ෆොන්ට් කියුවම අපිට මතක් වෙන්නෙ පරිගණක භාවිතය තුළ අප භාවිත කරන අක්ෂරයි. බොහෝ දෙනා සිංහල අක්ෂර එහෙම නැත්නම් සිංහල ෆොන්ට් භාවිත කරද්දි බොහෝමයක් වෙලාවට හිතන්නෙ ඒ ෆොන්ට් අදාල පරිගණක මෙහෙයුම් පද්ධතිය සමග පැමිණි දෙයක් බවයි. නමුත් ඇත්ත එය නෙවෙයි. ඉතින් මේ ෆොන්ට් සම්බන්ධව වැඩි විස්තර දැන ගන්න අපි අද වචන සංලාපය සදහා සම්බන්ධ කරගන්නෙ ෆොන්ට් නිර්මාණ කරණයේ යෙදෙන ප්‍රාමාණික වියතෙක් වන දමිත් වැලිකල මහතා ව. මේ අප ෆොන්ට් පිළිබද ඔහු සමග කළ කතාබහයි.
ෆොන්ට් නිර්මාණකරණය කියන ක්ෂේත්‍රය පිළිබඳ ටිකක් විස්තර කරමුද?
ලංකාවේ සිංහල ෆොන්ට්ස්, එහෙමත් නැත්තම් පරිගණක අක්ෂර නිර්මාණකරණය ආරම්භ වෙන්නෙ 90 දශකයේදි විතර. මේ කාලෙ පරිගණක භාවිතය ප්‍රචලිත වීමත් එක්ක සිංහල භාෂාවෙන් පරිගණකවල වැඩ කිරීම සඳහා සිංහල ෆොන්ට්ස්වල අවශ්‍යතාව මතුවුනා. නමුත් ඒ සඳහා අවශ්‍ය මෘදුකාංග හෝ තාක්ෂණය ඒ වෙනකොට ලංකාවේ තිබුණෙ නැහැ.
ලංකාවෙ මුලින්ම සිංහල ෆොන්ට් එකක් හදන්නෙ දිවයින පත්තරෙන්. ගුණසිරි කොළඹගේ මහත්මයා විසින් ඇඳපු අකුරු මෝස්තරය එංගලන්තයට යවලා තමයි මේ පළවෙනි ෆොන්ට් එක හදලා තියෙන්නෙ.
පසු කාලීනව සිංහල ෆොන්ට්ස් කිහිපයක්ම නිර්මාණය වී තිබුණත් මේ සම්බන්ධයෙන් පුරෝගාමී මෙහෙවරක් සිදුවෙන්නෙ පුෂ්පානන්ද ඒකනායක මහත්මයා අතින්. එතුමා 1998දි එළිදක්වපු ඉසිවර ෆොන්ට්ස් එකතුව තමයි සියවස් කාලට ආසන්න කාලයක් තිස්සේ අපේ රටේ බහුල වශයෙන් භාවිතා වෙන්නෙ. පසුකාලීනව තවත් නිර්මාණකරුවන් ඉතාමත් සුළු පිරිසක් පසුව ක්ෂේත්‍රයට එකතු වුනා. ඇපෙක්ස් ෆොන්ට්ස් එකතුව හදපු ජූඩ් මහත්මයාත් ඒ අතලොස්ස අතරේ ලොකු දායකත්වයක් කරපු කෙනෙක්. කොහොම නමුත් ලංකාවේ ෆොන්ට් නිර්මාණකරුවන් ඉන්නෙ බොහොම සීමිත ප්‍රමාණයක්.
මෙය වාණිජ මට්ටමින් යම් ඉල්ලුමක් තියන ක්ෂේත්‍රයක්. නමුත් අවාසනාවකට විධිමත් ක්‍රමවේදයක් මේ සඳහා තාමත් සකස් වෙලා නැහැ. මිලදී ගන්නා තැනැත්තාට පමණක් භාවිත කළ හැකි අයුරින් ෆොන්ට් හැදීම සංකීර්ණ වැඩක්. හැදුවත් ටික දවසකින් ඒවා නොයෙක් ක්‍රමවලින් හිතවතුන් අතර සංසරණය වෙනවා. එහෙම වෙනකොට කවුරුත් ෆොන්ට් එකක් මිලදී ගන්න හිතන්නෙ නැහැ. අඩුම තරමින් ෆොන්ට් එකක් කියන්නෙ මිලදී ගෙන පාවිච්චි කළ යුතු දෙයක් කියල බොහෝ දෙනා දන්නෙවත් නැහැ. අනික නිර්මාණකරුවන්ට මේ සඳහා ක්‍රියාමාර්ග ගන්න තියෙන්නෙ තාක්ෂණය පැත්තෙන් නෙවේ, නීතිමය පැත්තෙන්. ඒක කොහොමත් ප්‍රායෝගික නැහැ. මේ වගේ ගැටලු ගොඩක් මැද තමයි මේ ක්ෂේත්‍රය මේ මොහොත වෙනකොට තියෙන්නෙ.
අනිත් අතට බුද්ධිමය දේපළ බොහොම පහසුවෙන් කොල්ල කෑමට ලක්වෙන ක්ෂේත්‍රයක් තමයි මේක. සිංහල ෆොන්ට්ස් 2000ක් තියනවා යැයි කියන වෙබ් අඩවි අපි දැකල තියනවා. නමුත් හරියට බැලුවොත් ලංකාවේ සිංහල ෆොන්ට්ස් 200ක් වත් නැහැ. අනිත් සියල්ල මුල් නිර්මාණ විකෘති කරමින් හෝ සුළු වෙනස්කම් කරමින් හදපු ඒවා.
ඔබ කොහොමද මේ ක්ෂේත්‍රයට යොමුවුනේ?
මම වෘත්තියෙන් වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්‍රයේ නියැළෙන කෙනෙක්. ප්‍රචාරණ කටයුතුවලදී ටෛපොග්‍රැපි කියන විෂය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න වෙනවා. අලුත් අකුරු රටා ගැන අත්හදා බැලීම් නිරන්තරයෙන්ම කරන්න සිද්ධ වෙනවා. ෆොන්ට්ස් ගැන උනන්දුවක් ඇති වුනේත් මේ නිසා. ඒ දවස්වල මං කරමින් හිටපු නිර්මාණ කටයුත්තක් වෙනුවෙන් මගේම අත්අකුරු යොදාගෙන ෆොන්ට් එකක් හදන්න මට අවශ්‍ය වුනා. ඒ ඔස්සේ කරපු ස්වයං අධ්‍යයනයේ ප්‍රතිඵලය තමයි මං පළවෙනියටම කරපු ‘වැලිකල’ ෆොන්ට් එක.
මේ වෙද්දි ඔබ ඒ ක්ෂේත්‍රයේ මොන වගේ කාර්‍යන් ද කරල තියෙන්නෙ?
පළවෙනි ෆොන්ට් එක නිකුත් කිරීමත් එක්ක ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ නිසාම තවත් ෆොන්ට්ස් නිර්මාණ කරන්න ලොකු උත්තේජනයක් ඇතිවුනා. ලංකාවේ මෙතෙක් කවුරුත් නොකරපු විදියේ ෆොන්ට් එකතුවක් හදන්න මට අවශ්‍ය වුනා. සිංහල අක්ෂර පරිණාමයේ විවිධ සන්ධිස්ථාන පෙන්නුම් කරන අකුරු රටා කිහිපයක් තෝරගෙන ඒ ඔස්සේ ෆොන්ට් තුනක් නිර්මාණ කළා. පුරාණ සෙල්ලිපි අකුරු පාදක කරගෙන ‘සෙල්ලිපි’ නමින් ෆොන්ට් එකකුත්, පරණ අච්චු අකුරු මෝස්තරයක් අනුව ‘ඕල්ඩ් ප්‍රෙස්’ නම් ෆොන්ට් එකකුත්, සිංහල ටයිප් රයිටර් අකුරු මෝස්තරයෙන් ‘ටයිප් රයිටර්’ නමින් ෆොන්ට් එකකුත් හැදුවා. මේ ෆොන්ට් ත්‍රිත්වය ‘මතක අකුරු’ නමින් 2019දී ජනගත කළා. මගේ බිරිඳට දීපු උපන්දින තිළිණයක් විදියට තමයි ඇයගේ නමින් නම් කළ ‘හේමමාලි’ ෆොන්ට් එක නිර්මාණය වෙන්නෙ. පහුගිය කොරෝනා කාලය නිසා ලැබුණු දීර්ඝ නිවාඩුවෙදි තවත් ෆොන්ට්ස් දෙකක් නිර්මාණ කළා. ඉන් පළමුවැන්න වුනේ ‘මොටා ටයිප් වන්’ ෆොන්ට් එක. ඇත්ත පුවත්පතේ භාවිත වුණු සිරස්තල අකුරක් ඇසුරින් තමයි එය සැකසුණේ. දෙවැන්න අනූපමා චිත්‍රපටයේ නාමාවලි අකුරු ඇසුරින් කළ ‘අනූපමා’ ෆොන්ට් එක.
මේ සියලුම ෆොන්ට්ස් මම ලබා දුන්නෙ නොමිලේ. බොහෝ අය අහනවා ඇයි මේවා නිකං දෙන්නෙ කියලා. මේ වෙහෙස මුදලකට අලෙවි කරනවාට වඩා නොමිලේ ලබා දීමෙන් ලැබෙන ආත්ම තෘප්තිය ඉතාමත් වැඩි බව මම පුද්ගලිකව අත්විඳින දෙයක්.
ෆොන්ට් නිර්මාණකරුවන් කියන්නෙ වැදගත් කණ්ඩායමක් උනත් ඔවුන් පිළිබඳ කතා බහ කරන්නෙ අඩුවෙන් නේද? ඇයි ඒ?
ෆොන්ට්ස් කියලා කියන්නෙ කලාවේ සහ තාක්ෂණයේ සංකලනයක්. නමුත් එහි තාක්ෂණික පැත්තට වැඩි බරක් ඇති නිසාද කොහෙද නිර්මාණකරුවා කියන සාධකය බොහෝවිට යටපත් වෙලයි තියෙන්නෙ. ෆොන්ට් එකක් කියන්නෙ කිසියම් නිර්මාණකරුවෙකු වෙහෙසක් දරා සැකසිය යුතු දෙයක් කියන එක බොහෝ දෙනෙකුට කල්පනා වෙන්නෙ නැහැ. ෆොන්ට්ස් කියන්නෙ වින්ඩෝස් එක්ක නොමිලේ ලැබෙන දෙයක් වගේ ආකල්පයක් තමයි වැඩි දෙනෙකුට තියෙන්නෙ. ඒ නිසාම මුද්‍රණ කටයුතුවලදිත් අක්ෂර නිර්මාණය සඳහා ස්තූතියක් හෝ සඳහනක් සිදු වෙන්නෙ ඉතාමත් කලාතුරකින්. මේ ක්ෂේත්‍රයේ දැවැන්තයා වුණු පුෂ්පානන්ද මහත්මයා ගැන දන්නෙත් සීමිත පිරිසක් විතරයි. නමුත් සමාජ මාධ්‍ය භාවිතාව නිසා දැන් දැන් තත්ත්වය තරමක් වෙනස් වී ඇති බව පේනවා. පැතුම් එගොඩවත්ත ඇතුළු තරුණ නිර්මාණකරුවන් පිරිසක් සමාජ මාධ්‍ය හරහා ෆොන්ට්ස් සහ ටෛපොග්‍රැපි සම්බන්ධයෙන් යම් කතිකාවක් නිර්මාණය කරන්න සමත් වෙලා තියනවා. අකුරු ෆෞන්ඩ්‍රි, අකුරු සාමූහිකය වැනි ෆේස්බුක් පිටු හරහා මේ සම්බන්ධ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා. අලුත් නිර්මාණකරුවන්ට තාක්ෂණික අතහිත දීම් සිදුකරනවා. මේ නිසා අනාගතයේදී ෆොන්ට් නිර්මාණකරුවන් සහ ෆොන්ට්ස් පිළිබඳ ප්‍රාමාණික කතාබහක් ඇති වේවි.
මේ ක්ෂේත්‍රයට පිවිසෙන්න උත්සහ කරන අයට මොන වගේ දෙයක් ද කියන්න තියෙන්නෙ ඔබට
මේ ක්ෂේත්‍රයට එන්න නම් තිබිය යුතු මූලික සුදුසුකම වෙන්නෙ ඉවසීම සහ උනන්දුව කියලයි මං හිතන්නෙ. මොකද සිංහල අකුරුවල තියන සංකීර්ණ ස්වභාවය නිසා ෆොන්ට් එකක් සැකසීමත් අතිශය සංකීර්ණ වැඩක්. සිංහල අකුරුවල පිලි සමරූපීකරණයක් නැති නිසා පිල්ලම් අකුරෙන් අකුරට වෙනස්. එක් එක් අක්ෂරයේ ස්වර ගැන්වීම්වල වෙනස්කම් වෙනුවෙන් අකුරු රාශියක් නිර්මාණය කරන්න වෙනවා. ඉලක්කම් සහ විරාම ලක්ෂණත් එකතු වුනාම එක් ෆොන්ට් එකක් වෙනුවෙන් අකුරු 180ක් විතර අඳින්න වෙනවා. මේ සඳහා කාලයට සහ ශ්‍රමයට අමතරව ලොකු ඉවසීමකුත් අත්‍යවශ්‍ය බව කිව්වෙ මෙහි ඇත්ත තත්ත්වය පැහැදිලි කරන්න මිසක් ආධුනිකයන් දුර්මුඛ කරන අදහසින් නෙවෙයි. නමුත් හොඳ ඉවසීමක් උනන්දුවක් තියන කෙනෙකුට භාවනාවක් වගේ කරන්න පුළුවන් හරිම ආස හිතෙන කලාවක්. විනෝදාංශයක් විදියට ප්‍රගුණ කරන්න පුළුවන් දෙයක්. හරි දෙයක් කළොත් වාණිජ වටිනාකමක් වගේම සමාජ වටිනාකමකුත් ලැබෙන ක්ෂේත්‍රයක්. භාෂාවටත් රටටත් සේවයක් කරන්න ලැබෙන වටිනා දුර්ලභ අවස්ථාවක්. ඒ නිසා මේ ගැන උනන්දුවක් තියන කෙනෙක් ඉන්නව නම් කිසිසේත්ම පසුබට වෙන්න එපා. තනියම වුනත් ඉගෙන ගන්න දේවල් ඕනෑ තරම් අන්තර්ජාලයේ තියනවා. අකුරු ෆෞන්ඩ්‍රිය හරහා එවැනි ආධුනිකයන්ට අවශ්‍ය තාක්ෂණික සහය දෙන්නත් වැඩපිළිවෙළකුත් මේ වෙද්දි ක්‍රියාත්මකයි.