක ගෙවුන සුන්දර පාසල් කාලයක් තිබුනා. පාසල් කාලයෙදි මම ඉගෙනීම වගේම ක්‍රීඩාව,සංගීතය වගේ විෂය බාහිර කටයුතු වලටත් සම්බන්ධ උනා. දේවි බාලිකාවේදී නිවාස ක්‍රීඩා නායිකාවක මෙන්ම පියානෝ වාදන ශිල්පිනියක් ලෙසත් කාලයක් කටයුතු කලා. උසස් පෙල විභාගයෙන් සමත් විමෙන් පසුව මම මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රමාණ සමීක්ෂණ පාඨමාලාව හදාරන්න පටන්ගන්නවා. මම විශ්වවිද්‍යාලයේදී ක්‍රීඩා කටයුතු වගේම වාස්තු විද්‍යා පීට ශිෂ්‍ය සංගමයේ කාන්තා නියෝජිතවරිය ලෙස කාලයක් කටයුතු කලා. මගේ ජීවිතය සකසා ගන්න ගොඩක් උදව් කරපු තැනක් විදියට මම මගේ දහම් පාසල - ශ්‍රී වාචිස්සර දහම් පාසලත් මේ වෙලාවේ සිහිපත් කරන්න කැමති. මේ තැන් හැමතැනකදිම මට මුණ ගැහුණු ගුරු මව්වරු පියවරු වගේම මට හමුවුණු යාලුවෝ මම ආදරෙන් මතක් කරනවා.

03.කේම්බ්‍රිජ් වගේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන්න අවස්තාව ලැබීම ගැන ඔබට මොනවගේ හැඟීමක් ද තියෙන්නෙ?

ඒ අවස්ථාව ලැබීම මගේ ජීවිතයේ ලොකු වෙනසක් කරා. මම ඒ ගැන මගේ පර්යේෂණය හා සම්බන්ධ මහාචාර්යවරයාට තමයි ගොඩක්ම ස්තූතිවන්ත වෙන්න ඕනේ. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය හා බැදුණු විශේෂ සමාජ පද්ධතියක් හා සංස්කෘතියක් තියනවා, ඒ දේවල් හැදිලා තියෙන්නේ ලෝකයේ විවිධ තැන් වලින් එන සිසුන්ට ඉගෙනගන්න ගමන් සමාජිය ජිවිතය සමබර කරගන්න ඉඩ හදලා දෙන්න. ඒක අත්විඳින්න ලැබීමත් ලෝකයේ විවිධ රටවලින් ආපු දක්ෂ සිසුන්, පර්‍යේශකයන් සහ ආචාර්යවරු එක්ක වැඩ කරන්න ලැබීම හරිම වාසනාවන්ත සහ වටිනා අවස්තාවක් විදියට තමයි මම දකින්නේ.

  1. ආචාර්‍ය උපාධිය හැදෑරීමට ඔබ විසින් කරනු ලබන පර්‍යේෂණය ගැන කියමුද?

දැනට බ්‍රිතාන්‍යයේ සහ අනික් යුරෝපීය රටවල සියලුම ගොඩනැගිලි සහ මාර්ග පද්ධති ඩිජිටල්කරණයට ලක්කිරීම සහ එයින් ලැබෙන ප්‍රයෝජන ගැන පර්යේෂණ කරනවා සහ පද්ධති නිර්මාණය වෙනවා. බ්‍රිතාන්‍යයේ මේ සදහා වෙනම "Digital Built Britain" නමින් වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්වා රජය සහ කේම්බ්‍රිජ් වැනි විශ්වවිද්‍යාල වල එකමුතුවෙන්. ඒ වැඩසටහනේ ප්‍රධාන අරමුණක් තමයි සියලුම ගොඩනැගිලි, මාර්ග පද්ධති, දුම්රිය පද්ධති, පාලම්, උමංමාර්ග ඇතුලු මුලු නගර පද්ධතීන් ඩිජිටල්කරණයට ලක් කිරීම. මේ සදහා දැනට තියන පද්ධති හුගාක් ශ්‍රම ශක්තිය අවශ්‍යයි තවද ඒවා මිල අධික විසදුම්. විශේෂයෙන් දැනට තියන විසදුම් භාවිතා කරලා කරන දුම්රිය මාර්ග ඩිජිටල්කරණයට අවශ්‍ය ශ්‍රමය සහ පිරිවැය ඩිජිටල්කරණයෙන් ලැබෙන ප්‍රතිලාභ ඉක්මවා යනවා සහ ඒවායේ අන්තර් ක්‍රියාකාරීත්වයේ ගැටලු පවතිනවා. මම ආචාර්ය උපාධිය සදහා කරේ දැනට ක්‍රියාත්මක වෙන සහ භාවිතා වෙන දුම්රිය මාර්ග සදහා ස්වයංක්‍රීය ඩිජිටල් පිටපත් (Digital Twins) උත්පාදන පද්ධතියක් නිර්මාණය කිරීමයි. ඒ ස්වයංක්‍රීය විසදුම මගින් මට, දුම්රිය මාර්ග ඩිජිටල්කරණයට අවශ්‍ය ශ්‍රමය සහ පිරිවැය 94% කින් අඩු කරන්න පුලුවන් උනා. මම සහ අපේ පර්යේෂණ කණ්ඩායමේ අනික් අය කරන්නේ මේ ඩිජිටල්කරණයට අවශ්‍ය ස්වයංක්‍රීය පද්ධති නිර්මාණය කිරීම සහ ඒ ආශ්‍රිත පර්යේෂණ.

  1. සිකී කියන්නෙ අධ්‍යාපනයට වගේ ක්‍රීඩාවලටත් යොමු උන කෙනෙක් නේද?

ඔව්. මම පාසල් කාලයේ වගේම මොරටුව විශ්වවිද්‍යාලයේදීත් ක්‍රීඩා කටයුතු වලට යොමු වුනා. පාසලේදී මම දැල්පන්දු ක්‍රීඩාව වගේම දිගු දුර දීවිමට සහ කඩුලු පැනීමේ ඉසව් වලට සහභාගි වුනා. මොරටුව විශ්වවිද්‍යාලයේදී මම දැල්පන්දු කණ්ඩායමේ Goal Keeper (GK), Wing Defence (WD)යන ස්ථානයන් හි ක්‍රීඩීකාවක් ලෙස කටයුතු කරා.

  1. විවාහක කාන්තාවක් වීම වැඩිදුර අධ්‍යාපනයට බාධාවක් උනේ නැතිද?

නැහැ. ඇත්තටම කියනවනම් මාව වැඩිදුර අධයාපනය සදහා උනන්දු කරේත් ස්වාමී පුරුෂයා ඔහු නමින් ගැමුණු. ගැමුණු හමුවීම සහ එයාගේ සහයෝගය මගේ ජීවිතේ නම් වැඩිදුර අධ්‍යාපනය සදහා මූලික පියවර තියන්න හේතු වුනා කිව්වොත් මම වඩාත් නිවැරදි. මට මේ දේවල් කරගෙන යන්න මානසික වශයෙන් භොතික වශයෙන් විශාල ශක්තියක් මෙන්ම ධෛර්යයක් වුනා . ඒවගේම එයාගේ වෘත්තීය ජිවිතේ කැපකිරීම් පවා මා වෙනුවෙන් ඔහු සිදු කලා. ඉතිං විවාහක කාන්තාවක් වීම මට බාධාවක් නොවී එය ශක්තියක් වුනා.

  1. සිකී සමාජසේවා වැඩ කටයුතුවලට සක්‍රියව දායක වෙන චරිතයක් ද?

හැම අම්මා තාත්තා කෙනෙක් වගේම අපේ අම්මා තාත්තා අපිට උගන්වන්න හුගාක් මහන්සි උනා, මුළු ජිවිතයම කැප කරා, එයාලා නිසයි ලංකාවේ නිදහස් අධ්‍යාපනය නිසයි මම වගේම හුගාක් දෙනෙක් ජිවිතේ එයාලට අවශ්‍ය විදියට හදාගෙන තියෙන්නේ. ඒත් ඒ අවස්ථාව එක එක හේතු නිසා නැති උන අයට පුලුවන් විදියට උදව් කරන එක ඒ අයටත් කවදහරි හොද අධ්‍යායපනයක් එක්ක ජීවිතේ හදාගන්න උදව් වේවි කියන විශ්වාසයෙන් මම සම්බන්ධ වෙන පොඩි පොඩිවැඩසටහන් තියනවා. මට SOS children village එකේ දුවලා තුන් දෙනෙක් ඉන්නවා මම එයාලගේ අධ්‍යාපනය සහ අනෙක් අවශ්‍යතා වලට උදව් කරනවා, ඔවුන් එයාලගේ අධ්‍යපානය මෙන්ම අනුකුත් අංශ පිලිබඳව මාව නිතර යාවත්කාලීන කරනවා . තව මම මෙත්සිසිල සංසදය වැඩසටහන (Methsisila Foundation) එක්ක සම්බන්ධ වෙලා දුෂ්කර ගම්මාන වල පවුල් සහ දරුවන්ගේ ජිවන තත්වය වැඩි දියුණු කරන්නත් සහ රෝහල් පහසුකම් වැඩි දියුණු කරන්නත් වරින් වර සහභාගී වෙලා උපකාර කරනවා.

  1. ලෝකයේ විශිෂ්ටතම විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන ඔබට ලංකාවේ අධ්‍යාපනය ගැන තියෙන්නෙ මොන වගේ මතයක් ද?

ලංකාවේ නිදහස් අධ්‍යාපන පද්ධතිය (පාසල් සහ විශ්වවිද්‍යාලය) ට මම හුගාක් ණයගැති සහ ඒ දේ ලංකාවේ පිහිටුවන්න ඒ නිදහස් අධ්‍යාපනයේ අයිතීන් රැකගන්න මුල් වෙච්ච හැම කෙනෙක් ගැනම මට තියෙන්නේ අසීමිත ගෞරවයක්. ගෝලීය අවශ්‍යතා අනුව විෂය නිර්දේශ යාවත්කාලීන කිරීම,වෘත්තීය අවශ්‍යතා අනුව පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන පද්ධතියේ වෙනස්විමත් ඉතාමත් වැද්ගත්. ඒ වගේම විභාග ප්‍රතිපල ඉක්මනින් ලබාදීම, අඩු වයසෙන්ම වෘත්තීය අද්‍යපනයට හෝ උසස් අද්‍යපනයට යොමු කිරීම, ව්‍යවසායකත්වය, නව නිර්මාණ වගේ දේවල් වලට වැද්ගත් තැනක් ලැබෙන විදියට අධ්‍යාපන පද්ධති වෙනස්කිරීම අනිවාර්ය අංගයක් ලෙස මම දකිනවා .

  1. ලංකාවෙ සමාජය සහ මිනිස්සු සිකී කියවා ගන්නෙ කොහොමද?

ලංකාවේ සමාජය සහ වෙන රටවල මිනිස්සු ජීවිතේ values කියලා දකින ඒවගේ ලොකු වෙනසක් තියනවා. ලංකාවේ සමාජය තුළ කෙනෙක්ගේ අඩුපාඩු උලුප්පා දක්වන එක, පොද්ගලික ජීවිතේ දේවල් එක්ක කෙනක් ගේ හැකියාව මිශ්‍ර කර තීරණ ගැනීම බහුලව දකින්න ලැබෙනවා. කෙනෙක් තමුන්ට කැමති විදියට ජීවත් වීම, සාම්ප්‍රදායික වීම හෝ නොවීම වැරැද්දක් විදියට දකින්න පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේ සමාජයක හැදුන ලංකාවේ මිනිස්සු හුගාක් අය තමුන්ව, තමුන්ගේ හැකියාව ඉදිරිපත් කරන්න බයයි. නමුත් හුගාක් අනික් රටවල මිනිස්සුගේ හැකියාව මිසක් එයාගේ රුචි අරුචිකම් කෙනෙක්ව represent කරන හේතු වෙන්නේ නැහැ. ඒ නිසාම මොන ක්ෂේත්‍රයේ වුනත් මිනිස්සු තමුන්ගේ හැකියාව කුසලතාවය හොදින් ඉදිරිපත් කරන්න පුරුදු වෙලා ඉන්නවා පොඩි කාලේ ඉඳන්ම. ඒ නිසාම ඒ අයට තම තමන්ගේ ක්ෂේත්‍රයේ අවස්ථා ලැබෙනවා, ඉදිරියට යනවා වැඩියි. මේ දේ තමයි මම ගොඩක් දුරට මෙරට සමාජයේ සිටින මිනිසුන් හා මා දැන් ජිවත් වන විදේශිය සමාජය මිනිසුන් අතර දකින වෙනස.

  1. සිකී වගේ අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න ආස කරන කෙනෙක්ට දෙන උපදෙස් මොනවද?

තමුන්ට තියන හැකියාව විශ්වාස කිරීම, සහ ඒ හැකියාව ඉදිරිපත් කිරීම ප්‍රගුණ කරන්න ඕනේ. ඒ quality එක ජීවිතේට හුගාක් දේවල් ලැබීමට හේතු වෙනවා. ලංකාවේ ගොඩක් ලමයින්ගෙ සහ වෙනත් රටවල ලමයින්ගේ ලොකු වෙනසක් තමයි ලංකාවේ ලමයි අවස්ථා උත්සාහ කරන්න කලින්ම “මට බැහැ” කියල හිතලා තමුන් විසින්ම ප්‍රතික්ෂේපවෙලා ඉවරයි. එහෙම නැතිව තමුන්ට ලබාගන්න ඕනේ අවස්ථා උත්සාහ කරලා බලලා ලැබෙනවද නැද්ද බලන්න ඕනේ.

  1. මේ දක්වා දුර එන්න උදව් කළ අය මතක් කරමුද?

මගේ අම්මා ,තාත්තා, ගැමුණු, මගේ අක්කාලා දෙන්නා ඇතුලු පවුලේ හැමෝම, මට අසීරු අවස්ථා හැම එකේදීම මනසින්, වචනයෙන් හා භොතිකව ශක්තියක්වුන හැමකෙනෙක්ම සහ එදා ඉදන් නොවෙනස්ව මගේ එක්ක ඉන්න මගේ යාලුවො හැමෝමයි මම ආදරෙන් මතක් කරන්න කැමති.

Top