නැවත ඔබ එන තෙක් - හචිකෝගේ සත්‍ය කතාව

post-title

හචිකෝ නම් සුනඛයා ගැන බොහෝ දෙනා දන්නේ සිනමා නිර්මාණයක් හේතුවෙන්. ඒත් ඒ සිනමා නිර්මාණයට පාදක වුණ සැබෑම හචිකෝ කෙනෙක් ඇත්තටම ජපානයේ සිටිය බව ඔබ සමහර විට නොදන්නවා විය හැකිය. අපි අද කතා කරන්නේ මේ හචිකෝ ගැන. අදටත් ජපානය තුළ බොහෝ මිනිසුන් ආදරය කරන ඒ ඇත්ත හචිකෝ ගැන. 

හචිකෝ ඉපදෙන්නේ එක්දහස් නවසිය විසි තුනේ අවුරුද්දෙ දි. ඒ ගොවිපලක. ඊට ටික කාලකෙට පස්සෙ ටෝකියෝ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්මය පිළිබද මහාචාර්ය වරයෙක් වෙන හයිඩ්සබුරෝ යුනෝ විසින් හචිකොව තමන්ගේ සුරතලා විදියට අරන් හදා ගන්නවා. එදා පටන් මේ මහාචාර්යවරයා සහ සුනඛයා, එනම් යුනෝ සහ හචී අතර ඇති වෙන්නේ පුදුමකාර ආදරණීය බැදීමක්. හැමදාම උදේම යුනොත් එක්ක ෂිබුයා දුම්රිය පොළට ඇවිද යන හචී එතනින් යුනෝ දුම්රියට නැගලා රැකියාවට ගිහින් එනකල් දුම්රිය දුම්රිය ස්ථානයට වෙලා බලාගෙන ඉන්නවා. මේ අපූරු පුරුද්ද දුම්රිය පොළ අවට වෙළදුන් සාප්පු හිමියන් එහෙමත් දන්නා ජනප්‍රිය කරුණක් වෙනවා. ඒත් එක්කම ඒ හැමෝම හචීට ආදරය කරන්නත් පටන් ගන්නවා. විශේෂයෙන් ම හැන්දෑවට යුනෝ එනකල් බලං ඉන්න හචීට කන්න බොන්න ඕන දේවල් දෙන්නත් ඒ අවට හිටිය සාප්පු හිමියො වෙළෙන්දෝ එහෙම මැළි වෙන්නෙත් නැහැ. කාලය මේ විදියට ගෙවෙන්නෙ හචී හා යුනෝ අතර තිබුණ බැදීම තව තවත් වැඩිකරමින්. 

දවසක් උදේ හචී එක්ක දුම්රිය පළට ගිහින් දුම්රියෙන් රැකියාවට ගිය යුනෝ මහාචාර්ය වරයා හචී වෙනදා වගේ බලාගෙන හිටියට ආයෙ ආවෙ නැහැ.  මහාචාර්ය යුනෝ මොළයේ ඇතිවූ රක්තපාත තත්ත්වයක් හේතුවෙන් විශ්ව විද්‍යාලයෙදි ම මිය ගිහින් තිබුණ.  මරණය ගැන කිසිදු හැගීමක් නැති හචී පුරුදු විදියට එදත් ෂිබුයා දුම්රියෙන් තමන්ගෙ ස්වාමියා බැහැලා එනකල් බලාගෙන හිටියත් ඔහු ආවෙ නැහැ. ඒ නොපැමිනීම ඔහුට දැඩි වේදනාවක් වුණා විය හැකියි. අනෙක් අතට එදා පටන් හැමදාම හැන්දෑවෙ පහ වෙනකොට වෙනදට යුනෝ එන දුම්රිය වේදිකාවට එද්දි  හචී දුම්රිය පොළට ඇවිත් බලාගෙන ඉන්න එක පුරුද්දක් වුණ. හචී බලාගෙන ඉන්න ඇත්තෙ කවමදාහරි දවසක යූනෝ වැඩ ඇරිලා අවුත් දුම්රියෙන් බහිවි කියලා වෙන්න ඇත. මේ විදියට ඒ මගබැලීම වසර නමයක් පුරා අඛණ්ඩව සිදු වුණා. 

අවසානයේදී 1935 මාර්තු 8 වෙනිදා  උදෑසනක ස්වාභාවික හේතූන් මත හචිකෝ මිය ගියා . අවට හිටිය හචීට ආදරය කළ හැමෝම හචිගේ දේහය  ඉස්සර මහාචාර්ය වරයා එනකල් හචි නැවතිලා මග බැලුව දුම්රිය ස්ථානයේ ගමන් මලු රදවන තැනට අරන් ගිහින් තිබුණා. එතන හචීගේ ජීවිතයේ ඔහුගේ ප්‍රියතම ස්ථානයන් ගෙන් එකක්. ඊටත් පස්සෙ හචීව ඡායාරූප ගත කරන ලද අතර, යූනෝගේ බිරිඳ 'යයිකෝ' වගේ ම දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලයත් හචීගේ නිසල සිරුර අසල වටවෙලා හිටියෙ කදුලු පිරුණු දෑස් සහිතව. 

පසු කාලෙක දුම්රිය කාර්ය මණ්ඩලයේ එක් අයෙකු වන යොෂිසෝ ඔසාවා ඔහුගේ දියණියක වෙත හචීගේ නිසල සිරුරේ ඡායාරූපයක්  තෑගිකර තිබුණ. යොෂියො ගේ දියණිය ඇගේ පියා සුනඛයන්ට ආදරය කරන බවත්, බොහෝ විට ඇයට හචි ගැනත්, ඔහු දිනපතා දුම්රිය ස්ථානයට පැමිණෙන ආකාරයත්, කාර්ය මණ්ඩලය සතුටින් ඔහු සමඟ දිවා ආහාරය බෙදා ගන්නා ආකාරයත් ගැන කියු දුන් කතන්දරපිළිබද තොරතුරු සදහන් කරන්නෙත් හචී ගැන උපන් ආදරයකින්.

 මේ අපූරු ආදරණීයයා වන හචිකෝගේ දේහය සංරක්ෂණය කර පසුව ජපානයේ ජාතික විද්යා කෞතුකාගාරයේ ටෝකියෝ හි තියා ඇත.  පසුව මෙම සුනඛයාට උපහාරයක් වශයෙන් ෂිබුයා දුම්රිය ස්ථානයෙන් පිටත හචිකෝගේ ලෝකඩ පිළිමයක් ඉදිකර තිබේ. කෙසේ වෙතත්, දෙවන ලෝක යුද්ධයේදී ප්‍රතිමාව විනාශ වී ඇති නමුත් 1948 යුද්ධය අවසානයේ නව පිළිමයක් එම ස්ථානයේදීම ප්‍රතිස්ථාපනය කළ අතර එය අද දක්වාම පවතිනවා. අද වන විට මෙම ස්ථානය ජනප්‍රිය හා ආදරණීය අසල්වැසි උද්යානයක් බවටද පත්ව ඇත. 

පිළිමයට ආසන්නතම දුම්රිය දොරටුව ජපන් භාෂාවෙන් “හචිකා-ගුචි” නොහොත් “හචිකා පිවිසුම / පිටවීම” ලෙස නම් කර ඇත්තේ හචිකොට ගරු කිරීමක් වශයෙනි.  එස්ම එක් දුම්රිය මාර්ගයක් හචිකෝ මාර්ගය ලෙසද හැඳින්වේ. හචිකෝගේ 80 වැනි වසරට ගෞරවයක් වශයෙන් සහ යූනෝගේ 90 වන සංවත්සරය වෙනුවෙන් යූචෝ සමඟ යළිත් එක්වන ලෝකඩ පිළිමයක් ද 2015 මාර්තු 8 වන දින නිරාවරණය කර ඇත. අද ද ජපනුන් විසින් පක්ෂපාතී හචිකෝගේ කතාව සෑම තැනකම දී ම දිගින් දිගටම සිහිපත් කරනු ලැබේ

Top