අද වචන.lk සමග සංලාපයට අපි සම්බන්ධ කර ගන්නෙ ලෝකප්‍රකට තාක්ෂණික ආයතනයක් වන IBM සමාගමට අනුබද්ධ ස්විස්ටර්ලන්තයේ පිහිටි පර්යේෂණාගාරයේ රැකියාව හා ආචාර්ය උපාධිය හදාරණ ශ්‍රි ලංකාවේ තරුණයෙක් වන ගීතාන් කරුණාරත්නයි. ඔහු මේ වන විට කෘතීම බුද්ධිය අවම ශක්තියකින් භාවිත කළ හැකි විද්‍යුත් පරිපථ හා පද්ධති නිර්මාණය කිරීම පිළිබද පර්යේෂණයක නියැලෙයි. මේ ගීතාන් අපට දැක්වූ අදහස් ය.
- ගීතාන් කියන්නෙ කවුද?
ගීතාන් කියන්නේ සැහැල්ලුවෙන් ඉන්න විවෘත මනසකින් හිතන්න කැමති පුද්ගලයෙක්
- ගීතාන්ගෙ පාසල් කාලෙ ගැන කතා කරමු ද?
ගීතාන් පාසල් කාලයේ ඒ තරම් කැපී පෙනෙන චරිතයක් නෙමෙයි. පාසල් කාලයේ පන්ති කාමරයේ වැඩ කටයුතු සමාන්‍ය විදියට කර ගෙන ගියා. ඊට අමතරව තුර්ය වාදන කණ්ඩායමේ, දැනුම මිනුම සංගමයේ එහෙම වැඩ කලා. පාසල් කාලයේ ගීතාන්ව පෝෂණය කරපු ඉසිපතන විද්‍යාලයේ සහ ආනන්ද විද්‍යාලයේ මිතුරන් සහ ගුරු මෑණිවරු සහ පියවරු ආදරයෙන් මතක් කරන්න කැමතියි
- මේ වෙද්දි ඔබ මොන වගේ වැඩ කටයුත්තක ද නිරත වෙලා ඉන්නෙ?
මේ වෙනකොට මම ආචාර්ය උපාධිය සඳහා ඉගැනුම් කටයුතු වල නිරත වෙනවා.
- ඔබ විශේෂ වෘත්තියමය වැඩ කටයුත්තක නිරතවෙනවා නේ ද? ඒ ගැන පැහැදිලි කරමු ද?
වෘත්තියෙන් මම පරිගණක සහ විද්‍යුත් ඉන්ජිනේරු විෂයෙහි පර්යේෂකයෙක්. ආචර්ය උපාධිය සඳහා කරන්නේ කෘතීම බුද්ධිය අවම ශක්තියක් භාවිතයෙන් ධාවනය කළ හැකි විද්‍යුත් පරිපථ සහ පද්ධති නිර්මාණය කරන්නේ කොහොමද කියන ප්‍රශ්නයට උත්තර හොයන එක.
දැනට තියෙන පද්ධති වල කෘතීම බුද්ධිය පින්තූර වර්ගීකරණය කිරීම වැනි ප්‍රාථමික මට්ටමේ කාර්යයන් සදහා පුහුණු කරවන්න සාමාන්‍ය ගෙදරක සති දෙකක භාවිත වෙන තරම් ශක්තියක් වැය වෙනවා. හැබැයි මනුස්සයෙක්ගෙ පොඩි මොළය ඊට වඩා සංකීර්ණ කාර්යයන් සපුරා ගැනීමට මෙහෙය වෙන්න ඕන කරන්නෙ වොට් විස්සක බල්බයක් දල්වන්න අවශ්‍ය වෙන තරම් කුඩා ශක්ති ප්‍රමාණයක් පමණයි. ඉතින් මම අපේ පර්යේෂණ කණ්ඩායමේ අනිත් අයත් එක්ක උත්සහ කරන්නේ මොළයේ ක්‍රියාකාරීත්වයට සමානව කෘතීම බුද්ධිය නිර්මාණය කරන්නයි.
මෙ වැඩේ කරන්න දැනට තියෙන පරිගණක පද්ධති පාවිච්චි කරල හරියන්නෙ නැහැ. ඒවා නිර්මාණය කර තියෙන්නේ මතකය (memory) සහ සකසනය (processor) වෙන වෙනම ප්‍රශස්ථ තත්ත්වයන්ට අනුකූල වන ලෙස ගණනය කිරීම් කිරීම සදහායි. මතකය සහ සකසනය භෞතිකව වෙන වෙන ම පවත්වා ගැනීම පිනිස කොතරම් අංශ වලින් තාක්ෂණය දියුනු කලත්, මතකය සහ සකසනය අතර දත්ත හුවමාරුව සදහා වැය කල යුතු සැලකිය යුතු ශක්ති ප්‍රමාණය එමගින් අවම කර ගැනීමට හැකියාවක් නැහැ.
අප නිර්මාණය කරන්නට උත්සහ කරන විකල්ප පරිගණක පද්ධතිය මෙන්න මේ දත්ත හුවමාරුවේ තියෙන අක්‍රමවත් බව මග හරවන්න විශේෂයෙන් තැනූ මතකය තුළම ගණනය කිරිමේ පහසුකම් වලින් සමන්විතයි.
- ලංකාවෙන් ඈත් වෙලා විදෙස් රටක ජීවත් වෙද්දි මොන වගේ හැගීමක් ද තියෙන්නෙ?
මුලදි නම් පොඩි අභියෝගයක් උනා. ඒත් පහු වෙද්දි අලුත් සමාජයේ හර පද්ධතීන් ගැන අවබෝධය වැඩි වෙද්දී තේරුම් ගියා ඒක එච්චර අමාරු නැති බව. මොකද හමේ පැහැය කතා කරන භාශා වෙනස් උනත් විදේශ රටක කියල මූලික හර පද්ධතිය ලංකාව එක්ක සන්සනදය කරද්දි ලොකු වෙනසක් නැහැ. එකම මානුෂීය හර පද්ධතියක් තමා තියෙන්නේ. ඒ වගේම මගේ ආදරණීයයන් එක්ක නවීන තාක්ෂණයට පින් සිද්ද වෙන්න නිතර මට කතා කරන්න ලැබීම මට ලොකු මානසික ශක්තියක්.
- ලංකාවේ පාසල් අධ්‍යාපනය ගැන ඔබට මොන වගේ හැගීමක් ද තියෙන්නෙ
ලංකාවෙ පාසල් අධ්‍යාපන ක්‍රමයේ මූලික පදනම එනම් නිදහස් අධ්‍යාපන ක්‍රමය ගැන මට තියෙන්නෙ අසීමිත ගෞරවයක්. නිදහස් අධ්‍යාපනය නොතිබෙන්න මම අද මේ තැන නැහැ. ඒත් පාසල් අධ්‍යාපන ක්‍රමයේ තව දුරටත් වැඩි දියුණු කරන්න පුලුවන් පැති කිහිපයක් තියෙනවා කියලා මට හිතෙනවා.
එකක් තමා ආගම් වශයෙන් හෝ ස්ත්‍රී පුරුෂ වශයෙන් පාසල් වර්ගීකරණය වීම. ජන කොටස් අතර භේද වැඩි වීමට මේ වර්ගීකරණය බලපාන බවයි මගේ හැඟීම.
ඊළඟ දේ තමා පාසල් විෂය නිර්දේශයන් යාවත් කාලීන කිරීම. දැනට පවතින විෂයන් සහ විෂය නිර්දේශයන් විශේෂයෙන් 6-11 ශ්‍රේණි වල භාවිත වෙන විෂය නිර්දේශයන් කොතරම් දුරට ළමයින්ගෙ ජීවිතය සාර්ථක කරගැනීමට උපකාරී වෙනවද කියන කරුණ සලකා නැවත මුල සිට සැලසුම් කළ හැකි නම් අගනේයි.
- ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය දැන් යම් පමණික් වෘත්තිය අධ්‍යාපනය පැත්තටත් ශිෂ්‍ය කොටසක් යොමු කරනවා. ඒ ගැන ඔබ මොකද හිතන්නෙ
වෘත්තිය අධ්‍යාපනයට ළමයින් යොමු කිරීම අවුරුදු 12-13 අවධියේ ම පටන් ගන්න එක වැදගත්. එතකොට දරුවන් වයස අවුරුදු 18 සම්පූර්ණ වෙන කොටම ශ්‍රම බලකායට දායක වෙන්න අවස්තාවක් ලැබෙනවා. වෘත්තිය අධ්‍යාපනයට අඩු වයසෙන් යොමු වෙන දරුවන්ට අවශ්‍ය නම් පසු කාලීනව විශ්වවිද්යාල උපාධි හැදෑරිමට ඉක්මනින් ප්‍රවේශ වීමට හැකි මාර්ග සකස් කිරීමත් වැදගත්.
- එස් ඕ එස් එකත් එක්ක බැදීමක් තියෙනවා නේද? ඒ ගැන කියමුද?
එස් ඕ එස් සංවිධානය අංශ කිහිපයකින් සමාජ සත්කාර ව්‍යාපෘති වල නිරත වෙනවා කියල මට දැන ගන්න ලැබුනා මීට අවුරුදු කිහිපයකට පෙර. එයින් එක අංශයක් (https://www.soschildrensvillages.lk/) ක්‍රියාත්මක වෙන්නෙ දෙමාපිය රැකවරණය නොලැබෙන දරුවන් වෙනුවෙන්. එවැනි දරුවන් පවුල් වශයෙන් කාණ්ඩ කර එක් එක් පවුල රැක බලා ගැනීමේ මවකගෙ රාජකාරිය කිරීමට සුදුසු කාන්තාවක් තෝරගෙන ඒ එක් එක් එකලස් කල පවුල් නිවාස වල පදිංචි කරවා පුංචි ගම්මාන කිහිපයක් මේ වන විට දිවයින පුරා ස්ථාපිත කර තිබෙනවා.
2020 මුල භාගයේ එයින් එක් ගම්මානයකට යාමට මටයි මගේ යහලුවන් පිරිසකටයි අවස්තාවක් ලැබෙනවා. එවිට අපිට දැන ගන්න ලැබෙනවා ඒ එකලස් කල පවුල් වල සිටින දරුවන් නඩත්තු කිරීමේ පිරිවැය දරන්න මේ සංවිධානය අනුග්‍රාහයකයන් සොයනවා කියල. ඉන්පසුව මම එයින් එක් දරුවකුගේ පිරිවැය දරන්න ඉදිරිපත් උනා.
- කදු නගින වැඩේටයි මැරතන් දුවන වැඩේටයි මේ තරම් රුචි වුනේ කොහොමද?
කදු නගින වැඩේට ආසාව ඇති වෙන්නෙ විශ්වවිද්යාලයේ මාත් එක්ක එකට ඉගෙන ගත්තු යාලුවෙක් වන මනූප මාර්ගයෙන්. ඒ වෙනකොට මනුප සහ තවත් යහලුවො කිහිප දෙනෙකුයි සමඟ විශ්වවිද්යාලයේ ව්‍යාපෘති කරලම සෑහෙන හොඳ මිත්‍රත්වයක් වර්ධනය කරගෙන තිබ්බේ. ඔය අතරෙ අපි කූඩාරමක් මිල දී අරගෙන නිවාඩු කාල වල lakdasun.org කියන වෙබ් අඩවියෙ තිබුනු චාරිකා වාර්තා කියවල ලංකාව ඇතුලෙ ලස්සන කඳු මුදුන් කිහිපයක්ම නැගල කුඩාරමෙ රාත්‍රිය ගත කරල ඒ තැන් වල අඩි සටහන් පමණක් ඉතුරු කරලා නැවතත් එන පුරුද්දක් ඇති කර ගත්තා. එහෙම ගිය හැම චාරිකාවකින්ම ජීවිතයට අමතක නොවන අත්දැකීම් රාශියක් එකතු කරගත්තා.
මැරතන් දුවන පුරුද්ද ඇති උනෙත් කඳු නගින පුරුද්දේ අතුරු ප්‍රතිපලයක් විදියට. විශ්වවිද්යාලයෙන් ඉවත් වෙලා අවුරුද්දක් විතර යනකොට ගොඩාක් යාලුවො විවාහ වුනා. මට එහෙම ඉලක්කයක් ඒ කාලේ නොතිබුනු නිසා විශ්වවිද්යාල කාලයෙ සිට ම කඳු නගින වැඩේට එකතු උන පාසල් කාලයෙ සිට ම මගේ මිතුරෙකු වුනු පසන් එක්ක දවසක් යාලුවෙකුගෙ විවාහ උත්සවයකදි අපි කතා උනා ලංකාවෙන් පිට කොහෙ හරි කන්දක් නගින්න. ඒ වෙද්දි තවත් යාලුවෙක් වුනු නිරන්ද අපිට කියලා තිබ්බා හිමාලයෙ කන්දක් ගැන. ඒ කන්ද නගින්න අපි තුන් දෙනයි තවත් යාලුවො කිහිප දෙනෙකුයි සැලසුමක් හැදුවා. මේක සැලසුම් කරන කාලේ අපිට දැනගන්න ලැබෙනවා හිමාලයෙ තියෙනව වගේ අඩි 8000 ට වඩා උස කඳු නගින්න යම් කිසි මට්ටමක ශාරීරික යෝග්‍යතාවක් තියෙන්න ඕන කියල. ඒක හදා ගන්න ගිහින් කිලෝ මිටර් 5ක් පැය බාගයකට දුවන්න පුරුදු වෙන්න උනා. ඒකෙන් පස්සෙ දුවන එක පුරුද්දක් උනා. දුවන දුරයි දුවන වේගයයි වැඩි කරගත්තා. අර්ධ මැරතන් (21km) එකක් දුවා ගන්න පුලුවන් දැන්. කවද හරි මැරතන් එකක් සම්පූර්ණ කරන්න ආසාවක් තියෙනවා.
- ලංකාවෙ සරසවිවල ඉගෙන ගන්න විද්‍යාර්ථින්ට ක්ෂේත්‍රයේ දිගු ගමනක් ආව කෙනෙක් හැටියට මොන වගේ දෙයක් ද කියන්න තියෙන්නෙ
විශ්වවිද්යාලයක ඉගෙනගන්න ලැබෙනවා කියන එක හැමෝටම ලැබෙන්නෙ නැති විශේෂ වරප්‍රසාදයක්. ඉගෙන ගන්න ලැබෙන සීමිත කාලයෙදි විශ්වවිද්‍යාල වල දැනුම සොයා යන්න පිටදි නොලැබෙන අවස්තා වලින් උපරිම ප්‍රයෝජන ගන්න අධිෂ්ඨාන කර ගන්න ඕන. උදාහරණ විදියට විශ්වවිද්යාලයෙ උගන්වන මහාචාර්ය ආචර්යවරුන් මෙන්ම විශ්වවිද්යාල මිතුරන් සමග විෂය සහ පර්යේෂණ කටයුතු ගැන නිරන්තරයෙන් සාකච්චා කිරීම, විශ්වවිද්යාලයෙන් පිට වූ පසු අන්තර් ජාතික ග්‍රන්ථ ප්‍රකාශකයින්ට විශාල මුදල් ගෙවා කියවීමට සිදුවන ඉහල මට්ටමේ පර්යේෂණ ලිපි විශ්වවිද්යාලයෙ ඉගෙන ගන්න කාලයෙ නොමිලයේ හැකි තරම් පරිහරණය කිරීම, විශ්වවිද්යාල වල පැවැත්වෙන තරඟ වලට සහභාගී වීම වැදගත් කියලා මම හිතනවා.